සංගීත නගරයේ හිමලෝකය


මෙවර හිම ලෝකය මෙසේ වනු ඇත


නගරය නිර්මාණය කරන දහස් ගණන් ශ්‍රමිකයන් සහ යන්ත්‍ර




හිම නිෂ්පාදන යන්ත්‍ර


හිම ලෝකයේ ප්‍රධාන දොරටුව වැඩ නිමකළ පසු මෙසේ දිස්වනු ඇත.


චීනයේ ඊසාන දිග ප්‍රදේශයේ හේලොන්ජියෑන් පළාතේ පිහිටි ‘හාබින්’ යනු ලෝකයේ සුන්දරම ප්‍රදේශයකි. ලෝකයේ ඉහළ බටහිර අර්ධයේ රටවල දේශගුණික ලක්ෂණ බොහොමයක් පෙන්නුම් කරන හේලොන්ජියෑන් පළාතට රුසියාව සමග ඇති සම්බන්ධය ඉහළ ය. ඒ රුසියානු දේශසීමාවේ මෙම පළාත පිහිටා ඇති නිසාය. 

දහනව වැනි සියවසේ දී ට්‍රාන්ස්-සයිබීරියානු දුම්රිය මාර්ගය රුසියාව විසින් ඉදිකරද්දී එහි ඉංජිනේරුවන් වැඩි වශයෙන් හාබින් ප්‍රදේශයේ දැක ගත හැකි විය. මේ නිසාම හාබින් රුසියානු ගෘහනිර්මාණ ශිල්පය දැක්වෙන ගොඩනැගිලි රැසකින් සමන්විත නගරයක් වී තිබේ. රුසියානු මිශ්‍රවීමත් සමග වර්තමානයේ හාබින් හි ජීවත්වන වැසියෝද සාමාන්‍ය චීන වැසියන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනාගතහැකි පිරිසක් වී සිටිති. ඔවුන් සාමාන්‍ය චීන ජාතිකයන්ට වඩා උසින් වැඩි ආකර්ෂණීය පෙනුමකට හිමිකම් කියන පිරිසකි. 

හාබින් පළාත​හඳුන්වන්නේ “සංගීත නගරය” (City of Music) යන නමිනි. එයට හේතුව සංගීතය සමග බැඳුණු චීනයේ පැරණිම නගරය හාබින් ලෙස පිළිගැනීමයි.  චීනයේ පළමු සංධ්වනි වාද්‍ය වෘන්දය බිහිවී ඇත්තේ හාබින් නගරයෙනි. ඒ 1908 දීය. 1921 දී පළමු සංගීත විද්‍යාලය බිහි වී ඇත. හාබින් සහ සංගීතය අතර ඇති බැඳීම නිසාම 2010 වසරේ දී යුනෙස්කෝ සංවිධානය “සංගීත නගරය” යන නම හාබින් නගරය වෙත ප්‍රදානය කෙරුණි. මෙම ගෞරවය දිනාගත් ආසියාවේ පළමු නගරය හාබින්ය. 

කෙසේ වුවද ඕනෑම වසරක ආරම්භයේ දී ලෝකයේ නන්දෙසින් සංචාරකයන් හාබින් වෙත ඇදී එන්නේ සංගීතය නිසා නොවේ. සංගීතයේ මිහිර රිසිසේ විඳින්නට හැක්කේ වසන්ත කාලයේ දීය. ශීතකාලයේ දී හාබින් අයිස් නගරයක්  බවට පත්වෙයි. මේ වනවිට ලෝකයේ බොහෝ දෙනා මේ අයිස් නගරය දැකගැනීමට හාබින් වෙත යන සංචාරකයන් වී සිටිති. 

අයිස් නගරය තැනීම ආරම්භ වෙන්නේ දෙසැම්බර් ආරම්භයේ සිටය. අයිස් නගරයේ කටයුතු සාමාන්‍යයෙන් දෙසැම්බර් 20 වැනිදා ඇරඹෙයි. නමුත් නිල වශයෙන් ඇරඹෙන්නේ එළැඹෙන වසරේ ජනවාරි 05 වැනිදාය. එයින් පසුව පෙබරවාරි 20 දක්වා අයිස් නගරයේ උත්සව පැවැත්වෙයි. මේ අයිස් නගරය පෙබරවාරි අග වෙද්දී වසන්තයට ඉඩ දී දියවී යයි. චීනයේ ඇති ජනප්‍රියම අයිස් උළෙලයි. එසේම ලෝකයේ ඇති ජනප්‍රියම අයිස් උලෙළ හතරෙන් එකක් ලෙස ද මෙය සැලකෙයි. “හාබින් අයිස් උළෙල” (Harbin Ice Lantern Festival ) අතරතුරදී අයිස්වලින් කෙරෙන මූර්ති තරග, ශීතඍතුවේ මසුන් ඇල්ලීම, ශීත ඍතු ක්‍රීඩා, පෙරහර ආදී නොයෙක් ක්‍රියාකාරකම් සිදුවෙයි. එසේම තීම්පාක් 5 ක් තුළද අයිස් සම්බන්ධ විනෝදජනක ක්‍රියාකාරකම් රැසක් සිදුවෙයි. 

මෙහිදී බොහෝ දෙනාගේ සිත් දිනාගන්නේ අයිස්මූර්ති සහ අයිස් පහන් ය. අතීතයේ මෙන් නොව වර්තමානයේ නොයෙක් ආකාරයේ අයිස් පහන්කූඩු දැකගත හැකිය. 1963 දී ඇරඹි මෙම අයිස් උලෙළ කෙටි කාලයකට පසුව නැවතී යළිත් ආරම්භ වූයේ 1985 දීය.  කෙසේ වුවද “හාබින් අයිස් සහ හිම ලෝකය” (Harbin Ice and Snow World) යන නමින් අලුතින්ම අයිස් නගරයක් නිර්මාණය කර එහි උත්සව පැවැත්වීමේ උත්සවය ආරම්භවන්නේ පසු කාලයකදීය. මෙවර එය 26 වැනි වරට පැවැත්වීමට හාබින් නගරය මේ දිනවල සූදානමින් සිටියි. මෙවර හාබින් අයිස් උළෙලේ සුවිශේෂත්වයක් වන්නේ 9 වැනි ආසියානු ශීතඍතු ක්‍රීඩා උලෙළ පෙබරවාරි 7 වැනිදා සිට 14 වැනිදා දක්වා හාබින් හි පැවැත්වීමයි. මේ නිසාම මෙවර අයිස් ලෝකය නිර්මාණය වන්නේ ක්‍රීඩා උලෙළට පැමිණෙන්නන් ද පිළිගැනීම මූලික කරගෙන ය. 

මෙවර හාබින් අයිස් සහ හිම ලෝකයේ සුවිශේෂ දර්ශනයක් ලෙස සැලකෙන්නේ හිම නගරයට පිවිසෙන දොරටුවයි. අයිස් සහ හිම සිහින ලෙස නම්කර ඇති මෙම පිවිසුම මෙවර හිම ක්‍රීඩා සඳහා එකතුවන සියලුම දෙනාගේ සිත් උණුසුමෙන් පුරවන එකක් වේ යැයි විශ්වාස කෙරේ. එසේම මෙම පිවිසුම හිම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශක්තිමත් බව මනරම් බව පෙන්නුම් කරන නිර්මාණයක් වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙම අපූරු පිවිසුමෙන් අයිස් ලෝකයට පිවිස ආසියාවේ උණුසුම බෙදා ගමු යැයි හාබින් නගරය ආසියානු සංචාරකයන්ට යෝජනා කරයි. 

26 වැනි හාබින් හිමලෝකය නිර්මාණය කිරීම පසුගිය නොවැම්බර් 29 වැනිදා ආරම්භ විය. මේ සඳහා හිම නිෂ්පාදනය කරන යන්ත්‍ර විශාල ප්‍රමාණයක් යොදා ගැනුණි. මෙම යන්ත්‍රවලින් දවසේ පැය විසිහතරේම සුදු හිම විදින අතර, මේවා පොළොවේ කුඩා හිමකඳු සේ එකතුවෙයි. එම කඳුවලින් කඩාගන්නා  හාබින් හිම ලෝකයේ මූර්ති නිර්මාණය වන තීම් පාක් එක වෙත ගෙනයයි. මේ කටයුතු දවස පුරා සිදුවන අතර, සේවක කණ්ඩායම් 3 ක් පැය 8 බැගින් මෙම කාර්යයේ යෙදෙති. සම්පූර්ණ කර්තව්‍ය සඳහා ශ්‍රමිකයන් 10,000 කට වැඩි පිරිසක් සහ හිම නිෂ්පාදන යන්ත්‍ර, දොඹකර, ෆෝක්ලිෆ්ට් මේ ආදී යන්ත්‍ර 1000 කට වඩා අවශ්‍ය වනු ඇතැයි පැවසෙයි. එසේම සීත ඍතුවේ ආරම්භයේ දී නගර නිර්මාණය සිදුවෙන නිසා තාක්ෂණය උපරිමයෙන් යොදාගැනීම ද සිදුවෙයි. 

හිම නිෂ්පාදනය කිරීමේ දී සුළගේ දිශාව,  සුළඟේ වේගය සහ උෂ්ණත්වය යන සියලු කරුණු සොයා බැලේ. ඒ අනුව ඉහළ ගුණත්වයකින් යුතු හිම නිෂ්පාදනය කරනු ලබයි. එවිට ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයක් ඇති හිම මූර්ති නිර්මාණය කළ හැකි බව පැවසෙයි. 

මෙවර “හාබින් අයිස් සහ හිම ලෝකය” නිර්මාණය කිරීම සඳහා අයිස් සහ හිම කියුබික් මීටර් 300,000 ක් අවශ්‍ය වෙතැයි ගණන් බලා තිබේ. එම හිම වර්ග මීටර් මිලියනක් පුරා විසිරෙන සුරංගනා කතාවක් බඳු අයිස් ලෝකයක් නිර්මාණය කරනු ඇත.


කාංචන දසනායක