නිමන්ති රණසිංහ
රටේ උණුසුම් කාලගුණ තත්ත්වය ලබන මැයි මස අග භාගය වනතුරු පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමගම එම උෂ්ණාධික තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවසුවාය.
පරිසරයෙහි ජලවාෂ්ප වැඩිවීම හේතුවෙන් ශරීරයෙන් දහඩිය පිටවීම අඩුවීමෙන් මෙම උෂ්ණාධික තත්ත්වය ඇතිවී තිබෙන බව පෙන්වා දෙන ජයවර්ධන මහත්මිය පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩිවී ඇත්තේ සුළං ප්‍රමාණය අඩුවීම නිසා බවද සඳහන් කළාය.
කෙසේ වෙතත් සවස් කාලයේ දී ධාරානිපාත වැසි ඇති වුවහොත් ඒ ප්‍රදේශවල යම් සිසිලසක් ඇතිවිය හැකි බවද ඇය පැවසුවාය.
විශේෂයෙන්ම කොළඹ ඇතුළු නගරවල උණුසුම සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ කොන්ක්‍රීට් ගොඩනැගිලි බවත් එම කොන්ක්‍රීට් ගොඩනැගිලි මෙම අධික තාපය උරා ගැනීමෙන් පිට කෙරෙන උණුසුම් කිරණ හේතුවෙන් මේ අධික උණුසුම ඇතිවන බවත් ඇය පෙන්වා දුන්නාය.
මේ අතර රටේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගැනීම සඳහා ජනතාව ජලය හෝ වෙනත් දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම වැදගත් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
එසේ නොකළ හොත් තාප කම්පන තත්වයන්ට පත්වී විවිධ රෝගාබාධයන්ට ගොදුරු විය හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා උෂ්ණාධික තත්වය දරා ගත නොහැකි වුවහොත් මරණය පවා සිදුවිය හැකි බව පෙන්වා දුන්නේය.