සහරාවට ඇදහැලුණු මහා වැස්ස



උතුරු අප්‍රිකාවේ වර්ග කිලෝමීටර් 9,200,000ක භූමි ප්‍රදේශයක් පුරා සහරා කාන්තාරය විසිරී, පැතිරී පවතී. ලොව විශාලතම උණුසුම් කාන්තාරය ලෙස සැලකෙන්නේ සහරා ය. කාන්තාරයක් යනු කුමක්දැයි නිර්වචනය කිරීම සිදුවන්නේ ලැබෙන වර්ෂාපතනයට සාපේක්ෂවය. කාන්තාරයක් යනු, ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි ප්‍රදේශයකි. සාමාන්‍යයෙන්, කාන්තාරයක වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 250ට වඩා අඩු වෙයි. සහරා කාන්තාරය, උතුරු අප්‍රිකා මහද්වීපයේ රටවල් රැසක් පුරා පැතිරෙයි. ඇල්ජීරියාවට, චැඩ් රාජ්‍යයට, ඊජිප්තුවට, එරිත්‍රියාවට, ලිබියාවට, මාලි රාජ්‍යයට, මොරිෂානියාවට, නයිජර් රාජ්‍යයට, සුඩානයට, ටියුනීසියාවට මෙන්ම මොරොක්කෝවට ද සහරා කාන්තාරය අයත් වෙයි.

පසුගිය දා මොරොක්කෝවට අයත් සහරා කාන්තාරය මුළු ලෝකයේම අවධානයට ලක් විය. ඒ, අග්නිදිග මොරොක්කෝවට අයත් සහරාවට මහ වැසි ඇදහැලීම සහ කාන්තාර ප්‍රදේශ රැසක් ජලයෙන් යට වීම නිසාය. මහ වැස්ස අවසන් වෙද්දී, වැලි කඳු අතරේ නිල් පැහැති ජලය පිරුණු පොකුණු සෑදී ඇති අයුරු විදෙස් පුවත් සේවා ඔස්සේ දකින්න ලැබුණි. දශක ගණනකින් නොලැබුණු වර්ෂාවක්, දින කිහිපයක් ඇතුළත සහරාවට ලැබී තිබුණි. 

අග්නිදිග මොරොක්කෝවට අයත් සහරා කාන්තාරය ද සැලකෙන්නේ ශුෂ්ක තැනක් ලෙසය. එසේ වුවත් ගිම්හානය අවසන් වෙද්දී, සුළු වර්ෂාපතනයක් වාර්ෂිකව ලැබෙයි. සාමාන්‍යයෙන් එය වාර්ෂිකව මිලිමීටර් 250ට අඩු වුවත්, මෙවර, දින දෙකක් ඇතුළත මිලිමීටර් 250 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇත. මොරොක්කෝවේ ටැගෝයුනීට් නමැති ගම්මානයට පැය 24කදී මිලිමීටර් 100 ඉක්මවා මහ වැසි ඇදහැලු‍ණු බව පැවැසිණි.

සගෝරා සහ ටාට නමැති ප්‍රදේශ මැද පුරාණයේ ඉරිකී නමින් විලක් විය. පසුගිය වසර 50ක කාලය පුරාවට මෙම විල සිඳී පැවැතිණි. කෙසේ නමුත්, පසුගිය දා මහ වැස්සත් සමග වසර 50කට පසු ඉරිකී විල පිරී ඉතිරී ගියේය. මහ වැස්සත් සමග වැලි කඳු අතරින් ගලා ආ ජල පහරෙන් විල නිර්මාණය වන ආකාරය නාසා ආයතනය උඩු ගුවනේ රඳවා ඇති පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවල පවා පැහැදිලිව සටහන් විය. 

“ඉතාමත් කෙටි කාලයකදී, මොරොක්කෝවට මේ ආකාරයට මහ වර්ෂාවක් ඇදහැලීම ඇත්තටම පුදුමයක්. එය අනපේක්ෂිත දෙයක්” යැයි මොරොක්කෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හුසීන් යුබේබ් පැවැසීය. කාන්තාර ප්‍රදේශවලට හිටි හැටියේ ඇදහැලෙන මෙවැනි මහ වැසි කාලගුණ විද්‍යාඥයන් හඳුන්වන්නේ, ‘නිවර්තන කලාපීය මහ කුණාටු’ යනුවෙනි. ‘නිවර්තන කලාපීය මහ කුණාටු’ කාලගුණ පෙරැළියක් බව ද පැවැසෙයි.

මෙම කාලගුණ පෙරැළිය, මොරොක්කෝව අයත් කලාපයේ වාතයේ වැඩි තෙතමනයක් රඳවා ගැනීමට සමත් වනු ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී තව තවත් මෙම කලාපයේ, ‘නිවර්තන කලාපීය මහ කුණාටු’ නිර්මාණය වනු ඇති බවත්, හුසීන් යුබේබ් වැඩිදුරටත් පැහැදිලි කර දෙයි.

විපරිත වුවත්, ඇදහැලු‍ණු මහ වැස්ස සහරා කාන්තාරය අද්දර, මොරොක්කෝවේ ගම්මානවල වැසියන්ට එක්තරා විදිහකට ආශීර්වාදයක් විය. එම ගම්මානවල වැසියන්ට ජලය ලැබෙන භූගත ජල දහරා පිරී ගියේය. ජල අවශ්‍යතා සපුරන කලාපයේ ඇති කුඩා ජලාශ සහ කුඩා වේලි වාර්තාගත මට්ටමකින් පිරී ගියේය. එසේ වුවත්, මෙම කලාපය සදාකල් මුහුණ දෙන වියළි කාලගුණය සහ නියං තත්ත්වය වෙනස් කිරීමට මෙම වැස්ස සමත් වන්නේ නැතැයි හුසීන් යුබේබ් පෙන්වා දී ඇත.

හිටිහැටියේ ඇදහැලු‍ණු මහ වැස්ස ජීවිත පවා බිලිගත්තේය. 

ඒ, මහ වැස්සත් සමග හටගත් සැඩ ජල පහර ප්‍රචණ්ඩ ලෙස අනපේක්ෂිත අයුරින්, වැලි කඳු සහ වැලි තට්ටු අතරින් ක්ෂේම භූමිවලට ගලා යද්දීය. මොරොක්කෝ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 20 දෙනකුට දිවි අහිමි වුණු බවය. ඊට අමතරව, මහ වැස්ස සහ ජල ගැලීම් වගා හනි කළේය. ගොවීහු අසරණ වූහ. හදිසි සහන අරමුදල් වෙන් කිරීමට මොරොක්කෝ සහ ඇල්ජීරියා රජයට සිදු විය. 

ගෝලීය උණුසුම ඉහළ යෑම සහ කාලගුණ විපර්යාස හේතුවෙන් පෘථිවිය, විපරිත කාලගුණ තත්ත්වයන්ට මුහුණ දෙන බවත්, ඉදිරියේදී මෙවැනි අසාමාන්‍ය කාලගුණ තත්ත්වයන් දිගින් දිගට අපේක්ෂා කළ හැකි බවත්, මොරොක්කෝවට ලැබුණු මහ වැස්ස සම්බන්ධයෙන් ජගත් කාලගුණ විද්‍යාඥයන් අදහස් පළ කර ඇත. ගෝලීය උණුසුම වාර්තාගත ලෙස ඉහළ යෑමට පටන්ගෙන ඇත්තේ, මිනිස් ක්‍රියාකාරකම් නිසා යැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

පෘථිවි උෂ්ණත්වය මේ අයුරින් වාර්තාගත ලෙස ඉහළ යෑමට හේතුවක් වී ඇත්තේ, පොසිල ඉන්ධන (ගල් අඟුරු, තෙල් සහ ස්වභාවික වායු) දහනය සහ හරිතාගාර වායු පරිසරයට මුදාහැරීමය. සංඛ්‍යා ලේඛන අනුව, පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑම ක්‍රමයෙන් වර්ධනය වූයේ ජනගහනය වැඩි වීමත්, කාර්මීකරණයත් නිසාය. පොළොවේ පොසිල ඉන්ධන නිර්මාණය වීමට ගත වන කාලය වසර මිලියන 50ත් 300ත් අතර යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කර ඇති අන්දමට, ගෙවී ගිය වසර 125ක කාලය ඇතුළත, පොළොවෙන් ලබාගත් පොසිල ඉන්ධනවලින් හරි අඩකට වඩා ප්‍රයෝජනයට ගෙන එසේත් නැති නම් දහනය කර අවසන්ය. පෘථිවියේ විපරිත කාලගුණ පෙරැළි නිර්මාණය වීමට ප්‍රධාන හේතුව, පොසිල ඉන්ධන දහනය සහ හරිතාගාර වායු පරිසරයට වැඩියෙන් මුසු වීමය. කාන්තාරවලට මහ වැසි ඇදහැලීම, ළැව් ගිනි හටගැනීම, ග්ලැසියර දිය වීම ආදිය ගෝලීය උණුසුම ඉහළ යෑමේ ඵලවිපාකය. 


  • ලු‍සිත ජයමාන්න

       සී.එන්.එන්. ඇසුරිනි