අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම ?


 

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව අන් කවරදාකටත් වඩා පසුබෑමකට ලක්ව ඇති මොහොතකි මේ. බංග්ලාදේශය, සිම්බාබ්වේ හමුවේ පවා පරාජයන් ලද ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ටෙස්ට් ක්‍රිකට් තරග පරාජයකට මුහුණ දුන්නේ මේ දිනවල දිවයිනට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හමුවේය. 2006 න් පසුව දින තුනක් ඇතුළතදී ටෙස්ට් තරග පරාජයකට පත්වූ ශෝචනීය කණ්ඩායම බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්වූයේය.   

 

“මොකක්ද මේ වුණේ? මොනවද මේ වෙන්නෙ? අයියෝ අපේ ක්‍රිකට්?” ක්‍රිකට් ස්වකීය ආධ්‍යාත්මයට තුරුලු කරගත් ආදරණීය ශ්‍රී ලාංකීය ක්‍රිකට්ලෝලීන් වික්ෂිප්තව සිටින මොහොතකි මේ. ඇත්තටම මේ මොකක්ද අපේ ක්‍රිකට්වලට වුණේ? ඒ ගැන ක්‍රිකට් පරිපාලනය කරන වත්මන් බලධාරීන් හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින්, විචාරකයින්, සහ වත්මන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ චරිතවලින් හැර වෙන කාගෙන් නම් කරුණු විමසිය හැකිද?   


දයාසිරි ජයසේකර 
(ක්‍රීඩා අමාත්‍ය)   

ඇමැතිතුමා, ක්‍රිකට්වලට මොනවද මේ වෙන්නෙ?   
අපි අපට තියෙන හොඳම කණ්ඩායම තමයි මේ තරගාවලියට යොමු කළේ. ප්‍රශ්නෙ තියෙන්නෙ පිටිය මැදට ගිහිල්ලා අපට සෙල්ලම් කරන්න බැහැනෙ. ක්‍රීඩකයින්ගෙ පඩි වැඩි කරලා අවශ්‍ය සියලු පහසුකම් සම්පාදනය කරලා. ඒ ඔක්කෝම කරලා තමයි අපි කණ්ඩායම පෙළ ගැස්වුවේ. සමහර විට නායකයා වගේම පුහුණුකරු ඉල්ලූ ක්‍රීඩකයින් පවා කණ්ඩායමට ගන්න අපි එ් නිදහස දුන්නා. ඒ නිසාම තවත් සමහර හොඳ ක්‍රීඩකයින් හැලෙන්නත් ඇති. පාලක මණ්ඩලය ලෙස කවුරුවත් කිසිම විටෙක කණ්ඩායමට බලපෑම් කළේ නැහැ. ක්‍රීඩකයින්ට ඔක්කෝම පහසුකම් දීලා විතරක් මදි, එයාලගෙ මානසිකත්වය හදන්න ඕනැය කියන යෝජනාවක් ආවා. අපි ඒකත් කළා. මේ සෑම දෙයක් හමුවේ ක්‍රීඩකයින්ටත් රට වෙනුවෙන් රටේ ගෞරවය වෙනුවෙන් වගකීමක් තිබෙන්නට ඕනෑ.   


ඉන්දීය හිටපු ප්‍රවීණයෙක් කියලා තිබුණලු රංජි කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම එවලා ශ්‍රී ලංකාව පරිද්දන්න පුළුවන් කියලා? හරිම රිදෙන ප්‍රකාශයක් නේද?   
බලපුවාම ඒක තමයි තේරෙන්නෙ. තමන් විකට්ටුවේ රැඳී ඉඳලා ගහන්න ඕනෑය කියන දේ කොහොම උගන්වන්නද මන්දා? මෙහෙම වුණාම අපටත් වේදනාවක් තමයි. උහුලන්නෙ නෑ තමයි. ඒත් මෙයාලා ආපසු නැගිටලා ඒවි. ඒ වෙනුවෙන් කාලයක් යාවි. ඒ කාලය එනකල් වේදනාව උහුලාගෙන අපට බලා ඉන්නම වෙනවා.   


මේ දරුණු පරාජයට හේතු ලෙස ඔබ දකින්නේ?   
පළපුරුදු අය නැහැ කියන කතාන්දරය අපට නිතරම කියන්න බැහැ. අසේල, ලක්මාල් ආබාධයට ලක්වුණ එක ඇත්ත. රංගන විවේක ගැන්වූ එක ඇත්ත. ආබාධ ගැනත් මම කලින් කිව්වා. නමුත් මතකනෙ වෙච්ච දේ. ඒ නිසා ආබාධවලට හේතු යළිත් මම කියන්නෙ නැහැ. ධනංජය වගේ අය තමුන්ට ලැබුණු රත්තරන් අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මීට වඩා වගකීමකින් ක්‍රීඩා කරන්න තිබුණා. ඔහු විතරක් නෙවෙයි. තවත් නම් පෙළක් කියන්න පුළුවනි. ඉස්සර නම් එක්කෙනෙක් වැටුණාම අනෙක් කෙනා කොහොම හරි ගොඩගන්න හිටියා. ඊට පස්සෙ ඔක්කෝමලා නැගිට්ටා. ක්‍රීඩකයින් වෙනුවෙන් අවශ්‍ය අලුත්ම දේ සම්පාදනය කරමින් අපි අපේ වගකීම ඉෂ්ට කළා. ඔවුන් දැන ගත යුතුයි ක්‍රීඩා පිටියේදී කළ යුතු දේ ගැන. මොන දේ වුණත් ජනතාවගේ යහපත් ප්‍රතිචාර ඔවුනට දැන් අවශ්‍යයි. ඒ ශක්තිය ලබාදීමට වගේම ඔවුන් දිරි ගැන්වීමට ජනතාවගේ ආශිර්වාදය මේ වෙලාවෙ හරිම වටිනවා.  

 


තිලංග සුමතිපාල 
(ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති)   

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා විසිතුන් වසරකට පසුව දින 3ක් ඇතුළතදී ටෙස්ට් තරගයක් පරාජයට පත්වුණා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක් නේද? ඔබට මොන වගේ හැඟීමක්ද මේ මොහොතේ තිබෙන්නේ?   
මටත් ඉතාම කනගාටුයි. ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරු ඇතුළු ඒ කට්ටියගේ මානසිකත්වය ගැන මට පුද්ගලිකව අදහස් ප්‍රකාශ කරන්න බැහැ. ප්‍රේක්ෂකයින්ගේ වේදනාවටත් වඩා වැඩි වේදනාවක් මට දැනෙන්නෙ. ලොකු කනස්සල්ලක් තිබෙන්නෙ. නමුත් ඒක තුළම අපට දැන් සිටින්න බැහැ. අදත් අපි සාකච්ඡාවක් පැවැත්වුවා (2017-08-15) ඇයි අපි පරාද වුණේ කියන දේ ගැන පුළුල්ව සාකච්ඡා කළා. දැන් අපි ඒකට විසඳුම් හොයනවා.   

 


ඇත්තටම, ඇයි අපි පරාද වුණේ?   
අපට හොඳ මැදි පෙළක් තිබුණා. නමුත් අසේල, කුසල් වැනි ක්‍රීඩකයින්ගේ ආබාධ තත්ත්වයන් මත ඒ අය කණ්ඩායමට අහිමි වුණා. ඒ අය වෙනුවෙන් අනුයුක්ත කළ අය හරි ගියේ නැහැ. මීට වඩා හොඳට මැද පෙළ ක්‍රීඩා කළ යුතුව තිබුණා. මේ කණ්ඩායම දුර්වල කණ්ඩායමක් නෙවෙයි. අපි එයාලා මේ තරගාවලියට යෙදෙව්වේ එයාලට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සම්පාදනය කරලයි. ඇත්තටම එයාලගෙ අත්දැකීම්වලින් මීට වඩා ප්‍රයෝජන ගන්න තිබුණා. තරගයට අවතීර්ණ විය යුතුව තිබුණෙ ඒ අත්දැකීම් එක්කයි. නමුත් ඒ කිසිවක් හරි ගියේ නැහැ. කිසිම ක්‍රීඩකයකුට ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඒ නිසා ඉතා හොඳින් ඔවුනට ක්‍රීඩා කිරීමේ වටපිටාව තිබුණා. පාලක මණ්ඩලය ලෙස අපටත් හිතාගන්න බැහැ. මේ මොකද වුණේ කියලා?   
කොහොමද ඉදිරියට යා යුත්තේ?   


එක් දින සහ ටී ටුවෙන්ටි තරගවලට අපේ කණ්ඩායම හරිම ප්‍රබලයි. දැන් අපි පරාජිත ටෙස්ට් තරගාවලිය අමතක කොට ඊට අවතීර්ණවීම වැදගත්. ඒ පසුබිම බුද්ධිමත්ව සකසා ගත යුතුයි. එහෙම නැතුව ක්‍රීඩකයින්ට පාලක මණ්ඩලයට, පුහුණුකරුවන්ට චෝදනා එල්ල කරමින් මෙය තවත් ව්‍යාකූල කළ යුතු නැහැ. අර්බුදකාරී තත්ත්වයට පත්කළ යුතු නැහැ. දැන් මේ අවස්ථාවට කලබල නොවී ඉවසීමෙන් මුහුණ දිය යුතුයි. මෙයාලා ක්‍රීඩා කළ මේ විදියට අපි කැමැති නැහැ තමයි. නමුත් අපේ ආත්මයට බද්ධ වෙච්ච මේ ක්‍රිකට්වලට අපි හරි ආදරෙයි. දැන් වැටිලා තියෙන්නෙ ක්‍රීඩාව නෙ. අපට තණතිල්ල මැදට ගිහින් ක්‍රීඩා කරන්න බැහැ. වැටිලා තියෙන ක්‍රිකට් ගොඩ ගන්න ක්‍රීඩකයින් ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරන්නට ඕනෑ. අපි අපට අවශ්‍ය සියලු වටපිටාව ඔවුනට හදලා දීලා තියෙන්නෙ.   

 


සමහර ප්‍රවීණයින් කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් කරන්නෙ සැලසුමකට නොවේ කියලයි?   
අනිවාර්යයෙන්ම සැලැස්මක් ඇතිවයි ගමනක් යන්නෙ. මේ වගේ වැටීමකදී අපි කවුරුත් කලබල විය යුතු නැහැ. ඇන්ජෙලෝ නායකත්වයෙන් ඉවත් වුණාම ඊළඟට චන්දිමාල්ටත්, උපුල්ටත් පීඩනයක් දිය යුතු නැහැ. ඔවුනට කාලයක් ලබා දෙන්න ඕනෑ. පරාජයන් සදාකාලික නැහැනෙ. ජයග්‍රහණයේ මාවත වෙනුවෙන් අපි හැමෝම සුබවාදීව කටයුතු කිරීම වැදගත්.   

 


ආනා පුංචිහේවා   
(1996 ලෝක කුසලාන ජයග්‍රහණය තෙක් කණ්ඩායම පෙළ ගැස්වූ එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි සභාපති)   
එදා 1996 ජයග්‍රාහී මාවතකට යොමු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අද දිගින් දිගටම පරාජය ලබන තත්ත්වයට පත්වෙලා. ඔබට හැඟෙන විදියට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?   


දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පත්වෙලා හිටපු තත්ත්වයම තමයි 1994 දි තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම පත්වෙලා හිටියෙ. එදා ඉන්දියාව එක්ක ගහපු ටෙස්ට් තරග තුනම පරාජය වුණා. ඒක වර්ල්ඩ් රෙකෝඩ් එකක් වුණා. නමුත් දින ගණනින් ගත්තොත් ඊටත් එහා දරුණු විදියට ලැබුණු පරාජයක් තමයි අද අපි දකින්නෙ. එදා 1995 දි මම සභාපති හැටියට පත්වෙලා නායකත්වය දුන්න එම කණ්ඩායමම තමයි ඊළඟට නවසීලන්තයට ගිහින් රටින් පිට ප්‍රථම වතාවට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළේ.   

 


එදා ඒ විදියට වැටිලා තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගන්න ඔබ කළ ප්‍රාතිහාර්යය මොකක්ද?  
කණ්ඩායමට සැලැස්මක් හදලා ඉලක්කයක් දීලා නායකත්වයකුත් දුන්නා. නවසීලන්තය සමග ජයග්‍රහණයෙන් පසුව මට මතක හැටියට අපි ඩේව් වට්මෝර් පුහුණුකරු ලෙසත් ඇලෙක්ස් කුන්තූරි ශාරීරික යෝග්‍යතා හා භෞත චිකිත්සක ලෙසත් කණ්ඩායමට එක්කර ගත්තා. එදා පාකිස්ථානය පරදා තුනෙන් දෙකක් ලෙස ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. ඉන්පසුව සාජා තරගාවලියත්, ඕස්ට්‍රේලියානු තරගාවලියත් ජයග්‍රාහීව අවසන් කළා. එදා ඇත්තටම අද වගේ ක්‍රිකට් තිබුණෙ නැහැ කිව්වට වර්ල්ඩ් කප් එකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඒ විදියට අතිශය කාර්ය බහුල වුණා. එදා ඇත්තටම තිබුණෙ නැත්තෙ IPL විතරයි. නමුත් ඒ විදියට දිගින් දිගටම ක්‍රීඩා කළා කියලා අපේ කණ්ඩායමේ කවුරුවත් ආබාධවලට ලක්වුණේ නැහැ. ඇලෙක්ස් කුන්තුරි ගෙනා එක ගැන මට එදා රොෂාන් පවා ප්‍රශංසා කළා.   

 


එදා ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගෙත් “බඩ” ලොකුවට තිබුණා නේද? නමුත් ඔවුන් නම්‍යශීලීව ක්‍රීඩා කළේ කොහොමද?   
ක්‍රිකට් ක්‍රීඩාවට එනකොට කෙට්ටුවට ඉඳලා පසුවට “බඩ” වැඩි වෙච්ච කවුරුවත් එදා හිටියෙ නැහැ. ස්වභාවයෙන්ම “බඩ” තිබුණු දෙතුන් දෙනයි හිටියෙ. හැබැයි ලෝක කුසලානයට පෙර කුන්තූරි කළේ ඒ එකිනෙකා ක්‍රීඩකයාගේ වෙනස හඳුනාගෙන ඒ ක්‍රීඩකයාගේ ශාරීරික ශක්තිය හා ප්‍රමාණය අනුව ඔවුනට වෙන වෙනම ගැළපෙන විදියට අභ්‍යාස ක්‍රම සහ යෝග්‍යතා ක්‍රම හඳුන්වාදීමයි. ඔවුනට පුහුණුවීම් ලබා දුන්නේ ඒ අනුව සැලැස්මකටයි. ලෝක කුසලානය දිනන කල් කවුරුවත් ආබාධවලට ලක්වුණේ නැති තරම්. එහෙම වුණේ ඉතාම කලාතුරකින්. අද සිටින කණ්ඩායම සහ එදා 1996 වර්ලඩ් කප් කණ්ඩායම සසඳන්න. මේ සිටින කණ්ඩායමේ අයට වඩා එයාලගෙ “බඩ” අඩුයි.   

 


ඔබ මේ කියන්නෙ මේ විදියට පරාද වුණේ බඩ වැඩි නිසා කියලද?   
ඇත්තම කිව්වොත් මට පෙනෙන විදියට ෆිට්නස් මදි වගේ. වයස 19 ක්‍රීඩකයෙකුත් මේ ළඟදි කණ්ඩායමට එක් වුණා. එයාගෙත් වයසට වඩා බඩ වැඩියි. මේක තේරීම් කමිටුවේ ප්‍රශ්නයකුත් නෙවෙයි. මොකද එයාලා කරන්නෙ ඉන්න හොඳම ක්‍රීඩකයින් තේරීමයි.  

 

 
හරි අපට කියන්න, ඔබගෙ තියුණු දැක්ම අනුව මේ තත්ත්වයෙන් ගොඩ එන්න කුමක් කළ යුතුද කියලා?   

ඊට ඇත්තටම නායකත්වයක් දෙන්න ඕනෑ. ක්‍රිකට් පරිපාලනයෙහි ප්‍රධානියා තමා ඒ. ඒක එදා අද හෙට කියලා වෙනසක් නැහැ. දැක්මක්, සැලැස්මක්, නායකත්වයක් ලබාදිය යුතුයි. අද අපේ තේමාව වෙලා තියෙන්නෙ “එක් ජාතියක්-එක් කණ්ඩායමක්” කියලයි. නමුත් නිතරම පුහුණුකරු මාරු කිරීම නායකයා මාරු කිරීම, ක්‍රීඩකයින් මාරු කිරීම ඉතා අනුවණ ක්‍රියාවක්. එදා මම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පරිපාලනයෙහි නායකත්වය දුන්නේ “2000 දී ක්‍රිකට් ක්‍රීඩා කරන ලෝකයේ හොඳම කණ්ඩායම ශ්‍රී ලංකාව” යන තේමාව ඇතිවයි. ඉලක්කයක්, දැක්මක්, සැලැස්මක් නැතුව අපට හොඳ ඉදිරියක්, ජයග්‍රාහී මාවතක් ගැන හිතන්න බැහැ.   


සනත් ජයසූරිය (1996 ලෝක කුසලාන තරගාවලියේ වීරයා හිටපු ශ්‍රී ලංකා නායක සහ වත්මන් තේරීම් කමිටු සභාපති)   
සනත් ඔබගෙ ජීවිතයම වූ ඔබගෙ ආධ්‍යාත්මයම වූ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අද මේ වෙලා තිබෙන දේ ඔබ දකින්නෙ කොහොමද?   
පරාජයන් මට කොහොමටත් වේදනාකාරීයි. මගේ හැටි එහෙමයි. ඒක හරිම කනගාටුදායකයි. මට විතරක් නෙවෙයි. ක්‍රිකට්වලට ආදරය කරන අපි හැමෝටම එහෙමයි. මම හොඳට ක්‍රිකට් ගහපු කෙනෙක්. හිටපු නායකයෙක්. ඒ නිසා මේ පරාජයන් ගැන ලොකු කනගාටුවක් තියෙන්නෙ.   

 


ඇයි මේ විදියට පරාජයන් ලබන්නෙ?   
එහෙම වෙන්න හේතු ගණනාවක්ම තිබෙනවා. අපි බොහෝ බලාපොරොත්තු තියාගෙන සිටියාම ඒවා ඉෂ්ට නොවුණාම මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බලාපොරොත්තු වූ ආකාරයට පිතිකරණ අංශය, පන්දු රැකීම, පන්දු යැවීම යන අංශ තුනම සාර්ථක වුණොත් තමයි ටෙස්ට් තරගයක් ජය ගන්න පුළුවන් වෙන්නෙ. මේ අංශ තුනෙන් අඩු තරමින් අපි අංශ දෙකක්වත් හොඳට කළ යුතුය කියලා තමයි විශ්වාස කරන්නෙ. නමුත් එහෙම නොවුණාම මේ විදියෙ ස්වභාවයකට මුහුණ දෙනවා. ටෙස්ට් තරගයකදි අපි පළමු ඉණිම හොඳින් ක්‍රීඩා කළ යුතුමයි. එහෙම නොවුණාම පීඩනයක් එනවා. අලුත් ක්‍රීඩකයින්ට ඒ පීඩනය දරා ගැනීම ටිකක් අසීරු වෙනවා. පළපුරුදු අයට වුණත් සමහර වෙලාවට ඒ පීඩනය දැනෙනවා.   


ඔබ එහෙම කිව්වාට ක්‍රිකට් ගැන විචාර කරන බොහෝ දෙනා කියෙන්නෙ මේ තෝරා ගන්නා කණ්ඩායමේ බොහෝවිට සමබරතාවයක් නැහැ කියලයි. ඇයි නිතරම ක්‍රීඩකයින්, නායකයින් මාරු කරන්නෙ? චන්දිමාල් එක්දින තරගාවලියටත් නැහැ?   
කොහොමටත් චන්දිමාල් හිටියෙ ටෙස්ට් කණ්ඩායමේ. එයා ටෙස්ට් නායකයා. ඒක වෙනස් වෙලා නැහැ. එක්දින කණ්ඩායමේ නායකයා උපුල්. මීට මාස කීපයකට පෙරදී ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා, ඔස්ට්‍රේලියාව පරද්දවලා ආවේ මේ කණ්ඩායමම නෙවෙයිද? හැබැයි එතකොට කවුරුවත් මේ විදියට තේරීම් කමිටුවෙන් ප්‍රශ්න කළේ නැහැ. ඇයි? තරග දින්නානෙ. පැරදුණාම තමයි ඔක්කෝම ප්‍රශ්න අහන්නෙ. පරාජයේ වගකීම තේරීම් කමිටුව භාරගත යුතුයි තමයි. නමුත් ක්‍රිකට් ස්වභාවය මොකක්ද කියලා අපි හැමෝම බුද්ධිමත්ව විමසිය යුතුයි. තේරීම් කමිටුව හැටියට අපි කරන්නෙ හොඳම දේ. නමුත් දශමයකින් හරි වැරදෙන්න පුළුවනි. අපි කරන දේ සියයට සීයක්ම හරි කියලා නම් කියන්නෙ නැහැ. මේ වගේ වෙලාවක හැමෝම කරන්න ඕනෑ දේ තමයි හැමෝම වාද භේද නොවී එකමුතුව මේ තත්ත්වයෙන් ගොඩ එන්න උත්සාහ ගන්න එක. අනෙක තව දෙයක් මතක තියා ගන්න. කණ්ඩායම ජයග්‍රහණය කරද්දීත් තේරීම් කමිටුව අගයන්න. අපිත් මනුෂ්‍යයො නෙ. අපටත් මානසිකව ශක්තියක් ලබාදෙන්න. පරාජයේදී විතරක් අපෙන් ප්‍රශ්න අහන්න වගේම ප්‍රශ්න ඇති කරවන්න බලාගෙන ඉන්නෙ නැතුව, අපේ මානසිකත්වය ගැනත් හිතන්න.   


කණ්ඩායම තේරීමේදී, තේරීම් කමිටුවේ සභාපති ලෙස ඇත්තටම ඔබට ඔබගෙ කණ්ඩායම තේරීමට නිදහස් අවකාශයක් තිබෙනවාද? කෙළින්ම අපට කියන්න?   
සම්පූර්ණයෙන්ම ස්වාධීන වෙන්න කියලයි, අපට ක්‍රීඩා අමාත්‍යවරයා පවා කියලා තියෙන්නෙ. කොහොමටත් තේරිම් කමිටුව අතිශය ස්වාධීන විදියටයි කටයුතු කරන්නෙ. පුද්ගලික න්‍යාය පත්‍ර අපට නැහැ. මම ශ්‍රී ලංකාවට ක්‍රිකට් ගහපු ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙක්. මට අවශ්‍ය කරන්නෙ හොඳම කණ්ඩායම තේරීමටයි. එහෙම නැතුව මම මගේ රට පල්ලෙහාට දාන්න පුද්ගලිකව කැමැති නැහැ. අපි මොන විදියෙ හොඳ චේතනාවකින් ඒ දේ කළත් මේ විදියෙ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කණ්ඩාය​ෙම් සියයට අනූවක්ම සිටින්නෙ නවක ක්‍රීඩකයින්. කාලයත් එක්ක ඔවුන් පරිණත වේවි.   

 


ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ   
(1996 ජයග්‍රාහී කණ්ඩායමේ පළමු පන්දුවාරය යැවූ ක්‍රීඩකයා, හිටපු තේරීම් කමිටු සාමාජික)   
ප්‍රමෝද්‍ය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මේ මොනවද වෙන්නෙ?   
ඇත්තටම අපටත් ඒක ප්‍රශ්නයක්.   


ඒ ගැන විග්‍රහ කළොත්?   
මට නම් පෙනෙන විදියට මෙතැන වෙන්නෙ තනිකරම ක්‍රිකට්වලට විය යුතු දේ නෙවෙයි. මට දැනෙන විදියට එක එක්කෙනාගෙ පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කෙරෙන දෙයක් වගෙයි.   


ඒ කිව්වෙ?   
ඔතැන සිටින පුහුණුකරුවන්, ක්‍රීඩකයින් මම හිතන්නෙ මේ පවතින ස්වභාවයට කැමැති නැහැ. ක්‍රීඩකයින්ට-පුහුණුකරුවන්ට එය හිතේ තියාගෙන ක්‍රීඩා කිරීම පහසු දෙයක් නෙවෙයි.   


මොකක්ද ඔබ ඔය කියන්න හදන්නෙ?   
ක්‍රිකට් ගැන දන්නා ක්‍රිකට් ගහපු අය වැඩි පිරිසක් වෙනුවට, ක්‍රිකට් ගැන නොදන්නා පිරිසක් තමයි අද ක්‍රිකට් පරිපාලනය කරන්නෙ. මේ තත්ත්වය උදාවෙලා තියෙන්නෙ තනිකරම පරිපාලනයෙහි අදක්ෂතාව නිසයි. ක්‍රිකට් දන්නා අය වෙනුවට නොදන්නා පිරිසක් පරිපාලනය කිරීම නිසා දන්නා අයගෙ දැනුම යට ගිහින්, නොදන්නා අය සහ ඒ අයගෙ වටා සිටින පිරිසක් වැජඹෙන බව තමයි පෙනෙන්නෙ. මේ දැන් සිටින පුහුණුකරුවන් ක්‍රීඩකයින් සියලු දෙනාම වෙන වෙනම කතා කරලා බලන්න. මේ ලොකු පොඩි හැමෝම කැමැත්තෙන් නෙවෙයි ක්‍රීඩා කරන්නෙ.   


ඔබ කියන්නෙ මේ පරිපාලනයෙහි කිසිම පිළිවෙළක් නැහැ කියලද?   
මට හිතෙන විදියට නම් අවසානයේ කණ්ඩායම තෝරන්නෙ තේරීම් කමිටුව නෙවෙයි කියලයි. මෙතෙක් කාලයකට කණ්ඩායම් නාමාවලිය අනිත් අතට ගිහින් අවසන ක්‍රිකට් ප්‍රධානියා අත්සන් කර අනුමත කළේ නැහැ. නමුත් දැන් එහෙම වෙන බවක් තමයි පෙනෙන්නෙ. තව දෙයක්, සිම්බාබ්වේ එක්ක තරගයට පෙර කණ්ඩායමේ සාකච්ඡාවට ක්‍රිකට් පරිපාලනයෙහි ප්‍රධානියකුගෙ සමීපතමයෙක් (අලුතින් පත්කළ) සහභාගි කරවා ගෙන තිබුණු බවට ආරංචියි. එයා බෝඩ් එකට ගන්න බැරිව පසුව බ්‍රේන් (මොළය) හෙවත් මානසිකත්වය හදන මධ්‍යස්ථානයට දාලා, එයාව ගෙනැල්ලා අධික්ෂණයට.   


ඒක මොන විදියටවත් විය යුතු දෙයක් නෙවෙයි. කණ්ඩායම් රැස්වීම යනු අතිශය රහසිගතයි. එක්තරා කාලයක අපේ පන්දු රකින පුහුණුකරු සැකයි කියලා කණ්ඩායම් රැස්වීමට වත් ගත්තෙ නැහැ. ඒ වගේ තත්ත්වයක් තිබියදී මේ පුද්ගලයා ආවේ කොහොමද? එයා කාගේ කවුද? ඒ පුද්ගලයාගේ පවුලේ අය මොනවද කරන්නෙ? අන්න එතකොට මේ මොනවද වෙන්නෙ කියලා තේරුම් ගන්න පුළුවන් වේවි. මම මේ හදන්නෙ ප්‍රශ්න ඇති කරවන්න නෙවෙයි. අපි ක්‍රිකට්වලට ආදරෙයි, මැරෙනකල්ම එහෙමයි. මම රටට ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේක පුද්ගල වෛර නිසා කළ ප්‍රකාශ නෙවෙයි. මම මිනිසුන්ට වෛර කරන කෙනෙකුත් නෙවෙයි. දන්නා සත්‍යය තමයි කිව්වෙ.   

 


කැලුම් ශ්‍රීමාල් 
(මධ්‍යස්ථ මතධාරි ක්‍රිකට් විස්තර විචාරක)   
කැලුම් මේ මාර පරාජය ගැන ඔබ විචාරය කරන්නෙ කොහොමද?   
මේ ස්වභාවයෙන් ඕනෑම කණ්ඩයමක් පරාජය වෙලා තිබෙනවා. ඕනෑම රටක පසුගිය අතීතය දෙස ගෙන හැර බැලුවාම අපට එය පැහැදිලි කරගත හැකියි. නමුත් ඒ කෙසේ වෙතත් මීට වඩා කණ්ඩායම තේරීමේදි සංයුතිය ගැන හිතන්න තිබුණා. සැමදාම එකම ක්‍රීඩකයින් භාවිතා නොකළ යුතුයි. අපි අපේ ලංකාවේ ක්‍රිකට් ව්‍යුහය දෙස බලමු.   


මුළු රටේම ගත්තොත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් සිටින්නෙ 300ක් විතර පමණයි. අපි ඉන්දියාව ගනිමු, ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට විතරක් දස දහසකට වඩා සංචිතයක් ගත හැකියි. ඔස්ට්‍රේලියාව ගත්තත් එම විදියමයි.   


අනෙක මතක තබා ගන්න මේ අද ලංකාවට ඇවිත් ක්‍රීඩා කරන ඉන්දිය කණ්ඩායම තමයි අද ලෝකයේ ක්‍රිකට් ගහන රටවල් අතර සිටින ප්‍රබලම කණ්ඩායම සහ පොහොසත්ම (ධන කුවේර) කණ්ඩායම. එනිසා ඔවුන් ජයග්‍රහණ සඳහා ඔවුන්ගේ සියලු අවි භාවිතා කරාවි.   
මේ ස්වභාවය යටතේ පළපුරුද්ද අඩු මේ ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් ඇති වග පෙනෙනවා. හැබැයි එහෙම වුණාය කියා ඔවුන් ඒ මත එල්බ සිටිය යුතු නැහැ. මීට වඩා වගකීමක් දරාගෙන පැහැදිලිවම ක්‍රීඩා කළ යුතුමයි. ඒ වගේම පරිපාලන අංශයෙන් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය වගේම ඔවුනගේ නිදහස පූර්ණව රැකෙන පරිදි ක්‍රියා කිරීම අතිශය වැදගත්. මොකද මේ කණ්ඩායමේ සිටින්නෙ ටෙස්ට් තරග පනහක වත් ක්‍රීඩා කොට අත්දැකීම් නැති අයයි.   


හිටපු ජ්‍යෙෂ්ඨයා වූ උපුල් අවාසනාවන්ත ලෙස දැවී ගියා. මෙවැනි අවාසනාවන්ත දේත් සිද්ධ වුණා. නමුත් මේ වගේ තත්ත්වයක් ඇති වුණේ අද විතරක්ම නෙවෙයි. අර්ජුන-අරවින්ද කණ්ඩායමෙන් ඉවත් වුණාම 2003, 2004 වගේ කාලසීමාවේදී ශ්‍රී ලංකාව පැරදුණාම, සංගක්කාරට ආරූඪ නම්වලින් පවා කතා කළා. ඒ වගේම අර්ජුනගෙ කාලයේදිත් තුනට බිංදුවක් ලෙස තරගාවලියක් පරාජය වෙලා තියෙනවා. මේ විදියට වළට වැටිච්ච අවස්ථාවලදි ඒ වළෙන්ම එයාලා ගොඩ ආවා. ඒ නිසා විශ්වාසය පදනම්ව අපි මේ ගමන ඉදිරියට යා යුතුයි.   


අපි ආත්මයෙන්ම මරණය කරපින්නාගෙන එන බව දන්නවා. නමුත් අපි හැසිරෙන්නෙ හිතේ එකක් තියාගෙනයි. අපි ඔක්කෝම පෘථග්ජන මිනිස්සු නෙ. එළැඹෙන තරගවලදි තරග දෙකක් අපි රිදෙන්න ඉන්දියාවට ගැහුවොත්? ඔය ඔක්කෝම අමතකයි. අන්න එතකොට පෘථග්ජනයා එළියට එනවා.   


මොන දේ වුණත් පරාජයේදී එයින් උපක්‍රමශීලීව අයුතු ප්‍රයෝජන ගැනීමට මානබලන යටි පෙළට මතුවිමට ඉඩ නොදිය යුතුයි. ක්‍රිකට් ක්ෂේත්‍රයේ වගේම ක්‍රිකට් ගැන ලියන මාධ්‍යයටත් ලොකු වගකීමක් අද තිබෙන්නෙ. අපි එය හරියට ගළපා ගෙන කළ යුතුයි.   

 


අර්ජුන රණතුංග   
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, පාලක මණ්ඩලයේ හිටපු සභාපති, 1996 ලෝක ශූර කණ්ඩායමේ නායක සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය.   


ඇමැතිතුමා, ක්‍රිකට්වලට මොනවද මේ වෙලා තියෙන්නෙ?   
ක්‍රිකට් ක්‍රීඩාවට මේක නරක කාලයක්. ක්‍රීඩකයින්ගේ පැත්තෙන් බැලුවොත්, ඔවුන් මානසිකව වැටිලයි සිටින්නෙ. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව අනාගතයේ මුහුණපාන තත්ත්වය ගැන මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා වැරැදි පුද්ගලයින් ක්‍රිකට් පරිපාලනය කරන විට මේ තත්ත්වයට පත්වනවාය කියලා. අද වෙනවිට එය විස්තරාත්මකව තේරුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම කළමනාකරණය පැත්තෙන් බැලුවාම ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙලා. ක්‍රීඩකයින්ට විතරක් දොස් කියන්න බැහැ. ක්‍රීඩකයින්ගෙ මනස හදන්න ඕනෑ. පුහුණුවීම් කටයුතු හරියට වෙනවද බලන්න ඕනෑ. ඒ විතරක් මදි. ක්‍රිකට් ක්‍රීඩාවේ සංස්කෘතියත් උගන්වන්ඩ ඕනෑ. ක්‍රීඩා අමාත්‍යතුමා ඉස්සෙල්ලාම කළ යුත්තේ හරි පුද්ගලයින්ට ක්‍රිකට් භාරදීමයි. නැත්නම් සිද්ධ වෙන්නෙ මේ වගේ තත්ත්වයක් තමයි.   

 


ක්‍රීඩකයින් මොනවද කළ යුත්තේ?   
මේ වගේ වාතාවරණයකදී ක්‍රීඩකයින් රෙදි ඇඳගෙනද ඉන්නෙ කියලා හිතන්න ඕනැ. හැබැයි අපට ක්‍රීඩකයින්ගෙ පැත්තෙන් මොනවත් කියන්න බැහැ. හරි කනගාටුයි. මොකද එහෙම නොකෙරුවොත් එයාලටනෙ බලපෑම් එන්නෙ. දක්ෂතා අතින් අපි ලෝකයේ කාටවත් තවම දෙවැනි නැහැ. පාසල් ක්‍රිකට් පද්ධතිය වුණත් අද එන්න එන්නම දුර්වල වී ගෙන යනවා. අපේ ක්‍රීඩකයින්ට ෆිට්නස් නැහැලු. ඒ වගේම මානසිකත්වයත් පහත වැටිලාලු. තාම බිම ඇනුණෙ නැහැ. ඇනීගෙන යන්නෙ. හැබැයි අපේ ක්‍රීඩකයින් දක්ෂයි. ඒක මතක තබාගන්න.   


දැන් මේ එළැඹෙන එක්දින තරගාවලියට කොහොම මුහුණ දිය යුතුද?   
මේ එක්දින තරගාවලිය නරක විදියට පරාජය වුණොත් එය එළැඹෙන ලෝක කුසලානයටත් යන්න සුදුසුකම් ලබන තේරීමේ තරගවලට ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කවදාවත් මේ විදියට පල්ලෙහාට වැටුණේ නැහැ. පුහුණුකරුවොයි, ක්‍රීඩකයොයි නිතර මාරු කර කර තමන්ගෙ හිතවතුන් දාගෙන මේ වැඩේ කරන්න බැහැ.   

 


හොඳයි, එහෙම නම් ඔබගෙ විසඳුම මොකක්ද?   
ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය ගැන අද කැබිනට් එකට ගියාම ආණ්ඩුවේ ඇමැතිවරු අපි එක්ක කතා වෙනවා. රජයක් හැටියට ජනාධිපතිතුමයි, අගමැතිතුමයි වෙත වෙනමම දීර්ඝව මේ ගැන කරුණු ප්‍රකාශ කරන්නයි සිටින්නෙ. ජනපතිවත් අගමැතිවත් ගිය අවුරුද්දේ කාටවත් බලපෑම් කරන්න ගියේ නැහැ. ඒකට ඇමැතිවරයෙක් සිටින නිසා.   

 

 

සටහන - සඳුන් ගමගේ