පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි. ඒ මායාකාරී නිමැවුම් තුළ මවන සුන්දරත්වය විඳින්නට හුරු වූ බොහෝ දෙනාට ඉන් ගැලවීමක් නැත්තේ එය ඇබ්බැහියක් බවට පත්වන නිසාවෙනි. මෙවර ‘සැරිසරා’ සමග කතාබහට එක්වන්නේ එවන් තරුණයෙකි. හුදකලා කඳු තරණයේ රසය සමාජ මාධ්‍ය තුළට ගෙන එමින් තරුණ හදවත් තුළ පරිසර ප්‍රේමීන් බිහිකරන්නට සමත් වූ ඔහු නමින් මදුෂාන් නෙරංජන් ය. නමුත් බොහෝ දෙනා ඔහු හඳුනන්නේ ‘සොලෝ හයිකර්’ ලෙසනි. මේ ඔහු ‘සැරිසරා’ සමග කළ කතා බහයි.
හුදකලා කඳු තරණය ආරම්භ කරන්නේ කොයි කාලෙ ද?
හයික් එකක් යන්න ඕන කියන අදහස මට මුලින්ම එන්නේ 2019 වසරෙ දී විතර. ඒ වෙනකොට මම මොරටුව විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ශිෂ්‍යයෙක්. එතැනදිත් තනියම ඒ ගමන යන්න ඕන කියල හිතුණේ පොඩි කාලෙ මට තිබුණ ආසාවක් හින්දා. මගේ ගම ගිරිතලේ. එහෙ ගොඩක් වැව් තියෙනවා. මම පොඩි කාලෙ ඉඳන්ම කැමතියි තනියම වැව ළඟට ගිහින් ඉර බහින විදිහ බලන් ඉන්න. රෑට වහළෙ උඩට නැගල තරු දිහා බලන් ඉන්න. මේ විදිහට තනියම සොබාදහම විඳින්න මම හරිම ආසයි. ඒ වගේම මට තිබුණු තවත් අදහසක් තමයි අනිත් අයට වඩා වෙනස් දෙයක් කරන්න ඕන කියන දේ සහ මට මාව හොයාගන්න ඕන කියන දේ. හැබැයි ඒ දේවල් කොහොමද කරන්න කියල ප්ලෑන් එකක් මට තිබුණෙ නැහැ. නමුත් විශ්වවිද්‍යාලයේ යාළුවෝ එක්ක එක එක තැන්වල ඇවිදින්න යද්දි ඒ තැන්වලදී සොබා දහම එක්ක ගනුදෙනු කරනකොට මට හිතුණා මට මාව හොයාගන්න හොඳම ක්‍රමය මේ සොබා දහමේ සැරිසැරීම කියලා. ඉතින් ඒ විදිහට මම මේ ගමන පටන් ගත්තා. මට ඒ ගමනේ වෙනසක් දකින්න ඕන වුණ නිසා තනියම යන්න තීරණය කළා. ඔය විදිහට තමයි මගේ හුදකලා කඳු තරණයන් ආරම්භ වෙන්නේ.
පළමු කඳු තරණයේ මතකය කොයි වගේ ද?
දූවිළි ඇල්ල තමයි මගේ පළමු කඳු තරණය. ඒක දවස් තුනක ගමනක්. ඒ ගමන ඒ කාලෙ වෙද්දි තනියම ගිය කෙනෙක් ගැන මම අහළ තිබුණෙ නැහැ. ඇත්තටම 2019 දී විතර නකල්ස්වල කැළේ ඇතුළේ දවස් තුනක් තනියම කිලෝමීටර් 40ක් විතර යන එක පහසු ගමනක් වුණේ නැහැ. මටත් ඒ කාලෙදී හයිකින් සම්බන්ධයෙන් ලොකු අත්දැකීමක් තිබුණෙත් නැහැ. තිබුණේ ආත්ම විශ්වාසය විතරයි. ඇත්තටම මට ඒ වෙනකොට කෑම්පින් යන්න ඕන බඩු ටිකවත් තිබුණෙ නැහැ. බෑග්, සපත්තු, රේන්කෝට් වගේ හැම දෙයක්ම යාළුවන්ගෙන් ඉල්ලගෙන තමයි දූවිලි ඇල්ලේ ගියේ. සමාජ මාධ්‍ය ඇතුළේ සේලෝ හයික් කියන එක පටන් ගත්තෙ මම. හැබැයි මේ ගමන ඒ විදිහට සමාජ මාධ්‍යයට දාන බලාපොරොත්තුවකින් ගිය ගමනක් නෙවෙයි. මට ඕන වුණේ මාව හොයාගෙන යන්න නිසා ඒක මගේම ආසාවට කරපු දෙයක්. ඒ නිසාම දූවිලි ඇල්ලේ සංචාරය මගේ සංචාරක ජීවිතේට ගොඩක් සුන්දර මතක වගේම අසුන්දර මතකත් එකතු කරපු ගමනක්.
පළමු ගමනේ තියන සුවිශේෂීම මතකය ?
මේ ගමන ඇතුලේ කේ. එම්.පී. වාඩිය කියල තැනක් හමුවෙනවා. නකල්ස් කියන්නේ මුල් කාලෙදී එනසල් වගා කරපු ගම්මාන. පසු කාලීනව තමයි ඒවගෙන් මිනිස්සු ඉවත් කරලා රක්ෂිතයක් බවට කරන්නේ. ඉතින් ඔය වාඩිය කියන තැන ඉන්නකොට මට පෙනුණා ලස්සන කන්දක්. ඒ තමයි තුන්හිස්ගල. ඒක ඇත්තටම හඳත් එක්ක රෑට පේන්නේ චිත්‍රයක් වගේ. ඉතින් මම තීරණය කළා හෙට දවසේ එතනට යනවා කියලා. ඉතින් ඒ ගිහින් එනකොට මට මගදී එක එක විදිහේ ශබ්ද ඇහෙන්න ගත්තා. හැබැයි කවුරුත් පේන්න හිටියේ නැහැ. එතන ටිකක් අඳුරු වළක් වගේ තැනක්. පොඩි දොළ පාරකුත් ගලාගෙන යනවා. මට හිතාගන්න බැරිව ගියා. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ මට කලින් දවසේ එතන හිටපු අයගේ කටහඬවල සංඛ්‍යාත රැඳිලා දෝංකාරයක් තමයි ඒ ඇහිල තියෙන්නේ. ඉතින් මට ඒක වෙනස් අත්දැකීමක්. ඒ වගේම තමයි ඊට පස්සෙ මට පාරත් වැරදුණා. ආපහු පාර හොයන් එනකොට මගේ ජංගම දුරකතනය කැඩුණා. හැබැයි මොන දේ සිද්ධ වුණත් මම හොඳ ආත්ම විශ්වාසයක් තියාගෙන ගමන නිමා කරලා ආරක්ෂිතව ගෙදර ආවා.
මේ වෙන විට ලංකාව ඇතුළත කොයිතරම් කඳු ප්‍රමාණයක් තරණය කරලා තියෙනව ද?
නකල්ස්, ඌව වෙල්ලස්ස, නුවරඑළිය, මාතලේ සහ මහනුවර වගේ කඳු තියෙන පැතිවල ගොඩක් කඳුවල ගිහින් තියෙනවා.
ඔබට කඳු තරණයේ දී හමුවුණු වෙනස් මිතුරෙක් ඉන්නවා නේද? ඒ හමුවීම ගැනත් කියමු?
ඒ හමුවීම සිද්ධ වුණේ යහන්ගල තරණයේදී. ඒ මිතුරා තමයි මගේ බෲනෝ කියන බලු පැටියා. මම යහන්ගල තරණය කරන්න පටන් ගන්න කොටම මම පස්සෙන් පොඩි බලු පැටියෙක් එනවා දැක්කා. මට ඉතින් එයාව මග දාලා යන්න බැරි වුණා. එයාවත් වඩාගෙනම යහන්ගල නගින්න පටන් ගත්තා. ඒක ටිකක් ඇඩ්වෙන්චර් ගමනක්. මොක ද ඒ මඟදී වැස්ස පටන් ගත්තා. ඒ නිසා බෲනෝව තෙමෙන්නෙ නැතිව අරන් යන්න ක්‍රමයක් හොයා ගන්න සිද්ධ වුණා. කුඩයක්වත් ගන්න බැරි තරම්ම හුළඟයි වැස්සයි. ඉතින් ඊට පස්සේ මම ගාබේජ් බෑග් එකක් අරගෙන ඒකෙන් මමයි බෲනායි දෙන්නම කවර් කරගෙන වැස්ස අඩු වෙනකන් ඉඳලා තමයි යහන්ගල නැග්ගේ. ඒකත් මට මේ ගමන් ඇතුළෙ හම්බ වෙච්ච හරි ලස්සන මතකයක්.
ඔබ මුහුණ දීල තියන ත්‍රාසජනකම අත්දැකීම ගැන කීවොත්?
|
|
|
ඇත්තටම ඒ අත්දැකීම ත්‍රාසජනක කියනවට වඩා අත්භූතයි කියලා කිව්වොත් හරි. මම ඒකට මුහුණ දුන්නෙ හූනාගලදී. ඇත්තෙන්ම මේක බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැතිවෙයි. ඒක ඔප්පු කරන්න සාක්ෂිත් මට නැහැ. සමහර විට ඒක අතිශයෝක්තියක් විදිහට කෙනෙක්ට පෙනෙන්නත් පුළුවන්. නමුත් මම ඒක අත්වින් ද නිසාවෙන් ඒක මට විශ්වාස කරන්න පුළුවන් සහ මගේ මතකයෙන් රැඳිල තියෙන කාරණයක්. එදා මම කූඩාරම සවි කරලා තිබුණේ තනි අලියෙක් ගැවසෙන ස්ථානයක. ඒ වගේම එතන ටිකක් ගුප්ත තැනක්. පහළින් හෙළ. ඒ ප්‍රදේශයේ අවසාන වගේ තමයි ඒ කොටස. හරියටම පාන්දර එකට විතර මම මීට කලින් අහලා පුරුදු නැති ටිකක් වෙනස් විදිහේ ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා. මම මුලින් හිතුවා අලියා වෙන්නැති කියලා. ටෙන්ට් එක සවිකරලා තිබුණේ හෙළ පැත්තට වෙන්න නිසා ඒ සද්දේ මුලින් ඇහුනෙ කන්ද උඩින්. ඒ නිසා මම හිතුවා ශබ්දය ටික ටික ළං වෙන්න ගත්තොත් කූඩාරම ගලවගෙන එතන තියනවා වාඩියකට යනවා කියලා. ටික වෙලාවක් අහගෙන ඉද්දී මට ඒ හඬ ඇහුණේ ගැහැනු කෙනෙකුගෙ විලාපයක් වගේ. ඇත්තටම කන්ද උඩින් ඒ හඬ ඇහිලා විනාඩියක් දෙකක් ගත වෙන්නත් කලියෙන්ම ඒ ශබ්දය මගේ ටෙන්ට් එක පිටි පස්සෙන් ඇහෙන්න ගත්තා. එදා නම් මම ඇත්තටම බය වුණා. මම ඒ ටෙන්ට් එක සවිකරලා තිබුණු තැනට පළාත් පහක් පේනවා. මම ටෙන්ට් එක ඇරලා බලනකොටම ඉස්සරහින්ම පෙනෙන්න තිබුණේ බෞද්ධ ස්තූපයක්. මම ගෙස් කරපු විදිහට ඒ කතරගම කිරිවෙහෙර පුදබිම. මම ඒ දිහාව බලාගෙන බුදුගුණ සිහිකරලා පින් අනුමෝදන් කළා. එතකොටම ඒ ශබ්දය නැතිව ගියා. එදානම් මම ඇත්තටම බය වුණා. පසුදින උදෑසන පහළ ගම්වල දෙමළ මිනිසුන් හමුවුණු වෙලාවෙ මම මේ සිදුවීම ගැන කීවා. එතකොට ඒ අයත් ඒ වගේ ශබ්දයක් ඇහිලා තියෙනවා සහ ඒ ආශ්‍රිතව විවිධ කතාන්දර කීපයක් කීවා. නමුත් තවත් පිරිසකගේ අදහස වුණේ ඒ බෝදිලිමා කියන සතාගේ ශබ්දය බව. මං පස්සේ ඒක යූටියුබ් එකේ හොයල බැලුවා ඇත්තට මේ ශබ්ද දෙක සමානයි. ඒ දවස නම් මම ඇත්තටම ගොඩක් බය වුණා. හැබැයි ඒ භයානක අත්දැකීම ලැබුවට පස්සේ මං අද්භූත දේවල්වලට තිබුණු බයත් නැති කර ගත්තා.
සොබා දහම විඳිමින් මේ කඳු තරණය කිරීමේ අත්දැකීම ඔබට මොන වගේ හැඟීමක් ද?
මම කුඩා කාලෙ ඉඳන්ම තනිව ස්වභාදහම විඳින්න ආස කරපු කෙනෙක්. මම මාත් එක්ක ගත කරන වෙලාව තමයි. මම හයික් එකක් කරන වෙලාව. මේ පරිසරය, සතා සිවුපාව, අපි කියන්නේ එකම ජීවයක කොටස්. ඉතින් අපිට වගේම ඒ දේවල්වලටත් ජීවයක් තියෙනවා. ඇත්තටම කඳු මුදුන්වල පවා ගොඩක් ශක්තීන් ගැබ් වෙලා තියෙනවා කියලා ඇඟට දැනෙනවා.
මේ බැඳීම් හරිම වැදගත්. මම තනිවම මේ කඳු හෙල්වල ඇවිදිනකොට පරිසරයත් එක්ක කතා කරනවා. කඳුමුදුන්වල ඒ තියෙන මීදුම, කුරුල්ලන්ගේ නාද, ගංගා ඇළ දොළවල ශබ්ද, හරිම මිහිරි වින්දනයක් ගෙන දෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි සොබා දහම අපිට නිවැරදි මඟ පෙන්වීමක් කරනවා කියන දෙය. අපි නිවැරදි නම් අපිට සොබා දහම ආශීර්වාද කරනවා කියන එක. ඉතින් ඒ විශ්වාසයයි, මගේ ආත්ම ශක්තිය මත තමයි මම මේ ගමන යන්නේ.
දැනට ඔබ සංචාරය කරල තියන ස්ථාන අතරින් ලස්සනම තැන කියලා ඔබ දකින්නේ කොහේ ද?
මම ආසම මගේ හිත බැඳිලාම තියෙන තැන තමයි නකල්ස් ඒක කඳු තිහක විතර ප්‍රමාණයකින් සමන්විත ප්‍රදේශයක්. මට එතන හරිම හුරු පුරුදුයි. මම හොයන වයිබ් එක තියෙන්නේ එතන. ඉතිං මම ආසම තැන නකල්ස්.
හුදෙකලා කඳු තරණවල අරමුණ මොකක් ද?
මම මාව විශ්වාස කරන්න පටන් ගත්තේ, මගේ කැපෑසිටි එක තේරුම් ගත්තේ, මට ආත්ම විශ්වාසයක් හැදෙන්න, හොඳ ෆිට්නස් හැදෙන්න මගේ මොරාල් එක හැදෙන්නෙ මේ හයිකින් නිසා. මගේ ජීවිතේට අදහන වීරයෙක් නැහැ. මට තියෙන්නේ මාත් එක්ක තරගයක්. මගේ වීරයා මම. ඉතින් මේ ගමනේ ප්‍රධාන අරමුණ තමයි මම මාව සොයා ගැනීම. ඒ වගේම තමයි කඳු තරණය කරන තැන් තෝර ගන්න කොට මට සැලැස්මක් තියෙනවා. මම ආසයි මේ කඳු ඇතුළේ තියෙන සැඟවුණු ගුප්ත ඉතිහාසයට. මේ කඳු හරහා වැටිලා තියෙන මං මාවත් හොයන්න. උමං මාර්ග ගැන දැන ගන්න. මේවායේ පාරිසරික වෙනස්කම්. භූගෝලීය පිහිටීම් වගේ දේවල් ගැන හොයලා බලන්න. ඒ අරමුණුත් මගේ කඳු තරණයන්වල තියෙනවා.
තවමත් ගිහින් නැති නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියනවා ද?
ලකේගල. ඇත්තෙන්ම ලකේගල නඟින්න මම තාම හිතල නැහැ. මොකද මට බලාපොරොත්තුවක් තියෙනවා නකල්ස් කඳු පංතියේ තියෙන හැම කන්දක්ටම නැගලා, ඒවා ගැන තව හොයලා අවසානයේ ලකේගල නගින්න. ඒ නිසා මීමුරේ ලකේගල කඳු තරණය තමයි යන්න බලාපොරොත්තුෙවන්ම ඉන්න කඳු තරණය.
මේ ගමන්වලට ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් කියමු?
මුල් කාලෙදී නම් ගෙදර අය දන්නේ නැහැ මේ විදිහේ ගමන් යනවා කියලා. ගෙදරට හොරෙන් තමයි ගියේ. නමුත් දැන් නම් මම වීඩියෝස් එහෙම දාන නිසා ගෙදර අය දන්නවා. ඒ වගේම මගේ වීඩියෝස් දාපුවහම අපේ ගෙදර අය තමයි දැන් මුලින්ම බලන්නේ. එයාලත් ඒ දේවල්වලට ආසයි. මගේ පවුල මම ගැන ලොකු විශ්වාසක් තියල තියනවා. ඒ විශ්වාසය මට ලොකු ශක්තියක්.
අලුතින් මේ වගේ කඳු තරණයට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්න තරුණ පිරිසට දෙන්න තියෙන උපදෙස් මොනවා ද?
දෙන්න තියෙන හොඳම උපදේශය තමයි සොබා දහම එක්ක හරියට ගනුදෙනු කරන්න කියන එක. මේක හරිම සංවේදී පරිසරයක්. යන්නන් වාලේ කඳු නගින්න යන්න එපා. අපි මේ ගමන් යන්න ඕන ලස්සන දකින්න, නිදහස අත්විඳින්න, පරිසරය එක්ක හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගන්න, ඉතින් ඒ දේවල් හොඳින් අත්විඳලා පරිසරය විනාශ නොකර, තවත් අයට ඒ අසිරිය අත්විඳින්න පුළුවන් විදියට ඒ දේවල් ඉතිරි කරලා, ආරක්ෂා කරලා එන්න. ඒ වගේම හුදෙකලා කඳු තරණයන්හි දී තමන්ගේ ආරක්ෂාව ගැනත් හොඳට හිතන්න. හොඳ ආත්ම විශ්වාසයකින් කටයුතු කරන්න තමන් තුළ ශක්තියක් ගොඩනඟා ගන්න.
දුලක්ෂි ලියනගේ