වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ ඔවුනොවුන් කුළල් කා ගැනීම්, චරිත ඝාතන සහ පසුපසින් පැමිණ පිහියෙන් ඇනීම් වැනි දෑ සුලබය. ඒ අතරින් චරිත ඝාතනවලට ලැබී ඇත්තේ ඉහළ තැනකි. වර්තමානයේ අප අතර සිටින බොහොමයක් දේශපාලනඥයන් එවැනි දෑ සඳහා පෙලඹී සිටින්නේ තමන්ට ඉහළින් සිටින පුද්ගලයා කපා දමා ඔහුගේ තැන තමන්ට හිමි කරගැනීමේ දුෂ්ඨ චේතනාවෙනි.
1978 වසරේදී ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මෙරටට හඳුන්වා දෙන ලද දිස්ත්‍රික් සමානුපාතික මැතිවරණ ක්‍රමයත්, ඊට අනුබද්ධ මනාප ඡන්දයත් නිසා එම තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ.
එසේ වුව ද, මීට කලකට ඉහත විසු ශ්‍රී ලාංකික දේශපාලනඥයන් අතර එවැනි පහත් මට්ටමේ මානසිකත්වයක් නොපැවැතිණි. ඒ අනුව, එදා සිටි දේශපාලනඥයෝ තමන්ගේ ප්‍රතිවාදි දේශපාලනඥයන්ගේ පෞද්ගලික චරිතය පළුදු වන අන්දමේ අපහාස උපහාස කිරීමෙන් වැළකී සිටියහ. එපමණක් නොව, තමන්ගේ ගෝලබාලයන්ට පවා එවැනි දෑ නොකරන ලෙස උපදෙස් දී තිබුණහ.
ඒ අනුව, එකල පැවැති දේශපාලන පෙළපාළිවලදී අසන්නට ලැබුණේ වර්තමානයේ මෙන් අන්‍යයන්ගේ පෞද්ගලික චරිත අළලා කෙරෙන අපහාසාත්මක සටන් පාඨ නොවේ. අද මෙන් වෛවර්ණයෙන් මුද්‍රිත ඩිජිටල් පෝස්ටර් හෝ බැනර් ආදිය නොතිබුණ ද, අතින් ලියන ලද හෝ ගල් අච්චුවේ මුද්‍රණය කළ තත්කාලීන මැතිවරණ පෝස්ටර්වල සඳහන් වූයේ උපහාසාත්මක සටන් පාඨයන්ය. නැතහොත් සරල යෙදුම්ය.
එකල ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූ එක් පෝස්ටරයක සඳහන් වූයේ “ඩඩ්ලිගෙ බඩේ - මසල වඩේ” යනුවෙනි.
“බණ්ඩ එරිලා බාස මඩේ - පිලිප් එරිලා හාල් ගොඩේ” යනුවෙන් වූ පෝස්ටරය රටේ බොහෝ පළාත්වල අලවා තිබුණේ එක්සත් ජාතික පාක්ෂිකයන් විසිනි.
ඒ දිනවල එක්සත් ජාතික පාක්ෂිකයන් හැඳින්වීමට යොදා ගත් ප්‍රකට යෙදුමක් වූයේ “බත් ගොට්ටන්”ය. එහෙත්, එදා සිටි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ ගැන අමනාප නොවූහ.
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. එස්. සේනානායක මහතාට “කැලෑ ජෝන්” යැයි කියමින් වාමාංශිකයන් ඔහු උපහාසයට ලක්කරද්දී, ඩී. එස්. ඒ ගැන උරණ නොවීය. එකල ඇතැමෙක් බණ්ඩාරනායක මහතාට “සෙවල බණ්ඩා”යි කියමින් සිනාසුණහ.
ල.ස.ස.ප. නායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාට ඇතැමකු කියා සිටියේ “තොටළඟ මාටියා” යනුවෙනි. නැතහොත් “පරිප්පුවා”ය. එහෙත්, ප්‍රතිවාදින් තමන් හැඳින්වීමේදී යොදන එම උපහාසාත්මක යෙදුම් ගැන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සිනාසෙමින් අසා සිටියේය. තමන්ට යූ.ඇන්.පී.කාරයන් “පරිප්පුවා”යි කීම ගැන ඔහු උද්දාමයට පත්වූයේ තමන් රුවන්වැල්ලේ ජනතාව මැලේරියා උවදුරෙන් විපතට පත්ව සිටි අවස්ථාවේ ප්‍රදේශයේ ගෙවල් ගානේ යමින් පරිප්පු බෙදා දීමේ සිද්ධිය ප්‍රදේශවාසින්ගේ සිත් තුළ තවමත් රැඳී තිබෙන බව කියමිනි.
තවත් කාලයකදී එ.ජා.ප.යේ ආධාරකරුවෝ, සිරිමාවෝ මැතිනියට එරෙහිව “අනුර පුතේ උඹෙ අම්මා - අපේ කටේ පස් දැම්මා”යි කියමින් පෙළපාළි ගියහ. ඒ හැර එතුමියට පෞද්ගලිකව අපහාසයක් සිදු වන අන්දමේ කිසිදු සටන්පාඨයක් කීමට ඔවුහු නොපෙලඹුණහ.
ඔවුන් එදා එසේ කළේ දේශපාලන සදාචාරයට ගරු කරමිනි. එකල එ.ජා.ප. තරුණ පෙරමුණේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දිවංගත ජිනදාස නියතපාල මහතා “පරිපඨනය” නමැති තම ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබෙන අන්දමට ඔහු ද එවකට සිටි එ.ජා.ප. නායක සහ හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගෙන් වරක් බඩ පුරා බැනුම් ඇසුවේය. ඒ, ‘සියරට’ පත්‍රයේ පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙනි.
“ඒක 1960-65 අතර කාලයේ වෙච්ච සිද්ධියක්. ඒ කාලේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කොහේදෝ රැස්වීමකදී කියලා තිබුණා ‘මමත් ගමක ඉපදුණු කෙල්ලක්’ය කියලා. මේ කාලයේදීම මට කොහෙන් හරි හම්බ වුණා සිරිමාවෝ මැතිනිය තරුණ කාලේ ඉඳිකොළ තොප්පියක් දාලා අව් කණ්ණාඩියකුත් පැලඳගෙන ඉන්න ඡායාරූපයක්. එතකොට මම තමයි ‘සියරට’ පත්තරේ කර්තෘ. සියරට කියන්නේ එ.ජා.ප.යේ නිල පුවත්පත. මම ඒ ඡායාරූපය සියරට පත්තරේ මුල් පිටුවේ ට්‍රිපල් කොලම් බොක්ස් එකක් හැටියට පළකෙරුවා ‘ගමේ කෙල්ලක් මං’ කියන කැප්ෂන් එකත් එක්ක.”යි කියන ජිනදාස නියතපාල මහතා, එම ස්වයං ලිඛිත චරිතාපදානයේ සඳහන් කර තිබුණේ, එවකට එ.ජා.ප. නායක ධුරය ඉසිලූ ඩඩ්ලි සේනානායක මහතාගෙන් එදිනම තමන්ට කැඳවීමක් ලැබුණු බවය.
“එකත් එකටම අර පින්තූරය ගැන ලොක්කට ජොලියක් ගිහින් වගෙයි. ඒ ගැන ඇප්‍රිෂියේට් කරන්න වෙන්න ඇති මට එන්න කියල තියෙන්නේ”යි සිතූ නියතපාල මහතා, එවකට කොල්ලුපිටියේ පිහිටි පැරැණි සිරිකොත මන්දිරයේ පක්ෂ නායකයාගේ නිල මැදිරිය තුළට ඇතුළු වූයේ බලවත් උද්‌යෝගයකිනි.
ඒ සමඟම ඔහුට පෙනුණේ එදින නිකුත් වූ ‘සියරට’ පත්‍රයත් අතට ගෙන තමා එනතුරු බලා සිටින ඩඩ්ලි සේනානායක මහතාය. තම කාමරය තුළට ආ නියතපාල දුටු විගස පක්ෂ නායකයා පරළ වූ දේවාල කපුවකු මෙන් ඔහුට ඉංග්‍රීසි බසින් බැණ වැදුණේය.
“නියතේ මොකක්ද අයිසේ මේ පත්තරේ දාපු පින්තූරය. එතුමිය මේ රටේ වැදගත් කාන්තාවක් නේද? අනිත් එක, රටේ රාජ්‍ය නායිකාව. ඇයි මේ තරුණ කාලෙ ගත්තු පින්තූරයක් දමලා එතුමියට අපහාස කරන්නේ? ඔහොම ද රටේ වැදගත් දේශපාලන පක්ෂයක් හැටියට සාරධර්ම රකින්නේ”යි අසමින් විනාඩි කිහිපයක් එක දිගට බැණ වැදුණු ඩඩ්ලි සේනානායක මහතා, අනතුරුව තරමක් සන්සුන් වී මින් ඉදිරියට මෙවැනි ඡායාරූප පළ කිරීමට පෙර තමන්ගෙන් විමසන ලෙස ඔහුට තරයේ අවවාද කළේය. ලොක්කාගේ හැටි දැන සිටි නියතපාල මුවින් නොබැණ ඔළුව වැනුවේය.
ඒ, මීට පනස් වසරකටත් පෙර මෙරට පැවැති දේශපාලන සදාචාරයේ එක් පැතිකඩකි. එහෙත්, මේ වන විට මෙරට දේශපාලනඥයන් අතරත්, මාධ්‍යකරුවන් අතරත් මෙවැනි දේශපාලන සදාචාරයක් පවතින්නේ දැයි මඳක් සිතා බැලිය යුතුය.
නිහාල් ජගත්චන්ද්‍ර