එරික් සෝල්හයිම් සමඟ ඉන්දියාවේ ඩබ්ලිව්.අයි.ඕ.එන්. ප‍්‍රවෘත්ති සේවයේ විදෙස් ප‍්‍රවෘත්ති සංස්කාරක පද්මා රාඕ සුන්දර්ජි සමඟ ඉකුත්දා සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවක නිරත වූයේය. ඒ ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ.ය අතර සටන් විරාම ගිවිසුම පැවති සමයේ සාම මැදිහත්කරු ලෙස පත් වූ නෝර්වේ රජයේ නියෝජිතවරයා ලෙස ඔහු සහ එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් සමඟ තිබූ සබඳතාවය, දෙපාර්ශ්වය අතර සටන් විරාමය එළැඹි පසුබිම, යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූ දෑ ගැන සෘජුව අදහස් දැක්වීමක් සොල්හයිම් විසින් එහිදී සිදු කළ අතර පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡුාවේ සිංහල අනුවාදයයි.
ප‍්‍රශ්නය : නොර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවේ සාම ක‍්‍රියාදාමයේ මැදිහත්කරු ලෙසින් කටයුතු කරද්දී නොර්වේ රජය ඉදිරිපත් වූයේ කෙසේද? ඔවුන් කොහොමද ඊට ඔබව තෝරා ගනු ලැබුවේ?
පිළිතුර : ඇත්ත වශයෙන්ම අපි මේ භූමිකාවේදී ඇරයුම් ලැබුවේ ඉතාම රහසිගත ලෙසින්. ඒ එවකට ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආරාධනයෙන්. මේ ක‍්‍රියාවලිය ගැන දැනගෙන සිටියේ පුද්ගලයින් දෙදෙනයි. ඒ එවකට ජනාධිපතිනිය සහ එවකට විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කදිරගාමර් මහතා පමණයි. අපිට එම ක‍්‍රියාවලිය වසර එකහමාරක් යනතුරුම සඟවා ගෙන ඉන්න පුළුවන් වුණා. ඊට පසුව එය ප‍්‍රසිද්ධ කාරණයක් වුණා. අපගේ මැදිහත්වීම් වන කාලයේදී මෙවැනි දෑ වෙනුවෙන් ඇතැම් සාර්ථකත්වයන් මැදපෙරදිග කලාපයේ යම් යම් තැන්හීදී අපි දැක්කා. මේ සාම ක‍්‍රියාවලිය සඳහා තෝරා අපි ඒ භූමියට ඉතාම ඈතින් සිටින රාජ්‍යයක් ලෙසින් ශ්‍රී ලංකා රජයත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයත් අපිව පිළිගැනීමට සූදානමින් සිටියා. ඔවුන්ට විශ්වාසයක් තිබුණා අපි මේ වැඩපිළිවෙළ අවුල් නොකර ගනීවි කියා.
ප‍්‍රශ්නය : ඔබලාගේ මැදිහත්වීමට ඉන්දියාවේ ප‍්‍රතිචාරය කෙබඳුඳ? විශේෂයෙන්ම ඉන්දියාව කියන්නේ දෙරට අතර සංස්කෘතික, ආගමික හා ජනවාර්ගික සබඳතා ඉතා ඉහළින් පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකාවේ අසල්වැසි රාජ්‍යය?
පිළිතුර : ඇත්ත වශයෙන්ම දිල්ලිය ඒ වෙලාවේ හිටියේ අපි ගැන සැකයකින්. දකුණු ආසියාව ගැන සැබෑ දැනුමක් නොමැති ක‍්‍රිස්තියානි යුරෝපීයන් කොහොමද මේ කලාපයේ අර්බුදවලට මැදිහත් වන්නේ කියලා ප‍්‍රශ්නයක් නැඟුනා. අවසානයේදී සිදු වූයේ ඔවුන්ගේ අනුමැතිය ලැබීම පමණක් නොවෙයි, අපිත් සමඟ සමීපතම සම්බන්ධතාවයක් පවත්වන රාජ්‍යයක් බවට පත්වූවා. ශ්‍රී ලංකාවේ සිදු කළ සෑම සංචාරයකින් පසුවම මා හැකි සෑම අවස්ථාවකදීම නවදිල්ලියට ගියා. එහි ගොස් මා විසින් සාම මැදිහත්කරු වශයෙන් ලබා ගත් හෝ නොගත් ප‍්‍රතිඵල ගැන නවදිල්ලි නායකත්වයට හා බුද්ධි අංශවලට තොරතුරු සම්පිණ්ඩනය කළා.
ප‍්‍රශ්නය : ශ්‍රී ලංකාවේ සාමය ඇති කිරීම වෙනුවෙන් මැදිහත්වීමේදී ඔබගේ මුල්ම උත්සාහය ගැන නැවත යොමු කළොත්, එය සිදු වූයේ කවදාද? එහි ප‍්‍රතිඵලය කුමක්ද?
පිළිතුර : මම මුලින්ම ලංකාවට ඇවිත් ප‍්‍රභාකරන් හමුවූ දවස ගැන ශ්‍රී ලංකාවේ කවුරුවත්ම දැනගෙන හිටියේ නැහැ. අඩුම තරමේ අපට ප‍්‍රභාකරන්ව මුණගැසීමට ජනාධිපතිනිය අවසර දුන් බව අගමැතිවරයා පවා දැනගෙන සිටියේ නැහැ. එවකට එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයක් යටතේ පැවති ස්ථානයකදී මම ප‍්‍රභාකරන්ව මුලින්ම හමුවුනේ. අපි ගියේ හෙලිකොප්ටරයකින්. ඒ ගමන තරමක භයංකාර වුණා. යානය කඳු අතරින් ඉහළින් පහළින් වරින් වර පියාසර කළේ ඉතාම අසීරුවෙන්. මොකද ඒ වන විට රජයේ ආරක්ෂක අංශ හෝ එල්.ටී.ටී.ඊ. කැරලිකරුවන් කිසිවෙකුත් අපේ මේ ගමන ගැන කිසිවක් දැන සිටියේ නැහැ. ඔවුන් ඒ බව දැනගෙන සිටියා නම් අපි රැගත් යානය පහසුවෙන්ම වෙඩි තබා බිම හෙළීමට දෙපාර්ශ්වයටම හැකියාව තිබුණා.
අවසානයේ සංකීර්ණ ගමනකින් පසුව මම ප‍්‍රභාකරන්ව මුණගැසුණා. ඒක ඉතාම හොඳ හමුවීමක්. ඔවුන් මුලින්ම අප හමුවේ තහවුරු කර සිටියා සාම ක‍්‍රියාදාමයකට කැමැත්තෙන් සිටින බවට. දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා වගේ සිටි ප‍්‍රභාකරන් මේ වගේ දෙයකට කැමති වුණේ කෙසේද යන්න ගැන අපට තරමක දෙගිඩියාවක් තිබුණා. ඒ වගේම එම ජනතාවත් ඔහු වගේ කෙනෙක්ගේ අනුගාමිකයින් වුණේ කොහොමද යන්න තේරුම් ගන්න අපට තරමක් අපහසු වුණා.
ප‍්‍රශ්නය : සාම මැදිහත්කරුගේ භූමිකාව තුළ හමුවූ සුවිශේෂි බාධක කොයි වගේද?
පිළිතුර : මේ ක‍්‍රියාවලිය තුළඳී බාධක දෙක තුනක් අපට පැවතියා. ඉන් පළමුවැන්න තමයි රටේ ප‍්‍රධාන ජන කොට්ඨාසය වූ සිංහල ප‍්‍රජාව ප‍්‍රධාන පක්ෂ දෙකක අනුගාමිකයින් වීම. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යටතේ මේ ප‍්‍රජාව දේශපාලනික වශයෙන් බෙදී සිටියා. එකිනෙකට ස්වාධීන වූ ඔවුන් එක් පක්ෂයක් බලයට පත් වූ විට අනෙක් පක්ෂය විරුද්ධ පක්ෂය ලෙසින් කටයුතු කරනු ලැබුවා. දෙමළ ප‍්‍රජාව හා ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් එම පක්ෂ දැක්වූයේ අවම ආකල්පයන්. ඒ වගේම එම දෙමළ ප‍්‍රජාවත් සිංහල නායකයින් ගැන කිසිදු විශ්වාසයක් ඔවුන් තුළ පැවතියේ නැහැ. එල්.ටී.ටී.ඊ. යත් ඒ වනවිට ස්වයංපාලනයකින් යුතු වෙනම රාජ්‍යයක් යන සංකල්පයට අනුගතවී සිටියා. ප‍්‍රභාකරන් ඇතුළු ඔවුන් සියලු දෙනා ඒ සියල්ල වෙනුවෙන් හැර වෙනත් කිසිම දෙයක් වෙනුවෙන් සූදානම්ව සිටියේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ ෆෙඩරල්වාදය වැළඳගත හැකිද? යන ගැටලුකාරී සිතිවිල්ල අප තුළ පැවතියා. 2002 වසරේ ඔස්ලෝ හිදී දෙපාර්ශ්වය අතර පැවති සාම ක‍්‍රියාවලියේ රැස්වීමකදී මේ ගැන සාකච්ඡාවට ලක් කළත් ප‍්‍රභාකරන්ට ෆෙඩරල්වාදය පිළිගැනීමට නොහැකි වුණා. මේ තමයි සාම මැදිහත්කරුවෙකු වශයෙන් මුහුණ දුන් බාධක.
ප‍්‍රශ්නය : නොර්වේජියානු මැදිහත්කරුවන්ට එරෙහිව විශාල චෝදනාවන් එල්ල වුණා. ඒ සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායමක් ලෙසින් එල්.ටී.ටී.ඊ.ය පිළිගැනීමයි. ඒ වගේම යුද්ධයෙන් පසුවත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් විසින් පිහිටුවනු ලැබූ දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති ආණ්ඩු සංකල්පය ඔබලා විසින් පිළිගෙන තිබෙනවා. මේ චෝදනාවන් සම්බන්ධයෙන් ඔබ දෙන පිළිතුර කුමක්ද?
පිළිතුර : මට මතක විදියට නම් අපි ශ්‍රී ලංකාවේ රැඳී සිටි වසර කිහිපය පුරාම ශ්‍රී ලංකා ආණ්ඩුවට පිටින් කිසිම දෙයක් කළේ නැහැ. අපි වැඩකළේ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ.ය සමඟ පමණයි. අපි කිසිම අවස්ථාවක නොර්වේජියානු ආකල්ප සමඟින් මෙහි වැඩ කළේ නැහැ. මොකද අපි ශ්‍රී ලංකාව ගැන දන්නේ ඉතාම සීමාසහිත කරුණු කිහිපයක් පමණක් බව ඉතාම හොඳින් අවබෝධ කරගෙන සිටියා. අඩුම ගානේ මම බෞද්ධයෙක්වත් හින්දු භක්තියෙක්වත් නොවෙයි. ඉතින් අපි කළේ රජයට අවශ්‍ය දේ පමණයි. ඒ වගේම එල්.ටී.ටී.ඊ.යට අවශ්‍ය දේ එකට ගෙන ඒමට අපි කටයුතු කරනු ලැබුවා. ඒක තමයි අපේ කාර්යභාරය වුණේ!
ප‍්‍රශ්නය : ඔබ කලින් පැවසූ පරිදි එල්.ටී.ටී.ඊ. නායකත්වය ක‍්‍රිස්තියානිද?
පිළිතුර : ඔව්, නමුත් එල්.ටී.ටී.ඊ. නායකත්වය සැබැවින්ම දැඩි ආගමික භක්තිකයින් නොවෙයි. ඔවුන්ගෙන් සමහරකු හින්දු බැතිමතුන් වූවා. මම දන්නා තරමට ඔවුන්ට ආගම එතරම් වැදගත් වූයේ නැහැ. ප‍්‍රභාකරන් සතු එකම ශක්තිය වූයේ දෙමළ ජාතිකත්ව සංකල්පය පමණයි. ඔහුගේ සාමාජිකයින්ට නම් තැබුවේ ඓතිහාසිකව සඳහන් වෙන දෙමළ රජවරුන්ගේ නම් පමණයි. ඒ වගේම ඔවුන් දෙමළ භාෂාව දැඩි ලෙස ඉගෙන ගනු ලැබුවා. ප‍්‍රභාකරන්ගේ සමහර උපදේශකයින් සඳහන් කර සිටින්නේ දකුණු ඉන්දීය භාෂාවන් වන කන්නඩ, මලයාලම් හෝ තෙළිඟු භාෂාවන් හි එකතුව මේ දෙමළ භාෂාව බවයි. ඒ නිසාම දෙමළ ජාතිකත්වය ඉතාම බලගතු දෙයක් වූවා. ඇත්තටම ලෝකය පුරාම දෙමළ ජාතිකයින් ඉතාම සාර්ථක වූ බවට අවස්ථා කිහිපයකදීම ඒත්තු ගැන්වී තිබුණා. ලෝකයේ ඕනෑම තැනක සිටින දෙමළ ඩයස්පෝරාව අතරේ සිටින්නේ වෛද්‍යවරුන්, නීතිඥවරුන් වගේ දක්ෂ වෘත්තිකයින්. ඔබ හොඳින්ම දන්නවා ඉන්දියාවේ සියලු ප‍්‍රාන්තවලට වඩා තමිල්නාඩු ප‍්‍රාන්තයේ දක්ෂයින් සිටින බවට. මෙවැනි පසුබිමක් මත ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ ඔහුගේ සංවිධානය ගැන දෙමළ ජනතාව සිටියේ බොහොම ආඩම්බරයකින් බව පැවසිය හැකියි.
ප‍්‍රශ්නය : ශ්‍රී ලාංකික දමිළයින් රැසක් නොර්වේ හි වාසය කරන නිසාම නොර්වේ රජය ඔබව ශ්‍රී ලංකාවේ සාම මැදිහත්කරු ලෙස ඉදිරිපත් කළා යැයි ඔබලාට තවත් චෝදනාවක් එල්ල වුණ. ඊටත් වඩා ඔබ දේශපාලනඥයෙක්. මෙැවනි දේ ගැන ඔබේ ආකල්පය?
පිළිතුර : ඇත්තටම මේ නිසාම අපි නොර්වේ හි සිටින දෙමළ ප‍්‍රජාව සමඟ සම්බන්ධතා පැවැත්වූයේ ඉතාම අල්ප වශයෙන්. ඒ වන විටත් අපි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රධාන උපදේශකවරයෙකු වූ ඇන්ටන් බාලසිංහම් සමඟ පමණයි ගනුදෙනු සිදු කරනු ලැබුවේ. මම ඔහුව සතිපතා ලන්ඩනයේදී මුණගැසුනා. ඒ වගේම එවකට කොළඹ සිටි අපේ තානාපතිවරයා සෑම සතියකදීම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය, එවකට විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර්, අගමැතිවරයාව සිටි රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් හමුවුණා. බාලසිංහම්ට අවශ්‍ය වුණේ නැහැ දිගින් දිගටම අපි ගැන දෙමළ ප‍්‍රජාව හමුවේ කියා පෑමට. ඒ නිසාම එම ප‍්‍රජාව මේ ක‍්‍රියාවලියට කිසිම ලෙසකින්වත් දායක වුනේ නැහැ. නමුත් සාම ක‍්‍රියාවලිය සම්බන්ධීකරණ කිරීමේ සෑම කටයුත්තක් ගැනම මා ඉන්දීය නායකයින් දිල්ලියේදී හමුවී දැනුවත් කරනු ලැබුවා. නමුත් කිසිම අවස්ථාවක මේ ක‍්‍රමවේදය ගැන නොර්වේ හි සිටින දෙමළ ප‍්‍රජාව දැනුවත් කිරීමට අපි කටයුතු කළේ නැහැ.
ප‍්‍රශ්නය : දෙපාර්ශ්වය අතර සාම ක‍්‍රියාවලිය අසාර්ථක වූ අවස්ථාවේදී එවකට ඔබගේ අනුප‍්‍රාප්තිකයා ලෙස කටයුතු කළ යොන් හැන්සන් බවර් සියලූ දෑ අතහරිමින් යළි නොර්වේ බලා පිටත්ව යෑම සූදානම් වූ අවස්ථාවේදී නොවටිනා දෙයක් වෙනුවෙන් කාලය වැය කළා යැයි සිතුනාද?
පිළිතුර : අපි කිසිම අවස්ථාවක එහෙම සිතුවේ නැහැ. අපි අවසන් මොහොත වෙනකම්ම සිතුවේ අපි කරන්නේ ශ්‍රී ලංකා රජයට ප‍්‍රයෝජනවත් වන දෙයක් පමණයි කියා. අපි ගැන ඇතැම් පිරිස් විවේචනය කළත් මහජනතාව ඉල්ලා සිටියේ තවදුරටත් රැඳී සිටින ලෙසයි. මේවගේ කුඩා ජාතියක් වෙනුවෙන් අපි උත්සාහ කළේ ප‍්‍රජාවන් දෙකක් අතර ඇති වූ අසමගිය නැති කිරීමටයි. ඒ වන විටත් සෑම මාසයකම, සෑම වසරකම රටේ දහසකට වැඩි පිරිසක් මියයමින් සිටියා. ඒ නිසා අපට අවශ්‍ය වූයේ ඒ ජනවර්ගයන්ට උදව් කිරීම පමණයි. මේ නිසා අපි කොහොමද දැන දැනම ඔවුන්ව අත්හරින්නේ කියන සිතිවිල්ල අපිට නැගුනා. ඒ වගේම ඔවුන්ව අත්හරින්න එපා, ඔවුන්ට දිගින් දිගටම සහාය දෙන්න කියලා එවකට දිල්ලි රාජ්‍ය තන්ත‍්‍රයත්, වොෂින්ටන් රාජ්‍ය තන්ත‍්‍රයත් අපෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා. මට මතකයි මගේ පළමු නවදිල්ලි සංචාරයේදී එවකට ඉන්දියාවේ විදේශ ඇමතිවරයාව සිටියේ ජස්වාන්ත් සිං මහතායි. ඔහු නිරතුරුවම මට පැවසූ කාරණයක් තිබුණා. ඒ හමුවීමේදී දිගු සංවාදයකින් අනතුරුව ඔහු කියා සිටියා ‘‘මට එක ප‍්‍රශ්නයක් තිබෙනවා ඔබෙන් අසන්න, ඔබ හිතේ කරදරෙන්ද ඉන්නේ,’’ මම එවිට ඔහුට උත්තර දෙමින් කිව්වා ‘‘නැහැ, නැහැ. මම හිතේ කරදරෙන් නැහැ, ඒත් හැම මාසෙකදීම ශ්‍රී ලංකාවේ මිනිස්සු මැරෙනවා, අම්මලා අඬනවා, දරුවෝ මැරෙනවා. ඉතින් කොහොමද අපි සැනසීමෙන් ඉන්නේ’’ කියලා මම කියා සිටියා. මගේ උත්තර අහන් හිටපු ජස්වාන්ත් සිං ඇමතිවරයා ආයෙත් කිව්වා ‘‘ඔබ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ දන්නවා නේ, එතැනට ගිහින් ටිකට් පතක් අරන් යුරෝපයට යන්න. මොකද ඔබ ඉවසිලිවන්ත නම් ඔබට සිදුවේවි ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න. ඔබට මේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුම ගැන වසර 10 - 15ක දැක්ම තිබුණොත් ඔබට හොඳ දෙයක් කළ හැකි බව ඉන්දීය විදේශ ඇමතිවරයා කියා සිටියා. ඇත්ත වශයෙන්ම දැන් මට සිතෙනවා ඔහු හරි, මම වැරදියි කියා. ලංකාවේදී මා උගත් පාඩම් බොහෝයි. තාමත් ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ගැටළු තිබෙනවා. විශේෂයෙන්ම දෙමළ ජාතිකයින්ට ඇති ස්ථානය ගැන. තාමත් ඒ ගැටළුවලට විසඳුම් ලැබිලා නැහැ.
ප‍්‍රශ්නය : අපට දැන ගන්න පුළුවන්ද ඔබ සහ ප‍්‍රභාකරන් අතර පැවති සබඳතාවය ගැන? මොකද ඔබ වරෙක සඳහන් කළා ඔබලා දෙදෙන එකට මාළු ඇල්ලීමට පවා ගිය බව. ඒ සම්බන්ධය මිත‍්‍රත්වයක්ද? නැතහොත් ඊට එහා ගිය ව්‍යාපාරික සබඳතාවයක්ද?
පිළිතුර : ඇත්තටම මා කණගාටුවෙනවා ඔහුත් සමඟ තවත් කාලය ගත කිරීමට නොහැකි වීම ගැන. මම වෙනත් කිසිදු විදේශියෙකුට වඩා ඔහුව නිරන්තරයෙන් හමුවී තිබෙනවා. මොකද මගේ රාජකාරී කටයුතුවලදී මම සාමාන්‍යයෙන් දෙමළ ජනතාව නිතර හමු වෙනවා. එකම එක අවස්ථාවකදී විතරක් මට මුස්ලිම් නියෝජිතයින් කිහිපදෙනෙකුත් හමුවී තිබෙනවා. නමුත් ඊටත් වඩා නිරන්තරයෙන්ම මට දෙමළ අය හමුවෙලා තියෙනවා. අපි උත්සාහ කළා ඔහු ඇත්තටම සැලකිලිමත් විය යුතු කාරණා ගැන කතා කරමින් ඔහු සමඟ වඩාත් කිට්ටු පෞද්ගලික සම්බන්ධතාවක් දැඩිව ගොඩනගා ගන්න අපි උත්සාහ කළා. විශේෂයෙන්ම ඔහු වඩාත් ප‍්‍රිය කරන චිත‍්‍රපටි, ඉවුම් පිහුම් වගේ දේවල් ගැන ඔහුත් එක්ක වැඩිපුර කතා කරා. ඇත්තටම ඔහුට ඉතා හොඳට උයන්න පුළුවන්. ඒ වගේම ඔහු ස්වභාවික පරිසරයටත් ඇළුම් කරනවා. ඔහු සමඟ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමේදී භාෂා ප‍්‍රශ්නයක් බලපෑවා. ඔහු දෙමළ කතා කරන නිසා අපට නිරන්තරයෙන් පරිවර්තකයෙකුගේ සහාය ගන්න වුණා. ඒ කොහොම වුණත් ඔහු කවදාවත් සම්පූර්ණයෙන්ම විවෘත වුණේ නැහැ. නමුත් ඔහුත් එක්ක වැඩි කාලයක් ගත කිරීමට නොහැකිවීම ගැන මා ඉන්නේ කණස්සල්ලෙන්. එලෙස ප‍්‍රභාකරන්ව ඇසුරු කිරීමට මට ඉඩ ලැබුණේ නම් ඔහුගේ ආකල්ප වෙනස් කරන්න බලපෑමක් කරන්න ඉඩ තිබුණා.
ප‍්‍රශ්නය : ළමා සොල්දාදුවන් භාවිතා කළ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාවිච්චි කළ එල්.ටී.ටී.ඊ ය වැනි සංවිධානයක් එක්ක සාම කි‍්‍රයාවලියකට ගනුදෙනු කිරීම අමාරු කාර්යයක් වූයේ නැත්ද? විශේෂයෙන්ම ඔබලා වැනි ස්කැන්ඩිනේවියානු හා යුරෝපා ජාතියට අයත් පුද්ගලයින් ලෙස මානව හිමිකම්වලට අතිශය ගරු කළ අය ලෙසට මේවායේ වැරැද්දක් දැක්කේ නැත්ද?
පිළිතුර : ඇත්ත වශයෙන්ම ඔවුන් එවැනි දෑ කළා. නමුත් අපි ශ්‍රී ලංකා රජයේ පැත්තෙනුත්, අනෙක් පැත්තෙන් යුද අපරාධ කළ අය සමඟින් සාකච්ඡා කළා. ඒ වගේම මම නිතරම මගේ හදවතින් ඇසූ ප‍්‍රශ්නයක් තිබුණා. ඒ සැබෑ වින්දිතයින්ට අවශ්‍ය වන්නේ කුමක්ද, ඔවුන් අපෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද යන්නයි. මෙැවනි අය සමඟ කතා කිරීමේදී අපිට දැනුනා යුද්ධය නැවැත්වීම ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය බව. මගේ හැඟීමවලට වඩා මට ඕනෑ වුණේ විපතට පත්වූවන්ට බලපෑම් කිරීමයි. ශ්‍රී ලාංකිකයින් දස දහස් ගණනක්, තරුණ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දහස් ගණනක්, දකුණේ ගම්වල වෙසෙන් අහිංසක ජනතාවගෙන් ආ සොල්දාදුවන්ද මේ සියලු දෙනාටම අවශ්‍ය මොකක්ද යන්න ගැන අපි නිගමනයට ආවා. ඒ යුද්ධයේ අවසානයයි. මේ දවස්වල ලෝකයේ සිදු කෙරෙන යේමන හා සිරියාවේ යුද ගැටුම් විසඳන සාම ක‍්‍රියාවලීන් තුළින් සොයා බැලිය යුතු වන්නේ යුද්ධය නවතා දැමිය හැක්කේ කෙසේද යන්නයි.
ප‍්‍රශ්නය : ස්කැන්ඩිනේවියානුවන් සහ යුරෝපීයන් ඇතුළු ඔබ සියලු දෙනාම වෙනත් ස්වෛරී රටවල හමුදාවන් මානව අයිතිවාසිකම් උල්ලංගඝනය කිරීම් පිළිබඳව නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙනවා. එවැනි චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවත් විමර්ශනයන් පවත්වමින් සිටිනවා. නමුත් ඉරාකය ඇතුළු මැදපෙරදිග රටවල්වල බටහිර ජාතීන් සම්බන්ධවී ඇති යුද ගැටුම්වලදී සිදුවන යුද අපරාධ ගැන ඔබලා දරන්නේ කුමන අදහසක්ද? උදාහරණයක් ලෙස නේටෝ සංවිධානය මෙම යුද්ධවලට සම්බන්ධ වී සිටින නිසා ඔබලා නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවාද?
පිළිතුර : එවැනි අදහසක් තිබේ නම්, එය සම්පූර්ණයෙන්ම වැරදියි. වියට්නාම් යුද්ධය කියන්නේ ඇමෙරිකාව විසින් විශාල යුද අපරාධ සිදුකළ අවස්ථාවක්. එය කිසිවකුවත් අත්පත් නොකරගත් අනවශ්‍ය යුද්ධයක් වූවා. මේ නිසා මිලියන 2 - 3 ත් අතර වියට්නාම් ජාතිකයිනුත් ඇමෙරිකානුවන් 55,000ක් ඝාතනය වුණා. නමුත් වර්තමානයේ වියට්නාමය ආර්ථික වේගය ඉතා හොඳින් සංවර්ධනය කරමින් පවත්වාගෙන යන්නක්. ඒ වගේම ඔවුනුත් ඇමෙරිකාවත් ඉතාම හොඳ මිත‍්‍රයින් වී අවසානයි. යම් හෙයකින් ඇමෙරිකාව පසුකාලීනව වියට්නාමය අත්හැරියේ නම් ඔවුන් තනිවෙනවා. යුද අපරාධ කියන්නේ අනවශ්‍ය කාරණයක්. ඒ වගේම ඇමෙරිකාවත් හැමවිටම ආරම්භ කරන්නේ අනවශ්‍ය යුද්ධවල්. ඉතාම කිහිපදෙනයි ඇමෙරිකා විසින් ඉරාක ආක‍්‍රමණය කිරීම අනුමත කරනු ලබන්නේ. සදාම් හුසේන් වඩාත් අශිෂ්ට, බිහිසුණු ඒකාධිපතියෙක් වුවත්, එක්සත් ජනපදය මෙවැනි යුද්ධ ඇරඹීම නිසා මේ වන විට බොහෝ ප‍්‍රශ්න නිර්මාණය වී අවසානයි. ඒ නිසා අපි බටහිර හා බටහිර නොවන යුද්ධ සහ ත‍්‍රස්තවාදීන් සහ හමුදාවන්ට අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා.
ප‍්‍රශ්නය : යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය මුලින්ම මේ බෙදුම්වාදී යුද්ධය ශ්‍රී ලංකාවේ නිදහස් සටනක් ලෙස සලකනු ලැබුවා. මෙවැනි කණ්ඩායම් පෝෂණය කිරීම සහ රැකවරණය පෑම බටහිරට වැරදීමක් නෙවෙයිද?
පිළිතුර : බටහිර රටවල්, ලෝකයේ බොහෝ රටවල ප‍්‍රදේශ ගැන දන්නේ ඉතා සීමිත දැනුමක්. මේ නිසාම වැරදි සිදුවන බව අපි පිළිගන්නවා. යුද්ධයකදී සම්බාධක පැනවූවා කියා ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඕනෑම ගැටුමකට සාර්ථක විසඳුමක් අප විසින් සොයා ගත යුතුයි. එසේම එය සාමකාමී විසඳුමක්ද විය යුතුයි. 50 දශකයේ සිට 70 දශකය දක්වා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුනේ නැහැ. සත්‍ය ලෙසින්ම දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වැදුණු අය ගැන මා ගොඩක් කණගාටු වෙනවා. නමුත් මරාගෙන මැරෙන බෝමබ ප‍්‍රහාර හෝ රජීව් ගාන්ධි ඝාතනය කිරීම හෝ බස්වලට බෝම්බ තැබීම හෝ දළදා මාළිගාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීම ගැන ඔවුන්ට මගේ කිසිම අනුකම්පාවක් නැහැ. මිනිසුන් මරා දැමීම වැනි බිහිසුණු ක‍්‍රියා එල්.ටී.ටී.ඊය විසින් සිදු කරනු ලැබුවා. ඒ ගැන අපි හැමෝටම කණගාටුවක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ගැන අනුකම්පාවක් ඇතිවිය යුතුයි. මන්ද දෙමළ වැසියෙක් පොලීසියට යනවා නම්, පොලීසියේ සිටින අය කතා කරන්න දන්නේ සිංහල පමණයි. මේක තමයි ගැටලුව.
ප‍්‍රශ්නය : ඊළාම් බෙදුම්වාදී සංවිධාන යුරෝපය තුළ යළි කාණ්ඩ ගැසීම, ඔවුන් එල්.ටී.ටී.ඊ. ධජය භාවිතා කරමින් සිටිනවා. ඒ ධජයෙන් සංකේතවත් කරන්නේ දෙමළ අයිතිවාසිකම් පමණක් නොවෙයි. ඇයි ඔබලාගේ රජයන් මේවාට අවසර දෙන්නේ?
පිළිතුර : යුරෝපීය රටවල හැමදාමත් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ලබා දුන්නා. මේ ගැන ඇතැම් අය ධනාත්මක ලෙසින් බලනවා. විවිධාකාර කණ්ඩායම්වලට විවිධ දේ කිරීමට අවශ්‍ය වී තිබෙනවා. නමුත් අපි හැම මොහොතේදීම සිදු කළේ ශ්‍රී ලංකා රජයට හා එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය දේ පමණයි. මෙවැනි වාතාවරණයක් යටතේ ඉන්දීය බුද්ධි අංශවලට වඩාත් වැදගත් වූයේ සිදුවන්නේ කුමක්ද කියා හැකි විගසින් දැන ගැනීම පමණයි.
ප‍්‍රශ්නය : ශ්‍රී ලංකාව තුළ ඔබගේ සබඳතාවයේ වඩාත් මතභේදාත්මක පැතිකඩයන් තිබුණා. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. ප‍්‍රධාන පෙළේ නායකයින් බොහොමයක් මිය ගිය සුදු කොඩි සිද්ධිය ගැන අපට කියන්න ඔබ කැමතිද? ඒ වගේම එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් ඇතුළු ඔහුගේ පවුලේ අය බේරා ගැනීමට ඔබ පුද්ගලිකවම උත්සාහ කළේ යැයි ඔබට චෝදනාවක් තියෙනවා, ඒක ඇත්තක්ද?
පිළිතුර : එදා මැයි 17 වැනිදා. එදිනට නොර්වේ ජාතක දිනයත් යෙදී තිබුණා. මම එදා ඒ වන විට ඔස්ලෝ නුවර පැවති ජාතික දින සැමරුම් උත්සවයකට සහභාගී වෙලයි සිටියේ. ඒ මොහොතේ එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන අංශයේ නායක පුලිදේවන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු එහිදී කියා සිටියා ශ්‍රී ලංකා හමුදාවට බාර වෙන්න ඕනෑ කියා. ඒ සඳහා ඔවුන්ට උදව් කළ හැකිදැයි පුලිදේවන් විමසා සිටියා. එහිදී මම කෙළින්ම ඔහුට කතා නොකළත්, මගේ නිලධාරියෙකු පුලිදේවන්ට කතා කරමින් යුද්ධය අවසන් වීමට ආසන්න බැවින් මේ අවස්ථාවේදී අපිට මැදිහත්වීම ප‍්‍රමාද වුණ බව පුලිදේවන්ට දැන්වූවා. මේ අරගලය අතහැර දමන ලෙස අපට මේ ප‍්‍රශ්නයේදී මැදිහත්වීමට හැකියාව තිබූ කාලයේ අප ඔවුන්ට දැනුම් දුන්නා. ඒ නිසා දැන් ප‍්‍රමාද බව අපේ නිලධාරියා පුලිදේවන්ට වැඩිදුරටත් දැනුම් දුන්නා. නමුත් අපි දැනුම් දුන්නා ඔබලා යටත් වෙන බව අඟවමින් සුදු කොඩි ඔසවන්න කියා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත‍්‍ර හෝ ඔබට ඇති ඕනෑම මාධ්‍යයකින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට යටත්වන ලෙසට දැනුම් දුන්නා. ඒ වගේම මෙලෙස යටත් වෙනවා නම් ඒ ගැන ශ්‍රී ලංකා රජයේ නායකයින්ට දන්වන්නම් කියා පවසා සිටියා.
ප‍්‍රශ්නය : ඉතින් ඔබ ඒ ගැන ශ්‍රී ලංකා රජයේ නායකයින් දැනුවත් කළාද?
පිළිතුර : ඔව්! නිසැකයෙන්ම මම ඔවුන්ව දැනුවත් කළා. අපි ජනාධිපති උපදේශකවරයෙකු වූත් අමාත්‍යවරයෙකු වූත් බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දුන්නා. අපි විතරක් නොවෙයි මේ ගැන දෙමළ නායකයින් වගේම් ඉන්දීය රජයේ නායකයිනුත් ශ්‍රී ලංකා නායකත්වයට මේ සම්බන්ධයෙන් පණිවිඩ යැව්වා. නමුත් පසුවදා අපිට තොරතුරු මඟින් තහවුරු වුණා නඩේසන් සහ පුලිදේවන් ඝාතනය වූ බවට. නමුත් මේ ඝාතනයන් සිදුවූ ආකාරය අපි දන්නේ නැහැ. ප‍්‍රභාකරන් මරා දැම්මද, නැතහොත් සිය දිවි හානි කරගත්තද කියාවත් අපි දන්නේ නැහැ. නමුත් ප‍්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත‍්‍රයා ශ්‍රී ලංකා හමුදාව විසින් අල්ලාගෙන පසුව ඔවුන් විසින් මරා දමනු ලැබූ බවටත් තොරතුරු දැන ගන්න ලැබුණා. එය සම්පූර්ණයෙන්ම වගකීමකින් තොර, නපුරු ක‍්‍රියාවක් බවට අපට බලගතු සැකයක් පවතිනවා. විශේෂයෙන් ඇයි ඔවුන් මේ අයව යටත් කරගෙන අධිකරණයකට බාර නුදුන්නේ යන සැකය අපට තිබෙනවා.
ප‍්‍රශ්නය : නුදුරු අනාගතයේදී ඔබ ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබෙනවාද? ඊටත් වඩා අපට අසන්නට ලැබුණා ඔබ ඒ ලැබූ අත්දැකීම් ඇසුරෙන් පොතක් ලියන්නට යනවා කියා. එය ඇත්තක්ද?
පිළිතුර : මම ශ්‍රී ලංකාව ගැන නම් පොතක් ලියන්නේ නැහැ. ආයෙත් එහි යන්න ලැබුණා නම් මම වඩාත් සතුටු වෙනවා. නමුත් සාම මැදිහත්කරුවෙකු ලෙසින් හෝ ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියේ නිරත වෙන අයට ගැටලුවක් වීමට මා කටයුතු කරන්නේ නැහැ. මට අදටත් ශ්‍රී ලංකාවේ යහළුවන් සිටිනවා. විශේෂයෙන්ම චන්ද්‍රිකා, රනිල්, මහින්ද රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායකයින්, රාවුෆ් හකීම් ඒ අතරින් විශේෂයි. ඔවුන් දැකීමට කැමතියි. නමුත් කිසිදු අයෙකුට ප‍්‍රශ්නයක් නොවන ආකාරයෙන් ඔවුන්ව මුණගැසීමට මා කැමැත්තෙන් සිටිනවා.
ප‍්‍රශ්නය : ශ්‍රී ලංකාව ඔබට දෙවැනි නිවසක් වූවාද?
පිළිතුර : නියත වශයෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ මගේ මව් රටට වඩා මා සලකන තැනක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ.
සිංහල අනුවාදය සහ සැකසුම
තිළිණි ද සිල්වා