ෆූජි කන්දේ හිම තට්ටුව හොරු අරන්



ජපානය ගැන කතා කරද්දී, එසැණින් සිහියට නැගෙන්නේ සකුරා මල් සහ ෆූජි කන්දය. සෑම වසරකම, දසදහස් ගණනක් දෙස් විදෙස් සංචාරකයන්, ෂිසේකා පළාතට පැමිණෙන්නේ - හිම වියනකින් වැසුණු ඒ ගාම්භීර ෆූජි කන්දේ, එසේත් නැතිනම් ෆූජි ශිඛරයේ සුන්දරත්වය දැක ගැනීමටය. ඒත් මේ වසරේ, ෆූජි ශිඛරයේ මුදුන වසාගත්  හිමතට්ටු දැක ගැනීමට පැමිණෙන කාගේත් බලාපොරොත්තු සුන්වී  ගොසිනි. ඊට හේතුව, ෆූජි ශිඛරය මුදුනේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන  හිමවියන තවමත් නිර්මාණය වී නොතිබීමය. ෆූජි ශිඛරය නැරැඹීමට පැමිණෙන බොහෝ දෙනා පවසන්නේ, ශිඛරයේ  හිමවියන හොරු ගත්තා හා සමාන බවය.

ජපානය දූපත් රාජ්‍යයකි. සකුරා මලින් හැඩවන  ජපානයේ, සැබෑ අභිමානය ලෙස සැලකෙන්නේ, ෆූජිසාන්  එසේත් නැතිනම් ෆූජි ශිඛරයයි. තේජාන්විත මෙම මහා ශිඛරය, ජපානයේ අනන්‍යතාව බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. ෆූජි, ලෝක උරුමයක් ද වෙයි. ෆූජි කන්ද වෙනුවෙන් ‘ඉමෝජි’ පවා නිර්මාණය වී ඇත. ෆූජි සක්‍රීය ගිනි කන්දකි; යමහලකි. අවසන් වරට එය පුපුරා ගියේ මීට අවුරුදු 300 කට පෙරය. ෆූජි යන නමෙහි අර්ථය …‘ගිනි කන්ද’ යන්නය.

ජපන් වැසියන්ට ෆූජි පූජනීය ස්ථානයකි. ෆූජි වන්දනාමානයට ලක් වෙයි. වෙරළ කෙළවරේ සිට ෆූජි මුදුන තෙක්, තැනින් තැන ඉතාමත් මනස්කාන්ත සිද්ධස්ථාන පිහිටා ඇත. ඒ, ශිඛරය වන්දනාමාන කිරීම සඳහාය. ෆූජි වන්දනාමාන කරන්නේ, වසර දහස් ගණනක් තිස්සේය. ෆූජි පාමුල ඉදි කර ඇති ෆූජිසන් හොන්ගු සෙන්ගෙන් ටයිෂ සිද්ධස්ථානය ඉතාමත් සුන්දරය. ජපානය පුරා ඉදිකළ, ෆූජි ශිඛරය වන්දනාමාන කරන සිද්ධස්ථාන සියල්ලේම මූලස්ථානය වන්නේ මෙම ෆූජිසන් හොන්ගු සෙන්ගෙන් ටයිෂ සිද්ධස්ථානයයි. ජපන් වැසියන් ෆූජි කන්ද වන්දනාමාන කරන්නේ දේවතාවියක ලෙස සලකමිනි. එම දේවතාවිය මල් කුමාරියකි. 

ඔක්තෝබර් මාසය ආරම්භයත් සමඟ ජපානයට ශීත කාලය උදා වෙයි. ෆූජි ශිඛරය හැඩ කරන හිම වියන නිර්මාණය වීම සිදුවන්නේ ඒ අනුවය. මෙම හිම වියන; එසේත් නැතිනම් හිම වැස්ම ශිඛරයේ  සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. පැය 24 පුරා,  ෆූජි නිරීක්ෂණය කරන පිරිසක් ජපානයේ සිටිති. ඒ, ජපන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, කෝෆූ ප්‍රාදේශීය කාලගුණ විද්‍යා කාර්යාලයේ නිලධාරීන්ය. ඔවුන්ට කෙතරම් බැලු‍වත් එපා නොවන දෙයක් ලෙස ෆූජි ශිඛරය හැඳින්විය හැකියි. 

‘සාමාන්‍යයෙන් ඔක්තෝබර් මුල් දින කිහිපයේ, ඒ කියන්නේ ඔක්තෝබර් දෙවැනිදා සිට පස්වැනිදා දක්වා කාලයේ ෆූජි මුදුනේ හිම වැස්ම නිර්මාණයවීම පටන් ගන්නවා. ඔක්තෝබර් පස්වැනිදා සිට එම හිම වැස්ම කඳු මුදුනේ දකින්න ලැබෙනවා. ඒත් දැන් එය ප්‍රමාදයි’ යැයි හිම වියන නිර්මාණය නොවීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත් කෝෆූ කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

වසර 130 ක කාලයේ, ෆූජි ශිඛරයේ මුදුන මේ අයුරින්, හිම තට්ටුවක් නොමැතිව දකින්න ලැබෙන්නේ පළමුවරටය. 1995 වසරේදීත් 2016 වසරේදීත් හිම තට්ටුවේ යම් අඩුවක් දකින්න ලැබුණත්, හිම තට්ටුව මුළුමනින්ම අතුරුදන් බව දකින්න ලැබෙන පළමු අවස්ථාව මෙයයි. නොවැම්බර් මාසය උදාවෙලත්, තවමත් ශිඛරය මුදුනේ හිම දකින්න ලැබෙන්නේ නැහැ. කෝෆූ ප්‍රදේශීය කාලගුණ විද්‍යා කාර්යාලයේ කනස්සල්ලට පත් නිලධාරීන්ගේ මුවෙන් නැගෙන්නේ මේ වදන් පමණි. කාලගුණ විද්‍යාඥයන් බිය පළ කර ඇති ආකාරයට, මෙම වසරේ, ෆූජි ශිඛරය හිම වැස්ම නිර්මාණය වන දිනය ගැන අනාවැකි පළ කළ නොහැකිය. 

ෆූජි ශිඛරය, මීටර් 3,776 ක් උසින් යුක්තය. අඩිවලින් නම්, එය 12,388 කි. ජපානයේ විශාලතම ශිඛරය සේම, ජපානයේ පමණක් නොව, ලෝකයේ ද වඩාත් ප්‍රසිද්ධ ශිඛරයක් වන්නේ ද ෆූජි ය. ලොකු කුඩා කවුරුත් ෆූජි ශිඛරය දුටු සැණින් එය හඳුනා ගනී. ඉමෝජි ලෙස පමණක් නොවෙයි, ජපන් තැපැල්පත්වල, මුද්දරවල සහ ජපානයේ ඉතාමත් වටිනා අගනා කලා නිර්මාණ සහ සිතුවම්වල ද ජපානයේ අභිමානය විදහා දක්වන සංකේතයක් ලෙස ද ෆූජි ශිඛරය දකින්න ලැබෙයි. ශීත කාලයේදී, හිම වැස්මකින් සමන්විත ෆූජි ශිඛරය‍ කිලෝමීටර් 100 ක් දුරින් පිහිටි ටෝකියෝ අගනුවරට පවා පැහැදිලිව පෙනෙයි. ෆූජි ශිඛරය, කඳු නඟින්නන් අතරේ ද ප්‍රකටය. සෑම වසරකම, දෙස් විදෙස් කඳු නගින්නෝ ෆූජි තරණයට පැමිණෙති. ෆූජි තරණය සිදු කරන්නේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේය. මෙම කාලයට, වාර්ෂිකව, 2,20,000 කට වැඩි පිරිසක් ෆූජි තරණයට පැමිණෙති. 

සෑම වසරකම, ඔක්තෝබර් මාසය එළැඹෙද්දී, කෝෆූ ප්‍රදේශීය කාලගුණ විද්‍යා කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලැබී ඇත්තේ ඔවුන්ගේ කාලගුණ විද්‍යා කාර්යාලයේ වහලයට නැග ෆූජි නිරීක්ෂණය කරන ලෙසය. කෝෆූ ප්‍රාදේශීය කාලගුණ විද්‍යා කාර්යාලය ඇත්තේ ශිඛරයේ සිට කිලෝමීටර් 40 ක් දුරිනි.  ජූලි සිට සැප්තැම්බර් අවසන් වෙද්දී, ෆූජි තරණය අවසානයේ, ශීත කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙයි. ඔක්තෝබර් පළමු සතියේ හිම වැස්ම නිර්මාණයවීමට පටන් ගන්නා අතර ඔක්තෝබර් 28 වැනිදා වනවිට ශිඛරය මුදුනේ හිම වැස්ම පැහැදිලිව දකින්න ලැබේ. ඉන්පසු නොවැම්බරයේ සිට මාස ගණනාවක් මෙම හිම වැස්ම පවතී. 

ගෝලීය උණුසුම ඉහළයෑම නිසා, විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීම, ෆූජි ශිඛරයට එහි හිම වැස්ම අහිමිවීමට හේතුව බව කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති. පසුගිය 2023 වසරේ සහ මෙම වසර මුලදී, එල්නීනෝ විපරිත කාලගුණ පෙරැළිවල බලපෑම ජපානය ද අත්වින්දේය. එල්නීනෝ තත්ත්වය පහව ගියත්, එහි බලපෑම තවමත් පහව ගොස් නොමැති බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසය. ඇමෙරිකාවේ ඩාට්මවුත් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් එළිදැක්වූ පර් යේෂණ වාර්තාවකට අනුව, ගතවුණු වසර 40 ක කාලයේ, ලෝකයේ බොහෝ හිම කඳු හැකිලී ගොස් ඇත. ඇතැම් කඳුවල ඇති හිම තට්ටු, සෑම දශකයකටම, ඒවායේ ප්‍රමාණයෙන් සියයට 10 සිට 20 දක්වා අඩු වී ඇත. ෆූජි කන්දේ හිම තට්ටුව සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන කාලගුණ විද්‍යාඥයකු වන්නේ කෝෆූ ප්‍රදේශීය කාලගුණ විද්‍යා කාර්යාලයේ මාමුරු මට්සුමෝටෝය. 

‘ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, ගෝලීය කාලගුණ පෙරැළි රැසකට හේතුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ෆූජි කන්දේ හිම තට්ටුවට බලපෑමක් වී ඇත්තේත් එයයි.’ යැයි මාමුරු මට්සුමෝටෝ පවසයි. 2023 වසරත්, ගෙවී යන මෙම 2024 වසරත් අන් කවරදාටත් වඩා ලෝකය උණුසුම් වී තිබේ. සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වෙද්දී, හිම හෝ අයිස් නිර්මාණය නොවෙයි. මෙම 2024 වසරේ ජපානයේ ගිම්හාන සෘතුව වෙනදාට වඩා උණුසුම් විය. එම අසාමාන්‍ය උණුසුම, ඔක්තෝබරය දක්වා දීර්ඝ විය. මෙවර ගිම්හානයේ දී ජපානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.76 ක් ලෙස සටහන් විය. අවසන් වරට ජපානයේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබුණේ  2010 දීය. 

එහි උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 1.08 ක් ලෙසය. සාමාන්‍යයෙන් සීතල කාලගුණයක් පවතින ඔක්තෝබර් මාසයේ මුල් සති කීපයේ ජපානයේ ප්‍රධාන නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සීමාව පසුකර තිබුණි. උෂ්ණත්වය වැඩිවීමත් සමඟ ජපානයට වාර්තාගත වර්ෂාපතනයක් ද ලැබුණි. වර්ෂාව වැඩි වෙද්දී, ෆූජි ශිඛරයේ හිම වියන නිර්මාණයවීම ඉක්මනින් හෝ පහසුවෙන් සිදු නොවනු ඇති බව කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.


ලු‍සිත ජයමාන්න
       ඩේලිමේල් ඇසුරිනි