“මම බයිසිකල්, කාර්, බස්, ලොරි ඕනම වාහනයක් පැදලා තියෙනවා.. කරත්තවල ගිහිල්ලත් තියෙනවා.. ඒත් කවදාවත් කරත්තයක් පැදලා තිබුණේ නෑ.. ඒ හින්දම කරත්තකාරයෙක් ගෙ චරිතය රඟ පාන්න කියනකොට ඒක මට දැනුණෙ අභියෝගයක් විදියට.මම සාමාන්‍යයෙන් අභියෝගවලට මූණ දෙන්න හරි කැමතියි.. තරුණ වයසෙදි කොහොමත් කැමතියිනෙ ඉතින්.. මම චරිතය බාර ගත්තා..”
සඳගලතැන්න ටෙලි නාට්‍යයේ පියසේන නම් වූ කරත්තකාරයා ගේ චරිතය පිළිබඳව කතාබහ කරමින් කුමාර සිරිවර්ධන පැවසුවේය.
“මට මතක විදියට සඳගලතැන්න කියලා ටෙලි නාට්‍ය දෙකක් තිබුණා...” මම මතකය හාරාපාරා බැලුවෙමි.
“මම පියසේන විදියට රඟපෑව සඳගලතැන්න 1992 අග භාගයේදී වගේ ජාතික රූපවාහිනියෙන් විකාශය වුණේ.. නිෂ්පාදනය අධ්‍යක්ෂණය දෙකම කළේ ප්‍රසන්න ප්‍රියදර්ශන.. ඔහුගෙ ගමනාන්තය, බූමරංගය ටෙලි නාට්‍ය දෙකේම මම රඟ පෑවා.. ඒ හින්දා තමයි මේ චරිතෙටත් ආරාධනා කළේ..” ඔහු කීවේය.
සඳගලතැන්න රූගත කෙරුණේ මිනුවන්ගොඩින් මඳක් ඈතට වෙන්නට ඇති ගමකය. ආරච්චිලට රඟපෑවේ බුද්ධි වික්‍රමය. ඔහුගේ දියණිය නිරෝෂා හේරත්ය. ආරච්චිල ගේ වත්ත කෙළවරේ නිවසක සිටි වැන්දඹු ගැහැනියගේ චරිතය ග්‍රේස් ආරියවිමල් රඟපෑවාය. ඇගේ බාල සොයුරා ලෙසින් ග්‍රැන්විල් රොද්‍රිගු සහ දියණිය ලෙසින් කාංචනා මෙන්ඩිස් ද රඟ පෑ එය අපූරු ටෙලි නාට්‍යයක් වූ බැව් කුමාර සිරිවර්ධන කියන්නේය.
“මාත් එක්ක ඒ ටෙලි නාට්‍යයේ රඟ පෑව ග්‍රැන්විල් වගේම බුද්ධි වික්‍රමත් අද ජීවතුන් අතර නෑ.. ඒ පැත්තෙන් හිතනකොටත් මට මේ ටෙලි නාට්‍යය ගොඩක් වැදගත්.. මම ග්‍රැන්විල් එක්ක රඟ පෑව පළවෙනි වගේම අන්තිම ටෙලි නාට්‍යය ඒක..” ඔහු කීවේය.
“ආරච්චිලට කරත්තෙකුයි තිරික්කලේකුයි දෙකක්ම තියෙනවා.. මේ දෙකම දක්කන්නෙ පියසේන.. පියසේන හොඳ ගුණයහපත් මනුස්සයා.. අර වැන්දඹු කාන්තාවට ආදරේ කරනවා.. ඒ කාන්තාවට ආදරේ කරන චණ්ඩියෙකුත් ගමේ ඉන්නවා.. ග්‍රැන්විල් රඟ පෑවේ බුද්ධි හීන තරුණයෙකුගේ චරිතයක්.. ඔහු පියසේනට හරි ලැදියි.. හැබැයි බුද්ධි හීනකම හින්දා නොයෙක් කරදරවල පැටලෙනවා.. අර චණ්ඩියා පියසේනට කරදර කරනවා.. ඒ පටලැවිලි මැදින් ගලාගෙන ගිය කතාවක් හින්දා මිනිස්සු සඳගලතැන්නට ඉක්මණින් බැඳුණා..” කුමාර සිරිවර්ධන කීවේය.
කරත්ත දැක්කීම ඉගෙන ගැනීම සඳහා ඔහු අදාළ ගමට ගියේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනයට පෙරය. ප්‍රසන්න විසින් ඒ සඳහා වැඩිහිටි කරත්තකාරයෙකු යොදා ගනු ලැබ තිබිණි. ඒ ඉවසිලිවන්ත, කරුණාවන්ත කරත්තකාරයා පැය හයක් තිස්සේම කරත්ත දැක්කීමේ ශාස්ත්‍රය කුමාරට කියා දුන්නේ කිසිදු ගුරු මුෂ්ටියක් නැතිවය.
“කරත්තෙයි, තිරික්කලෙයි වෙනස මම දැන ගත්තෙ ඒ මනුස්සයා කියලා දුන්නට පස්සෙ.. බර කරත්තෙ කියලා කියන්නෙ ඒකෙ තට්ටුව ලොකු හින්දා.. හෙමින් යන්නෙ.. ඒවට ජවාධික ගොන්නු බඳින්නෙ නෑ.. ඒත් තිරික්කලේ සැහැල්ලුයි.. රේස් පවා යනවනෙ.. ඒ හින්දා තිරික්කලේට බඳින්නෙ හොඳ ශක්තිමත් ගොන්නු.. සඳගලතැන්නෙ ආරච්චි ගෙදර තිරික්කලේ බඳින්න හිටියෙ කළු පාට ගොනෙක්.. අයිතිකාරයා කලින්ම මට කිව්වා මේකා නම් නහයට අහන්නෙ නෑ පරිස්සමින් කියලා.. පුංචි පුංචි අකරතැබ්බ වුණාට ලොකු අනතුරක් නොවී ජාම බේරා ගන්න ලැබීම ජයග්‍රහණයක් විදියට මට අදටත් දැනෙනවා..” ඔහු කීවේය.
ආරච්චිල නංවාගෙන, තිරික්කලය දක්කාගෙන වේගයෙන් කඳු පාරක් බැස එන දර්ශනයක් ටෙලි නාට්‍යයේ තිබිණි. කැමරාව රඳවා තිබුණේ පාරේ පහළ කෙළවරේය.
“නාස් ලණුව බුරුල් කරලා ගස්සලා තමයි ගොනාට ගමන පටන් ගන්න සංඥාව දෙන්නෙ.. මම ඉතින් එහෙම කළා.. දැන් කරත්තේ යනවා.. ග්‍රැන්විල් රොද්‍රිගුත් පිටිපස්සේ දුවගෙන එනවා.. හිටි හැටියේම ගොනා වේගය වැඩි කරලා පල්ලම දුවන්න පටන් ගත්තෙ නැද්ද..? ඒ වෙලාවෙ නම් ඇත්තටම බය හිතුණා.. නාස් ලණුව තද කරලා නවත්තන්න පුළුවන්කම තිබ්බත් කැමරාව නවත්තන්න කියලා කියන්න බෑනෙ.. ඒ හින්දා කොහොම හරි දක්කාගෙන ආවා..”
කුමාර සිරිවර්ධන පැවසුවේ තෘප්තිමත් මඳහසකින් යුතුවය.
ඔහු ඒ කාලයේ කරත්ත පිළිබඳව පමණක් නොව කරත්තවලට බඳින ගොනුන් ගැන, ඔවුන් හසුරුවන, ඔවුන්ට සාත්තුසප්පායම් කරන ආකාරය ගැන බොහෝ දේවල් උගත්තේය.
“වාහනයක් සුක්කානමෙන් හසුරුවනවා වගේ කරත්තෙක බඳින ගොනෙක් හසුරුවන්නේ නාස් ලණුව තද කරලා, බුරුල් කරලා සංඥා දීමෙන්.. ඒ වගේම කරත්තෙ ඇදගෙන ගොනා ටිකක් යනකොට තමයි කරත්තකාරයා දුවගෙන ගිහින් නඟින්නෙ.. පිටිපස්සෙන් රෝදේ තියෙන හින්දා පරිස්සම් වෙන්නත් ඕන.. ගොනා කරත්තෙන් ලිහන්නෙ කොහොමද, දිගේලි කරන්නෙ කොහොමද, කන්න බොන්න දෙන්නෙ කොහොමද කියන හැමදේම මම ඉගෙන ගත්තා.. මොකද මගෙ කරත්තෙ බඳින ගොනාට මම එපායැ සාත්තුසප්පායම් කරන්න..”
එසේ කියාගෙන යද්දී ඔහුට ග්‍රැන්විල් සම්බන්ධ සිද්ධියක් ද සිහිපත් වූයේය. ග්‍රැන්විල් සිටින තැන්වල හාස්‍යය උතුරා ගියත් ඇතැම් අවස්ථාවල ඔහුට කේන්ති ද එන්නේය. ඔහු ගොනාට පිදුරු දෙමින් පියසේන සමඟ පිළිසඳරේ යෙදී සිටින දර්ශනයක් රූගත කෙරෙමින් තිබියදී ග්‍රැන්විල්ට කිහිප වරක්ම දෙබස් පැටලිණි.
“මගෙ අතේ ඉතින් හැම වෙලාවෙම කෝටුව තියෙනවනෙ.. ප්‍රසන්න කිව්වා ඊ ළඟ සැරේ දෙබස් වැරැද්දුවොත් ඔය කෝටුවෙන් එකක් ඇනපන් කියලා.. ඒකට ග්‍රැන්විල්ට හොඳටම තරහ ගියා.. ඒත් ඒ තරහ ටික වෙලාවකට විතරයි.. ආයෙමත් අපි හොඳ යාළුවෝ වුණා.. ඇත්තටම ඒ කාලෙ අද වගේ නළුනිළියන් අතරේ ලොකු තරගයක්, අවිවේකී බවක් තිබුණෙ නෑ.. හරිම මිත්‍රශීලීයි.. හැමෝම බොහොම සහයෝගයෙන් වැඩ කළා.. තමන්ගෙ අත්දැකීම් බෙදාහදා ගත්තා.. දැන් සමාජය වගේම මේ ක්ෂේත්‍රයත් හුඟක් වෙනස් වෙලා.. ඒත් ඉතින් අපිට කාටවත් වරදක් කියන්න බෑ.. මොකද ලෝකේ වෙනස් නොවෙන දෙයක් තියෙනවා නම් ඒ වෙනස් වීම විතරනෙ..”
ඔහු බොහෝ දිග කතාවක් කෙටි කර පැවසුවේය.
කුමාර සිරිවර්ධන බහුවිධ දක්ෂතා ඇති මිනිසුන් ගොන්නට වැටෙන අයෙකි. ඔහු ලේඛකයෙකි. දක්ෂ පුවත්පත් කලාවේදියෙකි. වේදිකා නළුවෙකි. තිර රචකයෙකි. පරිවර්තකයෙකි. (තවත් මට අමතක වූ යමක් ඇද්දැයි නොදනිමි.) සාදරයෙන් පිළි ගනිමු, බූමරංග ඔහු විසින්ම නිෂ්පාදනය කරනු ලැබූ වේදිකා නාට්‍යයන්ය. 1981 දී ඔහු යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය ද දිනා ගත්තේය. පස්සෙ ගෙනා මනමාලි ටෙලි නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පැමිණ ටෙලි නාට්‍ය කිහිපයකම රඟ පෑවේය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කෝපි කඩේ නිමල්ගේ චරිතයෙනි. කෝපි කඩේ කථාංග අටසීයකට වැඩි ප්‍රමාණයක් ඔහු රචනා කර තිබේ. මේ වන විට පරිවර්තන කෘති දෙසීයකට අධික ප්‍රමාණයක් හා ස්වතන්ත්‍ර නිර්මාණ පහක් හයක් එළි දක්වා තිබේ. කාලය මනාව කළමනාකරණය කර ගන්නන් සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය කුමාර සිරිවර්ධනයයි. මට සිතෙන්නේ ඔහු පොත් කියවීමට හා චිත්‍රපටි නැරඹීමටත් කාලය ඉතිරි කර ගන්නා බවකි.
චන්දි කොඩිකාර