‘හදගැස්ම’ සමඟ NAYOMI & NAVEEN



රංගන ශිල්පී අකිල සඳකැළුම් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ කුලුදුල් සිනමා නිර්මාණය ‘හදගැස්ම’ මේ වන විට දිවයින පුරා සිනමා ශාලාවන්හි තිරගත වේ.

ඒ ඔස්සේ රිදී තිරයට අලුතින්ම හඳුන්වා දෙන පෙම් යුවළ වන නවීන් ඩිල්ෂාන් සහ නයෝමි පීරිස් මෙවර සඳැල්ල කවරය හැඩ කරමින් කතා බහකට එක්වූහ.

  • නයෝමි කොහොමද පළමු සිනමා අත්දැකීම?

ඒ අත්දැකීම ඇත්තටම සතුටුදායකයි. මොකද පළමු සිනමා රංගනයෙන්ම මට ප්‍රධාන චරිතයක් කරන්න ලැබුණා. ඒ අත්දැකීම මම ලබාගත්තෙත් ප්‍රවීණ රංගන ශිල්පි ශිල්පිනියන් එක්ක. ඉතින් ඒක මට ලොකු අවස්ථාවක්. ඒ වෙනුවෙන් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ මෙහි අධ්‍යක්ෂ අකිල සඳකැළුම්ටත්, නිෂ්පාදක අර්ජුන කමලනාත්ටත් මාව විශ්වාස කරලා මේ චරිතය ලබාදුන්නාට.

  • ඉතින් මේ චරිතය සහ මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?

චරිතය සමාධි. ඇය සැර පරුෂ නපුරු යුවතියක්. ඇත්තටම කියන්න ඕනෑ මේ කලු චරිතයක් වුණත් ලැබුණු ප්‍රතිචාර ගොඩක් හොඳයි. මම හිතන්නෙ ඊට හේතුව තමයි මේ කතා සංකල්පය. මොකද මේ නිර්මාණය තුළින් සමාජයට හොඳ ආදර්ශයක් ලබාදෙනවා. මේ තුළ තියෙන්නෙ සහෝදර බැඳීම සම්බන්ධව. දෙමාපියන්ට පසුව අපේ ජීවිතේ වැදගත්ම සම්බන්ධය වෙන්නෙ සහෝදර බැඳීමනෙ. ඉතින් මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂවරයාගේ ඔළුවට ආපු හොඳ අදහසක් කියලා මම විශ්වාස කරනවා.

  • නයෝමිට සහෝදර සහෝදරියො ඉන්නවද?

ඔව්. නංගියි අයියයි තමයි මට ඉන්නෙ.

  • එයාලගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද රංගනයට?

ගොඩක් හොඳයි. ගෙදරින් මේ වෙද්දි ලොකු ශක්තියක් ලැබෙනවා මගේ මේ ගමනට.

  • රංගන ක්ෂේත්‍රයට එකතු වෙනවට ගෙදරින් විරෝධතා එහෙම එල්ල වුණේ නැද්ද?

ඇත්තටම ගෙදරින් කැමැත්ත තිබුණෙ මම හොඳින් අධ්‍යාපන කටයුතු කරනවට තමයි. ඒ නිසාම මම හොඳින් ඒ කටයුතුවල නිරත වුණා. පුංචි කාලෙ ඉඳලම මට ලොකුම ආසාවක් තිබුණෙ රංගන ශිල්පිනියක් වෙන්න. නමුත් ගෙදර අයගේ ආශාව ඉෂ්ට කරන්න තමයි මම වැඩි අවධානය දුන්නෙ. ඒ නිසාම මම අධ්‍යාපන කටයුතු හොඳින් කරලා බැංකු ක්ෂේත්‍රයේ රැකියාවට ගියා. ඒ රැකියාවෙ ටික කාලයක් ඉද්දි මට දෙරණ නාළිකාවෙන් අවස්ථාවක් ලැබුණා ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්න. නමුත් මට රැකියාවත් එක්ක සම්බන්ධ වෙන්න හැකිවුණේ නැහැ. නිවාඩු ගැනීමේ ප්‍රශ්න තිබුණා. නමුත් මට එම නාළිකාවේම ඒකාංගික ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී මම නිර්මාණ 20ක් වගේ කළා. ඒ අතර මට හිතුණා කලා ක්ෂේත්‍රයේ වැඩ ටිකක් වැඩියෙන් කරන්න ඕනෑ කියලා. කොහොමත් මගේ ඔළුවෙ තිබුණෙ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම නිසා මම බැංකු රැකියාවෙන් ඉවත් වෙලා නැවතත් රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඉන්පසුව නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ විදියට ආපු ගමන තමයි මේ.

  • නවීන් කොහොමද මුල්ම සිනමා රංගන අත්දැකීම?

ඇත්තම කිව්වොත් පළමු අත්දැකීම ඉතාම සතුටුදායකයි. මුලින්ම කියන්න ඕනෑ මේ නිර්මාණය මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මෙහි අධ්‍යක්ෂවරයා අකිල සඳකැළුම් තමයි මට ඇමතුමකින් මේ වෙනුවෙන් ආරාධනා කරන්නෙ. ඒ හිතුවෙවත් නැති මොහොතක. ඔහු කතා කරලා මම අකිල සඳකැළුම් කියද්දි මුලදි ඔහු ගැන මට අවබෝධයක් තිබුණෙ නැහැ. නමුත් පසුව හොයලා බලද්දි තමයි ඒ කව්ද කියලා හඳුනාගත්තෙ. මොකද ඔහු කාලයක් කලා ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියනෙ. ඉතින් පසුව හරිම සතුටු හිතුණා මේ ආරාධනය ලැබීම ගැන. ඉතින් ඉතා සතුටින් තමයි මේ චරිතය භාරගත්තෙ.

  • චරිතය ගැන කතා කළොත්?

චරිතය අශේන්. ඔහු මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක්. කෙළිලොල් ජීවිතයක් තමයි ගත කරන්නෙ. ඇත්තටම මේ චරිතය සහ එහි ස්වභාවය ගැන අධ්‍යක්ෂවරයා මගෙත් එක්ක කතා කරද්දි මට හිතුණා මේ රංගනය කරන්න පුළුවන් වෙයිද කියන දේත්. මොකද මම මීට පෙර සම්බන්ධ වුණු චරිතවල ස්වභාවය වුණේ අහිංසක පෙම්වතා. ඒ නිසා මම මේ සිනමා රංගනය භාරගන්නට පෙර අධ්‍යක්ෂවරයාට ඒ ගැන ප්‍රකාශ කළා. ඔහු චරිත රංගනයෙ වගකීම ගන්නව නම් පමණක් මම සම්බන්ධ වෙන්නම් කියලා. ඉතින් ඔහු කිව්වෙ බය නැතිව සම්බන්ධ වෙන්න කියන දේ. ඇත්තටම මුලදි මට බයක් තිබුණට රූගත කිරීම් කරද්දි නම් ප්‍රශ්නයක් වුණේ නැහැ.

  • ඒ කියන්නෙ මුලදි හදගැස්ම වැඩිවෙලාද තිබුණෙ?

ඔව්නෙ. හදගැස්මට සම්බන්ධ වෙන්න කලින් මගේ හදගැස්ම ටිකක් වගේ වැඩිවෙලා තිබුණෙ. නමුත් දැන් නම් මට හිතෙනවා ටෙලි නිර්මාණවලට වඩා සිනමා නිර්මාණ රංගනය පහසුයි කියලා.

  • නවීන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නෙ ගායකයෙක් විදිහටනෙ. ඒත් දැන් යන්නෙ වෙනස්ම ගමනක් නේද?

ඔව්. ඇත්තටම මට මුලින්ම පුංචි තිරයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතැනින් පසුව හිතුවෙවත් නැති විදියට රිදී තිරයටත් අවස්ථාව ලැබුණා. ඇත්තටම කියනවා නම් රංගනය කියන දේ මගේ හීන අතර නොතිබුණාම නෙමෙයි. මම කවදා හෝ රිදී තීරයට සම්බන්ධ වෙනවා කියන දේත් හිතේ තිබුණා. ඉතින් මට මේ අවස්ථාව ලැබුණෙ නම් දෛවය විසින්. මම හිතන්නෙ දෙවියො දුන්නු දෙයක් කියලයි. මම කොහොමත් ගායනය කියන දේ අත්හැරලා නැහැ. අත්හරින්නෙත් නැහැ. මගේ ප්‍රධානම වෘත්තිය ගායනය. ඒ තුළ මට සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒ ‘වර්ණ’. ඉතින් එහි වැඩකටයුතු කරගෙන සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියටත් වැඩ කරගෙන යනවා. ඉතා නුදුරේම මම සංගීත අධ්‍යක්ෂණය කළ ටෙලි නිර්මාණ 2ක් එන්නත් තියෙනවා. ඒ වගේම චිත්‍රපටයකටත් සංගීත අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙන්න නියමිතයි. ඒත් එක්කම අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවකුත් කරනවා. ඒ රැකියාව මම 2008 වසරේ සිට තමයි කරගෙන යන්නෙ.

  • මේ හැමදේම කරගෙන යන්න කාලය ප්‍රමාණවත්ද?

ඇත්තටම සමහර වෙලාවට මට සමහර දේවල් අත්හැරලා දාන්න හිතෙනවා. නමුත් පවුලෙ අනාගතය, දරුවගේ අනාගතය ගැන හිතද්දි හැමදේම දරාගෙන ඉන්නවා. මොකද වර්තමානයේදී අපිට ජීවන සටන ගෙනියන්න නම් ලොකු කැප කිරීමක් කළ යුතුමයි.


 ධනු විජේරත්න