හැත්තෑඑකේ කැරැල්ල සිදුවූ දිනය ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ 1971 අප්‍රේල් 5 වැනි දිනය. එදා එකම ගුවන් විදුලිය වූයේ රේඩියෝ සිලෝන් එකය. අද මෙන් හැටහුටාමාරක් එෆ්. එම්. සේවා එදා වැහිවහලා තිබුණේ නැහැ. අද මෙන් අටෝරාසියක් රූපවාහිනී චැනල් එදා තිබුණා නම් විජේවීරට “වොයිස් කට්” දී ඉවරයක් නැතිවනු ඇත. එහෙත් එදා තිබුණේ ආණ්ඩුවේ රේඩියෝවත්, පෞද්ගලික පත්තරත් පමණි. අප්‍රේල් 5 වැනිදාට පසුදින එළැඹෙන අප්‍රේල් 6 වැනිදා පුවත්පත් මේ කැරැල්ල වාර්තා කර ඇති අන්දම පිරික්සීමේදී කදිම අතීත තොරතුරු රැසක් අනාවරණය කොටගත හැකි විය. මේ ඉපැරැණි පුවත්පත් පිරික්සීමේදී පෙනී යන්නේ කැරැල්ල සිදුවූ 1971 අප්‍රේල් මස 5 වැනිදා දිනය සඳුදා දිනයක් බවය. අප්‍රේල් 6 වැනි අඟහරුවාදා දින ලංකාදීප පුවත්පත මෙය වාර්තා කොට ඇත්තේ දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය පනවයි යන ශීර්ෂ පාඨය අනුවය. එදින ලංකාදීපය මේ ප්‍රවෘත්තිය වාර්තාකොට ඇත්තේ අවසන් වරට මුද්‍රණය කෙරෙන අගනුවර මුද්‍රණයේ පමණි. ඊට පෙර පුවතේපත් මුල් ශීර්ෂ පාඨය වී තිබුණේ සළුසල රෙදිපිළි අවුරුදු කාලේ හොරෙන් පිටකොටුවේ විකිණීමක් වැටලීම ගැනය. කැරැල්ල ගැන ලංකාදීප වාර්තාව මෙසේය.
රටේ තත්ත්වය සාමකාමී අතට හැරෙන තුරු බදුල්ල, මහනුවර, මොනරාගල, අම්පාරේ සහ නුවරඑළිය යන පාලන දිස්ත්‍රික්ක පහේ සවස 7 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ඊයේ සිටම ක්‍රියාත්මක වෙයි.
පොලිසිය සහ ත්‍රස්තවාදී කණ්ඩායම් අතර ඊයේ අලුයම වැල්ලවාය ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තබා ගැනීම්වලින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් මිය ගියහ.
ත්‍රස්තවාදීන්ගෙන් දෙදෙනෙක් වැල්ලවාය පොලිස් ස්ථානයේදීම වෙඩි වැදී මිය ගියහ. පොලිසියේ හතර දෙනෙකුටද ත්‍රස්තවාදීන්ටද මෙම වෙඩි තැබීම්වලින් තුවාල සිදුවී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය ඊයේ නිකුත් කළ පුවත්පත් නිවේදනය මෙසේයි.
අද උදේ පාන්දර එකට පමණ ත්‍රස්තවාදීන් කණ්ාඩයමක් තඹගහවැවපොළදී ලොරියක් බලහත්කාරයෙන් තමන් සතු කරගෙන වැල්ලවාය දෙසට ගමන් කරමින් ජීප් රථයක මුර සංචාරයක යෙදී සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට පොතුවිල් මහාමාර්ගයේදී වෙඩි තබා ඇත.
“පාන්දර 5.30 ට පමණ 40 ක 50 ක පමණ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් අත්බෝම්බ හා තුවක්කු අතැතිව වැල්ලවාය පොලිස් ස්ථානයට පහරදී ඇත. වැල්ලවාය පොලිසිය තුළ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් (2737) ජේම්ස් මහතා මෙම පහරදීමේදී එතැනම මියගිය අතර මෙම කලබලකාරී තත්ත්වය ගැන අසා තම නිවසේ සිට පොලිස් ස්ථානයට එමින් සිටි පොලිස් කොස්තාපල් (2127) ගුණසේකර මහතා ඇල්ල - වැල්ලවාය මහාමාර්ග හන්දියේදී වෙඩි තබා මරා දමා ඇත. පොලිස් පරීක්ෂක ජයසේකර මහතා හා පොලිස් සැරයන් වරයකු ද පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුද මේ පහරදීමේදී බරපතළ තුවාල ලබා ඇත.
පොලිසිය ආපසු වෙඩි තැබීමේදී ත්‍රස්තවාදීන්ගෙන් දෙදෙනෙකු පොලිස් ස්ථානය තුළදීම මියගොස් ඇත. පතරොම් තොගයක් හා තුවක්කුවක් අතැතිව සිටි ත්‍රස්තවාදී කණ්ඩායමේ කෙනකු හා තවත් ත්‍රස්තවාදීන් කීප දෙනකු මෙහිදී තුවාල ලබා ඇත. අනතුරුව තුවාල ලැබූවන්ද රැගෙන ත්‍රස්තවාදීහු පිරිස කැලෑවැදී බේරී ගියහ.
මෙම සිද්ධීන් දිවයින පුරා ත්‍රස්තවාදී ක්‍රියා සඳහා සූදානම් වීමේ ලක්ෂණයක් වන අතර මෙය ආණ්ඩු තන්ත්‍රය අවුල් කිරීමට හා අඩපණ කිරීමට දරන උත්සාහයක් ලෙසද හැඳින්විය හැකිය.
මෙම හේතූන් නිසා අද දින සිට හදිසි අනපනත් යටතේ පහත සඳහන් පාලන දිස්ත්‍රික්කවල සවස 7 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කොට ඇත. එම පාලන දිස්ත්‍රික්ක නම් බදුල්ල, මහනුවර, මොනරාගල, අම්පාරේ සහ නුවරඑළිය ද වෙයි.
රටේ තත්ත්වය සාමකාමී අතට හැරෙන තුරු ඇඳිරි නීති අනපනත් පිළිපදින ලෙස එම දිස්ත්‍රික්කවාසී මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
අප්‍රේල් 6 වැනි දින නිකුත් වූ “දවස” පුවත්පත මෙය වාර්තා කොට ඇත්තේ “දිසා පහක ඇඳිරි නීතිය” යන ශීර්ෂ පාඨය සහිතවය. එම ප්‍රවෘත්තියේ මෙසේ සඳහන්ය.
හදිසි නීතිය යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක පහක ඊයේ සවස සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කළාය.
බදුල්ල, මහනුවර, නුරවඑළිය, මොනරාගල සහ අම්පාර යන දිස්ත්‍රික්ක පහට අයත්වන ප්‍රදේශයන්හි රාත්‍රී 7.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පැය 10 ක් තුළ මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.
මෙයට හේතුවී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායේදී ඇතිවූ වෙඩි තැබීමකින් පොලිස් රාලහාමිලා දෙදෙනෙකු සාහසික අන්දමින් මරා දමා තවත් පොලිස් නිලධාරින් සිව්දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම හා තවත් දෙදෙනකු වෙඩි වැදී මිය යාම නිසා උද්ගත වූ තත්ත්වයක් බව වාර්තා වෙයි.
රජයේ පාලන කටයුතු අවුල් කිරීමටත් අඩපණ කිරීමටත් කලබල ඇති කිරීමටත් පළාත් කීපයක සංවිධානය කරන ලද ත්‍රස්තවාදී ක්‍රියා හෙළිවීම නිසා මහජන ආරක්ෂාව, සාමය හා විනය රැකෙන පරිදි මෙකී ප්‍රදේශවල ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කොට ඇත.
නිවේදනය
මේ පිළිබඳ රජය මගින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ.
“ඊයේ උදේ පාන්දර එකට පමණ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් දඹගහවැවපොලදී ලොරියක් බලහත්කාරයෙන් තමන් සතු කරගෙන වැල්ලවාය දෙසට ගමන් කරමින්, ජීප් රථයක මුර සංචාරයක යෙදී සිටි පොලිස් රාලහාමිලා දෙදෙනකුට පොතුවිල් මහා මාර්ගයේදී වෙඩි තබා ඇත.
පාන්දර 5.30 ට පමණ 40 ක 50 ක පමණ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් අත්බෝම්බ හා තුවක්කු අතැතිව වැල්ලවාය පොලිස් ස්ථානයට පහරදී ඇත.
වැල්ලවාය පොලිසිය තුළ රාජකාරියේ යෙදී සිටි ජේමිස් රාලහාමි (2738) මෙම පහර දීමේදී එතැනම මියගිය අතර මෙම කලබලකාරී තත්ත්වය ගැන අසා තම නිවසේ සිට පොලිස් ස්ථානයට එමින් සිටි ගුණසේකර රාලහාමි (2127) ඇල්ල - වැල්ලවාය මහා මාර්ග හන්දියේදී වෙඩි තබා මරා දමා ඇත.
එම ප්‍රවෘත්තියේම ඇඳිරි නීතිය පැනවීම ගැන සඳහන් වන්නේ මෙසේය.
තහනම්
ඇඳිරි නීතිය බලපාන කාල සීමාව තුළදී පොලිසියේ බලධාරියෙකුගේ අවසර පත්‍රයක් නොමැතිව ගමන් බිමන් යාම හෝ රංචු ගැසීම හෝ සම්පූර්ණයෙන් තහනම් වෙයි.
මේ පැරණි පුවත්පත් නිරීක්ෂණයේදී පෙනී යන්නේ මේ කැරැල්ලෙන් මුළු රටම අකර්මණ්‍ය වී පුවත්පත් පවා ගසාගත නොහැකි වී ඇතිබවය. 1971 අප්‍රේල් 10 වැනිදා දවස පුවත්පත මුද්‍රණය කොට ඇත්තේ පිටු 4 කි. ඒ ගැන පාඨකයන්ගෙන් සමාව අයද ඇත්තේ මෙසේය.
අද “දවස”
ඊයේ දවස පුරා පැවැති ඇඳිරි නීතිය නිසා අද “දවස” පිටු හතරකට සීමා කරන්නට සිදුවූ බව කනගාටුවෙන් දන්වමි.
රටේ උද්ගතව ඇති තත්ත්වය නිසා දින දෙකක් යන විට පුවත්පත්වල කතුවැකිය මුල් පිටුවටම ගෙන ඇත්තේ කැරැල්ලේ භයානක කම නිසා විය යුතුය. අප්‍රේල් 8 වැනිදා ලංකාදීප මුල් පිටුවේ කතුවැකියේ සාමය රකිමු ලෙසත් දවස පුවත්පතේ මුල්පිටුවේ කතුවැකිය ත්‍රස්තවාදය අතුගා දමමු ලෙසත් සඳහන් වේ.
එදා තිබුණ එකම ජනසන්නිවේදන මාධ්‍ය රජයේ ගුවන්විදුලිය හා පෞද්ගලික පුවත්පත් දෙකතුනකි. කටකතා පැතිරයාම ගැන අප්‍රේල් 8 වැනිදා ලංකාදීපය වාර්තාකොට ඇත්තේ මෙසේය.
අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා
ආණ්ඩු විරෝධී පුද්ගලයන් විසින් ප්‍රචාරය කරනු ලබන ද්වේෂසහගත අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස රාජ්‍ය ආරක්ෂක හා විදේශ අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මහජන සාමය හා ආරක්ෂාව සැලසීම උදෙසා රජය සෑම පියවරක්ම ගන්නා බවද රජය නිවේදනය කර ඇත.
එමෙන්ම එම පුවත්පතේ ජවිපෙය සඳහන් කොට ඇත්තේ “ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධානය ලෙසය. එහි රහස් ලියවිලි ගැන ඇත්තේ මෙවැනි සටහනකි. සොයාගත් ලියවිලි අනුව සංවිධානයේ නම සොයාගත් බවද එහි සඳහන්ය.
රහස් ලියවිලි අල්ලා ගනී.
ත්‍රස්තවාදීන් කොළඹ සහ දිවයිනේ පළාත් කීපයක කලබල ඇති කිරීමට සැලසුම් කළ ලියකියවිලි රාශියක් දැන් රජය අතට පත්වී ඇත.
ඉකුත් පස්වෙනිදා රාත්‍රියේ මෙම කලබල සිදුකිරීමට නියමිතව තිබූ බව රජය නිවේදනය කෙළේය. මෙම ලියකියවිලි නිසා සොයාගත් තොරතුරු අනුව රජය ජනතා විමුක්ති පෙරමුණ නමැති සංවිධානය තහනම් කර ඇත.
තහනම් කරන ලද සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන අය වහාම අත්අඩංගුවට ගැනීමට රජය විධිවිධාන යොදා ගෙන යයි.
කැරැල්ල සමයේ ගුවන්විදුලිය පැය විසිහතර පුරා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන ගොස් ඇත. එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස සේවය කොට ඇත්තේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතාය. ගුවන් විදුලිය ගැන 8 වැනිදා පත්තරවල ඇත්තේ මෙවැනි විස්තරයකි.
ගුවන්විදුලි සේවය
ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් ඊයේ මෙන්ම අද අලුයම වන තුරුද ක්‍රියාත්මක වනු ඇත.
ත්‍රස්තවාදී කණ්ඩායම්වල 39ක්ම මියගොස් ඇත්තේ පොළොන්නරුවේදීය. මීරිගම 8 දෙනෙක් මියගොස් සිටිති. මේ බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
පෙරේදා වැල්ලවායේදී දෙදෙනෙක් මිය ගියහ.
ඊයේද බෝම්බ සහ පතරොම් විශාල සංඛ්‍යාවක් සොයා ගෙන ඇත.
71 කැරැල්ල 5න් පසු මියගිය ගණන ගැන නිශ්චිතව සඳහන් කොට ඇත්තේ 8 වැනිදා පුවත්පත්වලය. එය මෙසේය.
මියගිය ගණන 122
ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව අද දවල් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ අන්දමට මෙසේය.
කුරුණෑගල 10
අවිස්සාවේල්ල 5
හංවැල්ල 3
කෑගල්ල මරණ 30
පරගම්මන කෑගල්ලට නුදුරු මරණ 25
දැන් මුළු මරණ සංඛ්‍යාව 122 කි.
කැරැල්ලෙන් පසු එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ මැතිනිය ජාතිය අමතා ඇත්තේ ගුවන් විදුලියෙන් අප්‍රේල් 7 වැනිදා බදාදාය. ඇය ගුවන් විදුලියෙන් ජාතිය අමතා ඇත්තේ මෙසේය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජන ඡන්දයෙන් ආණ්ඩුවක් වෙනස් කිරීම විනා ත්‍රස්තවාදී ක්‍රියා මගින් බලය ඇල්ලීම හෝ එයට ඉඩදීම නොවේ. ඒ නිසා මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට ඉඩදී බලා සිටීමට නුපුළුවන. මේ බෞද්ධ රටේ අපට උරුම වී තිබෙන උතුම් දායාදය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ රැකගත් මේ උතුම් දායාදය අපේ අනාගත දරු මුනුපුරන් වෙනුවෙන් ආරක්ෂා කර තැබීම මගේ මෙන්ම ඔබේද යුතුකමය. ඒ නිසා ඔබ මට පවරා තිබෙන මේ ශ්‍රේෂ්ඨ යුතුකම ඉටුකිරීම මම මගේ ජීවිතයටද වඩා අගේ කොට සලකන්නේමැයි අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඊයේ ජාතිය අමතා කළ කතාවෙන් ප්‍රකාශ කළාය.
හදිසි අවස්ථාවකදී අත්‍යවශ්‍ය භාණ්ඩ නම් කිරීමද සිදුවේ. මේ එදා නම් කළ අත්‍යවශ්‍ය භාණ්ඩය.
අත්‍යවශ්‍ය සේවා නම් කෙරේ.
පහත සඳහන් සේවා අත්‍යවශ්‍ය සේවා වශයෙන් අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කොට තිබේ.
කොළඹ වරාය කොමිෂම, රේගු දෙපාර්තමේන්තුව සහ වරාය (නැව් බඩු) සංයුක්ත මණ්ඩලය මගින් කොළඹ වරායෙහි සලසනු ලබන සේවා
ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සලසනු ලබන සේවා
ජාතික ලුණු සංස්ථාව විසින් සලසනු ලබන සේවා
නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලය විසින් සලසනු ලබන සේවා
5 වැනිදා කැරැල්ලට පසු දිනම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වී ඇත. ඒ ගැන ඇත්තේ මෙවැනි සටහනකි.
මැති සබය 21 දා රැස්වෙයි.
පෙරේදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී රටේ උද්ගතව ඇති හදිසි තත්ත්වය නිසා සභාව අප්‍රේල් 21 දා සවස 2 වන තෙක් කල් තැබිය යුතු යැයි දේශීය හා විදේශීය වෙළඳ ඇමැති ටී.බී. ඉලංගරත්න මහතා යෝජනා කළේය.
මෙම යෝජනාව විපක්ෂනායක ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ස්ථීර කරන ලදී.
රැස්වී විනාඩි 2 කින් මැති සබය රැස්වීම නිමා විය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යළි අප්‍රේල් 21 දා සවස 2 ට රැස්වෙයි.
71 කැරැල්ල ගැන මුල්ම සිව්පදය කළඑළි බසින්නේ ඊට දින 3 කට පසුවය. දවසේ සීපදය කැරැල්ල සිව් පදයට නැගුවේ මෙසේය.
දවසේ සිව් පදය
ජාතිය නගන වැඩ ජාතික විමුක්තිලු
නීතිය කඩා රට පෙරළන පෙරැත්තලු
බීතිය දෙවන තිරිසන්කම අයුත්තලු
ප්‍රීතිය, රජය රැකුමට ජන කැමැත්තලු
කැරැල්ලෙන් පසු දින කිහිපයකම එම පුවත්පත්වල මැද පිටු කාටුන් පළකොට ඇත. 1971 අප්‍රේල් 8 දා අබරන් සීයා කැරැල්ල ගැන කාටූනයක් ඇඳ ඇත්තේ මෙසේය.
දැනගෙන ගියෝත් කතරගං. නොදැන ගියොත් අතරමං. කෙටි පාරෙන් බලයට එන්න ගියොත් හතරමං.
ඒ කියන්නේ හතර වරිගෙත් එක්කම හතර අපායෙ අතරමං.
කැරැල්ල පැවැති යුගයේ පුවත්පත් කන්තෝරුවක ඇතුළ කොහොමට හිටීවිද? එදා පත්තර කැරැල්ල වාර්තා කළ අන්දම ගැන මෙරට ප්‍රකට පුවත් කතුවරයෙකු වූ ගුණදාස ලියනගේ “දිවලකඩ ගුණදාස” ස්වයංලිඛිත චරිතාප්‍රදානයේ සටහන් කොට ඇත්තේ ඓතිහාසික සාක්ෂියක් ලෙසය.
“අපට ඊළඟට ආ ප්‍රශ්නය වූයේ ජනතා විමුක්ති පෙරමුණ හෙවත් චේගුවේරා ප්‍රශ්නයයි. තරුණයන් කැලෑවලදී පන්ති පහක් පවත්වා සංවිධානය වී පොලිසිවලට ගසා ආණ්ඩු බලය අල්ලා ගැනීමට සූදානම් වන බවට ලැබුණු වාර්තා ඒ යුගයේ ජීවත් වූ තලත්තානි පත්තර කර්තෘවරු උපහාසයෙන් යුතුව ප්‍රතික්ෂේප කළහ. එහෙත් ඒවාට ප්‍රමුඛත්වය දෙමින් සවිස්තරව පළ කළ “මෝඩ” කර්තෘවරු දෙන්නෙක්ද වූහ. ඒ “වීක්එන්ඞ්” කර්තෘ රෙක්ස් ද සිල්වා සහ “රිවිරැස කර්තෘ ගුණදාස ලියනගේය. මෙම වාර්තා වැඩිපුර ලියන ලද්දේ ඉංගිරිසි අංශයෙන් ඉක්බාල් අතාස් සහ සිංහල අංශයෙන් දයා විජේසේකර විසිනි.
1971 කැරැල්ල පටන් ගැනීමට මාසයකට පමණ කළින් එක් “රිවිරැසක” මුල් පිටුව මා සම්පූර්ණයෙන්ම කැප කළේ දිවයිනේ නොයෙකුත් පළාත්වලින් ලැබුණු චේගුවේරා වාර්තාවලටය. පිපිරීම ඉතා ආසන්න බව එම ප්‍රවෘත්තිවලින් පැහැදිලි ලෙසම පෙනුණි.
ඊට පසු දින නුගේගොඩ, පාගොඩ පාරේ පැට්‍රෝල් ගබඩාවේදී මට එච්.කේ. මහින්දදාස මුණ ගැසුණි. ඔහු එවකට මැතිනියගේ “සිරිලක” පත්‍රයේ කතුවරයා විය.
“මිස්ටර් ලියනගේ රිවිරැසට මොකද වෙලා තියෙන්නේ? මේ කජුකිරි කොල්ලෝ ටිකක් කරන විකාර වැඩවලට ඇයි වැදගත් පත්තරයකින් ඔය තරම් තැනක් දීලා උන්ව වීරයො කරන්න හදන්නේ?” යි මහින්දදාස මගෙන් ඇසීය.
එහෙත් රිවිරැස සහ වීක්එන්ඞ් පත්තරවලින් ඒ අන්දමින් රටට කරුණු නොකීවා නම් ඒ අනුව පොලිසිය යන්තම් හෝ සූදානමින් නොසිටියා නම් කජු කිරි කොල්ලන් මේ රටේ බලය අල්ලන්නේ කජු කන්නාක් මෙනි.
ඒ වන විට නැවතත් රෝගාතුරව සිටි ධනපාල මහතා බලන්නට මාර්තු මාසයේ මැදදී දිනක මම ඔහුගේ නිවසට ගියෙමි. තරුණ විප්ලවයක් නිසා භයානක ලේ වැගිරීමක් අත ළඟ බව ධනපාල මහතා තරයේ විශ්වාස කළේය. ඒ වේලාවේ හැටියට එක පැත්තක්වත් විවේචනය කරන්නට නොගොස් ප්‍රවෘත්ති පමණක් අපක්ෂපාතීව ඉදිරිපත් කරන ලෙස ධනපාල මහතා මට කීය.
1971 මාර්තු 18 වෙනිදා පාන්දර කොළඹ ඩර්ඩන්ස් රෝහලේදී ධනපාල මහතා අවසන් හුස්ම හෙළීය. මරණය ගැන කාටවත් නොදන්වා ගුණකථන නැතිව පැය ගණනක් ඇතුළත අවමඟුලේ සියලු කටයුතු අවසන් කළ යුතු බව ධනපාල මහතා කල් ඇතිව කියා තිබුණු නිසා සියල්ල චාම් අන්දමින් සිදුවිය.
අන්තිමේදී මුළු රටම මවිතයට පත් කරමින් “කජු කිරි කොල්ලන්ගේ” විප්ලවය ආරම්භ විය. ආණ්ඩුව තිගැස්සුණි. කැරැල්ල මැඩ පැවැත්වීමට වහ වහා කටයුතු යොදන ලදී. ඒ අතර සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම චේ තරුණයන්ගේ පාලනය යටතට පත්විය.
පත්තර රක්ෂාවත් එක අතකින් බලන විට මහා අවාසනාවන්ත එකකි. මොන තත්ත්වයක් යටතේ හෝ රටට පත්තර දීම අපේ යුතුකම විය. ඇඳිරි නීති බලපත්‍රය නැමැති කුඩා කඩදාසි කැබැල්ලකට දිවි පරදුවට තබා අපි පත්තර කන්තෝරුවට ගියෙමු. ආවෙමු. ඒ අතර දෙනියාය, වරකාපොළ ආදී ඉතා භයානක ප්‍රදේශවලට පිටත්කර යවන ලද වාර්තාකරුවන් ගැන දවස් ගණනක් කිසිම හෝඩුවාවක් නැතුව සිට අන්තිමේදී ත්‍රාසජනක අත්දැකීම්ද ඇතිව ආපසු ආවෝය.
ඇඳිරි නීති බලපත්‍ර ඇතිව ඒ මේ අත ගියත් අපි දවසකට කීප වරක් හිතින් මැරුණෙමු. සමහර දිනවල එළියට බැසීමට බය නිසා මුළු රාත්‍රියම කාර්යාලයේ ගත කළ මට පිහිට වූයේ ගෙදරින් ගෙන ගිය කෑම පාර්සලයට වඩා ඇල්වතුර බෝතලයයි. ඒ ඇල්වතුර බෝතලයේ හරි අඩකට වැඩියෙන් තිබුණේ රොක්ලන්ඞ් ජින් නිසා එයින් වතුර ටිකක් දුන්නේ ඉතා හිතවත් කීප දෙනෙකුට පමණකි. කෙසේ වෙතත් රාත්‍රියේ වැඩ අවසන් වී වතුර බෝතලයෙන් ටිකක් බී පත්තර මිටියක් කොට්ටයට තබාගත් විට ලෑල්ල මත කදිමට නින්ද ගියේය.
46 වසරකට පෙර සිදුවූ මේ සිදුවීම් අද බොහෝ දෙනෙකුගේ මතකයෙන් වියැකී ඇතුවා නියතය. බණ්ඩාරනායක මැතිනියගේ ගුණ සමරුවකදී ඇගේ දියණිය සුනේත්‍රා කියා සිටියේ කැරැල්ල සමයේ විදේශ නායකයන් තම මව හැඳින්වූයේ කැබිනට් මණ්ඩලයේ සිටින එකම පිරිමියා ලෙස බවය. අද මේ සිද්ධි වාර්තා කළ පුවත්පත් කලාවේදීන් බොහොමයක් මළවුන් අතරය. එහෙත් එදා ගැන පැහැදිලි ස්මරණ ශක්තියක් ඇති අයද දැකගත හැකිය. වාර්තාකරණයේ දී මෙන්ම පත්‍රකලාවේදීත් ඔබේ මතය, මගේ මතය සහ සත්‍ය කියා තුනක් තිබේ. අප කළේ 46 වසරක් පැරැණි ඉතිහාසය හාරා අවුස්සන ප්‍රතිවාර්තාකරණය විනා මේ ගැන අපේ මතවාදය ඉදිරිපත් කිරීම නොවේ.
සටහන - ඩී. ජී. ලියනගේ