‘’ අසම්මත ’’ නාට්‍ය කරන්න ගොඩක් කැමතියි - තරංග දිසානායක



පුංචි තිරයේ මේ දිනවල කතාබහට ලක්වන චරිත අතරින් ප්‍රේක්‍ෂකයාට ළංවුණු රංගන ශිල්පියෙක් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.

කලාක්ෂේත්‍රය තුළ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් ලෙසත් දැඩි අවධානයකට ලක්ව සිටින ඔහු තමයි තරංග දිසානායක. 

  • මේ දිනවල රංගන කටයුතු ගැන මුලින්ම කතා කරමුද?

මම රංගනයෙන් දායකවන ටෙලිනාට්‍ය 2ක් මේ වෙද්දී විකාශය වෙනවා. ඒ හිරු නාළිකාවෙ රාත්‍රී 8ට විකාශය වන පාට කුරුල්ලෝ සහ සිරස නාළිකාවෙ රාත්‍රී 8ට විකාශ්‍ ය වන රොකී. ඉතින් මේ චරිත රංගනයන් දෙකට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. 

  • මේ චරිතයන් ගැනත් සඳහනක් කළොත්?

පාට කුරුල්ලෝ තුළ මම කරන්නේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයක්. ඔහු OIC ප්‍රසාද්. එතකොට රොකී නාට්‍යයේ මෙන්ඩිස් කියන්නෙ මම මීට පෙර නොකරපු වෙනස්ම විදියේ චරිත රංගනයක්. ඔහු සෙල්ලක්කාර විදියට ජීවිතේ ගෙනියන සල්ලි විසි කරගෙන, ගැහැණු ළමයි ආශ්‍රය කරගෙන ඉන්න ෆයිට්වලට වැඩි උනන්දුවක් දක්වන පුද්ගලයෙක්. ෆයිටර් කෙනෙක්. මුදල්වලට දක්‍ෂ පිරිමි ළමයි යොදවලා ෆයිට් කරවලා ඒ තුළින් දිනන කෙනා මුදල් බෙදා ගන්නවා. දැන් ලෝකෙ තියෙන තරඟයක් තමයි ඒ. ඉතින් මේ විදියෙ වෙනස් චරිතයක් කරන්න මම කොහොමත් ආසාවෙන් හිටියෙ. ලැබෙන ප්‍රතිචාරත් ඉතා හොඳයි. 

ඒ වගේම තමයි පොලිස් නිලධාරියාගේ චරිතයත්. ඒකත් වෙනම අත්දැකීමක්. ඒ චරිත රංගනයෙදි මුලින්ම පොලිස් නිළ ඇඳුම නැතිව රූගත කිරීම් සිදු කළේ. ඒ විදියට දිගටම රඟපෑමෙදි සමාජ මාධ්‍යයේ එහෙම බනින්න ගත්තා මූ පොලිසියෙ නෙමෙයිද කියලත්. පසුව ඉතින් පොලිස් නිළ ඇඳුමෙන් රඟපෑම් සිදුවුණා ඇත්තටම ඒ චරිතය කරද්දි වෙනම ජවයක් ඇඟට එන්නෙ. ඉතින් මේ දිනවල මගේ රඟපෑම් කටයුතු සිද්ධ වෙන්නෙ ඒ විදියට තමයි. 

  • රංගන කටයුතු ඒ විදියට සිද්ධවෙද්දි ඔබේ නිෂ්පාදන කටයුතු ගැනත් කතා කරමු නේද? 

ඔව් අනිවාර්යයෙන්ම. මගේ නිෂ්පාදන ආයතනය දුරුතු ක්‍රියේෂන්. එහි මූලිකවම අපේ දුරුතු ටෙලි සිනමා පාසලත් කරගෙන යනවා. එය සෑම ඉරිදා දිනකම උදේ 8.30 සිට නාඩා හිදී තමයි පැවැත්වෙන්නෙ. දැන් ආරම්භ කරලා සති කිහිපයක් වෙනවා. ඉතින් මේ වනවිට ළමයි 100 ක් වගේ ඒ තුළ ඉන්නවා. ඔවුන්ට අපේ ටෙලිනාට්‍යවලින් අවස්ථාව ලබාදෙන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මගෙත් එක්ක මේ වැඩ කටයුත්ත කරගෙන යන්නෙ රවීන්ද්‍ර විජේරත්න මහත්මයා. මීට පෙරදිත් මගේ නිෂ්පාදනයෙන් රවීන්ද්‍රගේ අධ්‍යක්‍ෂණයෙන් අපි නිර්මාණ කිහිපයක්ම කළා. ඒ නිර්මාණ තුළින් බිහි කරපු රංගන ශිල්පි ශිල්පිනියන් අද කලා ක්ෂේත්‍රයේ ඉහළම තැන්වල ඉන්නවා. ඒ ගැන අපිට තියෙන්නෙ ලොකු සතුටක්. 

ඉතින් අපි දෙන්නගේ තවත් අලුත්ම නිර්මාණ දෙකක් ඉතාම නුදුරේම අපේ ප්‍රේක්‍ෂකයන්ට දැකගන්නට හැකිවෙයි. ඒ එක නාට්‍යයක් තමයි වීනස්ගේ උපත, එය සමීර ජයකොඩිගෙ නවකතාවක් ඇසුරින් කරන නාට්‍යයක්, එතකොට අනිත් නාට්‍ය “Man of the match” ඒ ක්‍රිකට් පවුලක් වටා යන කතාවක්. ඇත්තටම නිෂ්පාදකවරයෙක් විදියට මට ඕනෑ වෙනස්ම නිර්මාණ ප්‍රේක්‍ෂකයන්ට ලබාදෙන්න. මීට ඉහතදී අපි පවුල් හා බැඳි නිර්මාණ ගොඩක් කළා. ඒ දූ දරුවෝ, සෙනෙහෙවන්තයෝ, සත්පුර වැසියෝ, දියණියෝ වගේ නිර්මාණ. ඉතින් මට දැන් ඕනෑ වෙනස්ම විදියෙ නිර්මාණ ටිකක් කරන්න තමයි. ඉතින් මට දැන් ලොකු ආසාවක් තියෙනවා අසම්මත නාට්‍ය කරන්න. ඒ විදියෙ නාට්‍යයක් කරන්න මේ වෙද්දි සූදානම් වෙලයි ඉන්නෙ. 


ඒ තමයි ‘’Living Together’’ (ලිවින් ටුගෙදර) මේ තුළ අසම්මත විදියෙ ප්‍රේම කතා ටිකක් තියෙනවා. මේ වෙද්දි ලංකාවෙ ගොඩක් නළු නිළියන්ට මෙහි රංගනයට ආරාධනා කරලයි තියෙන්නෙ. ඉතා ඉක්මනින් මේ නිර්මාණය දැකගන්නට ලැබෙයි. ඊට අමතරව මගෙත් රවීන්ද්‍ර විජේරත්නගෙත් 2025 අලුත්ම බලාපොරොත්තුව තමයි සිනමා නිර්මාණයක් කිරීම. මේ වෙද්දි ඒ කටයුත්තටත් අපි අතගහලා තියෙන්නෙ. ඒක අපේ ජීවිතේ තිබුණු ලොකු හීනයක්. 

  • මේ හීනවලට යන්න අත දුන්නු පිරිසක් ඔබ පිටුපස ඇති නේද?

අනිවාර්යයෙන්ම. රංගනය කියන දේට පුංචිම කාලේ ඉඳන් මට ලොකු උනක් තිබුණා. නමුත් අපේ පවුලේ කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. ඒ නිසා මේ ගමන එන්න ලොකු කට්ටක් කන්න වුණා. මගේ ආසාව ඉෂ්ට කරගන්න කලාව කියන දේ හොයාගෙන කොළඹට එද්දී මගේ අතේ සත පහක්වත් තිබුණෙ නැහැ. නමුත් අපිට හිතුවොත් කරන්න බැරිදෙයක් නැහැ කියලා හිතලා ඒ උත්සාහය මම අතහැරියෙ නැහැ. ඉතින් මේ ගමනෙදි නාලන් මෙන්ඩිස් මහත්මයා සහ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම තමයි රවීන්ද්‍ර විජේරත්න. ඉතින් මේ අයගෙ ශක්තියත් එක්ක අද මම කොළඹට ඇවිල්ලා ගෙවල් දොරවල් හදාගෙන, වාහන අරගෙන, දෙමව්පියොත් බලාගෙන ජීවිතේ ගෙවනවා. ඇත්තටම මේ ලබාගත්තු දේවල් ගැන අදවෙද්දි හරිම සතුටුයි. 

අපි මුල අමතක නොකර ගමනක් ආපු නිසා තමයි අද කලා ක්ෂේත්‍රය තුළ මේ විදියට දකින්න ඉන්නෙ. 

  • අද වෙද්දි ඔබේ දුරුතු සිනමා පාසලෙන් රංගන ශිල්පී ශිල්පිනියන් බිහිවෙලා ඉන්නවනෙ. ඒ බිහිකරපු අය ගැන මොකද හිතෙන්නෙ? 

ඇත්තටම හරිම සතුටුයි. අපේ පාසලෙන් බිහිවුණු තරු අද ගොඩක් හොඳ තැන්වල ඉන්නවා. ඒ අතර කලගුණ දන්න අයවගේම නොදන්න අයත් ඉන්නවා. නමුත් ඉතින් මමවත් රවීන්ද්‍රවත් ඒ කිසිම දේකට සැලෙන්නෙ නැහැ. අපි අපේ ගමන යනවා. මම විශ්වාස කරන එකම දෙයක් තමයි මුල අමතක නොකරන අයට අනිවාර්යයෙන්ම පැවැත්මක් තියෙනවා කියන දේ.


ධනු විජේරත්න