සුබවාදීව සිතීමයි වැදගත්ම - හිරුෂි ජයසේන



වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර තිබේ. රැඟුම, ගැයුම, වැයුම, නැටුම, නිවේදනය මේ ආදී සියල්ලටම ඇය දක්ෂ මෙන්ම ඒ සියලුම අංශ පිළිබඳ හදාරා දැනුම ලැබූ ශිල්පිනියකි. මේ සියලු හැදෑරීම්වලට අමතරව මනෝවිද්‍යාව පිළිබඳවද මනා පරිචයක් ඇති ‘‘හිරුෂි ජයසේන,  නම් සුරූපී ශිල්පිනිය ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නේ ‘‘සිරස ද වොයිස් ශ්‍රී ලංකා’’ විනිශ්චයට එක්ව සිටින නිසාය. බාහිර ලස්සනට එහා ගිය ඇතුළාන්තයන් හරයක් ඇති, හිරුෂි තාරුණ්‍යයට පවසන මේ අදහස් ඔබට වැදගත් වන්නේ කෙසේදැයි බලන්න. 

  • හිරුෂි, කොහොමද මේ දිනවල වැඩකටයුතු එහෙම?

අලුත් ගීත නිර්මාණ කීපයක් එළිදක්වන්න සූදානම් වෙනවා. ඒ අතරේ, සිරස ද වොයිස් සීසන් - 3 වෙනුවෙන්, මේ සැරේ එහි කෝච් කෙනෙක් (විනිශ්චය ලබාදෙන ශිල්පිනියක) ලෙස කටයුතු කරනවා. ඒ වැඩ එක්ක මේ දිනවල කාලය වැඩිපුර ගෙවෙන්නෙ.

  • හිරුෂි, මේ වනවිට අධ්‍යාපනයේ බොහෝ කඩඉම් පසුකර, අඩු වයසින් උපාධි ලබාගෙන තිබෙනවා. ඒ ගමන සපුරා ගන්න මොන විදිහට ද කැප වුණේ? 

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම ප්‍රවේශ වුණේ අවුරුදු 16 දී. විද්‍යා අංශයට තමයි මුලදී කැමැත්ත තිබුණෙ. පසුව මල්ටිමීඩියා සහ ආර්ට් පැත්තට යොමු වෙන්න පටන් ගත්තා. ව්‍යාපාර අංශයෙන් මගේ මාස්ටර්ස් උපාධිය ගත්තෙ. මෑතකදී මට ආරාධනාවක් ලැබුණා, හොලිවුඩයට ගිහින්, එහි සරසවියක රංගනය පිළිබඳ හැදෑරීමට. ඒ ආසාව ඉස්සර ඉඳලම මට තිබූ දෙයක්. ස්ටොරි ටෙලින් හෙවත්, කතා කීමේ කලාව ඉගෙන ගන්න මට තිබුණෙ ලොකු උනන්දුවක්. ඒ වෙනුවෙන් වසරක පුහුණුවක් ලැබුවා. ඒ ඔක්කොම ගත්ත සහතික බිත්තිවල එල්ලගෙන සිටීමට වඩා, තමුන් අවංකවම ඉගෙනීමට ඇති කැමැත්තෙන් කැප වුණොත් ප්‍රතිඵල ලබන්න පුළුවනි.

  • රඟපානවා, ගයනවා, නිවේදනය කරනවා, මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටිනවා, මේ ඔක්කෝම කරන්න කාලය හදා ගත්තෙ කොහොම ද? 

කලාකාරියක ලෙස කටයුතු කිරීමේ අරමුණ අතරම සංගීතය සහ කලාවට වැඩි කැපවීමක් කළ යුතු නිසා මාධ්‍යයෙන් ඉවත් වුණා. හැබැයි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත දේ බොහෝමයි. මම නර්තනයත් කළා. ඒවා එකිනෙකට සමාන්තරව යන විෂයයන්. ඒ අතරේ මනෝවිද්‍යාව ගැනත් හැදෑරුවා. ඒ විෂය ජීවිතයට වටිනවා. ගායන ශිල්පිනියක ලෙස දැන් යන ගමනට ඒ සියල්ල වටිනාකමක් ලබාදී තිබෙනවා. 

  • 2025 මොන වගේ වසරක් වේවි ද? තරුණ පිරිස් ඒ අවුරුද්ද මොන විදිහට ගත කළ යුතුය කියල ද හිතන්නෙ? 

තමන් කවුද කියන වග අංවකවම හඳුනාගෙන කටයුතු කිරීම වැදගත්. සමාජය බැරියර්ස් දාලා තියෙන බව සැබෑව. ඒ අනුව අපි හැඩ ගැසීම හොඳ බව ඇත්ත. ඒත්, තමන් ව්‍යාජ රඟපෑමක්, මවාගෙන ජීවත්වීමක් කළ යුතු නැහැ. 

යමක් රඟපාලා කරද්දී ඒක සමාජය දකිනවා. මම නම් කැමති, මිනිස්සු සතුටු කරවමින්, එයාලට දිරියක් වෙමින් ගත කරන්න. හිනාවෙලා, විහිළුවක් කරගෙන ඉන්න කැමතියි. මානසික ශක්තිය සහ බාහිර ලස්සන පෙනුමට එය වඩා හොඳයි. වෙනස්වීමේ ස්වභාවය තේරුම් ගෙන ජීවත්වීම වැදගත්. වෙනස්වීමට අපි බිය විය යුතු නැහැ. ජීවිතය කොතැන වෙනස් වුණත්, තමා කෙරෙහි විශ්වාසයක් තබා ගන්න පුළුවන් නම්, එය හරි වටිනවා. ඇතුළාන්තයෙන් ඒ විශ්වාසය හදා ගත්තාම බාහිරව එය පෙනෙනවා. ඒ වගේම මිනිසකුට ආධ්‍යාත්මික වශයෙන්, දැක්මක් තිබීමත් වැදගත්. 

ඔබට තිබෙන්නේ මහා ලොකු දක්‍ෂතාවක් නොවෙන්න පුළුවන්. ඒත් දක්‍ෂතාවයක් තිබේ නම්, යමක් ගැන ඉගෙන ගන්න කැමති නම්, ඒ ගැන හැදෑරීමට අද තියෙන අවස්ථා බොහෝමයි. සුබවාදීව හිතන්න අවශ්‍ය කරන ප්‍රධාන දේ වන්නෙ, තව කෙනෙක්, ඔබට සලකන විදිහ ගැන හිතලා ඔබගේ වටිනාකම තීරණය කරන්න එපා. එක එක්කෙනා බලන විදිහ වෙනස්. දහදෙනෙක් අතරින්, එක්කෙනෙක් නරකක් කරද්දී, ඒ ගැන හිතන්න එපා. තමන්ගේ දේ තමන් දකින විදිහ අනුව පවත්වාගෙන යන්න. 

  • ‘‘හිරුෂි’’ 2025 මොන විදිහට අරඹන්න ද සැලසුම් කරලා තියෙන්නෙ? 

ගීතයක් නිර්මාණය කළත් මම ඒක බලහත්කාරයෙන් කරන්න නැහැ.  නියම අදහස එනකල් මම බලහත්කාරයෙන් එය නොකරන්නෙ එතකොට ඒ නිර්මාණය ලස්සන නොවන නිසයි. වැඩ ගැන අදහසක් මට තියෙනවා. හැබැයි ඒ වැඩ මත්තෙම හිතලා අනවශ්‍ය පීඩනයක් දරන්න කැමැති නැහැ. මේ වසර සංගීත කටයුතු එක්ක සුබ මොහොතින් පටන් ගන්න සූදානමින් සිටින්නෙ. ‘‘වොයිස් ශ්‍රී ලංකා’’ සමග ඒ ළමයින් එක්ක අලුත් ගමනක් යන්න, ලස්සන ගමනක් යන්න සූදානමින් ඉන්නෙ.

  • රියැලිටි වැඩසටහනක එනම්, සිරස ද වොයිස් විනිශ්චයට එක්වූ ශිල්පිනියක්, ඒ ගැනත් කතා කරමු?

ඒ අවස්ථාව ලැබීම ලොකු සතුටක්. රයිනි, සුපුන්, මිහිඳු යන අනෙක් විනිශ්චය කරන ශිල්පීන් සමග ලිලාන්, විරාජ් ඇතුළු නිෂ්පාදන කණ්ඩායම එක්ක කරන මේ ‘‘ද වොයිස් ශ්‍රී ලංකා’’ ලොකු වෙනසක් වේවි. මෙම වැඩසටහන තරග කරන ලංකාවේ සතර දෙසින් පැමිණ සිටි යෞවනය ඉදිරිපත් කරන ගීත ගැයූ ඒ ගීතවල හිමිකරුවන් වන ප්‍රවීණයින්ට කාතෘ භාග ගෙවීම මෙහිදී සිදුවෙනවා. තරගකරුවන් තෝරා ගැනීමේදී අපි අපේ උපරිම සාධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව උපරිම දක්‍ෂ පිරිසක් හෙට සංගීත ක්ෂේත්‍රයට බිහිවේවි. 


 සඳුන් ගමගේ
Location & Creations: Lassana Flora