ලුතිතන් නිශාන්ත සමරරත්න (වම්පස)
දෛනික රාජකාරියට යනෙන ඕනෑම අයෙකුට ගෙවුණු දීර්ඝ සති අන්තය නම් ඉමහත් උද්දාමයට හා අස්වැසිල්ලට හේතුවක් වූවාට සැක නැත. විවේකීව හා විනෝදයෙන් ගත කිරීමට එම දින කිහිපය යොදා නොගත් අයෙක් සොයාගත නොහැකි තරම් ය. මෙම 2025 වර්ෂය උදාවත් සමගම පවුලේ සාමාජිකයින් හා නිවසින් පිට ගතකිරීම පිණිස මා ද එම නිවාඩු දින කිහිපය වෙන්කරන ලද්දේ - මාසයක පමණ සැලසුමකට පසුවය. ඒ අනුව එම නිවාඩුව ඇරඹී පළමු දිනයට එළිවත්ම අපගේ ගමනාන්තය ලෙස තෝරාගත් මඩකලපු වාලව්වේන ප්‍රදේශයේ පදිංචි හිතමිතුරකුට අයත් නිවාඩු නිකේතනය කරා අප පිටත් වූයේ බොහෝ සැහැල්ලුවෙනි. යක්කල, කුරුණෑගල, දඹුල්ල, හබරණ, පොලොන්නරුව මනම්පිටිය, මාදුරුඔය හන්දිය පසුකර වැලිකන්ද වෙත එදින පෙරවරුවේම ළඟාවූ අප එහි මඳක් නතර වූයේ දීර්ඝ ගමන් විඩාව මඟහරවා ගැනීම පිණිසමය.
වැලිකන්ද යනු දශක තුනක් ඉක්මවූ මාගේ වෘත්තීය ජීවිතය තුළ බොහෝ මතක ඉතිරි වූ තැනකි. විශේෂයෙන්ම යුද්ධය හා බැඳුණු එකී මතක එම ප්‍රදේශයට පය ගැසූ සැණින් මතුව ආවේ - දිය යට ලූ රබර් බෝලයක් පරිද්දෙනි. එවකට පැවති යුදමය පරිසරය තුළ 1990 දශකයේ වැඩිපුර කාලයක් මා ගතකොට තිබුණේම මඩකලපු ප්‍රදේශයේ බැවින්, වැලිකන්ද යනු එම යුද්ධ හා බැඳුණු සන්ධිස්ථානයක් බඳු නගරයකි.
සිංහල හා මුස්ලිම් වැඩි ප්‍රතිශතයක් ද තරමක දෙමළ ප්‍රජාව ද මිශ්‍ර වූ එහි ත්‍රස්තවාදයේ භීෂණය හමුවේ නිරන්තරව ගිනියම් ව පැවතිණි. නමුත්, එම අවිනිශ්චිත බව මධ්‍යයේ වුවද - ප්‍රදේශයේ මායිමට වන්නට පිහිටා තිබූ යන්තමින් හෝ සාමකාමී බවක් පැවති අවසන් නගරය ද එය විය. බඩු භාණ්ඩ මිලදීගැනීමට ද, තැපැල්, රෝහල් හා බැංකු කටයුතු සඳහා ද ප්‍රදේශයේ ගම්මාන රැසක පිරිසකට මෙන්ම පිටස්තර අයවලුනට ද පහසුකම් සැපයූ නැගෙනහිර ක්‍රියාන්විත පරිසරයට මායිම්ව පැවති එකම සක්‍රීය නගරය වූයේ වැලිකන්දය. විශේෂයෙන්ම අවි සහිත මෙන්ම රහිත හමුදා, පොලිස් හා ග්‍රාමාරක්‍ෂකයන් බහුලව ගැවසුණු එහි නිවාඩු යන ආරක්‍ෂක අංශ සාමාජිකයින් ද නිවාඩු ගොස් යළි පැමිණෙන අයගේ ද අතරමැදි නගරය ද විය. මාර්ග බාධක ද තැන තැන ඉදිකළ මුරකුටි ද මගින් සමස්ත එම නගරය ආශ්‍රිත ප්‍රදේශයම හමුදා කඳවුරක සිරිගෙන තිබුණේ යුද්ධයේ හැටි සොබා කියාපාමිනි.
ලුතිතන් නිශාන්ත සමරරත්න (වම්පස)
|
එලෙස එකී පෙර මතක අතරේ වැලිකන්ද නගරය පසුකොට මඩකලපු දෙසට ගමන් කරද්දී, වැලිකන්ද හන්දියේ දී මා සිත යළි අතීතයට දිව යන්නට වූයේ - මටත් නොදැනී ම ය. ඒ එවක පැවති යුදමය කාලසීමාවේ දී එහි ස්ථාපිතව තිබූ මාර්ග බාධකය සිහිවීමෙනි. වැලි දුහුවිලි පිරි බිමෙහි ගිනිගහන අව් රශ්මිය මැද එම මාර්ග බාධකය හමුවේ ඒ හරහා ගමන් ගත් සෑම අයකුටම අත්විඳින්නට සිදුවූ නේකවිධ අපහසුතා පිළිබඳ සිහිවෙද්දී දැනුදු දැනෙනුයේ විඩාවකි. මඩකලපුව දෙසට හා පොළොන්නරුව දෙසට යන සෑම වාහනයක්මත්, පා ගමනින් පැමිණි පුද්ගලයිනුත්, එවකට එහිදී තියුණු පරීක්‍ෂාවට ලක් කෙරුණේ එම කර්කශ පරිසරය තුළ තවදුරටත් ශාරීරික අපහසුතා ගෙන දෙමිනි. හිසේ සිට දෙපතුළට අතගාමින්, හැඳුනුම්පත් හා රූපකායන් සසඳමින්, පිළිවෙළට ඇසිරූ ගමන්මලු අතොරක් නැතිව ඇද දමමින් - පිරික්සමින්, යුද්ධය හා බැඳුණු කිසියම් ම හෝ හෝඩුවාවක් සොයන්නට එවකට එහි ආරක්‍ෂාවේ නිරත අයවලුන් ගත්තේ අසීමිත වෑයමකි. සාමාන්‍ය ජනතාවට එමගින් විඳින්නට වූ පීඩාකාරී බව තරම්ම එම මාර්ග බාධකවල රාජකාරී නිරත ආරක්‍ෂක අංශ සාමාජිකයින් ද බොහෝ අපහසුතා අත්විඳි බැව් කිසිවිට පිටතට නිරාවරණය නොවීය.
මෙලෙස තවදුරටත් මඩකලපුව දෙසට ඉදිරියට ඇදෙන වාහනයේ පැති කවුළුවෙන් ඉවත බලද්දී, යුදමය සමයේ එම පරිසරයේ සිදුවූ සුන්දර හා අසුන්දර මතක ගොන්නක් මැවී පෙනෙන්ට වූයේ චිත්‍රපටයක පරිද්දෙනි. නාමල්ගම, අසේලපුර, රුවන්පිටිය, මැණික්දෙණිය, රිදීතැන්න, කඩවතමඩුව, පූනානි ආදී ප්‍රදේශ එකිනෙක පසුකරමින් කාපට් ඇතිරූ සුවපහසු මාර්ගයේ අප වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. එහිදී, එලෙස පසුකරන සෑම ප්‍රදේශයක් පිළිබඳව ම 90 දශකයේ මා අත්විඳි යුද්ධය හා බැඳි සිදුවීම් වෙන් වෙන්ව ලියන්නට තරම් මතකයට නැගුණේ නිරායාසයෙනි. මේ අතර පූනානි දුම්රියපොළ පසුකර තවත් කිලෝමීටර් 6 ක් පමණ යත්ම - එක්තරා තැනක දී මා අතින් වාහනය නතර කෙරුණේ ඉබේට මෙනි. තද බෑවුමක් හා අවදානම් වංගුවක් සහිත වූ එම මාර්ග කොටස දකිත්ම එහි බොහෝ හුරුපුරුදු බවක් මා හට දැනෙන්නට විය. එය දශක තුනකට ආසන්න වූ නීරස සිදුවීමක් පිළිබඳ වූ මතකයකි. වර්තමානය වනවිට භෞතිකව එම පරිසරයේ වෙනස්කම් රැසක් සිදුව තිබුණ ද මාර්ගය අද්දරට වන්නට එ දවස දුටු කුඩා ගල්පරයක් ද ඊට සෙවණ සලස්වන්නට මෙන් වැඩී තිබූ රූස්ස ගසක් ද – අද ද එලෙසින්ම දැකගත හැකිවීම එම ස්ථානය පැහැදිළි ලෙස හඳුනාගන්නට මා හට පහසු විය. එලෙස මතුවූ එම අහඹු මතක ඔස්සේ මේ සටහන තබනුයේ යුදබිමේ දැවීම් තැවීම් කිසිදා කාලයත් සමඟ මකාලිය නොහැකි බැව් සනාථ කරමිනි.
ලුතිතන් නිශාන්ත සමරරත්න සිටි ඇනිකට් හන්දිය කඳවුරු ප්‍රදේශය එම කාලවකවානුවේ දිස්වූ අයුරු
1990 දශකය මැදභාගය මා මඩකලපු ප්‍රදේශයේ රාජකාරි කරන ලද්දේ 118 කිලෝමීටර් කණුව අසල වූ කඳවුරේය. එය පූනානි දුම්රියපොළ සිට මඩකලපුව දෙසට වන්නට කිලෝමීටර් 06 ක් පමණ ගියතැන පිහිටා තිබූ අතර ඉන් ඔබ්බට ද මහා මාර්ගයට යාව තැන තැන හුදෙකලා කඳවුරු රැසක්ම ස්ථාපිතව තිබිණ.
යාබද පිහිටි ඇනිකට් හන්දිය කඳවුරෙහි කඳවුරු භාර නිලධාරී වූයේ ලුතිනන් නිශාන්ත සමරරත්න ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ඔහු පදිංචිව සිටියේ කොළඹ රාජගිරියේය. වෘත්තිය තුළ ඉතා සමීප මිතුරකු වූ ඔහුට මා මෙන්ම සමකාලීන හිතවතුන් ඇමතුවේ “සමරේ” යන ආදරණීය වදනිණි. අපි දෙදෙනාම එකම දින යුද හමුදාවට බැඳී එකම පාඨමාලාවකට අයත්ව පුහුණුව ලැබ එකම ඒකකයක රාජකාරී කළ අය වීමු. එසේම, යාබඳ කඳවුරු දෙකක සිටි බැවින් එම හිතවත්කම් තවදුරටත් සවිමත් වූ අතර ක්‍රියාන්විත රාජකාරී මධ්‍යයේ වුව ඔහු හා මා නිරතුරුව මුණගැසුණි. එහිදී, පුද්ගලික ජීවිතවල බොහෝ තොරතුරු හුවමාරු කරගන්නා ලද අතර, සමරේ ගේ පෙම්වතිය පිළිබඳ කතාබස් කරන්නට ද ඒ සෑමවිටම ඔහු අමතක නොකළේය. ඒ වනවිට ඔහුගේ පෙම්වතිය ද කොළඹට ආසන්නව පදිංචිව සිටි අතර ඇය පුද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිටියාය. යුද හමුදාවට බැඳීමට පෙර සිටම පැවති දිගුකාලීන පෙම් සබඳතාවක් එලෙස දලුලා තිබුණි.
දිනක් ඇඳිරි වැටෙන්නට ආසන්න වේලාවක ලුතිනන් සමරේ මා සිටි කඳවුරට පැමිණියේය. ඒ දීර්ඝ නිවාඩුවක් අවසන ඔහු සිටි “ඇනිකට් හන්දිය” කඳවුරට යන අතරතුරය. වෙනදාට වඩා සිනාමුසුව සැහැල්ලුවකින් සිටි සමරේ නිවසේ සිට රැගෙන ආ අළුවා පාර්සලයක් ද එහිදී මා අත තැබීය. අනතුරුව මඳ වේලාවක් ඔහු හා ආ ගිය තොරතුරු කතාබස් කරද්දී සිය පෙම්වතිය පිළිබඳ අලුත්ම තොරතුරක් ද හෙතෙම මා හමුවේ පැවසුවේය. එනම්, නුදුරේදී ඔහු ඇය හා විවාහ වන බවකි. “මචං උඹ තමයි - මගේ බෙස්ට්මන්. දෙසැම්බර් වෙද්දී මගේ වෙඩින් එක ගන්නවා” ඔහු මගේ සුරත ද අල්ලා ගනිමින් පැවසුවේ මහත්වූ උද්දාමයකිනි. මෙවර නිවාඩුවේ දී පවුලේ වැඩිහිටි පාර්ශ්ව සමග ඒ පිළිබඳ සියලු තීරණවලට එළැඹි බව ද එහි දී ඔහු වැඩිදුරටත් මා හමුවේ පැවසීය. වසර හතරක ප්‍රේමය අබිසෙස් ලබන්නට නියමිත බව දැනෙද්දී සමරෙ ගේ මුහුණේ දිස්වූ බලාපොරොත්තු සහගත බව එදින මාගෙන් සමුගත් ඇඳිරි වැටුණු මොහොතේ වුව ඔහුගේ ඇස්වල සටහන්ව තිබුණු අයුරු මම හොඳින් දිටිමි.
සති කිහිපයක ඇවෑමෙන් පැවැත්වීමට නියමිතව තිබූ ලුතිනන් සිට කපිතාන් දක්වා වූ නිල උසස් කිරීමේ විභාගයට ඒ වනවිට අප සූදානමින් සිටි කාලයයි. මා මෙන්ම ලුතිනන් සමරරත්න ද පැවති ක්‍රියාන්විත රාජකාරි මධ්‍යයේ වුව ද ලැබෙන හැම විරාමයකදීම විභාග කටයුතු වෙනුවෙන් වෙන්කරන ලද්දේ කපිතාන්වරයකු වීමේ සිහිනය ද දකිමිනි. විශේෂයෙන් ම සමරේ හා මා විටින් විට මුණගැසී එම විභාගයට අදාළ දේ පිළිබද සාකච්ඡා කළ වාර ද කොතෙකුත් තිබිණ. එක්තරා දිනක උදෑසනම ලුතිනන් සමරේ එම කඳවුරේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය ඔස්සේ මා ඇමතීය. එහිදී, ඔහු කියා සිටියේ උදෑසන රාජකාරි කටයුතු අවසන් කළ සැණින් විභාගයේ පාඩම් වැඩ සඳහා මා මුණගැසීමට පැමිණෙන බවයි. ඒ වනවිට සෑම දිනකම උදෑසනින් ඒ ඒ කඳවුරු බලප්‍රදේශවල මාර්ග සෝදිසිකොට ඒවායේ ආරක්‍ෂාව තහවුරු කිරීම එවකට අප වෙත පැවරුණු අනිවාර්ය වගකීමක් විය. ඒ අනුව මා ද භටපිරිසක් සමඟ උදෑසනින්ම මාර්ග සෝදිසි කිරීමේ ක්‍රියාන්විතයට සූදානම් වෙමින් සිටිය දී එක්වරම යාබද ඇනිකට් හන්දිය කඳවුර දෙසින් ඇසුණේ අඛණ්ඩ වෙඩි වරුසාවකි.
වෙනදා නොඇසෙන තරම් වූ එම වෙඩි හඬවල් කිසියම් භයානක සිදුවීමක පෙරනිමිත්තක් බැව් වටහා ගැනීමට එහිදී මා හට අපහසු නොවීය. ඒ සමගම ගුවන්විදුලි පණිවුඩ හුවමාරුව ඔස්සේ දැනගත්තේ මාර්ග ආරක්‍ෂක රාජකාරිවල යෙදී සිටි ලුතිනන් සමරරත්න ඇතුළු භටපිරිසට සැඟවී සිටි ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ලකොට ඇති බවයි. සිද්ධිය සැලවීමත් සමග මා කඩිනමින් අමතර භටපිරිසක් ද සමග එම සීමාවට ළඟා වුවද ඒ වනවිට එහි සටන් නිමාවී තිබුණි. එහිදී, වැඩිදුරටත් අවට පරීක්ෂා කිරීමේදී දැකගත හැකිවූයේ ප්‍රධාන මාර්ගයෙන් තරමක් ඇතුළට වන්නට පිහිටි කැලෑබද ප්‍රදේශයේ තුවාලකරුවන් කිහිප දෙනකු තැන තැන වැටී සිටින අයුරුය. ඒ වනවිට යාබද කඳවුරු දෙකකින්ද අතිරේක භට පිරිස් එහි ළඟාවී තිබුණි. ලුතිනන් සනත් ප්‍රියන්ත හා ලුතිනන් සමන් කුමාර එම භටපිරිස් සමග පැමිණි නිලධාරිහුය. එහි තවත් විශේෂත්වයක් වූයේ ඔවුන් දෙදෙනා ද ලුතිනන් සමරේ හා මගේ පාඨමාලාවේ අයවලුන් වීමය. එහිදී, අපි කඩිනමින් තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යොමුකොට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළෙමු.
කෙසේ වුවද, සිදුවීම වනවිට ලුතිනන් සමරරත්න ද එහි සිට තිබුණ ද එතෙක් ඔහු පිළිබඳ හෝඩුවාවක් නොවීම අප සැමගේ විමතියට හේතු විය. එබැවින් ප්‍රදේශය සොයාබලා පරීක්ෂා කිරීමේ ක්‍රියාන්විතයක් ද එහිදී අප විසින් වහ වහා ආරම්භ කරන ලදී. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ සිට වාකරය දෙසට ක්‍රියාන්විතය දියත් කොට මඳ දුරක් යත්ම ලද පණිවුඩය වූයේ - මාර්ගය ආසන්නයේ තැනක ලුතිනන් සමරරත්න සිටින බවකි. තොරතුරු ලද සැණින් මා හට දැනුණේ සැනසුම් සහගත හැඟීමකි. ඒ අනුව ක්‍රියාන්විතය නවතා ලුතිනන් සමරේ දැකීම පිණිස මා ඒ දෙසට ගමන් කළේ නොතිත් ආශාවෙනි. නමුත්, එහිදී දුටුවේ අනපේක්‍ෂිත දසුනකි.
ඉතිරි කොටස ලබන සතියේ