සතිස්චන්ද්‍ර එදිරිසිංහ “හාමුදුරුවෝ ”



“හාමුදුරු චරිතයක් නම් ඉතින් ඒකට ගැළපෙන්නෙ සතිස්චන්ද්‍ර එදිරිසිංහ තමයි.. එයාගෙ පෙනුම විතරක් නෙමෙයි ඉරියව් පවා ඒකට හොඳටම ගැළපෙනවා..” 
ක්ෂේත්‍රයේ එබඳු මතයක් ඇති වෙන තරමටම ඔහු භික්ෂු චරිත තුළ ජීවත් වූයේය. සිවුර හැඳ ගත් කල ඔහු සුපේශල, ශික්ෂාකාමී භික්ෂුවක් නොවේයයි කාටවත් කියන්නට නොහැකිය. ඒ තරමටම සිවුරට ඔහුත්, ඔහු සිවුරටත් සමපාත වන්නේය. එහෙත් සිවුර නිසා ඔහුට මුහුණ පාන්නට සිදු වූ අලකලංචි ද බොහොමයකි. 
සතිස්චන්ද්‍ර එදිරිසිහංයන් ප්‍රථම වතාවට භික්ෂු චරිතයක් රඟ පෑවේ 1966 වසරේදි සැඩොල් කඳුළු චිත්‍රපටිය වෙනුවෙනි.

“මම ක්ෂේත්‍රයට ආවේ වේදිකා නාට්‍ය තුළින්.. ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රවීණ නාට්‍යකරුවෝ එක්ක වැඩ කරන්න මම වාසනාවන්ත වුණා. හෙන්රි ජයසේන මහත්තයගෙ මනරංජන වැඩවර්ජන වේදිකා නාට්‍යයේ රඟ පාන කාලේ තමයි මට සැඩොල් කඳුළු චිත්‍රපටියට ආරාධනා ලැබුණේ..  එක දවසක් ඒ නාට්‍යය බලන්න ඒ කාලයේ සෙනෙට් සභිකයෙක් වුණ රෙජී පෙරේරා මහත්තයා ඇවිත් හිටියා.. ඒ මහත්තයා මට කිව්වා සැඩොල් කඳුළු කියලා චිත්‍රපටියක් කරන්න සූදානම් වෙනවා, ඒකේ හාමුදුරු චරිතයක් රඟ පාන්න පුළුවන් ද කියලා.. මට ඒක ලොකු අවස්ථාවක් වුණත් පොඩි ප්‍රශ්නයක් තිබ්බා.. ඒ වෙනකොටම මම විවාහ ගිවිසගෙන හිටියෙ.. මගෙ මනමාලි කැමති වුණේ නෑ තට්ටේ ගානවට.. ඒත් පස්සෙ මම කල්පනා කළා  අපිට එච්චර සල්ලිත් නෑනෙ.. මඟු‍ල් ගෙදරටත් සල්ලි ටිකක් හොයා ගන්න ඕන හින්දා මේ චරිතෙ රඟ පානවා කියලා.. ඒකේ තිර රචනයත් හෙන්රි ජයසේන මහත්තයගෙ.. නිෂ්පාදනය කළේ සිලෝන් තියටර්ස් සමාගම.. ඒ වගේ ලොකු සමාගමක චිත්‍රපටියක රඟ පාන්න ලැබෙනවා කියන එකත් වාසනාවක්නෙ.. ඉතින් මම කැමති වුණා..”

තමා චිත්‍රපටියට එකතු වූ ආකාරය විස්තර කරමින් ඔහු පැවසුවේය. ඔහුට සිවුර හඳවන ලද්දේ එවකට බොරලැස්ගමුවේ සුනේත්‍රා දේවි පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේ විසිනි. භික්ෂු චරිතයක් වෙනුවෙන් හිස මුඩු කළ මුල්ම නළුවා ලෙසින් ද ඔහු සිනමා ඉතිහාසයට එකතු වන්නේය. ඊට පෙර භික්ෂු චරිත රඟ පෑ නළුවන් සිටියත් ඔවුන් හිස් මුඩු නොකර රබර් හිස් වැස්මක් පලඳින්නට පුරුදුව සිටියහ. අනුලා කරුණාතිලක, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, දෙනවක හාමිනේ වැනි ප්‍රවීණ නළුනිළියෝ එම චිත්‍රපටියේ රඟ පෑහ. 

“චිත්‍රපටියේ රූගත කිරීම් කළේකිතුල්ගල.. එක දවසක් රූගත කිරීම් අතරෙ වැස්සක් වැටුණා.. ජී. ඩී. එල් පෙරේරා, මම ඇතුළු  කණ්ඩායමක් වැස්සෙන් බේරෙන්න පාර අයිනේ තිබ්බ පොල් අතු මඩුවකට ගොඩ වුණා.. ඒක බස් නැවතුම් පොළක් විදියට පාවිච්චි කරන තැනක්.. අපි විතරක් නෙමෙයි ගමේ මිනිස්සුත් කීප දෙනෙක් එතන හිටියා.. හිටි හැටියේම ජී ඩී එල් මගෙන් ඇහුව්වා හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය සිවුරත් ඇඳගෙන චිත්‍රපටිවල රඟ පාන එක හොඳ දෙයක් නෙමෙයි නේද කියලා.. මම ඉතින් කිව්වා මහත්තයෝ මම වැඩි වශයෙන් ඉන්නෙ දඹදිවනෙ.. ලංකාවට ආවම ඔය වගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට අදාළ දේවල් කරනවා.. මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ මිනිසෙක් වසලයෙක් වෙන්නෙ උපතින් නෙමෙයි ක්‍රියාවෙන් කියලා හින්දා රඟ පෑවට අගතියක් වෙන්නෙ නෑ කියලා.. ඕක අහගෙන මඩුවෙ හිටිය මනුස්සයෙක් වැස්සෙම එයාගෙ ගෙදරට දුවලා ගිහින් සුදු රෙද්දක් දාපු පුටුවක් ගෙනත් මට වාඩි වෙන්න කිව්වා.. තව කෙනෙක් ගිලන්පස අරගෙන ආවා.. ඇත්තටම මම සිවුර ඇඳගෙන හිටියෙ හරි ආයාසයෙන්.. ගැලවුණොත් එහෙම ආයෙ අන්දවා ගන්න පන්සලකට යන්නම ඕන.. ඒ හින්දා බොහොම අමාරුවෙන් අත තද කරලා සිවුර රඳවාගෙන ගිලන්පස ගත්තා..”

ඔහු පැවසුවේ සිනාසෙමිනි.  

කිතුල්ගල ගමේ සිටි සංග්‍රහශීලී මිනිසුන් ඔවුන් වෙනුවෙන් මඤ්ඤොක්කා තම්බා කිතුල් රා සූදානම් කර තිබිණි. එම සංග්‍රහය භුක්ති විඳින්නට සතිස්චන්ද්‍රයන් ද කැමැත්තෙන් සිටියේය. 

“රා කෙසේ වෙතත් තෙලිජ්ජ බොන්න ආසාවක් මට තිබුණා.. මොකද තෙලිජ්ජ පැණි රසයි, හොඳ ඖෂධයක් කියලා අහලා තිබ්බට මම කවදාවත් බීලා තිබ්බෙ නෑ.. ඒත් ඉතින් හාමුදුරු කෙනෙක් වුණ මට ඒක අකැපයිනෙ.. මම ඉතින් අපේ කට්ටිය කන්ද නැගගෙන අර ගෙදරට යන විදිය බලාගෙන හූල්ලහූල්ලා හිටියා..” ඔහු කීවේය.  

“ඉතින් මඟු‍ල් ගෙදර ප්‍රශ්නෙ විසඳා ගත්තේ කොහොමද..?” 

මම ඇසීමි. 

“මඟු‍ල් ගෙදර තිබ්බෙ චිත්‍රපටිය ඉවර වෙලා මාස තුනකට පස්සෙ.. එතකොට සාමාන්‍ය ගණනට කොණ්ඩෙ වැවිලා තිබ්බා..” ඔහු කීවේ සිනාසෙමිනි. 

ධම්ම ජාගොඩ විසින් නිර්මාණය කරන ලද පළිඟු‍ මැණිකේ ටෙලි නාට්‍යය වෙනුවෙන් ද ඔහු භික්ෂු වෙස් ගත්තේය. ඒ රූගත කිරීම් තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ පන්සල් දෙකකය. එක් පන්සලක භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර පන්සලේ භාරකාරත්වය පිළිබඳව ගැටුමක් ඇති වී තිබිණි. 

“ඒ හැමෝම හිතාගෙන හිටියෙ මම ඇත්තම භික්ෂුවක් කියලා.. මට කිව්වා පුළුවන්නම් පන්සලේ භාරකාරත්වයට පත් වෙන්න කියලා..  මම හාමුදුරුවන්ට පැහැදිලි කළා මම නළුවෙක් මිසක් ඇත්තම හාමුදුරු කෙනෙක් නෙමෙයි කියලා..” 

එවන් අත්දැකීම්වලට ද මුහුණ දෙන්නට ඔහුට සිදු වී තිබිණි. ඇතැම් අවස්ථාවල පන්සලට එන උපාසක උපාසිකාවෝ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉදිරියේම සතිස්චන්ද්‍ර හාමුදුරුවන්ට වැන්දහ.  

“ගාමිණී ෆොන්සේකගෙ කොටි වලිගය චිත්‍රපටියේත් හාමුදුරුවන්ගේ චරිතය රඟ පෑවා..  මට රඟ පාන්න තිබ්බෙ තත්පර අනූවක විතර පුංචි කෑල්ලක්.. දෙබස් පේළි හතරයි.. හැබැයි හරි ප්‍රබල දර්ශනයක්.. ඇත්තටම ඒක මටත් අමතක වෙලා තිබුණෙ.. ඊ ළඟ අවුරුද්දේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ සරසවි සම්මාන උළෙලේ නිවේදන කටයුතු කළේ මම.. ග්‍රැන්විල් සිල්වා තමයි සරසවියේ කර්තෘ.. හිටි හැටියේම ඔහු වේදිකාවට ඇවිත් කිව්වා සතිස් මහත්තයා ඔයාගෙ නිවේදන කටයුතු නතර කරන්න සිද්ද වෙනවා කියලා.. මම හොඳටම කලබල වුණා.. මම හිතුවේ මගෙ අතින් මොකක් හරි වරදක් වෙලා කියලා.. ඒත් මම වේදිකාවෙන් ගියෙ නෑ.. කොටි වලිගය චිත්‍රපටියේ විශිෂ්ට රඟපෑම වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය සතිස්චන්ද්‍ර එදිරිසිංහට කියලා ඔහු නිවේදනය කරනකොට මම උඩ ගිහින් බිම වැටුණා.. මං හිතන්නෙ එච්චර පුංචි චරිතෙකට එහෙම සම්මානයක් ලැබුණ පළවෙනි වතාව ඒක වෙන්න ඕන..”

ඔහු කීවේ බොහෝ නිහතමානී ලෙසිනි. 


“මම චරිතෙක දිග පළල, විකාශය වෙන කාල පරාසය ගැන හිතහිතා කරදර වෙන කෙනෙක් නෙමෙයි.. ජනතාවට ප්‍රයෝජනවත් වෙන යම් දෙයක් කරන්න පුළුවන් කියලා දැනුණොත් මම ඒ චරිතය බාර ගන්නවා.. මේ ඊයෙ පෙරේදා සිහින සරුංගල් කියලා ළමා චිත්‍රපටියක රඟ පෑවා දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙක් විදියට.. ඒකේ ෂූටින් තිබ්බෙ එක දවසයි.. ඊ ළඟ දවසෙ හඬ කැවීම් තිබුණා.. මේක වැඩකට නැති දෙයක් කියලා ඒ වගේ අවස්ථා අතෑරියොත් ලොකු අවස්ථා මඟෑරෙන්න පුළුවන් කියලා මම ඉගෙන ගත්තේ ක්ෂේත්‍රයට පය තැබුව කාලෙමයි.. 1961  දී මම කලාගුරු ජේ. ඒ. ජී පෙරේරගෙ වෙස්සන්තර නාට්‍යයේ පුහුණු වීම්වලට ගියා.. ඒකේ ප්‍රධාන චරිත රඟ පෑවේ රුක්මණි දේවි, එඩී ජයමාන්න.. මම රඟ පෑවේ සාමාන්‍ය රට වැසියෙක් විදියට.. මාස අටක්ම පුහුණුවීම්වලට ගියා.. ඒ කාලෙ මම බස් එකට සත පනහ හොයා ගත්තේ ගෙදර තියෙන පරණ බෝතල් පත්තර විකුණලා.. අක්කලා හතර දෙනෙක් හිටියා මට.. එයාලා ගෑවේ කියුටිකිරා පවුඩර්.. ඒ හිස් පවුඩර් ටින් එකතු කරලත් විකුණනවා.. එච්චර කැප කිරීමක් කළත් මට මුළු නාට්‍යයේම වචන අටයි කතා කරන්න තිබ්බෙ.. හැබැයි අන්තිමේදී ජූජක බමුණට රඟ පෑව ටවර් හෝල් නළුවා තරහ වෙලා නාට්‍යයෙන් අයින් වුණාට පස්සෙ ඒ චරිතය රඟ පාන්න තරම් පුහුණුවක් මට තිබුණා.. අවුරුදු විස්සේ මම ඒ මහලු‍ චරිතය දිගටම රඟ පෑවා.. ” 

ඔහු කීවේ යම් කාර්යයක් සාර්ථක කර ගන්නට මොන තරම් අධිෂ්ඨානයක් හා කැප වීමක් තිබිය යුතුදැයි පණිවිඩය නව පරපුරටත් ලබා දෙමිනි. 

“ලූෂන් බුලත්සිංහලගේ තාරා දේවී හැරෙන්නට අනිත් හැම චිත්‍රපටියකම මම රඟ පෑවේ සුදු චරිත.. ඒ හින්දා මිනිස්සු මට ආදරේ කරන්න විතරක් නෙමෙයි ගරු කරන්නත් පටන් ගත්තා.. ඒ හින්දම මම මගේ පැවැත්ම වගේම ආකල්පත් යහපත් අතට වෙනස් කර ගත්තා..” 

සැබෑ ජීවිතයේත් සුදු චරිතයක් වීමේ රහස හෙළිදරව් කරමින් සතිස්චන්ද්‍රයන් පැවසුවේය. 

 


චන්දි කොඩිකාර