ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් නඩත්තු කිරීමට අතිවිශාල මුදලක් වැය කිරීමට රටේ ජනතාවට සිදුවී තිබේ. ඒ රටේ ජනතාවගේ අවශ්‍යතාව සඳහා නොවේ. මෙතරම් දේශපාලකයන් පිරිසක් අවශ්‍යයයි ජනතාව ඉල්ලීමක් ද කර නැත. රටේ දේශපාලන රටාව සැකසී ඇති ආකාරයට අනුව වෙනත් කිසිම කුඩා රටකට මේ තරම් විශාල ධනස්කන්ධයක් දේශපාලනඥයන් සඳහා වැය කිරීමට සිදුවී ඇතැයි සිතිය නොහැකිය.
රටේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65610 කි. පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව හා භූමි ප්‍රමාණය සලකා බලන විට වර්ග කි. මීටර 6.56කට එක් මන්ත්‍රීවරයකු බැගින් සිටී.
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 කි. පළාත් සභා නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 437 කි. පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8436 කි.
ඒ අනුව ජනතා ඡන්දයෙන් තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9098 කි.
මෙයින් වැඩිම වරප්‍රසාද ලබන පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් සඳහන් කළ හැකිය. 2016 වර්ෂයේදී මන්ත්‍රී දීමනාව වෙනුවෙන් වසරකට කෝටි 25 කට අධික මුදලක් වැය කරන බව පාර්ලිමේන්තුවේ තොරතුරුවලින් වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා වෙනුවෙන් දීමනා සඳහා දිනකට වැය කරන මුදල රුපියල් විසිහය ලක්ෂ හැටපන්දහස් හත්සිය අනූහතයි ශත හතරක් (26,65797.04) බව පාර්ලිමේන්තු වාර්තා දක්වා ඇත. ඒ අනුව දීමනා සඳහා මසකට වැය කරනු ලබන මුදල රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂ හතළිස් අටදහස් පන්සිය විසිහයක් (2,1548526) කි. ඒ අනුව වසරකට එම මුදල රුපියල් විසිපන්කෝටි අසූපන් ලක්ෂ අසූදෙදහස් තුන්සිය දොළහක් (25,85,82312) වී ඇත.
වර්ෂ 2016 දී පාර්ලිමේන්තුව දින 97 ක් පවත්වා ඇති අතර එම වර්ෂයේ පාර්ලිමේන්තුවේ වියදම රුපියල් එකසිය හැට එක්කෝටි අනූපන් ලක්ෂ අටසියතුනක් (161,9500803) බව පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ මසක විදුලි බිල ලක්ෂ 80ක් පමණ වෙන බවද වාර්තා වේ. පසුගිය පෙබරවාරි 20 වැනිදා පාර්ලිමේන්තුව විනාඩි 40 ක කාලයක් පවත්වා තිබූ අතර එදින රැස්වීම වෙනුවෙන් වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 80 ක් බව වාර්තා විය.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු ලබන දීමනා හා වරප්‍රසාද මෙසේය.
අගමැතිවරයාගේ මාසික දීමනාව රුපියල් 71500 කි. කතානායක දීමනාව රුපියල් 68500 කි. ඇමැති හා විපක්ෂ නායක දීමනාව 63500 කි. මන්ත්‍රී දීමනාව රුපියල් 54285 කි.
මන්ත්‍රීවරයකුට සංග්‍රහ දීමනාව රුපියල් 1000කි. ප්‍රවාහන දීමනාව රුපියල් 10,000 කි. පාර්ලිමේන්තු සැසියක් වෙනුවෙන් දිනකට දීමනාව රුපියල් 2500 කි. මාසයකට දින 8 ක් පාර්ලිමේන්තුව රැස්වේ. ඒ අනුව මාසයකට දීමනාව 10,000 කි. දුරකතන දීමනාව රුපියල් 50,000 කි. රුපියල් 6000 ක ලිපිද්‍රව්‍ය සැපයේ.
බස්නාහිර පළාතේ ඇමැතිවරයකුට පෙට්‍රල් වාහනයකට මාසයකට දීමනාව රුපියල් 50,000 කි. ඩීසල් වාහනයකට දීමනාව 20,000 කි. නියෝජ්‍ය ඇමැතිවරයකුට පෙට්‍රල් වාහනයක් සඳහා රුපියල් 40,000 කි. ඩීසල් වාහනයක් සඳහා රුපියල් 20,000 කි. බස්නාහිර පළාතෙන් පිට නම් ඇමැතිවරයකුට පෙට්‍රල් වාහනයකට රුපියල් 75000 කි. ඩීසල් වාහනයකට රුපියල් 30,000 කි.
අමාත්‍ය කාර්ය මණ්ඩලය 15 කි. නියෝජ්‍ය ඇමැති කාර්ය මණ්ඩලය 10 කි.
ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්ට අතිකාල පැය 100 කි. සංයුක්ත දීමනා දින 6 කි. වාහනය සඳහා පෙට්‍රල් ලීටර් 218 කි. අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන 5 කි. නියෝජ්‍ය ඇමැති කාර්ය මණ්ඩලයට වාහන 3 කි.
ඇමැති කාර්ය මණ්ඩලය සඳහා වැටුප එක් අයකුට රුපියල් 20,000 කට අධිකය.
මැති ඇමැතිවරුනට පමණක් නොව ඇමැති කාර්ය මණ්ඩලයටද වසර පහක සේවා කාලයෙන් පසු විශ්‍රාම වැටුපක් හිමි වේ. කිසිදු රාජ්‍ය සේවකයකුට මෙම වරප්‍රසාදය හිමි නොවේ. රජයේ සේවකයකුට විශ්‍රාම වැටුප සඳහා වයස අවුරුදු 55 සම්පූර්ණ විය යුතු වේ.
වසර 5 ක් දක්වා මන්ත්‍රී ධුරය දැරීම වෙනුවෙන් දීමනාවෙන් තුනෙන් එකක්ද, වසර 5 සිට 15 දක්වා මන්ත්‍රී ධුරය දැරුවහොත් දීමනාවෙන් තුනෙන් දෙකක් ද විශ්‍රාම වැටුප වෙනුවෙන් හිමි වේ.
මේ වෙන විට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රී සංඛ්‍යාව 700 කට ආසන්නය. මෙම පිරිසට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් ලක්ෂ 145 කට අධික මුදලක් වැයවෙන බව වාර්තා වේ.
වර්ෂ 1982 සිට මන්ත්‍රීවරුන්ගේ වැන්දඹු බිරින්ඳන් සඳහා ද විශ්‍රාම වැටුප හිමි වේ.
මන්ත්‍රීවරයෙක් හදිසි අනතුරකින් මියගියහොත් පවුලේ අයට රුපියල් ලක්ෂ 50 ක වන්දියක් හිමි වේ. රක්ෂණ ආවරණය රුපියල් ලක්ෂ 20 කි.
මන්ත්‍රීවරුනට රුපියල් 350,000 ක වාර්ෂික නිදහස් තැපැල් පහසුකම් සැලසී ඇත.
ඇමැතිවරුනට කාර්යාල දීමනාව රුපියල් 50,000 කි. දරුවන් ජාතික පාසල්වලට ඇතුළත් කර ගැනීමට හැකියාව සැලසේ.
මීට අමතරව නිල නොවන මට්ටමින් මන්ත්‍රී ධුරයට ලැබෙන වරප්‍රසාද ගණනාවකි.
පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලබන දීමනා මෙසේය.
මාසික දීමනාව රුපියල් 27,150.00
කාර්යාල දීමනාව රුපියල් 50,000.00
සංග්‍රහ දීමනාව රුපියල් 500.00
ඉන්ධන දීමනාව රුපියල් 23,750.00
රියැදුරු දීමනාව රුපියල් 30,000.00
දුරකතන දීමනාව රුපියල් 25,000.00
එකතුව රුපියල් 1,56,400.00
ඒ අනුව දකුණු පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව 55, බස්නාහිර පළාත් සභාව මන්ත්‍රී සංඛ්‍යාව 104, මධ්‍යම පළාත් සභාව මන්ත්‍රී සංඛ්‍යාව 58, උතුරු පළාත් සභාව මන්ත්‍රී සංඛ්‍යාව 38, නැගෙනහිර පළාත් සභාව මන්ත්‍රී සංඛ්‍යාව 37, වයඹ පළාත් සභාව මන්ත්‍රී සංඛ්‍යාව 52, උතුරු මැද පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව 33, ඌව පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව 34, සබරගමුව පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව 44 ක් වශයෙන් සියලු පළාත් සභාවල මන්ත්‍රී සංඛ්‍යාව 437 කි.
මෙයින් සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා මේ වෙන විට නිල කාලය අවසන් වී ඇත. එම පළාත් මේ වෙන විට නිල කාලය අවසන් වුවත් එතෙක් එම මන්ත්‍රීවරුනට දීමනා හිමි විය.
සියලු පළාත් සභා මන්ත්‍රීවරුනට මසකට වැය වෙන මුදල රුපියල් හයකෝටි අසූතුන් ලක්ෂ හතළිස් තුන්දහස් තුන්සිය හතරක (6,83,43304) මුදලකි. ඒ අනුව වසරකට වැයවෙන මුදල රුපියල් අසූ දෙකෝටි එක්ලක්ෂ දහනවදහස් හයසිය හතළිස් අටකි. (820119648) එක් පළාත් සභාවක පාලන කාලය වසර 5 කි. ඒ මුළු කාලය සඳහා ගෙවිය යුතු දීමනාව වෙනුවෙන් වැය කළ යුතු මුදල රුපියල් හතළිස් එක්කෝටි පන්ලක්ෂ අනූඅටදහස් දෙසිය හතළිහකි. (4100598240)
පළාත් සභා මන්ත්‍රීවරයකුට නිදහස් තැපැල් පහසුකම රුපියල් 48,000 කි.
පළාත් පාලන සභික සංඛ්‍යාව 8436 කි.
මහනගර සභා සභාපතිවරයකුගේ දීමනාව රුපියල් 30,000 කි. උප නගරාධිපති දීමනාව රුපියල් 25,000 කි. නාගරික සභික දීමනාව 20,000 කි. නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපති දීමනාව රුපියල් 25,000 කි. උප සභාපති දීමනාව රුපියල් 20,000 කි. සභික දීමනාව 15,000 කි.
පොදුවේ සභිකයන් 8436 දෙනා සඳහාම දීමනාව රුපියල් 15,000 ක් ලෙස ගණන් බැලුවහොත් මාසිකව රුපියල් දොළොස් කෝටි හැටපන් ලක්ෂ හතළිස්දාහක මුදලක් වැය වේ.
දළ වශයෙන් වර්ෂයකට එම මුදල කෝටි 151 කට අධිකය. මීට අමතරව සභිකයන්ට ලබා දෙන අමතර දීමනා ඒ ඒ ආයතන මගින් තීරණය කරනු ලබයි. එහිදී ඉන්ධන දීමනාවත්, වාහන දීමනාවත්, දුරකතන දීමනාවත් සභාවාරයකට සහභාගි වීමේ දීමනාවත් වශයෙන් ඒ ඒ සභා ගනු ලබන තීන්දු මත දීමනා ලබා දීම සිදුවේ.
මේ තරම් මන්ත්‍රීන් අප රටට අවශ්‍යද? අප ඒ ගැන වෘත්තිකයන් සමග කතා කරමු.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ
සමාජ විද්‍යා අධ්‍යයන අංශාධිපති
මහාචාර්ය මයුර සමරකෝන්
අපේ ජාතික ආදායමෙන් අතිවිශාල මුදලක් වැය කරන්නේ රටට කිසිදු ඵලදායකත්වයක් ලබා නොදෙන දේශපාලනඥයන් සඳහා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශාධිපති මහාචාර්ය මයුර සමරකෝන් මහතා කීය.
මහාචාර්යවරයා මෙසේද කීය.
අපිට අතිවිශාල මන්ත්‍රී පිරිසක් බිහිවීම ආරම්භ වූයේ 1977 ව්‍යවස්ථාවත් සමඟය. එදා සිට මේ දක්වා රටේ සිදු වූ සංවර්ධනය පිළිබඳව බලන විට රටක් වශයෙන් අප ලබා ඇති සංවර්ධනයක් නැත. සමස්ත දර්ශකයක් වශයෙන් ගතහොත් අප ලබා ඇති සංවර්ධනයක් නැත. රටට නොගැලපෙන දේශපාලනඥයන් පිරිසක් නඩත්තු කිරීමට සිදුවීම රටට විශාල බරක් වී ඇත. පෞද්ගලිකව ඒ ඒ අමාත්‍යාංශ වශයෙන් බැලුවත් දියුණුවක් ලබා නැත. උදාහරණයක් වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට මධ්‍යම රජය හැරුණු විට පළාත් සභා මට්ටමින් ඇමැතිවරු ගණනාවක් සිටිති.
නමුත් රට පුරා දැවැන්ත ගුරු හිඟයක් හා භෞතික සම්පත්වල හිඟයක් තිබීමෙන් පෙනී යන්නේ මන්ත්‍රී ධුරවලින් නිසි ප්‍රයෝජනයක් රටට ලැබී නොමැති බවයි.
මානව සංවර්ධන දර්ශකය හා ලෝකයේ වඩාත් සතුටින් සිටින්නන්ගේ දර්ශකය ආදී දර්ශකයන්ගෙන් ඉහළ සිටින රටවල් ඒ මට්ටම රඳවා ගෙන සිටී, නමුත් අපේ රට එක දශමයකින්වත් ඉදිරියට ඒමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට නැත. අපේ ස්ථානය පහළට යන තත්ත්වයක් පෙන්නුම් කරනවා විනා ඉහළ යාමක් හෝ සංවර්ධනයක් පෙන්නුම් නොකරයි. නමුත් අපි ලෝකයේ වැඩිම සියදිවි නසා ගැනීම් අතින් ඉහළම තැනක සිටී. කාමුක වෙබ් අඩවි වැඩි වශයෙන් නරඹන රටක් වශයෙන් ද අප ඉදිරියෙන් සිටින රටකි. මානව සංවර්ධන දර්ශක හෝ වෙනත් එවැනි සංවර්ධන දර්ශකවලින් එක් පියවරක්වත් අප ඉදිරියට පැමිණ නැත. නමුත් උදේ සිට රෑ වෙනතුරු අපට අසන්නට ලැබෙන්නේ ‘අපේ රට සංවර්ධනය වෙලා’ කියන කීමයි. 2020 දී තම තමන්ගේ අමාත්‍යාංශවලින් ඉටුකරන සංවර්ධනය ගැන ඇහුවොත් ඇමැතිවරුන්ට දෙන්න පිළිතුරක් තිබේද යන්න සැක සහිතය. අපි නඩත්තු කරන්නේ කිසිම සංවර්ධන සැලැස්මක් ඇති රටට හිතවත් ඇමැති මණ්ඩලයක් නෙවෙයි. කිසිම ඵලදායිතාවක් නැත. ජාතික ධනයෙන් දේශපාලනඥයන්ට වැය කරන මුදල අනවශ්‍ය නඩත්තුවක්. සෑම ඇමැතිවරයකුටම වාහන, ස්ථීර කාර්ය මණ්ඩලයක්, ඇමැතිවරයාට පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටිනවා. රජයට සිටින නිලධාරීන්ට අමතරව ඇමැති කාර්ය මණ්ඩලයෙන් ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවාද? එවැනි ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවාද? ඒ කාර්ය මණ්ඩලයටත් සැප සම්පත් ලබාදී ඇත. ‘මේ අපරාධ වියදම නතර කරනවා’ යනුවෙන් ප්‍රකාශ කළ ජනාධිපතිවරු කීප දෙනෙක් බලයට ඇවිත් තියෙනවද? අපේ ජාතික ආදායමෙන් විශාල ප්‍රමාණයක් වැය කරන්නේ රටට කිසිදු ඵලදායක දෙයකට නොවෙයි.
මෙතරම් විශාල දේශපාලකයන් පිරිසක් අප වැනි රටකට යෝග්‍ය නෑ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ගාමිණී වීරසිංහ
මෙතරම් විශාල දේශපාලනඥයන් පිරිසක් නඩත්තු කිරීම අප වැනි රටකට යෝග්‍ය නොවන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිණී වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙසේ ද කීය.
පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව මෙවර දෙගුණයකින් වැඩි වී තිබෙනවා. හාරදාහක පිරිස අටදහසකට අධික වුණා. එදා හාරදාහකට අධික පිරිස කළ රාජකාරියට අමතර විශේෂ රාජකාරියක් වැඩි වූ පිරිසගෙන් සිදුවෙන්නේ නැහැ. ඒ මන්ත්‍රී පිරිස වැඩිකිරීම අපේ රටට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ඒක පැහැදිලිව පේනවා. මේ සංඛ්‍යාව යළි අඩුකිරීම අවශ්‍ය බව ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කර තිබුණා. පළාත් සභාවලත් මන්ත්‍රීවරු විශාල පිරිසක් නඩත්තු කරනු ලබනවා. නමුත් ඒ මන්ත්‍රී පිරිසෙන් රටට, රටේ නිෂ්පාදනයට, සංවර්ධනයට ලැබෙන දායකත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. රටේ සංවර්ධනයට ඔවුන්ගෙන් සිදුවෙන කාර්යභාරය ප්‍රශ්නයක්.
ලෝකයේ අනෙකුත් රටවල් ගැන අපි විමසිලිමත් විය යුතුයි. ජන අනුපාතය අනුව මන්ත්‍රීවරු පත් කිරීම ගැන සොයා බැලිය යුතුයි. ඉන්දියාව විශාල ජනගහනයක් ඇති රටක් වුවත් ඇමැති මණ්ඩලය අපට වඩා අඩුයි. අපේ රටේ අමාත්‍ය මණ්ඩලය නඩත්තු කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා.
පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු නඩත්තු කිරීම ඔවුන්ගේ කාර්යාල නඩත්තුවට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබීම අපි වැනි රටකට දැරිය නොහැකි ප්‍රමාණයකි. මෙය යෝග්‍ය නැති දෙයක්.
දයාසීලි ලියනගේ