ශ්‍රී ලංකාව යනු බහුජාතික හා බහුවාර්ගික රාජ්‍යයකි. එමෙන්ම මෙරටේ තිබෙන්ෙන් නොදියුණු සමාජ ආර්ථික හා දේශපාලනික වාතාවරණයකි. ඊට එක් හේතුවක් වන්ෙන් ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවැති රාජ්‍යයක් වීමයි. එම යුගයේ ඇතිකරන ලද විකෘතිකම්වල ප්‍රතිඵලයක් ලෙස අප රටේ ජාතික හා ආගමික ගැටලු ඇති වී තිබේ. බ්‍රිතාන්‍යය පාලකයන් ශ්‍රී ලංකාව පාලනය කළේ ජාතීන් භේද කිරීමේ ප්‍රතිපත්තිය භාවිත කරමිනි. එහිදී ඔවුන් නිතරම කළ දෙයක් නම් මහ ජාතිය (සිංහල) පීඩාවට පත්වෙන අයුරින් සුළු ජාතීන්ට වරප්‍රසාද ලබා දීමය. එබැවින් සිංහල මහජාතිය වෛර කළේ බ්‍රිතාන්‍යය පාලකයන්ට නොව සුළු ජාතීන්ටය.
මේ තත්ත්වය මත නිදහසින් පසු ශ්‍රී ලංකා රාජ්‍යය බිහිවූයේ ජාතික රාජ්‍යයක් ලෙස නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහසින් පසු මෙරටේ ජාතිකවාදය තහවුරු වූයේ නැත. දේශපාලන බලය හා අාධිපත්‍යය හිමිවුණේ සිංහල බෞද්ධ බලවේගයටය. ඊට සමාන්තරව දෙමළ හා මුස්ලිම් සුළු ජනකොටස්වලට දේශපාලන බලය ලබා ගැනීම සඳහා තිබෙන ඉඩ ප්‍රස්ථා ඇහිරීම සිදුවිය.
නිදහසින් පස ශ්‍රී ලංකාවේ ජාතිවාදී හා ආගම්වාදී ප්‍රශ්න මතු විය. මහජාතියේ ආධිපත්‍යයක් පවතින විට එහි අනිවාර්ය ප්‍රතිඵලය වෙන්නේ සුළු ජාතීන්ගේ විරෝධතා ඇතිවීමය. එය වැළැක්විය නොහැකිය. පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය සිංහල-බෞද්ධ බලවේගයට හිමිවීමත්, ඊට සාපේක්ෂව එම බලවේගය විසින් සුළු ජාතීන්ට දේශපාලන බලය ලබා ගැනීම සඳහා තිබෙන ඉඩප්‍රස්ථා අහුරණු ලැබීමත් නිසා මතුවූ පසුකාලීන ප්‍රතිඵලයක් නම් තිස් අවුරුදු සිවිල් යුද්ධයයි. මිලිටරිමය බලය යොදා මේ යුද්ධය අවසන් කළ ද ජාතික ප්‍රශ්නයට සැබෑ විසඳුමක් නොලැබීමේ එක් ප්‍රතිඵලයක් නම් ආගම්වාදී ගැටලු මතුවීමය.
නිදහසින් පසු ශ්‍රීලනිපය එජාපය යන මේ පක්ෂ දෙකෙන් කුමන පක්ෂයක් මුල්වී ආණ්ඩු පිහිටුවුවද එහි පදනම වූයේ සහ වන්නේ සිංහල බෞද්ධ ජාතික බලවේගයයි. ඒ නිසාම එම ප්‍රධාන පක්ෂ දෙක වගේම සෙසු පක්ෂ ද උත්සාහ ගන්නේ සිංහල බෞද්ධ බලවේගය දිනා ගැනීමටය. මෙහි විකල්පය වී ඇත්ෙත් ඊට එරෙහිව අනෙකුත් ජාතික හා ආගමික කණ්ඩායම් පෙළගැසීමය. ශ්‍රී ලංකාව 1948 දී නිදහස ලැබූ පසු බිහිවූ ප්‍රථම දේශජ ව්‍යවස්ථාව වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාවයි. ඊට සිංහල භාෂාව හා බුද්ධාගම ඇතුළත් කර තිබිණි. එමගින් සිදුවූයේ ඒ දෙක සඳහා රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව ලබාදීමය. එය ඉතාම බරපතළ කාරණයකි. අනෙක් පැත්තෙන් හාස්‍යජනක කාරණයකි.
එහිදී මතුවන ප්‍රශ්නය නම් බෞද්ධාගම ආරක්ෂා කරගත යුත්තේ කාගෙන්ද යන්නය. මන්ද නිදහසින් පසු දේශපාලන බලය තිබෙන්නේ සිංහල බෞද්ධ බලවේගය සතුව නම් බුද්ධාගමට කවර පාර්ශ්වයකින් තර්ජනයක් ඇතිවේද? යන්නයි. මේ තත්ත්වය නිසා එම කාරණය හාස්‍යජනකය. අනෙක් කාරණය නම් බුද්ධාගම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඊට ප්‍රමුඛස්ථානය දීම නිසා සුළු ජාතීන් අදහන ආගම් ද්වීතියික තත්ත්වයට පත්වේ. එය රටක එක්සත්භාවයට හානිකරය. මන්ද විවිධ ආගම් අදහන ජාතිකයන් සිටින රටක එක් ආගමකට පමණක් රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන විට සෙසු ආගම් එම රාජ්‍ය අනුග්‍රහයෙන් ගිලිහෙන නිසාය.
එහි ප්‍රතිඵලය වන්නේ එකී ආගමිකයන් තමන් දෙවැනි පෙළේ පුරවැසියන් ලෙස කල්පනා කිරීමට පටන් ගැනීමය. මේ තත්ත්වය භාෂාව හා ජාතිය සම්බන්ධව ද මතුවීම සිදුවේ. මෙමගින් රටේ එක්සත්භාවයට බාධා පැමිණෙන අතර සුළුතර ජනකණ්ඩායම් උත්සාහ කරන්ෙන් රාජ්‍යයෙන් වෙන්වී යෑමටය. පසුගිය කාලය ඇතුළත අප ලැබූ අත්දැකීම ද එයයි. එම සිවිල් යුද්ධයට හේතුවූ මූලික සාධක සිංහල බෞද්ධ බහුතර ජාතික බලවේග විසින් අදට ද ඉල්ලනු ලැබේ. එය ඉතාම අඥාාන ක්‍රියාවකි.
පසුගිය දින කීපයේදී සුළු ජාතික ව්‍යාපාර ස්ථාන සහ ආගමික ස්ථාන කීපයකට එල්ල කරන ලද ප්‍රහාර ගණනාවක් පිළිබඳ තොරතුරු මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒවාට සම්බන්ධ බව කියැවුණේ බොදුබල සේනා සංවිධානයයි. මෙම සංවිධානය ඇතුළු තවත් එවැනි අන්තවාදී සංවිධාන කීපයක් පෝෂණය කළේ පසුගිය රජයයි. එපමණක් ද නොව ගිය ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයෝ කීප දෙනෙක් ඒවා සමග සම්බන්ධ වී කටයුතු ද කළහ. එදා ක්‍රියාත්මක වූ එම අන්තවාදී බලවේග මේ ආණ්ඩුව යටතේ ද සක්‍රීය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. නමුත් 2015 ජනවාරිවල සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් පසු සිදුවූ දෙයක් නම් එවැනි අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වුවද ඒවාට රජයේ අනුග්‍රහයක් නොලැබීමය. ආණ්ඩුව නිහඬව සිටින නිසා එම බලවේග ශක්තිමත් වී ඇත.
මේ ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ස්ථාපිත කිරීම අතින් ඉහළ තැනක තිබුණද පසුගිය රජය කාලේ වැරැදි කළ පුද්ගලයන්ට සහ බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කාරණයේදී අසමත් වී ඇති බව පෙනේ. එය මේ ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවක්ද වේ. එවැනි තත්ත්වයක වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කැපවූ ජනතාව බියට පත්වී තිබේ. ඊට හේතු වී තිබෙන්නේ පරාජිත බලවේග නැවත බලයට පත්වුවහොත් ඔවුන්ට යළිත් තාඩන පීඩනවලට මුහුණදීමට සිදුවිය හැකි බවට ඇති බියයි.
දකුණේ මෙවැනි අන්තවාදී බලවේග මේ ආණ්ඩුවට එල්ල කරන චෝදනාවක් නම් අන්තවාදී ප්‍රකාශ නිකුත් කරන සුළු ජාතික දේශපාලනඥයන් සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකරන බවය. උතුරේ ඇතැම් දේශපාලනඥයන් අන්තවාදී ප්‍රකාශ සිදුකළ ද සුළු ජාතික ජනකොටස් ඒවා අනුමත කරන්නේ නැත. මන්ද ඔවුන් නැවතත් වාර්ගික ගැටුමකට මැදිවීමට අකමැති නිසාය. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ සිංහල මහජාතිය සමග බලය බෙදා ගෙන සාමකාමීව ජීවත් වීමටය. උතුරේ ජනතාවට වගේම දකුණේ ජනතාවටද අවශ්‍ය රටේ සංහිඳියාව ගොඩනැගීමටය. ඊට බාධා කරන අන්තවාදීන් දකුණේ මෙන්ම උතුරේ ද සිටිය හැකිය. නමුත් මේ අන්තවාදී කණ්ඩායම් දෙක අතර පැහැදිලි වෙනසක් තිබේ. එනම් උතුරේ අන්තවාදී කණ්ඩායම් අන්තවාදී ප්‍රකාශ කළ ද තවම අන්තවාදී ක්‍රියාකාරකම් පටන් ගෙන නැත. නමුත් දකුණේ අන්තවාදීන් අන්තවාදී ප්‍රකාශවලින් එහාට ගොස් ක්‍රියාත්මක වන ආකාරයක් ද වර්තමානයේදී දැකිය හැකිය.
ඉකුත් දින කීපයේදී සුළු ජාතික ව්‍යාපාරික ස්ථාන කීපයකට ප්‍රහාර එල්ල කළ අන්තවාදී සංවිධානයේ ප්‍රධානියා මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැත. උතුරේ ඇතැම් දේශපාලනඥයන් අන්තවාදී ප්‍රකාශ කළද එම ජනතාව ඒවාට අනුබල දෙන්නේ වත් අන්තවාදී ක්‍රියා සිදුකිරීමට ඉදිරිපත් වන්නේවත් නැත. ඒ වෙනුවට එම ජනතාවට අද අවශ්‍ය වී තිබෙන්නේ තම භූමි ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කර ගනිමින් සිංහල ජනතාව සමග සහජීවනයෙන් ජීවත් වීමටය. සිංහල ජනතාවගේද අභිමතය ඇතිව යම් බලය බෙදීමක් සඳහා යෑම දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව වී තිබේ. එබැවින් උතුරේ අන්තවාදී ප්‍රකාශ සිදුකරන පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා බවට එල්ල කරන චෝදනාවෙහි වලංගුභාවයක් නැත.
නමුත් දකුණේ විශාල ආගමික ප්‍රචණ්ඩත්වයක් තිබෙන නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ දකුණේය. දකුණේ ක්‍රියාත්මක වෙන බොදුබල සේනා සංවිධානය වැනි අන්තවාදී බලවේගයක් පසුපස ජාතික හෙළ උරුමය සිටිතැයි කියා ඇතැම් පාර්ශව මත පළ කළද මා එය විශ්වාස කරන්නේ නැත. මන්ද ජාතික හෙළ උරුමය ද මේ සම්මුති ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන නිසාය. නමුත් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පුද්ගල බද්ධ ලෙස මේ සංවිධානයට සහයෝගය ලබා දෙනවා වන්නට පිළිවන.
මතුවී තිබෙන මේ ජාතිවාදී ආගම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය නොකළහොත් රටේ යළිත් සිවිල් යුද තත්ත්වයක් වුව ඇතිවීමට බැරි නැත. බෞද්ධ අන්තවාදී බලවේග වර්ධනය වන ප්‍රමාණයට මුස්ලිම් අන්තවාදී බලවේග වර්ධනය වීමද සිදුවේ. මේ තත්ත්ව පාලනය කිරීමට ආණ්ඩුව මැදිහත් නොවුණ හොත් යළිත් රටේ මානව හිමිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නය අන්තර්ජාතික තලයේ දී මතුවීමට ඉඩ තිබේ.
සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ