සුදු පන්දුවෙන් රතු පන්දුවට



ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්තය හමුවේ තරගාවලි ජයක් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ දී හෝ ඉන් පිටතදී නවසීලන්තය පරදා එක්දින තරගාවලි ජයක් ශ්‍රී ලංකාව ලබන්නේ 2012 වර්ෂයෙන් පසුවය. 1983 සිට ඇරඹෙන ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරග ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබුණේ තරගාවලි තුනක් පමණි. එහෙත් 1984, 1997, 2006 සහ 2013 තරගාවලි සමකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබුණි. 

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ මෙය පළමුවරට ශ්‍රී ලංකාව 2-0 ක ජයක් ලබාගත් අවස්ථාවවීමයි.  තෙවැනි තරගය වැස්සට හේදී ගියේය. එහෙත් එම තරගයේ දී නවකයන් කිහිප දෙනෙකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව කටයුතු කිරීමෙන් පෙනී යන්නේ අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාව දීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවයි. මේ සියල්ල අනුව, සාර්ථක තරගාවලියක් නිමා කළා යැයි කීමට හැකිය. 

සමස්ත තරගාවලිය පුරා කුසල් මෙන්ඩිස් පිතිකරුවෙකු ලෙසත්, මහීෂ් තීක්ෂණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසත් දැක්වූ දස්කම් කැපී පෙනුනි. මෙන්ඩිස් සම්බන්ධයෙන් තිබූ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහු සමත් වුවද, පසුගිය සතියේ කියූ ආකාරයෙන්ම ඔහුට නැවත හැරීමක් නැත. දැන් ඔහු දිගින් දිගට ලකුණු ලබාගත යුතුව තිබේ. මහීෂ් තීක්ෂණ එක්දින කණ්ඩායමේ බර අදින ක්‍රීඩකයෙකු වී තිබීම සතුටට කරුණකි. නිරන්තරයෙන් ඉගෙන ගන්නා මහීෂ්, පළමු තරගයේ දී තීරණාත්මක කඩුළු දවාගනිමින් මෙන්ම විශිෂ්ට උඩපන්දුවක් රැක ගැනීමෙන් ද තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරෙව්වේය. දෙවැනි තරගයේ දී කුසල් මෙන්ඩිස් සමග 8 වැනි කඩුල්ලට ලකුණු 47 ක් එක් කරමින්, ගිලිහෙමින් තිබූ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ගෙන දුන්නේය. එම ඉණිමේ දී තීක්ෂණ පන්දුවට පහරදුන් ආකාරය, පරිණත පිතිකරුවෙකුගේ ලක්ෂණ පෙන්වීය. පසුගිය කොදෙව් තරගාවලියේ මෙන්ම, මේ තරගාවලියේ දී ද අපට දැක ගත හැකි වූ ප්‍රධාන සිදුවීමක් වූයේ, චරිත් අසලංකගේ නායකත්වයයි. අසලංක පිතිකරුවෙකු ලෙස සාර්ථක වෙන අතරම, නායකයෙකු ලෙස ගන්නා තීරණ කණ්ඩායමට දැඩිව බලපෑම් කරමින් තිබේ. ඔහු තව දුරටත් නිවැරදි කර ගත යුත්තේ, පන්දු යැවීමේ දී ඔහුගෙන් අතිරේක ඕවරයක් අවශ්‍යද නැද්ද යන තීරණයයි. එය අත්දැකීම් සමග ඔහුට ලැබෙනු ඇත. 

ලෝක කුසලානයේ පෙන්වූ අසාර්ථකත්වයෙන් පසුව, ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවී ගිය වසරක කාලයේ දී, එනම් සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව සාර්ථක කණ්ඩායමක් වී සිටිති. කුසල් මෙන්ඩිස් ගේ නායකත්වය යටතේ, සිම්බාබ්වේ හමුවේ 2-0 ක් සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවේ දී තරගාවලි ජය වාර්තා කළ ශ්‍රී ලංකාව, බංග්ලාදේශයේ දී 2-1 පරාජයක් ලැබීය. මීට සමගාමීව කුසල්ගේ පිතිකරණ හැකියාවද පහළ වැටීම නිසා, කුසල් වෙනුවට අසලංක නායකත්වයට පත්කෙරුණේ මේ වසරේ අගෝස්තුවේ දීය. එයින් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දියාවට එරෙහිව 2-0  ජයක්ද, බටහිර ඉන්දීය කොදෙව්වන්නට එරෙහිව 2-1 ක ජයක්ද, නවසීලන්තයට එරෙහිව 2-0 ක ජයක්ද ලැබීමට ශ්‍රී ලංකාවට හැකිවිය. මේ සියලු ජය, ශ්‍රී ලංකාවේ දී ලැබූ ජයග්‍රහණ ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ දී හෝ තරගයක් ජයගැනීමට නොහැකි ලෙස පහළටම වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, මේ අයුරින් හෝ ජයගැනීම කණ්ඩායමක් ලෙස විශ්වාසය වැඩි කරන්නක් වන අතර, ප්‍රේක්ෂකයන්ට කණ්ඩායම ගැන විශ්වාසය ඇති කරන්නක් වෙනු ඇත. 

මේ වෙනවිට, ශ්‍රී ලංකාවට ඇති චෝදනාව වෙන්නේ, දඟ කැවෙන තණතිලි නිර්මාණය කරගෙන තරග ජයගන්නා බවයි. ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමට සමත් වූ කණ්ඩායමක් සම්බන්ධයෙන් එතරම් බරපතල විවේචනයක් තිබීය නොහැකිය. ඉන්දියාවට නවසීලන්ත දඟපන්දු යවන්නන්ටද මුහුණ දීමට නොහැකි වූ බව වෙනම කතාවකි. එහෙත් ඉන්දියානු එක්දින කණ්ඩායම සිටින තත්ත්වය අනුව මෙය සුවිශේෂ ජයග්‍රහණයකි. මේ නිසා ‘කුඹුරු’ හදා තරග ජයගන්නා බවට කෙරෙන චෝදනාව සම්පූර්ණයෙන්ම බාර ගැනීමට නොහැකිය. ඉන්දියාව පිතිකරුවන් වෙනුවෙන්ම තණතිලි හදද්දී, ඔස්ට්‍රේලියාව පාකිස්ථානයට එරෙහිව වේගවත් තණතිලි හදා එහි අයහපත් ප්‍රතිඵල භුක්ති විඳිද්දී, තමන්ගේ රටේ දී ජයගැනීමට තණතිලි නිර්මාණය කරගන්නවා යැයි කෙරෙන චෝදනාව ප්‍රතික්ෂේප කළ හැකි එකක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ දී ද නවසීලන්තය සුවිශේෂ දක්ෂතා දැක්වීය. 

මීළඟට දෙසැම්බර් අගදී ශ්‍රී ලංකාව නවසීලන්තයේ දී මුහුණ දෙන තරගවලදී කෙසේ දස්කම් දක්වනු ඇතිද යන්න මත, ශ්‍රී ලංකා සුදු පන්දුවේ කණ්ඩායමේ හැකියාවට තක්සේරුවක් දිය හැකිය. ශ්‍රී ලංකාව ටෙස්ට් කණ්ඩායමක් ලෙස මුහුණ දෙන දරුණුම අභියෝගයට නොවැම්බර් 27 දා සිට මුහුණ දෙයි. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දීය. නොවැම්බර් 27 දා ඩර්බන් පිටියේ දීත්, දෙසැම්බර් 05 ද පෝට් එළිසබෙත් හිදීත් ශ්‍රී ලංකාව වේග පන්දුවට මුහුණ දෙනු ඇත. එංගලන්තයට එරෙහි තරගාවලියේ පැවති තෙවැනි ටෙස්ට් තරගය, මඳ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතාවෙන් ශ්‍රී ලංකාව ජයගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් මේ තරගාවලියේදී දකුණු අප්‍රිකානු අධිවේගී පන්දු යවන්නන්ට මුහුණ දෙනු ඇත. ඒ, දෙවැනි ටෙස්ට් තරගය පැවත්වෙන්නෙ, කෙබේහා හි සෙන්ඩ් ජෝජර්ස් පාක් ක්‍රීඩා පිටියේදීය. මීට පෙර පෝට් එළිසබෙත් හි සෙන්ට් ජෝජර්ස් පාක් ලෙස හැඳින් වූ ක්‍රීඩා පිටිය දැන් හැඳින්වෙන්නේ කෙබේහා හි සෙන්ට් ජෝර්ජස් පාක් ලෙසයි. 

මේ තරග දෙකම පැවැත්වෙන්නේ 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ ක්‍රීඩා පිටි දෙකේය. මේ නිසා ශ්‍රී ලංකාවට මේ තරගාවලිය ගැන දැඩි විශ්වාසයක් ඇතුවාට සැක නැත . ලෝකයම අදත් කතාකරන ටෙස්ට් තරගයක් වන 2019 ඩර්බන් ටෙස්ට් තරගයේ වීරයන් දෙදෙනා කුසල් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දුය. කුසල් එදා පළමු ඉණමේ ලකුණු 51 ක් සහ දෙවැනි ඉණිමේ නොදැවී ලකුණු 153 ක් රැස් කරමින් ඒ ඉතිහාසගත ජයග්‍රහණයට දායක විය. විශ්ව, ඉණිම් දෙකේදීම කඩුළු 4 බැගින් ලබමින් ද තරගයේ සිව්වැනි ඉණිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් කුසල් පෙරේරා සමගින් ලකුණු 78 ක සම්බන්ධයක් පවත්වමින් ද තරගයේ ජයග්‍රහණයට සම්මාදම් විය. මෙවර එවැනි පෙරළියක් ඇතිව හෝ නැතිව, ජයග්‍රහණයක් සොයා යෑමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවට තදින් තිබේ. එයට හේතුව වෙන්නේ, මේ තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවයේ ලකුණු සටහනට බලපෑම් කරන තරග දෙකක් වීමයි. මේ නිසා ශ්‍රී ලංකාව මේ තරග දෙකෙන් එකක් ජයගැනීම අත්‍යවශ්‍යයි. අනෙක් අතින්, විදේශයකදී තරග ජයගත් ක්‍රීඩා පිටි දෙකක් නැවත ලැබීමද ශ්‍රී ලංකාවේ වාසනාවකි. මේ වාසනාව උපරිමයෙන් පාවිච්චි කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වගකීමයි. මෙහිදී, අප අමතක නොකළ යුත්තේ, 2019 දී සාර්ථක වුවද 2020 දී දකුණු අප්‍රිකාවේ දී 2-0 ක දරුණු පරාජයක් ශ්‍රී ලංකාව අත්කරගත් බවයි. 

දකුණු අප්‍රිකාව පසුගිය වසර දෙකේ දී සහභාගී වී ඇත්තේ ටෙස්ට් තරග 13 කට පමණි. එයින් දකුණු අප්‍රිකාවේ දී ක්‍රීඩා කර ඇත්තේ තරග 4 ක් පමණි. ඒ ඉන්දියාවට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහිව තරග දෙක බැගිනි. එයින් කොදෙව්වන්ට එරෙහිව 2-0 ක් සහ ඉන්දියාවට එරෙහිව 1-1 ක් ලෙස තරගාවලි නිමා වී ඇත. මේ නිසා බැලූ බැල්මට ඔවුන්ගේ ටෙස්ට් පුහුණුව දුර්වලය. තවත් කරුණක් වෙන්නේ, ඔවුන් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 4 කොදෙව් දූපත් හා බංග්ලාදේශයේ දඟ කැවෙන තණතිලිවල පවත්වා ඇති බවයි. මේ නිසා පුහුණුවේදී දකුණු අප්‍රිකාව ඉදිරියෙන් නැත. 

කෙසේ වුවද වේගවත් තණතිලිවල කගීසෝ රබාඩා, ඩෑන් පැටර්සන්, වියාන් මොල්ඩර් යන තිදෙනා ක්‍රීඩා කිරීමට ඇති ඉඩ වැඩිය. බොහෝ විට, මාකෝ යන්සෙන් සිව්වැනි වේග පන්දු යවන්නා විය හැක්කේ මෝල්ඩර් සහ යන්සෙන් යන දෙදෙනාම හොඳ පිතිකරුවන් නිසාය. මහරාජ්, ඩර්බන් පිටියේ පැවති අවසන් ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශය සමතලා කළේ සිව්වැනි ඉණිමේ  ලකුණු 32 කට කඩුළු 7 ක් ලබමිනි. මේ නිසා අප ජයග්‍රහණය කළ පිටියක් වුවද, වුවමනාවට වඩා විශ්වාසයෙන් ක්‍රීඩා කිරීම අපට පාඩුවකි. මෙය ඉතා හොඳින් වටහාගෙන ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ යුතුවෙයි. විශේෂයෙන්ම, ඒඩ්න් මාක්‍රාම් ලකුණු සොයමින් සිටියි. ටෙම්පා බවුමා ලකුණු සොයමින් සිටියි. කයිල් වරේන් රිද්මයේ සිටියි. මේ තිදෙනාම තරග වෙනස් කරන පිතිකරුවන්ය. ඔවුන් මෙල්ල කිරීම විශ්ව, මිලාන් සහ අසිත යන තිදෙනාගේ කාර්යයකි. අමතක නොකළ යුත්තේ, මේ පිටියේ දී තනි දඟ පන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කරයි නම්, නිෂාන් පීරිස් වැඩි බලපෑමක් කිරීමට ඇති ඉඩ වැඩි බවයි. එහෙත් තෝරා ගැනීමේ දී වඩාත් පළපුරුදු ප්‍රභාත් ජයසූරිය ඉදිරියෙන් සිටියි. එහි අදහස, ධනංජය ද සිල්වාගේ පිට දඟ පන්දු යැවීම අත්‍යවශ්‍ය බවයි. 

එංගලන්ත සංචාරයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවල් තරගය ජයගනු ඇතැයි යන විශ්වාසය බොහෝ දෙනෙකුට දැඩිව තිබුණි. එහෙත් තරගයේ ජය ගෙනාවේ දඟ පන්දු යවන්නෝ නොවෙති. මේ තරගයේ දී වේග පන්දු යවන්නෝ යමක් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් මේ තරගය දෙවැනි ඉණිමේ දී දඟ පන්දු යවන්නන් වෙනස් කරන තරගයක්වීමට ද ඉඩ නැතුවා නොවේ.  


කාංචන දසනායක