ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනසූ මහා ළැව්ගින්න - 25 දෙනකු බිලි ගත්තේය. දස දහස් ගණනකට උන් හිටිතැන් අහිමි කළේය. ළැව්ගින්නෙන් සිදුවුණු හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනකි. ලොස් ඇන්ජලීස් නුවරට නුදුරින් කඳුකරයේ ළැව් ගිනි හටගැනීම වාර්ෂිකව සිදුවන සාමාන්‍ය දෙයක් වුවත්, මෙවර ළැව් ගිනි පාලනය අසීරු වූයේ, පැවැති වියළි කාලගුණය සහ රට ඇතුළේ සිට වේගයෙන් මුහුද දෙසට හමන්නට වූ වියළි සුළං නිසාය. ළැව් ගිනි ස්වභාවිකව ඇති වූ ඒවා නොවන බවටත්, හිතාමතා කළ ගිනි තැබීම් බවටත් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගත් බව ලොස් ඇන්ජලීස් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කාලගුණ විද්‍යාඥයන් බිය පළ කරමින් කියා ඇත්තේ හටගත් මේ මහා ළැව් ගිනි, විපරිත දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් බවය.
ළැව් ගිනි හටගැනීම සම්බන්ධයෙන් ද පමණක් නොව, ළැව් ගිනි නිවා දැමීමට අසීරුවීම සම්බන්ධයෙන් ද දිගටම විමර්ශන පැවැත්වෙයි. ළැව් ගිනි හිතාමතා ඇති කළ ඒවා ද? දෝෂ සහිත විදුලි රැහැන් නිසා හටගත් විදුලි කාන්දුවකින් ළැව් ගිනි ඇති වුණා ද? යන්න සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙයි. ළැව් ගිනි සමග සටන් වදිද් දී, ලොස් ඇන්ජලීස් ගිනි නිවන භටයෝ උග්‍ර ජල අර්බුදයකට මුහුණ පෑහ. ගිනි නිවීමට ජලය ලබාගන්නා මාර්ග අවට ඇති ජල කරාමවල ජලය නොමැති වීම ගැටලුවක් විය. ජලාශ පවා සිඳී ගොස් තිබුණි. ලොස් ඇන්ජලීස් නගරාධිපතිනියට පමණක් නොව ලොස් ඇන්ජලීස් ආණ්ඩුකාරවරයාට ද දිගට හරහට දෝෂාරෝපණ එල්ල විය.
කාට කාටත් මෙසේ චෝදනා එල්ල වෙද්දී, අලුතෙන් ම චෝදනා මතු වී ඇත්තේ චැට්ජීපීටී Chatgpt වෙතටයි. ළැව් ගිනි හටගත්තේ චැට්ජීපීටී Chatgpt නිසා බවටත්, ළැව් ගිනි පසුපස සිටින්නේ චැට්ජීපීටී බවටත්, චෝදනා එල්ල වෙමින් ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහක් නිර්මාණය විය. චැට්ජීපීටී යනු කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. පරිගණක භාවිතයට ගන්නා, ජංගම දුරකථන භාවිතයට ගන්නා අප බොහෝ දෙනකු චැට්ජීපීටී භාවිතයට ගන්නේ අපගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය. ඒත් ලොස් ඇන්ජලීස් ළැව් ගිනි පසුපස කෘත්‍රිම බුද්ධියක් සිටින්නේ කෙසේද?
ඔබ චැට්ජීපීටී භාවිතයට ගනිමින් කිසියම් කාර්යයක් කර ගනිද්දී, ඔබ යතුරු ලියනය කරමින්, එසේත් නැතිනම් ටයිප් කරමින් චැට්ජීපීටී සඳහා ලබාදෙන උපදෙස්, ඊට ලැබෙන්නේ කේත වශයෙනි. මෙම කේත නෙට්වර්ක් පද්ධතියකට සම්බන්ධ වුණු සර්වර් යන්ත්‍රවලට යයි. සර්වර් යන්ත්‍ර යනු සේවය සපයන සේවාදායකයන් ය. තාක්ෂණික වචනවලින් පැහැදිලි කරන්නේ නම් - සර්වර් යනු මෘදුකාංගයක් හෝ මෘදුකාංග සහ දෘඩාංගවල එකතුවකි. අන්තර්ජාලය හරහා පරිශීලකයාගේ ඉල්ලීම පරිදි පරිශීලකයා වෙත වෙබ් අඩවි හෝ එවැනි වෙනත් වෙබ් යෙදුම් ලබාදීම සඳහා පිහිටුවා ඇති පද්ධතියකි.
චැට්ජීපීටී සහාය ඔබ ලබාගන්නා විට, මෙවැනි සර්වර්ස් දහස් ගණනක් එක් වී, සංකීර්ණ ගණනය කිරීම් සිදු කිරීමෙන් පසු ඔබට වඩාත් ගැළපෙන ආකාරයට පිළිතුරු දෙයි. මේ සර්වර් යන්ත්‍ර පැය 24 පුරා නොනැවතී ක්‍රියාත්මක වෙයි. එසේ ක්‍රියාත්මක වෙද්දී, ඒවා රත් වෙයි. තාපය පිට කිරීමක් සිදු කරයි. ඩේටා සෙන්ටර්, එසේත් නැතිනම් දත්ත සැපයීම සිදුකරන ආයතනවලට මේ සර්වර්ස් අනවශ්‍ය ලෙස පමණ ඉක්මවා රත් වීම වළක්වා ගැනීමට සිදු වෙයි. ඒ සඳහා සර්වර් යන්ත්‍ර සිසිල් කළ යුතු වෙයි.
ඒ සඳහා සර්වර් සිසිල් කිරීමේ, සිසිලන පද්ධති ක්‍රියාත්මක කිරීම කළ යුතුමය. මේ සිසිල් කිරීමේ ක්‍රියාවලියේ දී වැදගත්ම දේ වන්නේ ජලය භාවිතයයි. දත්ත සැපයීම සිදුකරන ආයතනවල ඇති සර්වර් යන්ත්‍ර සිසිල්ව තබා ගැනීම සඳහා ’කූලින් ටවර්ස්’ නැතිනම් සිසිලස ඇති කිරීමේ කුලුනු නිර්මාණය කර ඇත. ඒ දැවැන්ත විදුලි පංකා ද සමගය. ඒ සිසිලන කුලුනු මගින් සර්වර්ස් අධික ලෙස රත් වී තාපය මුදාහැරීම වළක්වාලයි. නියමිත අවශ්‍ය උෂ්ණත්වය යටතේ තාපය පවත්වාගෙන යෑම සිදු කරයි. සිසිල් වීමට වතුර පමණ ඉක්මවා අවශ්‍ය වන කෙනකු ලෙස මේ චැට්ජීපීටී කෘත්‍රිම බුද්ධිය හැඳින්විය හැකියි. උදාහරණයක් ලෙස අපි එක ඊ මේල් පණිවුඩයක් යැවීම කරනවා නම්, ඒ වචන 100 ක කුඩා ඊ මේල් පණිවුඩය යැවීමේ දී සර්වර් යන්ත්‍ර නිසි උෂ්ණත්වයෙන් තබා ගැනීමට නම් සාමාන්‍ය වතුර බෝතලයක ඇති වතුර ප්‍රමාණය අවශ්‍ය වෙයි. කුඩා උපදෙස් මාලාවක් ක්‍රියාත්මක කිරීමට චැට්ජීපීටී කෘත්‍රිම බුද්ධියට, ජලය මිලි ලීටර් 500 ක් භාවිතයට අවශ්‍යය.
2024 වසර අවසන් වනවිට එක සතියකට, චැට්ජීපීටී කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගන්නා පරිශීලකයන් ගණන මිලියන 300 ඉක්මවා ඇත. මෙම පරිශීලකයෝ නිරන්තරයෙන් චැට්ජීපීටී සමග සම්බන්ධ වී සිටිති. මේ පිරිසට අවශ්‍ය සේවාව සැපැයීමේ දී කොතරම් ජලය ප්‍රමාණයක් වැය වනු ඇතැයි යන්න ගැන අවබෝධයක් දැන් ඔබට ලැබෙන්නට ඇත. ලොස් ඇන්ජලීස් ළැව් ගිනි පසුපස සිටින්නේ චැට්ජීපීටී කෘත්‍රිම බුද්ධිය යැයි සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල වන්නේ මේ නිසාය.
ලොස් ඇන්ජලීස් නුවර ඇත්තේ - කැලිෆෝනියා ජනපදයේ දකුණු දෙසිනි. මෙම පළාත අතීතයේ ද දැඩි නියං තත්ත්වයන්ට මුහුණ දී ඇත. එහෙයින්, මෙම පළාතේ ජල හිඟයක් පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය ජනවාරි 7 වැනිදා ලොස් ඇන්ජලීස් කලඹමින් ළැව් ගිනි පැතිර යන්නට වූයේ ජල අර්බුදය තවත් තීව්ර කරමිනි. ළැව් ගිනි මර්දනයට ප්‍රමාණවත් තරම් ජලය ගිනි නිවන භටයන්ට ලැබුණේ නැත. ලොස් ඇන්ජලීස් ගිනි නිවන භටයන්ට ළැව් ගිනි මර්දනය කර ගැනීමට හෝ ළැව් ගිනි පාලනය කර ගැනීමට ප්‍රමාණවත් ජලය නොමැති වෙද්දී, වැඩි වැඩියෙන් ජලය භාවිත කරන්නේ කවුරුන්දැයි යන්න කැලිෆෝනියා වැසියෝ සොයන්න පටන් ගත්හ. එහිදී චැට්ජීපීටී කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මකවීමට ජලය අවශ්‍ය බව අනාවරණය විය. එහෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ චැට්ජීපීටී වරදකරු වී චෝදනා එල්ලවීමට පටන් ගැනුණි. කෙසේ නමුත් ලොස් ඇන්ජලීස් නගර බලධාරීන් ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ - ජල අර්බුදය මෙන්ම, ළැව් ගිනි මර්දනය අසීරු වූයේ නගරයේ යටිතල පහසුකම් දුර්වල නිසා බවය. එසේ වුවත්, ලොස් ඇන්ජලීස් නුවර ජල අර්බුදයට වක්‍රව හෝ කෘත්‍රිම බුද්ධිය වගකිව යුතු බව පැහැදිලිය. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි. ගෝලීය උණුසුම හේතුවෙන් විපරිත දේශගුණික තත්ත්වයන් මෙන්ම කාලගුණ තත්ත්වයන් ද නිර්මාණය වෙයි. වාර්ෂිකව දැඩි නියං තත්ත්වයකට මුහුණ දෙන කැලිෆෝනියාව සහ ලොස් ඇන්ජලීස් නුවර ජල පරිහරණය නිසි කළමනාකරණයකින් සිදු නොවන බව ළැව් ගින්නත් සමග පැහැදිලි විය. කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම්ට මෙන් ම ලොස් ඇන්ජලීස් නගරාධිපතිනී කැරන් බාස්ට දිගින් දිගටම දෝෂාරෝපණ එල්ල වන්නේ එබැවිනි.
ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී ඇසුරිනි