අපේ කාලයේ වීරයෙක් වූ රතු ගාමිණී


යක්ෂයා ආවේශ වූ රාත්‍රි දින ගණනින් දිග් ගැස්සෙමින් දින, මාස, අවුරුදු දෙකකටත් වැඩිකාලයක් දකුණුලක ගම් නියම්ගම් නගර වසාගෙන ගියේය. 1988 - 1989 “මහා භීෂණ යුගය” යැයි නම් කළ ඒ යුගයේ ඒ යක්ෂයින් සමහරක් පෙනී සිටියේ තිරිසන් සතුන්ගේ නමිනි. තවත් අය විසිතුරු උරඟයින් නමින් ද තවත් විසකුරු කෘමීන්ගේ නමින් ද තවත් අය පෙනී සිටියේ විප්ලවවාදීන් නමිනි. කෙසේ මුත් මේ යක්ෂයින් සමහරුන් නිල ඇඳුම් දරාගෙන සිටි අතර, තවත් අය සිවිල් ඇඳුම් දරාගත් දේශපාලනය, ආර්ථිකය, පාතාලය බලය කරගත් පිරිස් වූහ.


කෙසේ කවුරුන් ලෙස මේ යක්‍ෂයින් පෙනී සිටිය ද අවසානයේ රටපුරා ඇළ, දොළ, ගංඟා, නගර, වීදි කෙළවර, පාසල්. සරසවි, විහාර, ආරාම, වීදි මැද තැන තැන විකෘති කළ විනාශ කළ, තිරස්චීන ලෙස වද දී මරා දමන ලද පිරිස් ගණනින් දස දහස් ගණන් ඉක්මවා ගියේය. සමහරුන්ගේ සංඛ්‍යාලේඛන අනුව ඒ ගණන 40,000 ඉක්මවා තිබුණි. තවත් පිළිගත් සංඛ්‍යාලේඛන අනුව අමු අමුවේ මරාදමන ලද තරුණ තරුණියන්ගේ ගණන 60,000 ඉක්මවා තිබුණි.


සමකාලීන ලාංකික ඉතිහාසයේ නීතිය, යුක්තිය, සාධාරණය අමු අමුවේ වනසා අවිචාර සමයක් නිර්මාණය වූයේ තරගයට එකිනෙකා, සාමූහික ලෙස මරා ගනිමිනි.


රට තුළ ආණ්ඩුවක් තිබේ ද? ආණ්ඩුව යනු කුමක්ද? නීතිය හා සාමයට ඇති අවශ්‍යතාව කුමක්ද? ඇස් දෙකන් පියාගත් යුක්තියේ දෑස් වසාගත් තරාදියක් අතින්ගත් යුක්තිය පසිඳලීමේ කාන්තාව ඉදිරිපස බලා සිටියාට වඩා ආපසු හැරී හිටියා දැයි සිතෙන තරම් විය. භීෂණය ඇරඹුණේ උගතුන්, බුද්ධිමතුන්, මාධ්‍යකරුවන්, කවීන්, ලේඛකයින්ගෙන් පටන්ගෙන ආරක්ෂක නිලධාරීන් හරහා දස දහස් ගණන් වූ අහිංසකයින්, ශිෂ්‍යයන්, භික්ෂූන් වහන්සේලා තරුණ තරුණියන්. සාමාන්‍ය වැසියන්, තමන්ට එරෙහි මත දැරූවන් බිලිගනිමිනි. දඬු කඳ ගැසීම, ටයර් සෑය, වධකාගාර අලුත් යක්ෂ සංස්කෘතියට එකතු වූ වචන ව්‍යවහාර විය.


මේ කවුද? මොකද කරන්නේ? රටපුරා තැන තැන දකින තරුණ මළ සිරුරු, අතුරුදන් වීම් පිළිබඳ කටකතා, විලාප දීම්, දුක් ගැනවිලි කිසිවකට නිසි පිළිතුරක් ලැබුණේ නැත. ටයර් සෑය තුළ ගිනිගන්නා සියගණන් තරුණ තරුණියන්ගේ සිරුරු දුටුව ද චූදිතයකු සොයාගත නොහැකි විය. 


අනුර කුමාර ජයලත් නොහොත් රතු ගාමිණී අපේ කාලයේ වීරයෙක් වෙන්නේ වැරදිකරුවෙක් නැති මරණ දස දහස් ගණනකට එක හෝ හරි චූදිතයෙක් සොයා ගන්නට උදව් කිරීමෙනි.


යක්ෂයා ඇවිස්සුණු 88-89 ඒ වකවානුවේ නව යෞවනය පසුකරමින් සිටි නිදහස් යුගයයි. ගමේ අයුක්තියට, අසාධාරණයට බලවතුන්ට එරෙහිව ගැමි තරුණයන් සමඟ පෙනී සිටියා පමණක් නොව ඒ හා බැඳුනු වමේ ප්‍රගතිශීලී දේශපාලනයේ ද හිතවතෙක් විය. සියනෑ කෝරලේ මතුවෙමින් තිබුණු සමාජවාදී, ප්‍රගතිශීලි මත දැරූ ගැමියන් සමඟ රතු ගාමිණී තරුණයා ද පෑහෙමින් සිටියේය.
88-89 භීෂණ සමය උදාවන්නේ ඒ හා බැඳුණු දිගු දේශපාලන කතාන්දරයක් සමඟය. ඒ කතාවේ උපත 1983 කළු ජූලිය හෙවත් යක්ෂයා ජාතිවාදයේ, දේශප්‍රේමීත්වයේ මුවාවෙන් ඇතිවීම සමඟ ඊට වමේ ව්‍යාපාරය සම්බන්ධකොට සමසමාජ, කොමියුනිස්ට් හා ජනතා විමුක්ති පෙරමුණ තහනම්කොට පාතාලයට ඇද දැමීම සමඟය.


බලහත්කාරයෙන් පාතාලයට තල්ලු කළ අවිගත් සටන්කාමී ඉතිහාසයක් සහිත ව්‍යාපාරයක් යළි ඒ ඔස්සේ ඉව ඇල්ලීම 88-89 භීෂණයේ එක් උත්පත්ති කතාවකි. රටපුරා ලැව්ගින්නක් සේ යක්ෂයින් ආවේශ වී ගම් නියම්ගම්වල අහිංසකයින්, හඬක් නැති පාසල් දරුවන්, ගැමියන්, ගම්වල කැපිපෙනුණු අයුක්තියට එරෙහිවූ ක්‍රියාකාරීන් බිලිගත්තේ කිසිදු ඉවක් බවක් නැති අවිගත් “බලවත්” පිරිස් විසිනි. නිල අවිගත් “අවිචාරවත් නිලධාරීහු” ඉන් කැපී පෙනෙන කොටසක් ඉටු කළහ. 


ගම්පහ දිස්ත්‍රික්කයේ වීරඟුල පොලිසිය ප්‍රධාන වධකාගාරයක් බවට පත්වූයේ පසුව එළිදරව් වූ වාර්තා අනුව තරුණ තරුණියන් බිලිගැනීම නිසාය.


1990 මාර්තු 07 වැනිදා පාර්ලිමේන්තුව කල් තබන්නේ රට තුළ මෙවැනි දෙකොන පත්තුවෙන පන්දමක් සේ ගිනි ගනිමින් තිබුණු වකවානුවේ දවසක් ලෙසිනි.


කල්තැබීමේ යෝජනාවට පෙර ප්‍රශ්නය මතුකළේ ගම්පහ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් හපන්ගම.


“ගරු ඇමැතිතුමනි, නිට්ටඹුව වතුපිටිවල වවුල්කැලේ සාහසික මිනිස් ඝාතනය ගැන ඔබතුමා දන්නවාද? පාසල් ශිෂ්‍යාවක්, පාසල් ශිෂ්‍යයෙක් ඇතුළු දොළොස් දෙනෙක් එහිදි වෙඩි තබා ඝාතනය කර ටයර් දමා බාගෙට පුලුස්සා වළදමා ඇති බව ඔබ දන්නවාද? එය සිදුකොට ඇත්තේ වීරඟුල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් බව ඔබ දන්නවාද? මේ ඝාතනය ගැන පරීක්ෂණයක් කරන්නේද? එසේ නොකරන්නේ මන්ද?


මන්ත්‍රීවරයා හැඟීම් බරව කරුණු ඉදිරිපත් කළේය. “ඔබතුමා කියනවා රජයේ හමුදාවකින් පොලිසියකින් මේ ඝාතන සිදු කරන්නේ නෑ කියලා. කළු බළල්ලු, ප්‍රා වැනි සංවිධානවලින් මේ ඝාතන සිදුකරනවාය කියලා ඔබතුමා කියන්නේ. කවුද මේ සංවිධානවල ඉන්නේ? ඔබතුමා මේ සභාවෙදි පොලිසියේ දෑත්වල ලේ පිහිනවා.


වවුල්කැලේ ඝාතනයට දහතුන් දෙනෙක් අරන් ගිහින් තියනවා. එයින් එක් කෙනෙක් වෙඩිකාගෙන ජීවිතය බේරාගෙන පැනල ගියා. එයා දැන් මා ළඟ ඉන්නවා. එයා තමා මේ වවුල්කැලේ මිනිස් ඝාතනයට ඇති එකම සාක්ෂිය. ඒ සාක්ෂිය අතුරුදන් කරන්න දෙන්න බෑ. ඔබතුමා අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවා නම් ඒ සාක්‍ෂි සඳහා මම එයාව ඉදිරිපත් කරන්නම්.”


මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවර රන්ජන් විජේරත්න පිළිතුරු දුන්නේය.


“මෙවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන්න වග බලාගන්නා ලෙස සියලුම ප්‍රදේශ භාර හමුදා සම්බන්ධීකාරක නිලධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. වවුල්කැලේ සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස මම පොලිස්පතිවරයාට පවරනවා. ඒ පරීක්ෂණයෙන් වැරදිකරුවන් වන අයට තරාතිරම නොබලා දඬුවම් දෙනවා.”


ඇමැති තීරණය තුලනාත්මක විය.


ගමේ තරුණයින් සමඟ සංගීත සංදර්ශනයක් පවත්වන්නට කිරිඳිවැල පොලිසියට යමින් සිටියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ අවසර පත්‍ර ලබා ගැනීමටය. ඔවුන්ට යා ගත හැකිවූයේ වතුරුගම හන්දියට පමණි.


යක්ෂයා පැමිණියේ ජීප් රථයකිනි. තරුණයින් තිදෙනාගේම දෑස් මුහුණු බැඳ ජීප් රථයට දමාගත්තේය. එදින බේරුනේ රතු ගාමිණිගේ පොලිසියේ වැඩකළ සොයුරියක නිසාය.


ඊළඟ දවසේ යක්ෂයා ඔහුට නම කියා කතා කළේය. හිතවතකුගේ මළ ගෙදරක ගොස් එනවිට රෑ බෝවී තිබුණි. “උඹ නේද රතු ගාමිණි” වහා වාහනයට දමා ගත් ඔහු වාහනයේ තවත් කීපදෙනෙකු එසේ වැතිරී ඇති බව දුටුවේය. ඒ වදකාගාරයෙන් බේරුනේ මන්ත්‍රී හපන්ගම කඩා වැදී නිදහස් කරගැනීම සමඟය.


ඊළඟ අවසන් වරට යක්ෂයා ආවේශ වී ගෙදරට විත් නිදාසිටින රතුගාමිණි නැගිට්ටවා රැගෙන ගියේ නිවැසියන්ට දොරවසා ගනිව් කියමිනි.


වෑන් රථයේ තවත් අසරණයින් කීපදෙනෙකු වැතිරී සිටි අතර, වරින්වර එකිනෙකා බලහත්කාරයෙන් නංවාගන්නවා ඔහුට දැනුනි.
බැඳ දමා සිටින රතුගාමිණීට ඇහෙන්නේ වචන කීපයකි.


“කෝප්‍රල් ඊළඟට කොකාටද?”
“ටයර් කොහෙද තියෙන්නේ”


“පැට්රෝල් ගන්නෙ කොහොමද?”


“උඹල හමුදා කඳවුරට බාරදෙන්නයි යන්නේ”


වාහනයෙන් එකිනෙකා බස්සනවාත්, ප්‍රශ්න කළ ග්‍රාම සේවකට වෙඩි තබා මරා දමනවාත් දුටු රතු ගාමිණී තමන්ගේ බුරුල් වී ඇති දෑත් ගැටගසන්නට ඉදිරිපත් වූ යක්ෂාවේශ වූවන් දෙදෙනා පා පහරදී වැටෙද්දී විසිවන පිස්තෝලය අහුලා ගන්නට උත්සාහ කළ රතුගාමිණි ඔසවා ගන්නවාත් සමඟම සහාසිකයාගේ බෙල්ල හපා කෑල්ලක් ගාමිණී කඩා ගත්තේය. මාරාවේශයෙන් සාහසිකයා දුවන මොහොතින් මහ වන වදුලට රතුගාමිණි පැන ගත්තේය. තබන ලද වෙඩි පහර තට්ටමට වැදී පෙරෙන ලේ පිසමින් මහ කැලයටම රිංගා ගත්තේය. ටෝච් එළියෙන් හොයාගන්නට බැරිවුණේ අගලකට වැටුණු නිසාය.


යක්ෂයන් ආවේශ වූ රාත්‍රිය රතුගාමිණී සෙවීම අතැර ජීප් රථයට යළි එනවිට මරුගෙන් බේරී මාර වීරියක් ලැබුවා සේ තමන්ට බදාගන්නට බැරි මහකජු ගහට ඔහු නැග්ගේය.


කජුගහ මුදුනට පහළින් සිදුවන සියල්ල හොඳින් පෙනුනේය.


එකිනෙකා වාහනෙන් බස්සා වෙඩි තිබ්බේය. පාසල් ශිෂ්‍යාවක වූ තමරා නංගීට මුලින්ම වෙඩි තිබ්බේය. ඈ “අම්මෝයි” කෑගසනවා ඔහුට මතකය. එකිනෙකා මරා ගොඩගසා ඒ මත ටයර් දමා පැට්රෝල් වත්කර ගිනිතබනවා ඔහු බලා සිටියේ වේදනාවෙනි.


යක්ෂාවේශ වූවන් 10 දෙනෙක් ඔහු ගණන් කළේය. ගෙනා මත්පැන් බෝතල් හිස් කළ ඔවුන් දැවෙන ටයර් සෑයට හිස් බෝතල් විසි කළේය. 


වහා ඔවුන් ගිය පසු ගහෙන් බැස්ස “නිරුවත් වානරයෙකු සේ” රැයෙහිම ගම්මානයක් සොයා ගිය ඔහුට විළි වසාගන්නට ඇඳුමක් දුන් මිනිසා ද හැකි ඉක්මනින් යන්නට උපදෙස් දුන්නේය.


ගෙදරට එනවිට යක්ෂාවේශ සහාසිකයින් ඔහු ගැන විපරම් කර තිබුණි. ප්‍රදීප් හපන්ගම මන්ත්‍රීතුමාට ආරංචි වන්නේත් හමුවන්නේත් ගමෙන් වසන් වී සිටියදීය.


වවුල්කැලේ මිනිස් ඝාතන නඩුව! වවුල්කැලේ සමූහ මිනී සුසානය! වවුල්කැලේ ටයර් සෑය!


ජනමාධ්‍ය ඔස්සේ දිග ඇරෙන්නේ පරීක්ෂණවලින් පසු ගම්පහ අධිකරණයේ දීර්ඝ නඩු විභාගය ය.


කාලයේ වැලිතලාවෙන් විවිධ කතාන්දරවලින් වැසීයමින් තිබුණු මහා ඛේදවාචක ජාලයක කේන්ද්‍රීය සිද්ධීන් එළිදරව් වෙන්නේත් අධිකරණයට යොමුවන්නේත් අපූරු අහිංසක ගැමි තරුණයකු වූ රතු ගාමිණී වීරයා නිසායැයි මට සිතුනේ සිද්ධිය සිදුවී අවුරුදු විසි තුනකට පසු වවුල්කැලේ මහා මිනිස් ඝාතනයට අදාළ නඩුව හා වෙනත් සිද්ධිදාමය ගොනුකරගත් වදාකඩ නවරත්න මාධ්‍යවේදියා ලියූ ග්‍රන්ථය එළිදක්වන දිනයේදීය.


පසුගිය මාර්තු 26 වැනිදා ග්‍රන්ථය පිළිබඳ දේශනයට ඇරැයුම් ලද මම මෙම අපූරු අහිංසක වීරයා සමඟ කතා බහකළෙමි. තවත් පැතිකෝණ ඔස්සේ මේ අහිංසක වීරයා සමඟ අධ්‍යයනය කළ යුතු යැයි මම සිතා සිටියෙමි.


එහෙත් ඒ සියල්ල බොඳවෙමින් ඔහු අපෙන් සමුගත් බව අප්‍රේල් 11 වැනිදා ලංකාදීපයෙන් දුටුවෙමි. රහස් දහසක් හා සමාජය සමඟ බෙදා හදා ගත යුතු අත්දැකීම් අපට අහිමිවූවා යැයි මට දැනුනි.


අපේ කාලයේ වීරයකු වූ අපූරු මිනිසා රතු ගාමිණිගේ ධෛර්ය, උත්සාහය, කැපවීම අගය කරන ගමන් ග්‍රන්ථය දොරට වැඩිය දා වේදිකාවේ මා සමඟ කතාකරමින් සිටි රතු ගාමිණී කියූ දෙයක් ලිවියයුතු යැයි මට සිතේ.


“මම විශේෂයෙන්ම අද මෙතන්ට ආවේ චන්ද්‍රිකා මැඩම් එනව කියල තිබ්බ හින්ද. මට දැන් රස්සාවක් කරන්න බෑ ගුටිකාලා වදවේදනා විඳලා. මගේ දරුවන්ට මොනවහරි රස්සාවක්, ජීවත් වෙන්න මඟක් හොයල දෙනවා නම්”


ඔහු සුන් වූ සිතින් කීවේය. මම වේදිකාවේ සිටි යමක් කළ හැකි දේශපාලනඥයන්ට ඒ ගැන කීවෙමි.


අපේ කාලයේ වීරයාගේ ඒ ඉල්ලීමට උපකාර කළොත් ඒ ඔහුට කරන උපකාරයක් යැයි මට සිතේ.


මෙම ලිපිය ලිවීමේදී මාධ්‍යවේදී වදාකඩ නවරත්න ලියූ “වවුල්කැලේ තීන්දුව” ග්‍රන්ථයේ යම් යම් සිද්ධි උපුටාගන්නා ලදී.


මහාචාර්ය
රෝහණ ලක්ෂ්මන් පියදාස