ලෙඩ රෝග මිනිස් ජීවිතයට සමීප නිසාම වෛද්‍යවරයා ද අප හැමට නැතිවම බැරි පුද්ගලයෙකි. ඉහළ වෘත්තීය පිළිගැනීමක් හා ඊට සමාන සමාජ ආර්ථික, වරප්‍රසාද භුක්ති විඳින වෛද්‍යවරයාගේ කර්යභාරය වෘත්තීය ඉක්මවා ගිය සේවයක් වශයෙන් සමාජය විසින් අර්ථ නිරූපණය කරනු ලබයි. වෛද්‍ය නිලධාරීවරුන්ට අදාළව වෘත්තීය සංගම් බිහිවීම පිළිබඳව දශක නවයක තරම් ඉතිහාසයක් ශ්‍රී ලාංකිකයන් සතුය. රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය (ජී.එම්.ඕ.ඒ.) එහි ප්‍රධානතම භූමිකාව උසුලනු ලබයි. සාමාජිකයෝ විසිදහසකට වඩා වැඩි සංඛ්‍යාවකින් යුක්ත මෙම සංගමය දකුණු ආසියාවේ බලවත්ම වෘත්තීය සංගම් අතරට ගැනෙන සංගමයකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දිනවල සිය ප්‍රමුඛ සටන් පාඨය කරගෙන ඇත්තේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම් ආයතනය) අහෝසි කිරීමයි. ඔවුනට අනුව වෘත්තීය අරමුණු අභිබවා ගිය සමාජ මෙහෙවරක් වෙනුවෙන් පෙනී සිටීමකි.
සයිටම් සටනේ මේ වන විට තත්ත්වය හා ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දායක්තවය පිළිබඳව අපි විමසුමක යෙදුනෙමු. එමෙන්ම විවිධ ආකාරයේ අර්බුද ඉස්මතු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වීම විශේෂයෙන්ම වැඩ වර්ජන කිරීම් සඳහා පෙලඹීම සම්බන්ධයෙන් ද අපි විමසුවෙමු.
වෛද්‍යවරු වැඩ වර්ජනවල නිරත වීම සම්බන්ධයෙන් සමාජය තුළින් මතුවන්නේ දැඩි විරෝධාකල්පයකි. උක්ත කරුණු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන්ද සොයිසා මහතා දැක්වූ අදහස් මෙසේ පෙළගැස්වේ.
වෛද්‍යවරු නිතර වැඩ වර්ජන කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවට ලබාදිය හැකි පිළිතුර කුමක් ද? වැඩ වර්ජන කිරීම තුරුම්පුවක් ලෙස සලකා කටයුතු කිරීම සාධාරණ ද? යන්න සම්බන්ධයෙන් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මෙසේ අදහස් දැක්වූවේය.
“ගැටලුවක් ඉස්මතු වූ අවස්ථාවක ඊට මැදිහත්වීමේදී ගත හැකි අවසාන පියවර විදිහට අපි වැඩ වර්ජනය කිරීම තෝරා ගන්නවා හැරෙන්න එය අප අනවශ්‍ය විදිහට භාවිතා කරන්නේ නැහැ. සාකච්ඡා කිරීම, වාද විවාද කිරීම, දැනුම්වත් කිරීම ආදී සියල්ලෙන්ම නියමිත ප්‍රතිඵලයක් නොලැබුණු විට අවසාන විසඳුම ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම සිදුවෙනවා.
සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ වුණේ දෙදහස් නවය වර්ෂයේදී. ආරම්භක සමයේ ඊට එරෙහිව මැදිහත් නොවූ බවට එ් අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක් එල්ල වුණා. නමුත් අප ඒ වකවානුවේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුෙණ් නැත්තේ එවක පාලක පක්ෂයේ වූ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට බිය වී කටයුතු කළ නිසාය යනාදී චෝදනා රැසක් අපගේ පාර්ශ්වයට එල්ල වුණා. සයිටම් ආයතනයට ප්‍රමිතියක් නොමැත යන ස්ථාවරයේ අප එදා සිටම පසු වුණා. එදා අප ප්‍රකාශ කළ එම සත්‍යය අද වන විට දවසින් දවස තහවුරු වෙමින් යනවා.
අප ප්‍රතිකාර කරන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව. ඒ අනුව අප පිළිබඳව තක්සේරුව ලබාදිය යුතු ප්‍රධානතම පුද්ගලයා වන්නේ වෛද්‍යවරයායි. පැහැදිලිව ඔප්පු කළ හැකි සාක්ෂි තිබියදීත් තවදුරටත් සයිටම් ආයතනය අහෝසි නොකර කටයුතු කිරීම හා ඒ සම්බන්ධයෙන් කරන දේශපාලන මැදිහත්වීම හෙළා දැකීම අපගේ මෙම විරෝධතාවලට මුඛ්‍ය පරමාර්ථය වී තිබෙනවා. නමුත් මේ වනතෙක් අප කිසිදු අවස්ථාවක අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට පෙලැඹී නැහැ. මෙතෙක් අප සිදුකොට ඇත්තේ තුන් දිනකට සීමා සහිත වූ මට්ටමේ වැඩ වර්ජනයක් පමණයි. ඒ සියල්ලෙන්ම අවම හානිය පමණක් දැනෙන්නට අප කටයුතු කර තිබෙනවා. අවම හානිය යනුවෙන් හඳුන්වන්නේ බාහිර රෝගී ප්‍රතිකාර අංශ හා සෞඛ්‍ය සායන සඳහා සේවය ලබාදීමෙන් වැළකී සිටීම පමණයි.
නමුත් පවතින තත්ත්වය අනුව අපට ඊට එහා ගිය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවිය හැකියි. කෙසේ වුවත් සියල්ලකම අවසාන අරමුණ රටේ ජනතාවගේ සෞඛ්‍ය සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටීමයි. අපේ කකුලේ සැරව ගෙඩියක් හටගත්තොත් එය කපා සැරව ඉවත් කරන්න සිදුවෙනවා. එසේ ඉවත් කිරීමේදී අපට වේදනාවක් ඇති වෙනවා. නමුත් එහිදී කරන කපා ඉවත් කිරීමේදී ඇතිවන වේදනාවට වඩා දීර්ඝ කාලීන රෝග වේදනාවක් සුවපත් කරගැනීමට රෝගියාට ඉන් අවස්ථාව ලැබෙනවා. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් ඊට සමාන වූවක්. ඉදිරි අනාගත සුරක්ෂිතතාව රෝගී වරප්‍රසාද වෙනුවෙන් අද දවසේ ඉවසීමෙන් බලා සිටීමට ජනතාවට සිදුවෙනවා.
සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමෙන් අපගේ පාර්ශ්වයට (වෛද්‍යවරුන්ට) සිදුවන හානියක් නැහැ. වෛද්‍යවරු දන්නවා හොඳ වෛද්‍යවරු කවුද? නොගැළපෙන වෛද්‍යවරු කවුද? හොඳින් ප්‍රතිකාර ලැබිය හැක්කේ කොතැනින් ද යන්න පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් වෛද්‍යවරුන් සතුයි. එසේ නිසි අවබෝධයක් නොමැති පිරිස වන්නේ අපේ රටේ පොදු ජනතාවයි. අප නිතරම සටන් කරන්නේ සහ පෙනී සිටින්නේ මේ රටට බහුතරයක් වූ සාමාන්‍ය වැසියන්ගේ හෙට දවස, සෞඛ්‍ය සේවා සැපයීම් සුරක්ෂිතතාව පිණිසයි.
පශ්චාත් සීමාවාසික පත්කිරීම් ලැයිස්තුව සැකසීමේදී යම් වූ ගැටලුකාරී තත්ත්වයක් මතු වීම නිසා ඇති වූ ගැටලුකාරී තත්ත්වයකට නිසි පිළියම් නොයෙදීමෙන් යම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වීමට අපට සිදුවී තිබුණා. නමුත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් අප අතර සාකච්ඡා පැවතෙමින් තිබෙනවා. සෑම වසරකම වෛද්‍ය පීඨ අටකින් අධ්‍යයන කටයුතු අවසන් කර පිටවන වෛද්‍ය ශිෂ්‍යයෝ එකදහස් දෙසීයක පමණ ප්‍රමාණයක් වසරක සීමාවාසික පුහුණුවක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ මත මුදා හැරෙනවා. ඒ අනුව ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සීමාවාසික පුහුණුවීම් සඳහා යැවෙනවා. ඔවුන් විසිහතර පැය පුරාම අදාළ අනුයුක්ත රෝහල්වල වැඩ කටයුතු කළ යුතු වෙනවා. වසරක පුහුණු කාලසීමාව අනතුරුව පශ්චාත් සීමාවාසික පත්කිරීම් සඳහා එම වෛද්‍ය ශිෂ්‍යයන් නිර්දේශ වෙනවා. එය ඔවුන් වෛද්‍යවරයෙක් ලෙස ලබන පළමුවැනි පත් කිරීමයි.
වෛද්‍ය සේවය කියන්නේ දීප ව්‍යාප්ත සේවයක්. ඒ වගේම පත්වීම් ලබන රෝහල තුළ වසර හතරක සේවා කාලයක් රැඳී සිටීම අනිවාර්යයෙන් සිදුවිය යුතයි. ඒ නිසා එම පත්වීම් ලබාදීමේදී නිශ්චිත නියමිත වැඩපිළිවෙළක් තිබීම අත්‍යාවශ්‍යයි.
පශ්චාත් සීමාවාසික පත්වීම ලැස්තුව සැකසීමේදී යම්කිසි අත්තනෝමතික ආකාරයක කටයුතු කිරීමක් දක්නට ලැබුණා. වෛද්‍යවරු සේවයට අනුයුක්ත කිරීමේදී උතුරු නැගෙනහිර සඳහා විශේෂ සේවයක්, වෛද්‍ය නිලධාරීවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද මණ්ඩලය මෙයට පෙර ක්‍රමවත් හා වඩාත් විනිවිද භාවයෙන් යුක්තව කටයුතු කළා. නමුත් අද වන විට එම තත්ත්වය ගිලිහී පවතිනවා. එම ලේඛනය සැකසීම භාරව පවතින සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසන්න අතපත්තු මහතා පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් එම රජටයත් සහයෝගය දැක්වූ අයෙක්. ඒ අනුව ඔහු වෛද්‍ය සේවා අඩාළ කරමින් ජනතාව අතර රජය පිළිබඳව වැරදි අාකල්පයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වෙනවා දැයි අප තුළ සැකයක් පවතිනවා. ඔහු රජයට විරුද්ධව වැඩ කරන බව සොයා බැලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවා දැනුම්වත් කර තිබෙනවා.
වෛද්‍ය සේවා සැපයීම් හා සේවා සඳහා පැවැතිය යුතු ගුණාත්මක අංශ වර්ධනය නොවුණහොත් බුද්ධිගලනය අවම කරන්න බැහැ. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප මැදිහත් වී කටයුතු කරන්නේ ඒ නිසයි. එසේ කටයුතු නොකළ හොත් දුෂ්කර ප්‍රදේශවල රෝහල් වැසී යෑමට පවා ඉඩකඩ තිබෙනවා.
සයිටම් ගැටලුව නිසා සීමාවාසික පුහුණුව සඳහා වෛද්‍යවරුන් සහභාගී නොවීමට ඉඩ ඇති බවට මේ වන විට පෙනී යමින් පවතිනවා. ඒ අනුව ඉදිරියේදී තවදුරටත් වෛද්‍ය හිඟයක් ඇතිවීමට තිබෙන ඉඩකඩ ඇහිරිය නොහැකි වෙනවා.
විදේශ විශ්වවිද්‍යාලවලින් උපාය පුහුණුව ලබා එන ශිෂ්‍යයන්ට පවා සීමාවාසික පුහුණුවීම් සඳහා සහභාගී වීමට අවස්ථාවක් නොලැබී යමින් පවතිනවා. ඊට හේතුව වෛද්‍ය සභාව විභාග පැවැත්වීම වර්ජනය කර තීබීමයි.
වෛද්‍ය සභාවට සභාපතිවරයෙක් පත්කිරීමේදීත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා තම අභිමතය මත කටයුතු කිරීම නිසාත් ගැටලුවක් මතු වුණා. සයිටම් අර්බුදය මතු වූ කාලසීමාවේ රජයට පක්ෂපාතී ආකාරයට කටයුතු කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත්කර තිබෙනවා. ඉකුත් මැතිවරණයේ එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තුව නියෝජන කළ කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කිරීම ගැටලුවක්. මෙහිදී අපට පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ සයිටම් ආයතනය අහෝසි කිරීමට ඉඩකඩ සැකසී තිබියදී රාජිත අමාත්‍යවරයා එය එසේ නොවීමට කෙසේ හෝ මඟක් පාදා ගැනීමට උත්සාහ කිරීමයි.
ඉකුත් මහින්ද රාජපක්ෂ රජයත්, පවතින යහපාලන ආණ්ඩුවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට බිය වී කටයුතු කරන බව මේ අනුව පෙනී යනවා. රාජිත සේනාරත්න හා ලක්ෂ්මන් කිරිඇල්ල යන ආමාත්‍යවරු එම ගැතිභාවය දක්වමින් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට හිස නමාගෙන වැඩකටයුතු කරනවා. දේශපාලන මැදිහත් වීම් සම්බන්ධ චෝදනා නැති මහාචාර්ය ලලිතා මෙන්ඩිස් වැනි අය වෛද්‍ය සභාවේ සභාපති ධුරයට නිර්දේශ කළත් අමාත්‍යවරයා තම අභිමතයට අනුව කටයුතු කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.”
“පවතින ගැටලු සියල්ල මත පදනම්ව ඉදිරියේදී අපගේ සංගමය තවදුරටත් යම් ක්‍රියාමාර්ගවලට යොමු විය හැකි බව අප මෙහිදී සිහිපත් කිරීමට කැමැතියි” වෛද්‍ය නවීන්ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සටහන - සමන්තිකා මාධවී