ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් මස 20 දා සවස 3.30ට මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩී.
ශබ්‍ද මානවවංශවේදය කෘතියේ සංවාද මණ්ඩපයට එක්වන්නේ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, විචාරක භූපති නලින් වික්‍රමගේ හා මහාචාර්ය ප්‍රභා මනුරත්නයි. ගලන දියේ හංගා කාව්‍ය සංග්‍රහය පිළිබඳව ආමන්ත්‍රණයෙහි යෙදෙන්නේ බිම්සරා ප්‍රේමරත්නයි.
ප්‍රවීණ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර උත්සව සභාව මෙහෙයවනු ලබන අතර, ගැයුම් මහිර දිසානායකයි. කෘති ද්විත්වයම සරසවි ප්‍රකාශනයකි.
‘ගලන දියේ හංගා’ ඔබේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. ඇයි ඔබ කවි ලියන්න පෙළඹෙන්නේ?
කවි ලියන්න නම් පටන් ගත්තෙ පාසල් කාලෙ සිටමයි. සාමාන්‍ය පෙළ ලියලා ගෙදර ඉන්න විවේකයේදී මට හිතුණා හිතේ ඇතිවුණු හැඟීමක් කවියකට ගොනු කරන්න. දුක, සතුට එකතු වූ හැඟීමක් අරුත් ගැන්වෙන අයුරින් ලියන්න. මුල් කාලයේ එහෙම දිගටම ලියුවාම සෑහෙන ප්‍රමාණයක් කවි එකතු වුණා. එහෙම ලියූ ඇතැම් කවි, සිංදු විදියටත් මතුවුණා. ගොඩක් කවි එකතු වුණාම තමයි මට හිතුණෙ කවි පොතක් කරන්න ඕන කියා.
ඒ විදියට තමයි මගේ පළමු කවි පොත පාඨකයා අතරට එන්නේ. ඇත්තටම ඒ කවි පොතට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම කවිය පිළිබඳව බොහෝ දැනුමක් ඇති ප්‍රවිණයන් රැසක් මාව උනන්දු කළා. එ් අවස්ථාවේ තමයි මට හිතුණේ මගේ කවියට තවදුරටත් අවස්ථාවක් තියෙනවා කියලා. ඒ අැගැයිමත් එක්ක තමයි මම තව දුරටත් කවි ලියන්නෙ.
ඒ කවි එකතුව තමයි ‘ගලන දියේ හංගා’ දෙවැනි කාව්‍ය සංග්‍රහය එළි දැක්වෙන්නේ. ඇත්තටම මට මෙල්‍බන් ජීවිතය හරිම නිදහස්. ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා මම මට පහසු විදියට ජීවිතේ ගෙවනවා. මට ඒ අවස්ථාව ලැබෙන්නෙ මගේ ස්වාමි පුරුෂයා තරු හින්දා. මට මානසික නිදහසක් තිබුණා කවි ලියන්න. ඒ නිසා තමයි හිතට දැනෙන දේ ලියන්න ඕන කියලා හිතුණෙ.
කවිය නම් සොඳුරු සාහිත්‍යමය අංගය ඔබට දැනෙන්නේ කොහොමද?
යම්කිසි අත්දැකීමක්, අදහසක්, හැඟීමක් තවත් කෙනකු සමග බෙදාගැනීම කවියකින් හැඟෙන්නේ. කවියක් කියවද්දි ඒ අත්දැකීම අපේ කරගන්නවා. ඒ කවිය තුළ තිබෙන ව්‍යංගය, වචනවල හරය, රිද්මය, අර්ථය මේ සියලු දේවල් තවත් අයකුගේ වුවත්‍් එය කියවන කෙනා ඒ අත්දැකීම තමන්ගේ කරගෙන රස විඳිනවා. කවියක් දැනෙන්නේ තව කෙනකුගේ අත්දැකීමක් හරහා. මගේ කවියක් වුණත් පාඨකයෙකුට විවිධ ලෙස රස විඳින්න පුළුවන්. ඒක විවිධාකාරයි. මම ලියන අත්දැකීම වෙන අයකුට වෙනස් වන්න පුළුවන්. එතැනදී කෙනෙක් තේරුම් ගන්න ආකාරය වෙනස්වන්න පුළුවන්. කවියක් රසය විඳිනවානම් එයයි විය යුත්තේ.
අද වෙනවිට සාහිත්‍යය තුළ කවිය ප්‍රබලම මාධ්‍යයක්.බොහෝදෙනා සමාජ මාධ්‍ය හරහා තම කවිය ඉතා වේගයෙන් ජනගත කරනවා.එයට ලැබෙන ප්‍රතිචාරක් ඉක්මන්.මේ පිළිබඳව ඔබේ අදහස කවරේද?
සාහිත්‍යය තුළ කවිය මේ වෙද්දි ප්‍රබල මාධ්‍යයක්. කවිය බොහොම ජනප්‍රියයි. විශේෂයෙන් සමාජ මාධ්‍ය කවි. සාමාජ මාධ්‍ය නිසා කවියට නව ප්‍රවණතාවක් ලැබුණා කියන්නත් පුළුවන්. ඒ තුළින් ඕනෑම කෙනකුට යම් අත්දැකීමක් කවියකට නගලා කෙලින්ම පාඨකයන්ට පිළිගන්වන්න පුළුවන්. ඒකෙ කිසිදු වැරැද්දක් මම දකින්නේ නැහැ. නමුත් අපි කවි පොතක් කරනවානම්, පුවත්පතකට කවියක් ලියනවානම් ඒක ඊට වඩා වෙනස්. මොකද එතැනදි යම් හැදෑරීමක් වගේම යම් ගුණාත්මක බවක් කවියක තිබිය යුතුයි. ඒ නිසා තමයි අපි පොතක් පළ කරද්දි ඒ නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට පෙන්වා යම් අදහසක් ගන්නේ.
සමාජ මාධ්‍යයකින් කවි පළකිරීම තුළින් බොහෝ අයට ඉඩ ප්‍රස්ථාව ලැබීම බොහොම හොඳ දෙයක්. නමුත් එය යම් හැදෑරිමකින්, සාහිත්‍යමය ගුණයකින් යුතුව පළ කරනවානම් ඒ නිර්මාණයට වැඩි වටිනාකමක් ලැබෙනවා. මොකද කවුරුන් හෝ කෙනෙක් සාහිත්‍යයට, කලාවට පෙළඹවීම හොඳ ප්‍රවණතාවක්.
අද සමාජගතවන කවිය ට නොයෙක් විද කාරණා තේමාව වී තිබෙනවා. ඔබ ඔබේ කවියට පාදක කරගන්නේ කවර කාරණාද?
මම මගේ කවියට පාදක කරගන්නේ මනුෂ්‍යත්වය. ඒක ලොකු පරාසයකට විහිදන්න පුළුවන්නෙ. ඒක ආදරය, විරහව, වේදනාව, උපේක්ෂාව එහෙමත් නැතිනම් වෙනයම් හෝ අත්දැකීමක් වෙන්න පුළුවන්. මගේ කවි පොත ඇතුළෙත් එකිනෙකට වෙනස් වූ විවිධ කවි අන්තර්ගත වනවා. ඒ කවිවල විශාල පරාසයක් තිබෙනවා කියලා මට හිතෙනවා. ජීවිතයේ නොයෙක් විද අවස්ථා පාදක කරගෙන කවි ලියුවා. ඒ තුළ තමයි මනුෂ්‍යත්වය තියෙන්නෙ.
ඔබ කාලයක් තිස්සේ ජීවත්වන්නේ විදේශයක. ඒ අතරේ බොහෝ විදෙස් කවි කිවිඳියන්ගේ කවි නිර්මාණ ඇසුරු කිරීමේ අවස්ථාව ලැබෙනවා ඇති. ඒ කවි ඇසුර ඔබේ නිර්මාණ ජීවිතයට යම් පිටුවහලක් සපයනවාද?
ඔව් මම කාලයක් තිස්සේ ජීවත්වන්නේ විදේශයක. ඒ අතරේ ලංකාවෙන් පිට ඉන්න කවි කිවිඳියන්ගේ නිර්මාණ කියවන්න ලැබෙනවා. හැබැයි මට මගේ කවියට මෙන්න මේ කවියාගෙන් ආභාෂයන් ගත්තා කියන්න තරම් අදහසක් නැහැ. පොදුවේ ගත්තම අපි හැදෑරිමක් කරනවානම්, සතථ අභ්‍යාසයේ යෙදෙනවානම්, උනන්දුවක් දක්වනවානම්, අපේ කවියේ ගුණාත්මක බවට එ්වා හේතු කාරණා වනවා.
ඒ නිසා මගේ කවිය තුළ මේ කවියාගේ ආභාෂය ඇතැයි කියන්න බැහැ. නමුත් මගේ කවිය තුළත් පාඨකයා අනෙක් කවි එක්ක යම්කිසි ප්‍රවණතාවක් දකීවි. ඒක මොන කවියාගේද කියා කියන්න බැහැ. මම මගේ කවිය ගොඩනගන්නේ මම විඳින, අහන ජීවිත අත්දැකීම් එක්ක. ඇතැම් වෙලාවට මගේ ජීවිත අත්දැකීමක් නොවුණත් එ්ක දැනෙනවානම් කවියට ගොඩනගන්න උත්සාහ කරනවා.
කවියක රිද්මය, විලාසය ව්‍යංගය ඇතැම් අවස්ථාවල වෙනත් කවීන්ගේ කවි කියවිම තුළ යම් කිසි විදියේ සුවිශේෂි බවක් ඇතිවෙන්න පුළුවන්. මම මම ගැනම තක්සේරුවක් කළොත් මුල් අවදියට වඩා ගුණාත්මක බවකින් යුතු කවියක් ගොඩනගන්න පුළුවන්. එහෙම නැතව විදේශ කවි කියවා ඒවා ආදේශකයක් කරගන්නවා කියන තැනට සෘජුව උත්තරයක් නැහැ.
ගයනි ගිසන්තිකා නම් ප්‍රවීණ රංගන ශිල්පිනිය අනාගතයේ දකින්නට හැකිවන්නේ කිවිඳියක් ලෙස පමණයිද?
ඇත්තටම බොහෝ දෙනකු මාව හඳුනන්නේ රංගන ශිල්පිනියක් ලෙසයි. රංගනයේ යෙදෙන අතරේ තමයි මම කවි ලියන්නෙ. පළමු කවි පොත එළිදක්වලා අවුරුදු පහකට පමණ පසුවයි අලුත් කවි පොත එළිදක්වන්නේ. ඒ වගේම තමයි මේ ගමන ලංකාවට පැමිණෙන්නේ සුමිත් රත්නායකගේ අලුත් ටෙලි නාට්‍යයේ සුවිශේෂි චරිතයක් නිරූපණය කරන්නයි. රංගනය කවදාවත් බැහැර කරන්න බැහැ. හොඳ නිර්මාණයකට ඇරයුම් ආවම බොහොම කැමැත්තෙන් එම කාර්යය කරනවා. කිවිඳියක් ලෙසිනුත් ඉදිරියට යන්න උත්සාහයක යෙදෙනවා. ඉතින් 20 වැනිදාට මහවැලි කේන්ද්‍රයට එන්න කියලා මම හැමදෙනාටම ආරාධනා කරනවා. ඔබ එනතුරු මඟ බලන් ඉන්නවා.
සුජිත් ප්‍රසංග