පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමග මේ දිනවල කතාබහට පැමිණ ඇති ප්‍රධාන මාතෘකාවක් නම් ‘ඉස්ලාමීය අන්තවාදය’යි. විශේෂයන්ම ඉස්ලාමීය අන්තවාදී ඉගැන්වීම් සිදුකෙරෙන අධ්‍යාපනික ආයතන මෙරටේ තිබෙන බවත් ඒවා ගැන ආණ්ඩුවේ අවධානය යොමුකර එම ආයතන තහනම් කිරීමට පියවර ගතයුතු බවත් විවිධ පිරිස් අවධාරණය කරමින් සිටිති.
එවැනි පිරිස් සෘජුව චෝදනා කරන එක් ඉස්ලාමීය අධ්‍යාපනික ආයතනික විශේෂයක් නම් ‘මද්‍රසා’ ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මීට දින කීපයකට ඉහත දී ප්‍රකාශ කළේ මද්‍රසා ඉස්ලාම් අධ්‍යාපන ආයතනවල ඉස්ලාම් අන්තවාදය උගන්වන බවත් ඒ නිසා මේ මද්‍රසා තහනම් කළ යුතු බවත්ය. මෙම මද්‍රසා පාසල් වර්ගය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නියාමනය නොවීම බරපතළ තත්ත්වයක් ලෙසත් සමහරු පෙන්වා දෙති. මේ පසුබිමේ අපි මද්‍රසා ඇතුළු ඉස්ලාමීය අධ්‍යාපනික ආයතන පිළිබඳ මේ හෙළිදරව්ව ගෙන එමු.
මෙරටේ ඉස්ලාමීය අධ්‍යාපනයේ වර්ධනය දෙස අවධානය යොමු කිරීමේ දී වැදගත් කාල පරිච්ඡේදයක් වන්නේ 20 වැනි ශතවර්ෂයේ ආරම්භයේ සිට මැද භාගය දක්වා වූ කාලය (1900-1948) යි. විශේෂයෙන්ම මේ අවධිය, ශ්‍රී ලංකාවේ මුස්ලිම් මධ්‍යම පන්තියේ වර්ධනයක් පෙන්නුම් කළ කාල සීමාවක් වූයෙන් එය එම සමාජයේ අධ්‍යාපන පුනරුදයේ ද වැදගත් සන්ධිස්ථානයක් බවට පත්විණි. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම වැඩියෙන් අවබෝධ කරගත් කාලයක් වූ අතර සිද්දි ලෙබ්බේ, වාපිච්චි මරික්කාර් වැනි මුස්ලිම් ප්‍රජා නායකයෝ ඒ වෙනුවෙන්, නායකත්වය සැපයූහ. ඊජිප්තුවේ සිට පැමිණි ඔරාබි පාෂා ද ඒ සඳහා සිය දායකත්වය එක් කළේය.
මෙපරිදි පොදු අධ්‍යාපන ධාරාව ඇතුළත ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මුස්ලිම් මධ්‍යම පන්තිය කෙරෙන් පතළ වූ විශේෂ උනන්දුව ඉස්ලාම් සමාජයේ අධ්‍යාපනික ක්‍රමය විධිමත්ව සංස්ථාපනය වීම කෙරෙහි ද බලපෑවේය. ඒ අනුව මුස්ලිම් ජාතිකයන් බහුලව වෙසෙන ප්‍රදේශවල ඉස්ලාම් පාසල් පිහිටුවීම සිදුවූ අතර සිද්දි ලෙබ්බේ වැනි මුස්ලිම් ප්‍රජා නායකයන් එම පාසල්වල පරිහරණය සඳහා විවිධ පතපොත ද පළ කළේය. ටී.බී. ජයා හා ඒ.ආර්.ඒ. රසීක් (සර් රාසික් ෆරීඩ්) යන අය එවක දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන කාරක සභාව නියෝජනය කළ අතර එම නියෝජනය ද මුස්ලිම් අධ්‍යාපනයේ වර්ධනයට හේතුවක් විය.
මේ ආකාරයට වර්ධනය වෙමින් පැමිණි ඉස්ලාම් අධ්‍යාපන ක්‍රමය ඇතුළත වර්තමානය වෙන විට හඳුනාගත හැකි අධ්‍යාපන ආයතන ගණනාවක් දැකිය හැකිය.
(1) අහදියා දහම් පාසල්
(2) අරාබි විදුහල්
(3) කුර්ආන් මද්‍රසා
(4) ඉස්ලාමීය පෙරපාසල්
(5) මුස්ලිම් පාසල් වශයෙනි.
අහදියා පාසල් යනු ඉස්ලාම් දහම් පාසල් විශේෂයක් වන අතර ඉරිදා දිනවල පමණක් මුස්ලිම් පල්ලිවල ඉගැන්වීම් කටයුතු සිදුවෙයි. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් මේවා ලියාපදිංචි කිරීම සිදුවුවත් මෙම දහම් පාසල් අධීක්ෂණය අයත් වෙන්නේ අහදියා දහම් පාසල් සම්මේලනයටය.
‘මද්‍රසා’ යන අරාබි වචනයේ අර්ථය පාසල යන්නයි. ඉස්ලාම් දහමේ එන කුරානය කියවීම, කටපාඩම් කිරීම, අරාබි භාෂාව ඉගෙන ගැනීම, කුරානයේ සඳහන් නීති රීති හා ඉස්ලාම් වත්පිළිවෙත් ආදිය හැදෑරීම මෙම මද්‍රසා යටතේ සිදුවෙයි. එසේම මද්‍රසා විශේෂ කීපයක් ලංකාවේ ක්‍රියාත්මක වෙයි. එයින් කුර්ආන් නමින් හඳුන්වන මද්‍රසා විශේෂය කුඩා දරුවන් සඳහා පවත්වන්නක් වන අතර සාමාන්‍ය පෙළ තෙක් පාසල් අධ්‍යාපනය හදාරන මුස්ලිම් ළමයි මේවායෙහි ඉගෙන ගනිති. කුරානය කියවීම මේවායෙහිදී සිදුවෙයි. මෙම මද්‍රසා විශේෂය බහුල ලෙස පල්ලිවල ක්‍රියාත්මක වෙයි. මේ අතර කුරානය කටපාඩම් කරන මද්‍රසා ද තිබේ.
‘කිතාබ්’ යනු තවත් මද්‍රසා විශේෂයකි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු වයස් සීමාවල තරුණයෝ මේවායෙහි ඉගෙන ගනිති. මෙම මද්‍රසාවල කුරානයේ සඳහන් වන නීති රීති විවරණ ඉස්ලාම් නැමදුම් වත්පිළිවෙත්, නබිනායක තුමාගේ වදන් පිළිබඳ අධ්‍යාපනය ලබා දීම සිදුවෙන අතර අරාබි භාෂාව ද උගන්වනු ලැබේ.
මෙම මද්‍රසා ද අහදියා දහම් පාසල් මෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු අතර එසේ ලියාපදිංචි කිරීමේ දී ආරම්භ කර මාස හයකට නොඅඩු කාලයක් සම්පූර්ණ වී තිබිය යුතු බවත් එක් එක් පන්ති සඳහා වන විෂය නිර්දේශ වෙන් වෙන්ව ඉදිරිපත් කළ යුතු බවත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි දැක්වෙයි. මේ වන විට දිවයින පුරා ලියාපදිංචි කර ඇති මද්‍රසා ප්‍රමාණය 1669 කි. කෙසේ වෙතත් මද්‍රසා අධීක්ෂණය කිරීම, මෙම දෙපාර්තමේන්තුවට අයත් කටයුත්තක් නොවන අතර එය ශ්‍රී ලංකා මද්‍රසා සම්මේලනය මගින් සිදුවෙයි. මද්‍රසාවල විෂයමාලා සැකසෙන්නේ ද මේ සම්මෙලනයෙනි.
මෙම මද්‍රසා සම්බන්ධයෙන් මේ වෙන විට එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනාවක් නම් විවිධ රටවලින් පැමිණි මුස්ලිම් ආගමික අන්තවාදීන් මේවායෙහි ඉගැන්වීම් කටයුතු සිදුකරන බවය. අගමැති වික්‍රමසිංහ ද මීට දින කීපයකට උඩදී කීවේ රැකියා වීසා නොමැතිව මෙරටේ ඉගැන්වීම් කටයුතු සිදුකරන සියලු දෙනා පිටමං කිරීමට පියවර ගන්නා බවය. මද්‍රසා හා රට පුරා පිහිටි අරාබි පාසල්වල ඉගැන්වීම සඳහා විවිධ රටවලින් පැමිණි ආගමික ගුරුවරුන් 38 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල උදවිය 12 දෙනෙකු මෙරටේ රැඳී සිටින බව මේ සම්බන්ධව කළ විමසුමක දී මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතා පැවසුවේය. එයින් පහළොස් දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන් වූයේ සිය දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීම මත ඊජිප්තුවෙන් බවත් සෑම වසරකදීම පාහේ අරාබි පාසල්වල ඉගැන්වීම සඳහා එරටින් මෙරටට ගුරුවරුන් ගෙන්වීම සිදුවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. පසුගිය වසරේ ලංකාවට ගෙන්වා ඇති එම ඊජිප්තු ඉස්ලාම් කණ්ඩායමේ වීසා කල් ඉකුත්වීම නිසා ඔවුන්ගේ වීසා තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත්තේ ද මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි. රටේ රැඳී සිටින එම ඉස්ලාම් 38 දෙනාගෙන් අනෙක් 23 දෙනා මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇත්තේ ලංකාවේ ක්‍රියාත්මක වන නොයෙකුත් ඉස්ලාම් සංවිධානය.
කිසියම් ඉස්ලාම් සංවිධානයකට මද්‍රසාවක හෝ අරාබි පාසලක ඉගැන්වීම සඳහා වෙනත් රටකින් ඉස්ලාම් මවුලවිවරුන් හෝ ආචාර්යවරුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් එසේ ගෙන්වා ගැනීමට අවශ්‍ය අයගේ නාම ලේඛනයක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුවට යොමු කළ යුතු අතර එම නම ලේඛනය දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂක මාත්‍යාංශයට යොමු කරයි. ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවසර ලැබුණහොත් පමණක් විදේශවලින් පිරිස් ගෙන්වා ගත හැකිය. මෙම විධිමත් කාර්ය පටිපාටියෙන් බැහැරව පසුගිය කාලයේ දී ඉස්ලාම් අන්තවාදී පිරිස් රටට පැමිණ තිබේ ද යන්න අදාළ අංශවල අවධානයට යොමු විය යුතුය. මන්ද මේවා පිළිබඳ නිසි තොරතුරු රටේ අධ්‍යාපනය බාර අමාත්‍යාංශයට හෝ වාර්තා නොවන නිසාය.
මෙම පිරිසට අමතරව විදේශ ඉස්ලාම් ශිෂ්‍යයන් 85ක් ද මෙරටේ ක්‍රියාත්මක වන නොයෙකුත් සංවිධාන හරහා පසුගිය කාලයේ දී රටට ගෙන්වා ඇති අතර ඔවුන් හා පෙර සඳහන් කළ ඉස්ලාම් ගුරුවරුන් 38 දෙනා ජෝර්දානය, ඊජිප්තුව, යේමනය, පාකිස්තානය, මලයාසියාව, බහරේන්, ලිබියාව, ඉන්දියාව, තායිලන්තය, කාම්බෝජියාව යන රටවලින් පැමිණ ඇති බව ද සඳහන් ය. ඊට අමතරව ඉන්දියාව, ලිබියාව හා පාකිස්තානය යන රටවලින් පැමිණි ඉස්ලාම් ආගමික ප්‍රභූවරු 51 දෙනෙක් ද ජමාත්වරු 29 දෙනෙක් ද මෙරටෙහි රැඳී සිටිති.
මෙහි සඳහන් වෙන්නේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහිතව මෙරටේ ක්‍රියාත්මක වෙන ඉස්ලාම් ආගමික අධ්‍යාපන ආයතන හා විදෙස් ඉස්ලාමීය රටවලින් පැමිණ සිටින ආගමික ගුරුවරුන් හා සාමාජිකයන් පිළිබඳ නිල තොරතුරු පමණි. මෙම ඉස්ලාම් අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට හසු නොවන හෙයින් ඒවායෙහි විෂයමාලා අන්තවාදයට උඩ ගෙඩි දෙන අයුරින් සැකසී ඇති බවටත් විදෙස් ඉස්ලාම් රටවලින් මෙහි පැමිණ සිටින ආගමික ආචාර්යවරුන් අන්තවාදී මතවාද ව්‍යාප්ත කරමින් සිටින බවටත් ඇතැම් පාර්ශ්ව නගන චෝදනා හමුවේ ඒවා ගැන සොයා බැලීම ඉතා වැදගත්ය. එසේම මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන නිල සංඛ්‍යා ලේඛනවලට එහා ගිය පිරිස් මෙරටට පැමිණ ඇත් ද යන්න ගැන ද සොයා බැලීමක් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුව ඇති මෙවැනි මොහොතක සොයා බැලිය යුතුය. එම බැරෑරුම්කම වඩාත් හොඳින් මතුවෙන්නේ මුස්ලිම් ආගමික හා ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පැවසූ පරිදි මද්‍රසා හා අරාබි පාසල් සිය දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි කළ ද ඒවා අධීක්ෂණය කිරීමේ හෝ පසුවිපරම් ක්‍රියාවලියක් නොමැති නිසාය.
නුමාන් ඔමාර් මවුලවිතුමා
සම්බන්ධීකාරක, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ එකමුතුකම හා සහජීවන කමිටුව.
මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච ළමයි ආගමික ගුරුවරු ළඟ ඉගෙන ගත්ත අය නෙවෙයි. මේ ගොල්ලො අන්තර්ජාලයෙ තියෙන දේවල් බලලා විෂ අදහස් අනුව කටයුතු කරපු පිරිසක්. මෙයාලම මේ ප්‍රහාර සංවිධානය කළා ද නැත්නම් වෙන කවුරුහරි එයාලව ඒකට යොමු කළා ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ගුරුවරයෙක් ළඟ ඉඳගෙන අල්කුරානය හැදෑරීමක් මේ අය සිදුකරලා නෑ.
මද්‍රසා ගැන කියද්දී ලංකාවෙ අවුරුදු 200ක් විතර පරණ මද්‍රසා තියෙනවා. මුස්ලිම් ජාතිකයන් මේ රටට පැමිණිය දා ඉඳලා මේ මද්‍රසා ආරම්භ වෙලා තියෙනවා. මම අහලා තියෙන විදියට ලංකාවේ පළවැනි මද්‍රසාව ආරම්භ වෙලා තියෙන්නේ කුරුණෑගල පැත්තෙ තියෙන රිදීගම කියන විහාරස්ථානයෙ. සමහර ඓතිහාසික පොත්වල සඳහන් වෙන තොරතුරුවලට අනුව ඒ පන්සලේ හාමුදුරුවෝ තමයි අවට හිටපු මුස්ලිම් දරුවන්ට කුරානය ඉගෙන ගැනීම සඳහා මේ මද්‍රසාව පටන් අරගෙන තියෙන්නේ. මනුස්සයෙක්ව නොමග යවන්න, ප්‍රචණ්ඩකාරී කරන්න කුරානයේ කිසි තැනක සඳහන් වෙලා නෑ. ඒකට එක උදාහරණයක් කියන්නම්. නබි මොහොම්මද්තුමාගේ කාලෙ එතුමා වෙතට කිතුනු පූජකතුමෙක් පැමිණියා. එවෙලේ නබිතුමා කියනවා ඔබලගෙ පල්ලි, කුරුස, පූජකයන් ආරක්ෂා කිරීම මගේ වගකීමක්. ඔබලා මෙහිම රැඳී සිටින්න කියලා. ඒ වගේම නබිතුමාගෙන් පසුව පැමිණි දෙවැනි උමාර්තුමාගෙ කාලෙ ජෙරුසලම තිබුණෙ මුස්ලිම්වරුන්ගෙ පාලනය යටතේ. ජෙරුසලෙම කිතුනු බැතිමතුන්ගෙ දේවස්ථානත් තිබුණා. උමාර්තුමා එතන හිටපු හැම පූජකතුමෙක්ම කැඳවලා ගිවිසුමක් අස්සන් කරලා කිව්වෙත් මම ඔබලගෙ දේවස්ථාන, පූජකවරුන්, කුරුස මේ හැම දෙයක්ම ආරක්ෂා කිරීම මගේ වගකීමක් කියලා. ඒනිසා කාටවත් ඔබලට හිරිහැර කරන්න බෑ. ඒක තහනම් කියලා කිව්වා.
මේකෙන් පේනවා ඉස්ලාම් රාජ්‍ය පාලනයක් තියෙද්දීම සහෝදර ජනතාවට ආරක්ෂාව දීම රාජ්‍ය පාලනයේ වගකීම බව ඉස්ලාමයෙ දැක්වුණා කියන එක. එහෙම තියෙද්දි ලංකාවෙ බෞද්ධ ජනතාවගේ පාලනය යටතේ ඉද්දී මේ වුණු සිද්ධිය ඉස්ලාමීය දහමට හාත්පසින්ම වෙනස්. මේ ප්‍රහාර මගින් ඒ අය වැරැදි අදහසක් සමාජගත කරන්න උත්සාහ කරනවා. ඉස්ලාමීය ඉගැන්වීම් තුළ මෙවැනි ප්‍රචණ්ඩකාරී ඉගැන්වීම් නෑ. මම හිතන්නෙ අපේ සමාජය තුළ එක්සත්ව එක්සිත්ව ඉදිරියට යන්න නම් අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කරගත යුතුයි. විවිධත්වයක් තිබුණොත් විතරයි ලෝකය අලංකාර තැනක් වෙන්නෙ. ඒ විවිධත්වය වටහා ගෙන අන්‍යොන්‍ය අවබෝධය ඇතිව කටයුතු කිරීම වැදගත්.
එම්.ආර්.එම්. මලික්
අධ්‍යක්ෂ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
ප්‍රශ්නය:- අරාබි පාසල්වල විෂයමාලාව සකස් වෙන්නෙ කොහොමද?
පිළිතුර:- අපි ඒක මොනිටර් කරන්නෙ නෑ. අරාබි පාසල්වල පාලක මණ්ඩල තමයි ඒවයෙ සිලබස් එක තීරණය කරන්නේ.
ප්‍රශ්නය:- මද්‍රසා හා අරාබි පාසල් නියාමනය වෙන්නෙ මේ දෙපාර්තමේන්තුවෙන් ද?
පිළිතුර:- අපි මේවා ලියාපදිංචි කළත් පාලනය කිරීමක් වෙන්නෙ නෑ.
ප්‍රශ්නය:- මේ පාසල්වල ඉස්ලාම් අන්තවාදය ඉගැන්වෙන බවට චෝදනා නැගෙනවා. ඒ ගැන මේ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වෙලා තියෙනව ද?
පිළිතුර:- මේ පාසල් ලියාපදිංචි කරන්න ඉල්ලද්දි අපි ඒවයෙ සිලබස් ඉල්ලනවා. එතකොට එයාලා දෙන්නෙ සාමාන්‍ය සිලබස් එකක්. ඒ සිලබස්වල තියෙන්නේ ආගමික කරුණු උගන්වනවා කියලා. පුද්ගලාන්තරව අන්තවාදී ඉගැන්වීම් වෙනවද කියන්න අපි දන්නේ නෑ.
ප්‍රශ්නය:- මේ පාසල් අධීක්ෂණය කිරීමක් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හරහා සිදුවෙන්නෙ නැද්ද?
පිළිතුර:- මෙච්චර කල් ඒ විදියෙ යාන්ත්‍රණයක් තිබුණේ නෑ.
ප්‍රශ්නය:- ලියාපදිංචි අරාබි පාසල් 317ට අමතරව මේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවුණු අරාබි පාසල් ලංකාවේ තිබෙන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනව ද?
පිළිතුර:- තියෙන්න පුළුවන්.
ප්‍රශ්නය:- ජාතික තව්හිත් ජමාත් සංවිධානයත් එක්ක සම්බන්ධතා පවත්වපු මද්‍රසා හෝ අරාබි පාසල් තිබෙන බවට දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වෙලා තියෙනව ද?
පිළිතුර:- නෑ, එහෙම තොරතුරු ඇවිල්ලා නෑ.
උපුල් වික්‍රමසිංහ