හිරුණිකාට තෙවසරක සිරදඬුවම්


රුපියල් ලක්ෂ තුන හමාරක දඩයක්


මනෝප්‍රිය ගුණසේකර



දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර 03ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා රුපියල් ලක්‍ෂ 3 1/2ක දඩයකටද ඊයේ (28දා) ඇය යටත් කළේය.

වසර 09ක කාලයකට ඉහත කළ මෙම අපරාධය සම්බන්ධයෙන් වූ චෝදනා 19න් චෝදනා 18කටම ඇය වරදකාරිය බව තීන්දු කරමින් මෙලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා වසර 33ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 03කින් ගෙවී යන අන්දමින් ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකාරිය අදාළ චෝදනාවන්ට වරදකාරිය බව විනිසුරුවරයා තීරණය කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් විත්තිකාරිය ඇගේ බලතල අවභාවිත කරමින් මෙම අපරාධය කර ඇති හෙයින් ඇයට සක්‍රීය සිරදඬුවම් නියම කරන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් අදාළ දඬුවම් නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම, පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලු‍න් වශයෙන් කටයුතු කළ ආරක්‍ෂක නිලධාරීන් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/-ක වන්දියක් ගෙවීමටද නියම කෙරිණ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

ඉදිරිපත් වූ දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාරියට වසර 33ක සිරඳඬුවම් නියම කර එය වසර 03ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකාරියට එරෙහි එක් චෝදනාවකට රුපියල් 20,000/- බැගින් රුපියල් 3,60,000/-ක දඩ නියම කළේය.


දඩ මුදල් නොගෙවුවහොත් මාස 06 බැගින් ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.