රිදී තිරයෙන් රංගනයට අත් පොත් තබා දැන් පුංචි තිරය හැඩ කරන ඔහු තම කඩවසම් පෙනුමෙනුත් රංගනයේ දක්ෂතාවයෙනුත් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගනිමින් සිටියි. නාඩගම්කාරයෝ හි සුද්දා ලෙසින් පුංචි තිරයේ තම නම සනිටුහන් කරගත් ඔහු නමින් විරාජ් ධනූෂ ය. මේ මෙවර සැඳැල්ලෙන් ඔහු සමග කළ සොඳුරු කතාබහයි...
- විරාජ් මේ දවස්වල කලා කටයුතුත් එක්ක කාර්යබහුල වෙලාද?
ඔව්. මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ජුරාලියා, හිරු නාළිකාවේ විකාශය වන පාට කුරුල්ලෝ සහ දෙරණ නාළිකාවේ විකාශය වන බේකරි ගෙදර කියන ටෙලි නිර්මාණ කිහිපයේ වැඩකටයුතු කරගෙන යනවා. ඉතින් මේ නිර්මාණවල රූගත කිරීම් නිසා පොඩි කාර්ය බහුලත්වයක් තියෙනවා.
- ඔබ මේ චරිත අතරින් වැඩිපුරම කැමති මොන චරිතයට ද?
එහෙම විශේෂත්වයක් නැහැ. මට ලැබෙන හැම චරිතයක්ම මම භාර ගන්නේ ඒකට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසයෙන්. ඒ නිසා මම ඒ හැම චරිතයක්ම මට පුළුවන් උපරිමයෙන් කරනවා සහ ඒ හැම එකකටම එකම විදිහට කැමතියි.
- ඔබව දකින්න ලැබෙන චරිතවලදි වගේම සමාජ මාධ්‍ය තුළ ඔබේ හැසිරීම් එක්කත් විරාජ් කියන්නේ හරිම විනෝදකාමී කෙනෙක්. ඇත්තටම විරාජ් මොන වගේ කෙනෙක් ද?
ඇත්තටම මම පිස්සු ඩයල් එකක්. හැමවෙලේම හිනාවෙලා ෆන් එකේ ඉන්න කැමති කෙනෙක්. නමුත් කොච්චර පිස්සු නැටුවත් හැම දෙයක්ම ගැන ගොඩක් හිතන කෙනෙක්. ඒ කියන්නෙ හැමෝම මාව පිටතින් දකින සෙල්ලක්කාරකමට එහා ගිහින් සීරියස් වෙන තැනුත් ගොඩක් තියෙනවා. ඒ වගේම මම පොඩි පොඩි දේවල් ගැන ඕනවටත් වඩා හිතන, පොඩි දේටත් අවුල් යන කෙනෙක්. හැබැයි වැඩිකොටසක් පිස්සු තමයි.
- ඔබේ හැරවුම් ලක්ෂය නාඩගම්කාරයෝ කීවොත්?
ඔව් මම ඒක පිළිගන්නවා. මම මේ ක්ෂේත්රයට මුලින්ම එන්නෙ 2017 දී විකාශනය වුණු ඒ ලෙවෙල් කියන සිනමා පටය හරහා. නමුත් බොහෝ දෙනෙක් විරාජ් කියන චරිතය හරියටම අඳුන ගත්තේ නාඩගම්කාරයෝ නිසා තමයි. දැනටත් මඟ තොටේ හමුවෙන බොහෝ ප්‍රේක්ෂකයෝ මට කතා කරන්නේ සුද්දා කියලා. ඇත්තටම සුද්දා කියන නම මට දැන් ගරු නාමයක් වගේ. මිනිස්සු ඒ තරම් දුරට මාව ඒ චරිතය නිසා වැලඳගෙන තියෙනවා. ඉතින් එතන තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය.
- නළුවෙක් වෙන එක විරාජ්ට තිබුණු සිහිනයක් ද?
මම හිතන විදිහට අපි හැමෝටම එක එක හීන තියෙනවා. හැබැයි ඒවා හීන විදිහට තිබිලා වැඩක් නැහැ. ඒවා සැබෑ කරගන්න මහන්සි වෙන්න ඕන. හීන පස්සෙන් දුවන්න ඕන. එතකොට තමයි කවදක හරි තමන් දකින සිහිනයට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මටත් ඒ වගේ හීන ගොඩක් තිබුණා. ඒ අතරින් මේ හීනෙත් එකක්.
- කොහොමද මේ දවස්වල ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර. ඒ ගැනත් කියමු?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්රේක්ෂකයන්ගෙන් ඒ ලැබෙන අභිප්‍රේරණය තමයි අපිට තව තවත් වැඩ කරන්න පුළුවන් කියන විශ්වාසය සහ තව තව වැඩ කරන්න ඕන කියන හැඟීම අරගෙන එන්නේ. ඉතින් අපිට අප් එකක් දෙන්න, තවත් ඉහළට යන්න ඒ ආදරේ හරිම වැදගත්. මේ දවස්වල නම් ඒ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා.
- රිදී තිරයේ වැඩ කටයුතු මුකුත් නැද්ද?
දැනට නම් චිත්‍රපට සම්බන්ධයෙන් ආරාධනා මුකුත් ලැබිලා නැහැ. මම මේ ක්ෂේත්රයට එන්නෙම රිදී තිරය හරහා. ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නවා අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා.
- ඔබ ගොඩක් කලා තරුවල විවාහ මංගල්‍යයන්ගේ බෙස්මන් විදිහට දකින්න ලැබෙනවා. මේ වෙනකොට විවාහ උත්සව කීයකට විතර සම්බන්ධ වෙලා තියෙනවාද?
තවම එහෙම ගණන් කරලා නම් නැහැ. මම හිතන්නේ ගණන් කරගන්න බැරි තරම්ම ඉඳලා ඇති.
- එතකොට විරාජ් මනමාලයට අඳින්නේ කවදද?
ඉදිරියට බලමු නේද... තවම නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ.
- ඒ කියන්නේ ඔබේ ප්‍රේම කතාව ගැන දැන්ම කියන්නෙ නැහැ?
ප්‍රේම කතාව කියන්න නම් ඊට කලින් ඒක ලස්සනට හදාගන්න ඕන. මම තාම ප්‍රේම කතාව කියන පිටපත ලස්සනට ගළපලා හදන ගමන් ඉන්නේ. හදලා ඉවර වුණාම එළියට දෙන්නම්.
- විරාජ් පවුලෙ අයවත් මතක් කරමු?
මමයි අම්මයි නංගි තමයි පවුලේ ඉන්නෙ. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. එයා නැතිවෙලා දැනට අවුරුදු එකොළහක් වෙනවා.
- ගෙදරින් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොයි වගේද?
ඇත්තටම අම්මා නොහිටියා නම් අද මම නළුවෙක් නෙමෙයි. මගේ නළුකමේ පළමු පියවර තියන්නේ මගේ අම්මා. මම අවුරුදු දහතුනක් දාහතරක් පුරාවට සාම්ප්‍රදායික නර්තන කලාව හදාරපු කෙනෙක්. ඉතින් මම පොඩි කාලෙදීම නර්තනයට සම්බන්ධ කරලා, මට වේදිකාව හුරුකරලා, භය කියන එක නැති කරලා, මම තුළ කලාවට ආදරේ කරන කෙනෙක් ගොඩ නැගුවේ මගේ අම්මා. අම්මා නැත්තම් මම අද මෙතන නැහැ. මම අද යම් තැනක ඉන්නවා නම් මේ ක්ෂේත්රයේ නමක් හදාගෙන ඉන්නවා නම් ඒ අම්මා නිසාම තමයි. ඉතින් මට ගෙදරින් තමා ලොකුම සහයෝගය ලැබෙන්නේ.
- ඔබ දැන් වෘත්තීමය රංගන ශිල්පියෙක්?
ඔව්. මම එහෙම තැනක ඉන්නවා.
- තරුණයෙක් විදිහට මේ වෘත්තිය තෝරා ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ?
තරුණ වයසෙදි අපිට විවිධාකාරයේ ඉලක්ක තියෙනවා. මටත් ඒක පොදුයි. ඒ අරමුණු, ඉලක්කවලට යන ගමනේදී මමත් ඒ ඒ කාලවලදි ඒවාට හැඩ ගැහෙයි. හැබැයි කිසිම වෙලාවක මම කියන්නෙ නැහැ රංගනය කියන දේ කරන්නේ ආතල් එකට, එහෙම නැත්තම් පාට් ටයිම් හෝ විනෝදයට වගේ කියලා. මම මේ දේවල් කරන්නේ වෘත්තීමය හැඟීමෙන්. ඇත්තටම මම මේ වෘත්තියට හරිම ආදරෙයි. ඒ වගේම මේ වෘත්තිය තෝරා ගැනීම සම්බන්ධයෙන් උපරිමයෙන් තෘප්තිමත්. හරිම සතුටින් ඉන්නේ.
- මොනවද අනාගත බලාපොරොත්තු?
ඉදිරියේදී බොහෝ දේවල් කරන්න බලාපොරොත්තු තියෙනවා. ඒ ගැන ඉදිරියේ දී කතා කරන්න පුළුවන් වෙයි. දැන්ම ඒ දේවල් කිව්වොත් එදාට කතාකරන්න දේවල් නැතිව යනවා.
දුලක්ෂි ලියනගේ