අපි උතුරේ ක්‍රියාත්මක කළේ කාටවත්ම නොදැනෙන ආරක්‍ෂක වැඩපිළිවෙළක්


යුද ජයග්‍රහණයට අට වසරක් සපිරුණි. මේ ඒ සම්බන්ධවත් කාලීන දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය : යුද ජයග්‍රහණයට වසර අටයි?
පිළිතුර :
ඇත්තටම සතුටක් දැනෙනවා. වසර අටක් ජීවිත හානියක් දේපොළ හානියක් නැතිව මේ රටේ ඕනෑම පුද්ගලයකුට ඕනෑම තැනකට යන්නට..... විශේෂයෙන්ම කාලයක් තිබුණා අපේ රටේ නායකයන්ට පවා අපේ රටේ සමහර ප්‍රදේශවලට යන්නට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒක පොඩි ප්‍රදේශයක් නොවෙයි, විශාල ප්‍රදේශයක්. වවුනියාවෙන් ඉහළට කාටවත් යන්න පුළුවන්කමක් කාටවත් තිබුණේ නෑ. නැගෙනහිර ප්‍රදේශයෙන් බොහෝ තැන්වලට යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. රට තුළ පවා අනෙක් ප්‍රදේශවල යන්නේ බොහොම බයෙන්. ඉතින් මෙවැනි තත්ත්වයක් නැති කරලා අවුරුදු අටක් පිරීම ගැන ඇත්තටම සතුටුයි.

 


ප්‍රශ්නය : මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂයට ගිය දවසෙ ඉඳලම රාජපක්‍ෂ කඳවුර කිව්වේ මේ ආණ්ඩුව යටතේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා කියලා. නමුත් ආණ්ඩුව ඒකාන්ත විශ්වාසයෙන්ම කියනවා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කියලා?
පිළිතුර :
ඒක මෙහෙමයි. තියෙන තර්ජනය ගැන අවබෝධයක් නැතිනම් ඒක විශාල ප්‍රශ්නයක්. විශේෂයෙන්ම රටක නායකයින්ට ඒ අවබෝධය තිබිය යුතුයි. අද ලෝකයේ ඕනෑම රටකට තර්ජනයක් තියෙනවා. විශාල තර්ජනයක් තියෙනවා. සිංගප්පූරුව වගේ ඉහළට ගිය විවිධ ක්‍රමවේද තියෙන රටක පවා නායකයන් ඉන්නේ තර්ජන පිළිබඳ අවබෝධයකින්. බි්‍රතාන්‍යයේ බෝම්බ පිපුරුම ගන්න. ඒ නිසා තර්ජනය පිළිබඳව අවබෝධයක් නැතිනම් ඒක විශාල ප්‍රශ්නයක්. දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ. අවුරුදු පහක් විතර කාලය තුළ මම ආරක්‍ෂක ලේකම්වරයා හැටියට ඉන්න කාලේ මම උතුරේ හා නැගෙනහිර යම් කිසි ක්‍රමවේදයක් තිබුණා තිබුණු පැරණි ත්‍රස්තවාදී තත්ත්වය නැවත මතු නොවෙන ආකාරයට. එහෙම නැවත මතු වෙනවානම් ඒ ගැන විශේෂ දැනුම්වත් කිරීමක් සඳහා, ක්‍රමවේදයක් යොදලා තිබුණා. ඒ ක්‍රමවේදය කිසිම අයුරකින් දෙමළ ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට බලපාන අයුරින් නොවෙයි තිබුණේ. 


ප්‍රශ්නය : ඔබ එහෙම කිව්වත් උතුරේ පොදු මතය වෙලා තිබුණේ ඒක මිලිටරි ආඥාදායකත්වයක් කියලයි.
පිළිතුර :
ඒක එහෙම කිව්වේ ඒ, ඒ අයගේ අවශ්‍යතාවයන් මත. නමුත් එහෙම නොවෙයි. අපි කිසිම අවස්ථාවක ගම්මාන වට කරලා සෝදිසි කිරීම් කළේ නෑ. අපි කිසිම අවස්ථාවක මාර්ග බාධක දාලා ජනතාව පීඩාවට පත් කළේ නෑ. මගේ කාලය තුළ දී මාර්ග බාධක බිංදුවට බස්සලා තිබුණේ. ඒ වගේම අපි කිසිම පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම් කළේ නෑ. අපි ආරක්‍ෂක තත්ත්වය ඇති කළේ කාටවත්ම නොදැනෙන ආකාරයටයි.


ප්‍රශ්නය : ඔබ දැන් එහෙම කිව්වත් අදත් උතුරේ ජනතාව කියන්නේ හමුදා කඳවුරු ඉවත් කරන්න කියලයි. කාටවත් නොදැනෙන ආරක්‍ෂක වැඩපිළිවෙළක් නම් තිබුණේ ජනතාව එහෙම කියයිද?
පිළිතුර :
ඔය තත්ත්වය වෙනම තත්ත්වයක්. ඕක වෙනම න්‍යාය පත්‍රයක්. ඇත්තටම අපි උතුරේ ක්‍රියාත්මක කළේ කාටවත්ම නොදැනෙන ආරක්‍ෂක වැඩපිළිවෙළක්. උදාහරණයක් විදියට ඔබ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගියොත් ඔබ මොන හෝටලයේ ද ඉන්නේ. එතැනින් මොන හෝටලයටද යන්නේ. මොන කඩෙන්ද කෑම කන්නේ කියන එක ඒගොල්ලන්ට දැනගන්න පුළුවන්. හැබැයි ඒක ඔබතුමා දන්නේ නෑ. ඒක ඔබට බාධාවක් නොවෙයි. ඒක ඔබේ ඇඟටවත් හිතටවත් දැනේනේ නෑ. මෙන්න මේ විදියට තමයි උතුරේත් නැගෙනහිරත් ආරක්‍ෂාව අපි තහවුරු කරලා තිබුණේ. මම කියන්නේ අපි එහෙම ක්‍රමවේදයක් යොදලා ආරක්‍ෂාව පවත්වාගෙන ගිය නිසා තමයි දැන් මේ රටේ ඉන්න පාලකයන්ට පවා උතුරේ ඕනෑම තැනකට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් මේවා ක්‍රමයෙන් විනාශ කර ගන්නවා නම් ඒක අපිට ප්‍රශ්නයක්.


ප්‍රශ්නය : රණවිරු සැමරුම් දින ආසන්නයේ කිලිනොච්චියේදී පොලිස් වාහනයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. රාජපක්‍ෂ කඳවුරට අනුව නම් ඒක නැවත ‘කොටියා නැගිටීමක්’?
පිළිතුර :
එහෙම කියන්න එපා. මගේ කාලයේදී එක් අවස්ථාවක් ඔබට මතක ඇති ‘ගෝපි’ කියන පුද්ගලයා අපි අත්අඩංගුවට ගත්තේ රෑ පොලිස් මුරකාවල ඉන්න රාළහාමි කෙනෙක් බයිසිකලයකින් ආපු මනුස්සයෙක් නතර කරලා සෝදිසි කිරීමෙන් හම්බ වුණ ‘පත්‍රිකාවක්’ ඔස්සේ ගිහිනුයි. ඒ නිසා ආරක්‍ෂාව පිළිබඳ අවබෝධයක් තියෙන පුද්ගලයාට සුළු දෙයකින් පවා ලොකු දෙයක් අනාවරණය කරගන්න පුළුවන්. ඒ හරහා හේතුව මොකක්ද කියලා හොයලා බලන්න ඕනෑ. ඉතින් පොලිස් කාර් එකකට වෙඩි තැබීම කියන එක සාමාන්‍ය දෙයක් කියලා කියන්න පුළුවන්කමක් නෑ.


මොන පළාතෙද පොලිසිය කාර් එකකට වෙඩි තියන්නේ කොහොමද ආයුධය හම්බ වුණේ? මොකද්ද මේ ආයුධය? ඒක මේ ‘ෂොට් ගන්’ එකක්ද? එහෙම නැත්නම් ටී පනස් හයක්ද? ටී පනස් හයක්නම් ඒක ඒ අයගේ අතට ගියේ කොහොමද? එහෙට අවියක් පොලිස් කාර් එකකට වෙඩි තියන්න යොදාගන්න හේතු වූ කරුණ මොනවද? මෙයා මන්ද බුද්ධිකයෙක්ද? එහෙම නැත්නම් සංවිධානාත්මක කණ්ඩායමක්ද? ඒවා ගැන හොයලා බලන්න ඕනෑ. මේ කොළඹ පාරේ යන පොලිස් කාර් එකකට වෙඩි තිබ්බොත් මොකද වෙන්නේ? ඒක සාමාන්‍ය දෙයක් කියලා රාළහාමිලා ගෙදර යන්නේ නෑනේ.

 


ප්‍රශ්නය : එහෙම අනතුරක් නිර්මාණයවීම රාජපක්‍ෂ කඳවුරේ ප්‍රාර්ථනාව බව කියන අයත් ඉන්නවා.
පිළිතුර :
එහෙම ප්‍රාර්ථනා මම හිතන්නේ නෑ කාටවත් තියෙනවා කියලා. එහෙම තත්ත්වයක් ඇතිවීම භයානක තත්ත්වයක්. මහින්ද කඳවුරට විතරක් නොවෙයි ඔබතුමාලටත් ඒක කනගාටුදායක තත්ත්වයක්. කොටි නැවත නැගිටින්න පුළුවන් නම් ඒක ආස්වාදාත්මක දෙයක් නොවෙයි. විශේෂයෙන්ම අපිට. කොටි නැති කරපු අපිට කොටියෙක් නැගිටිනවා කියන එක එවැනි දෙයකට ඉඩ දෙනවා කියන එක ආස්වාදාත්මක දෙයක් නොවෙයි. කනගාටුදායක තත්ත්වයක්. රජය මොකක් වුණත් එවැනි තත්ත්වයකට ඉඩ දෙනවා නම් ඒක භයානක දෙයක්. මම කියන්නේ ආයේ එහෙම එකක් නෑ කියලා අමතක කිරීම. නායකයන් එහෙම කරනවා නම් ඒකෙන් කියැවෙන්නේ නායකයන්ට රටක ආරක්‍ෂක තත්ත්වය ගැන අවබෝධයක් නැතිකම හා ඒ ගැන තැකීමක් නෑ කියලයි. ඒක ඉතාම භයානක දෙයක්. මට එක රටක් පෙන්වන්න තර්ජනයක් නැති රටක්. එක්කො අයිඑස්අයිඑස් එකෙන් වෙන්න පුළුවන්. හැම රටකටම ඒ විදියට මොකක් හරි තර්ජනයක් තියෙනවා. ඒ නිසා ආරක්‍ෂාව ගැන පාලකයන්ට අවබෝධයක් තියෙන්න ඕනෑ.

 


ප්‍රශ්නය : උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් කියනවා උතුරෙන් හමුදාව ඉවත් නොකළොත් ජනතාව වීදි බසියි කියලා. ආණ්ඩුව කියනවා මොනම හේතුවක් නිසාවත් හමුදාව උතුරෙන් ඉවත් කරන්නේ නෑ කියලා. ඒ කියන්නේ ආණ්ඩුව නිවැරැදි ස්ථාවරයක ඉන්නවා?
පිළිතුර :
ඔව්. බොහොම හොඳයි. එහෙම කඳවුරු ඉවත් නොකිරීම හොඳයි. ඒත් කඳවුරු තිබිලා කඳවුරුවලට සෙබළු සීමා කරලා තිබීම දරුණු දෙයක්. එහෙම කඳවුරු තිබුණයි කියලා වැඩක් තියෙනවද? 1980 ගණන්වලත් කඳවුරු තිබුණා. මට මතකයි අපි පලාලි හිටියා. හැබැයි කඳවුරෙන් එළියට යන්න බෑ. වැඩක් තියෙනවද? ඊට පස්සේ තමයි අපි වඩමරච්චි කළේ. මොකද අපි කඳවුරුවල හිටියා. කඳවුරු වටේටම එල්ටීටීඊ එක හිටියා. ඒ තුළ අවට බංකරයකින් බංකරයකට යන්න බැරි අවස්ථා තිබුණා. ඉතින් වැඩක් තියෙනවායැ. කඳවුරු තියෙන්න ඕනෑ කඳවුරුවල ඉන්න සෙබළුන්ට අවස්ථාව තිබිය යුතුයි තමන් ලබාගත්ත මේ ආරක්‍ෂක තත්ත්වය පිරිහීමට නොදී එය ඉදිරියට පවත්වාගෙන යන්න. එයින් අදහස් කෙරෙන්නේ කිසිම අයුරකින් ඒ පළාතේ ඉන්න ජනතාවට හිරිහැරයක් කිරීම නොවෙයි. නමුත් අපි මතක තියාගන්න ඕනෑ... මේ රට අවුරුදු 30ක් පුරා දරුණු ත්‍රස්තවාදයක් තිබුණ රටක්. එවැනි රටක ඉතා සුළු කාලයක් තුළ දී මේ ත්‍රස්තවාදී අදහස් මේ අන්තවාදී අදහස් ඇති පුද්ගලයන් ඇත්තෙම නෑ කියලා සිතීම මෝඩ වැඩක්.

එවැනි අවුරුදු ගණනාවක් තිස්සේ ජනතාවගේ මනස විකෘති අන්දමින් වෙනස් කරලා තිබුණ යුගයක්. ප්‍රභාකරන් කිසියම් දර්ශනයක් මේ ජනතාවගේ හිත්වලට කාවද්දලා වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය කාලයක්. ඒ ජනතාව මරාගෙන මැරෙන සාමාජිකයන් බවට පත් කිරීමට තරම් හැකි වුණු මානසික වෙනසක් ඇති කළ පුද්ගලයෙක් ප්‍රභාකරන් කියන්නේ. එවැනි වකවානුවකින් පස්සේ ඉතා සුළු කාලයකදී අපට කිසිම තර්ජනයක් නෑ. එවැනි තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් නැතැයි සිතීම ඒක මෝඩ ක්‍රියාවක්.

 


ප්‍රශ්නය : මේ මෙහොත වනවිට ආරක්‍ෂක අංශ, බුද්ධි අංශ නිලධාරීන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ඔවුන් යම් නීති විරෝධි ක්‍රියාකරලා තියෙනවා නම් ඒ කාලේ ආරක්‍ෂක ලේකම් හැටියට ඔබත් ඒවාට වගකිවයුතුයි?
පිළිතුර :
මෙතැන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි යම් කිසි පුද්ගලයෙක් ත්‍රස්තවාදය නැති කිරීමේ යහපත් අරමුණ ඇතිව යම් කිසි ක්‍රියාවක් සිදු කළා නම් ඒ ක්‍රියාවන් වැරැදියි කියලා පසු කාලයක දී යම් කිසි කෙනෙක් හිතනවා නම් එහෙම හිතලා ඒ නිලධාරීන්ව අත්අඩංගුවට අරගෙන දඬුවම් කරන්න යනවානම් ඒක වැරැදියි. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක දේශද්‍රෝහි ක්‍රියාවක්. අද මේ රට මේ තත්ත්වයට ගෙනාවේ ඒ ක්‍රියාවන් නිසා. ඒ නිලධාරීන් ඒ කරපු හැම දෙයකටම ආරක්‍ෂක ලේකම්වරයා හැටියට මම වග කියනවා.

 


ප්‍රශ්නය : මගේ ප්‍රශ්නය වුණේ අනික් කාරණය ගැනයි.
පිළිතුර :
ඔව්. යම්කිසි නිලධාරියෙක් ත්‍රස්තවාදය මැඩලීමේ මුවාවෙන් වෙන වැරැදි කළා නම් ඒක ඒ පුද්ගලයාගේ වැරැද්ද? ඒකට දඬුවම්දීම කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකට මට හෝ වෙනත් කෙනෙකුට වගකියන්න පුළුවන්කමකුත් නෑ. අපේ බුද්ධි නිලධාරියෙක් ඉන්නවා කියලා හිතමු. ඔහුගේ පවුලේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඥාතියෙක් එක්ක. මේ බුද්ධි නිලධාරියා ඒ ඥාතියාව මරනවා. එතකොට ඒක බුද්ධි අංශයට සම්බන්ධ කාරණාවක් නොවෙයිනේ. ඒකට අපිට වගකියන්න විදියක් නෑ. ඒවට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.


ප්‍රශ්නය : වෙනත් බලවතුන්ගේ වුවමනාවලට යම් යම් අපරාධ කරලා තියෙනවා නම්?
පිළිතුර :
එහෙම චිත්‍රයක් මවන්න හදනවා. එහෙම තත්ත්වයක් තිබුණ කියලා කතාවක් ගොඩනගන්න හදනවා. එහෙම දේවල් වෙලා තියෙනවා නම් දැන් ඔප්පු වෙලා තියෙන්න එපැයි. ඒ නිසා අද වෙන්නේ වෙන වෙන ඒවා හොයනවා කියන මුවාවෙන් ත්‍රස්තවාදය මැඩලීම සඳහා කරපු ක්‍රියාන්විත එළියට අදිමින් ඒවා වැරැදියි කියලා නිලධාරීන්ට දඬුවම් දෙන්න හදනවා. ඒක වැරදියි. මොකද ත්‍රස්තවාදය මැඩලන්නට යම්කිසි නිලධාරියෙක් අවංකවම දැන් මෙතන වරද්ද ගන්න එපා පුද්ගලයන් දහ දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්තා කියලා හිතන්න. එයින් දෙන්නෙක් තුන් දෙනෙක් අහිසංකයන් වෙන්න පුළුවනි. ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ලෝකයේ ඕනෑම රටක සිද්ධ විය හැකි දෙයක්. මොකද අපට දිව්‍යඥානය නෑනේ. බුද්ධි නිලධාරීන්ට එහෙම ඥානයක් නෑනේ. ඔවුන්ට ලැබෙන බුද්ධි තොරතුරු අනුව තමයි ඒ ක්‍රියාන්විතය කරන්නේ. අනික මතක තියාගන්න අපේ රටේ තිබුණ ත්‍රස්තවාදය දෙමළ ජනතාව සම්බන්ධ කරගෙන ඇති වුණ ත්‍රස්තවාදයක් නේ. එයින් කියැවෙන්නේ නෑ සියලුම දෙමළ ජනයා ත්‍රස්තවාදීන් කියලා. නමුත් ත්‍රස්තවාදීන් වැඩි පිරිසක් සියයට 98ක් 99ක් දෙමළ ජාතිකයන්. එතකොට බුද්ධි අංශ යම් කිසි කාර්යයක් කිරීමේ දී අපට සිද්ධ වෙනවා ඒ ජනකොටස් ඉලක්ක කරගෙන ඒ ක්‍රියාන්විතය සිදුකරන්න. ඒක තමයි අවුරුදු 30ක් පුරා සිද්ධ වුණේ. එහෙම නැතිව ත්‍රස්තවාදියා යාපනේ ඉන්නකොට හම්බන්තොට ගිහින් සර්ච් කළාට වැඩක් නැහැනේ.


එහෙම කරපු කාලයකුත් තිබුණා. එහෙම කරලා වැඩක් නෑ. මේ ත්‍රස්තවාදය මුල් බැහැලා තිබුණේ දෙමළ ජනතාව ආශ්‍රය කරගෙන නම් එහෙම නම් එම ක්‍රියාන්විතයන් දෙමළ සමාජය වැඩි වශයෙන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක විම සාමාන්‍ය දෙයක්.

 


ප්‍රශ්නය : ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නීතියට පරිබාහිරව යම් යම් ක්‍රියාන්විතයන් වුණා කියලා ඔබ හිතනවද?
පිළිතුර :
ත්‍රස්තවාදය කියන එකට ත්‍රස්තවාදියා නීතිය තුළද ත්‍රස්තවාදී ක්‍රියා කරන්නේ. ත්‍රස්තවාදය මැඬලීම කියන එකේදී නීතිය මේකයි. මෙයාට මෙහෙම කරන්න බෑ ඔළුව අතගාලා ප්‍රශ්න කරලා විසඳන්න බැහැනේ. එහෙම නම් තාමත් රටේ ත්‍රස්තවාදය තියෙනවා. ඒ නිසා ඒක බොරු කතාවක්. ඒක වැරැද්දක් කියලා කියනවා නම් මාත් වැරැදිකාරයෙක් කියලා මම පිළිගන්නවා. ත්‍රස්තවාදියාගේ ඔළුව අතගාමින් ප්‍රශ්න කරන්න බෑ.

 


ප්‍රශ්නය : ඒ කියන්නේ භීතිය වෙනුවෙන් නීතිය කඩන්න වෙනවා.
පිළිතුර :
අවංකවම ත්‍රස්තවාදය පරාජය කිරීමේ අරමුණෙන්, අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් යම් නිලධාරියෙක් කටයුතු කරනවානම් ඒක නීතිය හා එකඟයි කියලයි මම හිතන්නේ. සමහර අවස්ථාවල අපි නීතියට පිටින් ගියා කියලා කියනවානේ. එක් අවස්ථාවකදී කොළඹ ලොජ්වල හිටපු අය අපි ගිහින් දැම්මා වව්නියාවට. එහෙම කළේ අපේ විමර්ශනවලදී අනාවරණය වෙලා තිබුණා ත්‍රස්තවාදීන් මේ ලොජ් වල තමයි නතර වෙලා හිටියේ කියලා.

 


ප්‍රශ්නය : ලොජ්වල හිටපු හැමෝම ත්‍රස්තවාදීන්?
පිළිතුර :
නෑ... නෑ... අහිංසක අයත් ඉන්නවා. නමුත් ඒ අය හොයා ගන්න බෑ. ඒ නිසා 300ක් විතර පිරිසක් බස් වලින් අරගෙන ගිහින් වව්නියාවට බැස්සුවා. මේ වෙලාවේ එවකට හිටි අගවිනිසුරු සනත් නන්ද සිල්වා මහත්මයා තීන්දුවක් දුන්නා ‘ඒක වැරැදියි ඒ අයව නැවත අරගෙන එන්න’ කියලා. මම ඒ කාර්ය කළේ හොඳ හිතින්. නමුත් ඒ වෙලාවේ නීතියට යටත් වෙලා ඒ අය රැගෙන ආවා. ඒ වගේ උදාහරණ ඕනෑ තරම් කියන්න පුළුවන්. අපි නීතියට යටත්ව හා නීතියට එකඟව තමයි  ක්‍රියා කළේ.

 


ප්‍රශ්නය : මේ මොහොත වෙනවිට ඔබ හා ජනාධිපති මෛත්‍රීපාල අතර යම් එකඟතාවක් සඳහා සාකච්ඡාවක් සිදු කෙරෙනවා කියලා ආරංචියි.
පිළිතුර :
නෑ... කිසිම සාකච්ඡාවක් නෑ. හුඟකාලයකින් අපි හමුවෙලත් නෑ. මීට අවුරුද්දකට විතර ඉස්සර අපි හමුවුණා. ඒ අවස්ථාවේදීත් දේශපාලනය කතා කළේ නෑ. විවිධ ප්‍රශ්න ගැන තමයි කතා කළේ. ඊට පස්සේ සාකච්ඡා කරනවා තියා අපි හමුවෙලාවත් නෑ.


ප්‍රශ්නය : මධ්‍යස්ථ බේරුම්කරුවකු ලෙස ඔබව යොදාගැනීමේ උත්සාහයක් දෙපාර්ශ්වයටම තියෙන බවත් වාර්තා වෙනවා?
පිළිතුර :
මම දන්නෑ... එහෙම උත්සාහයක් තියෙනවා කියලා කියනවා. නමුත් මාත් එක්ක කවුරුවත් කතා කරලා නෑ. එක පාර්ශ්වයක්වත් මගෙත් එක්ක ඔය ගැන කතා කරලා නෑ. විවිධ අයනම් කතා කරලා කියෙනවා. ඒ හැරෙන්න වෙන කවුරුවත් කතා කරලා නෑ.

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්