සුජිත් හේවාජුලිගේ
අන්තර්ජාලය හරහා කැසිනෝ සූදු පවත්වාගෙන යන පුද්ගලයන් රජයට බදු ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
ඒවායින් ද බදු අය කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස එම කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. බදු අය කිරීම විධිමත් කිරීම සඳහා කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනත් කෙටුම්පත ඉක්මනින් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා දැනුවත් කරන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
මේ අතර සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය. රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේ දී රැස්විය.
මෙදින කාරක සභාව හමුවේ (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමයක්, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග සලකා බැලිණ.