2023 මුල් මාස දහයට මිනීමැරුම් 488 ක්


    52 ක්ම වෙඩි තැබීම්
    ගෙවල් බිඳීමත් වැඩිවෙයි

සුජිත් හේවාජුලිගේ


පසුගිය 2023 වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන්වේ. මින් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙඩි තැබීම්වලිනි.

තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් 32, 27, 24, 24, 20ක් වශයෙන් මනුෂ්‍ය ඝාතන වාර්තාවී තිබේ. දිවයින පුරා 2018 - 2022 අතර කාල පරිච්ඡේදයේදී බරපතළ තුවාල සිදු කිරීම් හා මනුෂ්‍ය ඝාතන 7017ක් සිදුවී ඇතැයි පවසන එම වාර්තාව, ඉන්  අපරාධ 2030ක්ම වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී බවද කියයි.

රටේ බල අපරාධ වාර්තාවීම වර්ධනය වීම වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි එම වාර්තාව නිර්දේශ කරයි. මේ අතර පසුගිය වසර හයක කාලය සැලකිල්ලට ගැනීමේ දී ගෙවල් බිඳීම් හා කොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. 2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී  එම අපරාධවල සියයට පනහක පමණ වර්ධනයක් පෙන්නුම් කෙරුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි. ගෙවල් බිඳීම හා කොල්ලකෑම යන බල අපරාධ විසඳීම ගත් විට පසුගිය වසර හයේදී අඩුම විසඳීමේ ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේද පසුගිය වසරේදීය. 

මේ අතර කාන්තාවන්ට එරෙහි බල අපරාධ 2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට විසි හතකින් වැඩිවී තිබූ බව පවසන එම වාර්තාව ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් තිබූ බවද සඳහන් කරයි. කාන්තාවන්ට බරපතළ තුවාල කිරීම් සංඛ්‍යාව 154 සිට 221 දක්වා ද පිහි ආදියෙන් තුවාල කිරීම් සංඛ්‍යාව 74 සිට 96 දක්වා ද බරපතළ ලිංගික අපයෝජන සංඛ්‍යාව 21 සිට 37දක්වා ද වර්ධනය වී තිබූ බව එම වාර්තාව අනාවරණය කරයි.

පසුගිය වසරේදී මෙම අපරාධ විසඳීම සියයට 99ක ප්‍රගතියක් පෙන්නුම් කළද අපරාධ වාර්තා වීම වැඩි වී තිබූ බව පවසන විගණන කාර්යාලය අපරාධ පාලනය හා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ප්‍රකාශ කරයි.