මෙවර සඳැල්ල කවරයේ කතාව හැඩ ගන්වන ඇය වේදිකාව - සිනමාව - ටෙලි නාට්‍යය යන අංශ හොඳින් වටහා ගෙන කටයුතු කරන තුරුණු රංගන ශිල්පිනියක ලෙස සඳහන් කළ හැකිය. ඊටත් අමතරව මියුසික් වීඩියෝ වෙනුවෙන් ඇය ලබා දෙන දායකත්වයද අගය කළ යුතුය. තුරුණු රිද්මය රැගෙන රංගනයේ පැහැබර - අරුත්බර ගමනක් යන මනෝජා ප්‍රනාන්දු මේ දිනවල වැඩි පුර දායකත්වය ලබා දෙන්නේ වේදිකා නාට්‍ය රංගනයට යැයි සඳහන් කරයි.
මේ දිනවල කාසියට ගහක් ඇතුළු තවත් නාට්‍යය දෙකක් සමග අපි සිම්පතික් හැන්දෑවක නමින් කෙටි නාට්‍යය උළෙලක් පවත්වනවා. එහි මංගල දර්ශනය පැවැත්වෙන්නේ ජනවාරි 18 සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පණීභාරත ශාලාවේදී. ඊටත් අමතරව චාලක රනසූරිය මහතාගේ අලුත් වේදිකා නිර්මාණය වන අටවන බුවනෙක නාට්‍යයේ පුහුණුවීම්වලට මේ දිනවල දායක වෙනවා.
ඊට අමතරව විකාශය කෙරෙන සිටුවර පුවත, සහ සසංකාරා. ටෙලි නිර්මාණ චරිත සමග ද ඇය අප හමුවට එනවා. සිටුවර පුවතේ පුන්නි නමැති චරිතය නිසා ලැබෙන ප්‍රතිචාර යහපත් යැයිද මනෝජා ප්‍රනාන්දු පවසනවා.
- රංගනයටම හිත ගිය මේ ගමන ඇයට හැඟෙන විදිහ ගැන සඳැල්ලට කීවේ මෙලෙසින්.
පොඩි කාලයේ ඉඳලම මම දක්ෂතා දැක්වූයේ කලා අංශයට. කුඩා කාලයේ සිට මා දැක් වූ දක්ෂතා නිසා එම අංශයේ හැදෑරීම් කළ යුතුය යන අවබෝධය ඇතිව මව්පියන් මාව යොමු කළේ කලාවට. අධ්‍යාපනයේදී වෙනත් විෂයයන් ගැන නොහිතා මම තෝරා ගත්තේ කලා විෂයයන්. ඇත්තම කිව්වොත් මට තිබුණෙ කලාවෙන් ඉදිරියට යන අරමුණක්. ඒ අරමුණ අද යම්තාක් දුරකට සපල වී තිබෙනවා. ඒ හැර මට තවත් අරමුණු තියෙනවා. 2017 දි මුලින්ම ක්ෂේත්රයට ආවේ මියුසික් විඩියෝවකින්.
- මියුසික් වීඩියෝ රංගනය ගැන හිතන්නෙ කොහොම ද?
මියුසික් වීඩියෝ කියන්නෙ මේ ක්ෂේත්රයට එන්න මට පාර කියූ ඇරඹුමක්. ඒ හරහා තමයි මට එක රැයකින් ජනප්‍රිය කියන ලේබලය ලැබුණෙ. 2014 සිට මට අවස්ථා ලැබුණත් මම කළබල වුණේවත් ඉක්මන් වුණේවත් නැහැ. තෝරා බේරාගෙන තමයි 2017 සිට රංගනයේ ගමන හරියටම පටන් ගත්තෙ. මගේ අරමුණ වුණේ ඉතාමත් හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයින් අතරට යාමටයි. කොහොම වුණත් මියුසික් වීඩියෝ රංගනය කියන්නෙ මගේ ජීවිතයේ හැරවුම් මාවතයි. ටෙලි නාට්‍යයවලට වඩා මේ දක්වා මම දායකත්වය දුන් මියුසික් වීඩියෝ සංඛ්‍යාව වැඩියි. අමිල නිදහසගේ රැය වන්නට ඕනැම නැහැ ගීතයේ මියුසික් වීඩියෝව වෙනුවෙන් පසුගියදා පැවැත්වූ සම්මාන උළෙලකදී මාව හොඳම නිළියට නිර්දේශ වුණා. ඒ ගැනත් මට තියෙන්නෙ සතුටක්. ඒක ඉතා අරුත්බර නිර්මාණයක්.
- චරිත රංගනයේදී තෝරාගත් චරිත විතරද එතකොට බාරගන්නෙ?
එහෙම විශේෂයක් හෝ තේරීමක් නැහැ. රංගන ශිල්පිනියක් ලෙස මගේ වෘත්තීය රඟපෑම නම්? මේ චරිතය විතරයි කරන්නෙ- අහවල් චරිතය කරන්න බැහැ කියලා මම වර්ගීකරණය කරලා නැහැ. එහෙම විය යුතු නැහැ. මම ඕනෑම චරිතයකට ඔට්ටුයි. අපෙ ජීවිතවල තියෙන හැඟීම් සහ ක්‍රියාකාරකම් තමයි අපි රංගනයෙන් ප්‍රකාශ කරන්නෙ. එහෙම නැතුව අමුතු දේවල් නෙවෙයිනෙ. ඕනෑම චරිතයක් කරන්න පුළුවන්ය කියන විස්වාසනීයත්වය මට තියෙනවා.
- වට්ස් ලයිෆ් කියලා ඇහුවොත් ?
මම හිතන්නෙ ලයිෆ් එක හෙවත් ජීවිතය කියන්නෙ කර්මය කියන එකටයි. ජීවිතේ අපි කරන කියන දේ සහ සිතුම් පැතුම් එක්ක අපි ජීවත් වන විදිහ සහ අපි කරන හොඳ නරක එක්ක තමයි අපේ ජීවිත පවතින්නෙ. කර්මය කියන දේ මම දැඩිව විශ්වාස කරන කෙනෙක්. අපි කරන හොඳ නරක මත අපේ ජීවිත තීරණය වන වග මම අත්විඳි කෙනෙක්. අපි ඉතාම හොඳින් ජීවත් වුණාම ජීවිතය ආදරණීය වෙනවා. ජීවිතය කියන්නෙ ඇත්තටම ආදරයට. ආදරය නැතුව ජීවත් වෙන්න බැහැ. මොන දේ තිබුණත් ආදරය නැත්නම් වැඩක් නැහැ. තමන්ට ලැබෙන ආදරයකින් ජීවිතයම ලස්සන කර ගන්න පුළුවනි.
- වට්ස් ලව්? ආදරය කියන්නේ මොකක්ද ?
ආදරය කියන්නෙම විශ්වාසයට. නමුත් ලැබෙන අත් දැකීම් අනුව ඉදිරියේදී එය කොහොම වේවිද කියලා මට දැන් කියන්න බැහැ. මෙතෙක් ලැබූ අත්දැකීම් එක්ක අද මට දැනෙන විදිහ ගැනයි මම කිව්වෙ.
- මොන විදිහෙ කෙනෙක් ද මනෝජා ?
නැව ගිළුනත් බෑන් චූන් වගේ නිතරම සතුටින් ඉන්න කැමති කෙනෙක්.
මගේ ළඟ සිටින අයත් ඒ ගැන දන්නවා. ඒ වගේම මම හරි සංවේදී කෙනෙක්. සමහර අවස්ථාවලදී කේන්ති යන්නෙ අසාධාරණයේදී. එතැනදී මට පුද්ගලයා හෝ තරා තිරම ලොකු නැහැ. මම අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා. මම නිදහසට කැමති කෙනෙක් නිසා නිදහසට බාධා වෙන අයගෙන් ඇත් වෙනවා. මගේ හැටි එහෙමයි.
සඳුන් ගමගේ