අයි.එස්. තර්ජනයට මුහුණ දෙන්න අපට ඉන්දියාව ඇතුළු රටවල සහාය අවශ්‍යයි


ජනපති ගෝඨාභයගේ ඉන්දීය සංචාරයේදී  හින්දු පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාව

හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය සමග සාකච්ඡාව

 

  • අපේ පාලන සමයේ ආරක්‍ෂාවේ වැදගත්ම ආයතනය බවට පත්ව තිබුණේ හමුදා බුද්ධි අංශයයි
  • අපේ පාලන සමයේ ආරක්‍ෂාවේ වැදගත්ම ආයතනය බවට පත්ව තිබුණේ හමුදා බුද්ධි අංශයයි
  • දෙමළ ජනතාවට බලය බෙදනවා කියන එක වෙනුවට ඔවුන් ජීවත්වන ප්‍රදේශ සංවර්ධනය කිරීමට වැඩි අවධානය යොමු කරනවා

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ විශේෂ ඇරැයුම පිළිගනිමින්, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියද‌ා තෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලි අගනුවර බලා පිටත්ව ගියේය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් මෙන්ම ඉන්දීය ජනාධිපති රාමා නාත් කෝවින්ද් මහතාගෙන් අප ජනපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ද්වීපාර්ශ්වීය සබඳතා යළි ශක්තිමත් කර ගැනීමෙන් පසු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනී සුහාෂිණී හයිදර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. මේ එහි සිංහල පරිවර්තනයයි.   


‘සාමාන්‍යයෙන් මා විවෘතව කතාකරන කෙනෙක්. මා අවංකවම, ඉන්දියාවට කියන්න කැමතියි, මට යමක් කරන්න බැරි නම් හෝ කරන්න පුළුවන් නම් හෝ මම කෙළින්ම, ඉක්මනින්ම ඒ බව කියනවා. බොරුවට කල් මරන්නේ නැහැ.’ යැයි ශ්‍රී ලංකා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. තමන් අවංක මෙන්ම කෙළින් වැඩකරන අයකු යැයි පොරොන්දුවක් දෙමින්, නවදිල්ලිය සහ කොළඹ අතර පවතින මතභේද දුරලීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. චීන ආයෝජනවලට විකල්පයක් ලෙස ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් කළ යුතු වෙන්නේ වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ඇති කළ යුතු බව යැයි ජනපතිවරයා පැහැදිලි කළේය. චීනය සහ පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා ඉන්දීය බලධාරීන්ට ගැටලුවක් නොවන අයුරින් පවත්වාගෙන යා යුතු බවද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.   


ජනපති ධුරයෙන් පසු සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඉන්දියාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් කරගැනීමට ‘ද හින්දු’ පුවත්පතට හැකි විය. සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කළේ ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ශක්තිමත් සබඳතා පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය බවය. ආර්ථිකමය වශයෙන් වාසිදායක ප්‍රයෝගික ව්‍යාපෘති පමණක් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කළේය. 2017 දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇති කරගත් අවබෝධතා ගිවිසුම යටතේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සහ වරාය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සලකා බැලීමක් කරන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.   


පසුගිය නොවැම්බර් 29 වැනිදා, ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 400ක මුදලක් ලබාදෙන බව ඉන්දියාව නිවේදනය කළේය. සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත්, තමා ජනපති ධුරය හොබවද්දී, ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු විදෙස් නායකයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.   


‘ඉන්දියාවට අප සමඟ තිබෙන ලොකුම ගැටලුව, අප චීනය සහ පාකිස්තානය සමඟ පවත්වන ඇයිහොඳයිකමයි. ඉන්දීය බලධාරීන් තුළ සැකයක් වර්ධනය වෙන ආකාරයට අප කටයුතු නොකරන්නේ නම්, ගැටලුවක් මතු වෙන්නේ නැහැ’ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.   


දෙමළ වැසියන්ගේ අයිතීන් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, දේශපාලනික වශයෙන් බලය බෙදනවා යැයි කියමින් සිටිනවා වෙනුවට, දෙමළ වැසියන් ජීවත් වෙන ප්‍රදේශ සංවර්ධනය කිරීම කෙරෙහි සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බවය. බහුතර සිංහල ජනතාවගේ විරෝධය මැද, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව බලය බෙදීම කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කර තිබේ. ‘දෙමළ වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රදේශ සංවර්ධනය කිරීම හෝ ඔවුන්ට රැකියා අවස්ථා ලබා දීම ගැන හෝ කිසිම සිංහල වැසියකු විරෝධය දක්වන්නේ නැහැ.’ ජනපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.   


ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, විශේෂයෙන් පාස්කු දිනය දා කරළියට ආ අයි.එස්. තර්ජනය සම්බන්ධයෙන්, ඉන්දියාව සමඟ වඩාත් සමීප සබඳතා පවත්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැවැති රජය මෙන් නොව, තම නව රජය, හමුදාවේ කප්පාදු කළ බලතල යළි ඇති කිරීමට පියවර ගන්නා බව පැවැසීය. ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනපති ධුරයට පත් වී සිටින්නේ, ඔහුගේ වැඩිමල් සොහොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වී සිටින අවස්ථාවකය. තවත් සොයුරකු වන චමල් රාජපක්ෂ මහතා නව රජයේ ඇමැතිවරයෙකි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේ දී, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බවත්, එය ඉවත් කළ යුතු බවත් ය.   


• නවදිල්ලියේදී ඔබ සඳහන් කළා, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ඉහළ තත්ත්වයකින් පවත්වා ගැනීමට කටයුතු කරන බව. ඔබ එය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඔබ ප්‍රමුඛත්වයක් දක්වන්නේ කුමන කාරණාවලටද?   


මහින්ද රාජපක්ෂ ජනපති ධුරයේ සිටිද්දී පවා නවදිල්ලිය සමඟ අපේ සමීප සබඳතා පැවැත්වුණා. 2014-2015 අවසානයේදී හිටිහැටියේ ඒ සබඳතා ඇණහිටියා. බිඳ වැටුණු ඒ සබඳතා යළි ගොඩනගා ගැනීමට සිරිසේන ජනපතිතුමාගේ රජය හොඳ ආරම්භයක් ලබා දුන්නත්, එය අසාර්ථක වුණා. මම කියන දේ කෙළින්ම කියනවා. සාමාන්‍යයෙන් මම අවංකයි. නවදිල්ලියට මම අවංකව කියන්න කැමතියි, කරන්න පුළුවන් නම් හෝ බැරි නම් හෝ මම කෙළින්ම ඒ බව කියනවා. බොරුවට කල් මරන්නේ නැහැ. යුද්ධයේ අවසන් සමයේ දී, මහින්ද රාජපක්ෂ රජය යටතේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සබඳතා පැවැත්වූයේ පාර්ශ්ව තුනක් (ට්‍රොයිකා) සම්බන්ධ වෙමින්. එදා යුද්ධය අවසන් අදියරේ තීරණාත්මක කරුණු සාකච්ඡා කිරීමට එවැනි යාන්ත්‍රණයක් අවශ්‍ය වුණා. සංවේදී ගැටලු නිරාවරණය කර ගැනීමට හැකිවුණා.   


• ඔබ එදා පැවැති එම යාන්ත්‍රණය යළි ක්‍රියාත්මක කරනවාද?   


යුද්ධය පැවැති අවස්ථාවේ, එවැනි යාන්ත්‍රණයක් අපට අවශ්‍ය වුණා. දැන් අපට එවැනි ක්‍රමවේදයක් අවශ්‍ය නැහැ. දෙරටේ විදෙස් අමාත්‍යංශ හරහා සම්බන්ධතා පවත්වාගෙන යා හැකියි. අප කෙළින් කතා කළොත්, අවංකව වැඩ කළොත්, ගැටලු මතුවෙන්න විදියක් නැහැ. ඉන්දියාවට තියෙන ලොකුම ගැටලුව, චීනය සහ පාකිස්තානය සමඟ අපේ සම්බන්ධයයි. ඉන්දීය බලධාරීන්ගේ සැකයට භාජන නොවන අයුරින් අප කටයුතු කරනවා නම්, ප්‍රශ්නයක් මතු වෙන්න විදියක් නැහැ.   


• සංවර්ධන සහයෝගීතාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවට අමතර ඩොලර් මිලියන 400ක ආධාර මුදලක් ලබාදෙන බව ඉන්දීය රජය ප්‍රකාශ කළා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය රජය අතරේ අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට, ත්‍රිකුණාමල තෙල් ටැංකි සහ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ද අයත් වෙනවා. ඔබ එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරනවාද ?   


සමහර ව්‍යාපෘති සම්බන්ධයෙන් වෙනස්වීම් කළ යුතුයි. මෙම සංචාරයේදී අප මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා. තවමත් මා සියලුම ව්‍යාපෘති සවිස්තරාත්මකව අධ්‍යයනය කර නැහැ. මා පොරොන්දු වෙනවා, ශ්‍රී ලංකාවට වැදගත් සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව.   


• ඉන්දියාවේ කනස්සල්ලට හේතු වූ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් චීනය සමඟ යළි සාකච්ඡා පැවැත්වීමට ඔබ සූදානම් බව ප්‍රසිද්ධියේ පවසා තිබෙනවා. ඒවගේමයි මත්තල ගුවන්තොටුපොළේ අනාගතය. ඉන්දියාව මේ ගැන උනන්දුව දක්වා තිබෙනවා. දැන් ඔබ බලයේ සිටින නිසා කරන්නේ කුමක්ද ?   


හම්බන්තොට ව්‍යාපෘතිය වැනි උපායමාර්ගික වශයෙන් වැදගත් ව්‍යාපෘති ශ්‍රී ලංකා රජයේ පාලනයක් යටතේ සිදුවිය යුතු බව මාගේ විශ්වාසයයි. මේවා හෝටලයක් හෝ පර්යන්තයක් වගේ හෝ නොවෙයි. අපේ වරාය, ගුවන්තොටුපොළ පාලනය වෙනත් පාර්ශ්වයකට දීම වෙනස් තත්ත්වයක්. සිදුවිය යුත්තේ අපේ පාලනය යටතේ ඔවුන් කටයුතු කිරීමයි. ඒත් පසුගිය රජය අත්සන් කළ අවුරුදු 99 ක බදු දීමේ ගිවිසුම් අපේ අනාගතයට බලපෑමක් වේවි. අනාගත පරම්පරාව අපේ පරම්පරාවට සාප කරාවි අපේ වටිනා සම්පත් වෙනත් පාර්ශ්වයකට දුන්නාට. ඒ නිසයි පසුගිය රජය ගත් මෙම තීරණයට අපේ පක්ෂය දැඩි ලෙස විරෝධය පළ කරන්නේ.     


• ශ්‍රී ලංකාව චීනය සමඟ පැවැත්වූ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් ඉන්දියාවට අතීතයේ ගැටලු තිබුණා. චීන සබ්මැරීන කොළඹ ශ්‍රී ලංකාවේ වරායට සේන්දු වීම මගින් මේ තත්ත්වය උත්සන්න වුණා. ඒ සියල්ල සිදුවුණේ ඔබ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී. මෙම කාරණාව සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ උරණ වූ බව ඔබ 2017 දී පැවැසුවා. මේ වතාවේ ජනාධිපති ලෙස ඔබ මෙවැනි කරුණු කාරණා සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරනවාද ?   


අප එදත් මේ ගැන සංවේදීව කටයුතු කළා. සබ්මැරීන සිදුවීම ලොකුවට හිතන්න දෙයක් නොවෙයි. එදා අදාළ බලධාරීන් ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකළ නිසයි ඒ සිද්ධිය දුරදිග ගියේ. ඒ කාලයේ නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට යුද නැව් ආවා ගියා. ඒ සෑම නැවක්ම අරාබි මුහුදේ මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව මෙහෙයුම්වලට සම්බන්ධ වූ ඒවා. රුසියන් නැව් පවා ශ්‍රී ලංකාවට ආවා. චීනය ඔවුන්ගේ සබ්මැරීන එන බව පැවැසූ අවස්ථාවේදී, බලධාරීන් සිතුවේ තවත් නාවික යාත්ත්‍රාවක් අපේ වරායට සේන්දු වෙනවා කියා පමණයි. ඒ නිසා බලධාරීන් ඒ ගැන වැඩි තැකීමක් නොකර ඊට අනුමැතිය දුන්නා. ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිව් ශංකර් මෙනන් ඔහුගේ පොතේ සඳහන් කර තිබෙනවා, ‘ගෝඨාභය ඔහුගේ වචනය ඉන්දියාවට දුන්නා. ඉන්දියාවට විරෝධය දක්වන දෙයක් නොකරන බව. ඔහු ඔහුගේ වචනය කඩ කළේ නැහැ.’ මා අවංකව කටයුතු කළ බව ඒ අනුව එම ප්‍රකාශයෙන් පැහැදිලියි.   


• අතීතයේ ඉන්දියාව ශ්‍රී ලංකාව දෙස සැකයෙන් බැලුවා. චීනය සමඟ පැවැති සම්බන්ධය නිසාත්, දෙමළ වැසියන්ගේ අර්බුදය නිසාත්, ඔබ චෝදනා කළා ඔබේ සොහොයුරාට එරෙහිව පාලනයේ වෙනසක් සිදුකරන්න ඉන්දියාව කුමන්ත්‍රණය කළ බව. පසුගිය කාලයේ පැවැති මේ සැකසංකා අමතක කර ඉදිරියට යෑමට ඔබේ රජයට හැකිවේවිද ?   


මට විශ්වාසයි ඒක කරන්න පුළුවන්. අපට ඇත්තටම අසන්න ලැබුණා රජය පෙරැළීමට උත්සාහ කළ විදෙස් කුමන්ත්‍රණ පිළිබඳ. ඇමෙරිකාවත් ඒ අතරේ. ඒ සියල්ලටම හේතුව අප චීනය සමඟ පැවැත්වූ සබඳතා. ඒක ඇත්තටම වැරදි වැටහීමක්. අප සහ චීනය අතර පැවැතියේ වාණිජමය වශයෙන් වූ එකඟතාවක් පමණයි. මා ආරාධනා කරන්න කැමතියි ඉන්දියාවට, ජපානයට, සිංගප්පූරුවට සහ ඕස්ට්‍රේලියාවට. එන්න ශ්‍රී ලංකාව සමඟ ආයෝජන ඇති කරගන්න. ඔවුන් ඔවුන්ගේ සමාගම්වලට කියන්න ඕනෑ ශ්‍රී ලංකාවේ ආයෝජන ඇති කරගන්න. එය අපේ වර්ධනයට උදව්වක් වේවි. එසේ නොවන නිසයි, ශ්‍රී ලංකාව පමණක් නොවෙයි අනෙක් ආසියානු රටවල් ගැටලුවලට මුහුණ පෑවේ. වෙනත් විකල්පයක් නොවූ නිසයි, චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන ව්‍යාපෘතියට යොමු වීමට සිදුවුණේ. 

 
• ඉන්දියාව සමඟ ඉදිරියේ දී ත්‍රස්තවාදයට එරෙහිව සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද ?   


ශ්‍රී ලංකාව තුළ පවතින තර්ජනය දැන් වෙනස්. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තර්ජන එල්ල වූයේ ශ්‍රී ලංකාවට පමණයි. අයි.එස්. (ඉස්ලාමික් ස්ටේට්) සංවිධානය මුළු ලොවටම තර්ජනයක්. අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් ලොව පුරා සිටිනවා. මේ තර්ජනය ගැන අපට වඩා ඉන්දියාව සහ වෙනත් රටවල් සතුව තොරතුරු තිබෙනවා. පසුගිය රජය ආරක්ෂාව ගැන හෝ බුද්ධි අංශය ගැන හෝ වැඩි ප්‍රමුඛතාවක් දුන්නේ නැහැ. අපේ පාලන සමයේ හමුදා බුද්ධි අංශය තමයි වැදගත්ම ආයතනය බවට පත් වී තිබුණේ. පසුගිය රජය හමුදාවට පවරා දී තිබුණු බලතල ඉවත් කළා. ඒත් දැන් අප ඒ සියල්ල යළි වෙනස් කරනවා. අතීතයේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව කටයුතු කළ ශක්තිමත් බුද්ධි අංශයක් අපට සිටියා. යළිත් අපේ බුද්ධි අංශය අප ශක්තිමත් කරනවා. අයි.එස්. තර්ජනවලට මුහුණ දීමට තාක්ෂණික සහයෝගය ලබා ගැනීමට ඉන්දියාව ඇතුළු අනෙක් රටවල සහාය අපට අවශ්‍යයි. 

 
• ජාතික ආරක්ෂාවට ඔබ ප්‍රමුඛත්වයක් දෙනවා. ඒ සමඟ අතීතයේ එල්ල වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ චෝදනා ගැන යළිත් බියක් හටගෙන තිබෙනවා. පුද්ගල අතුරුදන්වීම් සහ සුදු වෑන් ගැන. ඒවගේමයි විශේෂයෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්. එවැනි දෙයක් යළි සිදුනොවන බවට ඔබ සහතික වෙනවාද ?   


ඒ සියලුම චෝදනා බොරු. මගේ අනුදැනුම යටතේ පැහැදිලිවම එවැනි කිසිම දෙයක් සිදුවී නැහැ. 2009 න් පසු, චෝදනා සම්බන්ධයෙන් අප සොයා බැලීමට උත්සහ ගත්තා. ඒක පහසු වුණේ නැහැ. අපේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. එසේ වුවත්, අපි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න. ඒත් ඔවුන්ට කිසිදු සාක්ෂියක් ලැබී තිබුණේ නැහැ. එය පහසු වුණා නම්, ඇයි සිරිසේන ජනපතිතුමාගේ රජයට බැරිවුණේ, එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න ? යුද සමයේ අප මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කළ බව ඇත්ත. ඒත් සාමය උදාවීමත් සමඟ එවැනි තත්ත්වයක් පැවැතියේ නැහැ. මතක තියාගන්න, මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ රජය යුද්ධය ආරම්භ කළේ නැහැ. අප යුද්ධය අවසන් කළා. එල්ල වෙන මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ඇයි කවුරුවත් පසුගිය ජනාධිපතිවරුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ ?   


• පසුගිය දා ආචාර්ය ජයිශංකර්ගේ කොළඹ සංචාරයෙන් පසු, ඉන්දීය රජය ප්‍රකාශයක් නිකුත් කළා, දෙමළ ජනතාව වෙනුවෙන් යුක්තිය සහ සමානාත්මතාව ඉටු කරන්නැයි ඉල්ලමින්. ඔබ මීට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?   


විදේශ ඇමැතිවරයාට මා මේ බව පැහැදිලි කළා. මා දකින ආකාරයට, වඩා වැදගත් වෙන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් සංවර්ධනයක් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි. ව්‍යවස්ථාවෙන් ඔවුන්ට දැනටමත් නිදහස සහ දේශපාලනික අයිතීන් ලැබී තිබෙනවා. මාගේ විශ්වාසය නම්, අප ඍජුව ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. රැකියා අවස්ථා ඇති කරමින්, ධීවර සහ කෘෂි කර්මාන්තය නංවාලිය යුතුයි. දේශපාලනික ප්‍රශ්න සාකච්ඡා කිරීම කළ හැකියි. පසුගිය වසර 70 තිස්සේ සාර්ථක දේශපාලනඥයන් පොරොන්දු වූයේ එක් දෙයක් පමණයි. බලය බෙදීම, බලය බෙදීම, බලය බෙදීම. අවසානයේදී කිසිවක් සිදුවුණේ නැහැ. ඒ වගේමයි මා විශ්වාස කරනවා බහුතර සිංහල ප්‍රජාවේ විරෝධය මැද කිසිවක් කරන්න බැහැ. ඔවුන්ගේ විරෝධය මැද කවුරුන් හෝ යම් පොරොන්දුවක් දෙනවා නම්, ඒ පොරොන්දුව ඉටු කිරීම කරන්න ලැබෙන්නේ නැහැ. කිසිම සිංහල වැසියෙක් කියන්නේ නැහැ උතුරු නැගෙනහිරට සංවර්ධනයක් එපා. රැකියා අවස්ථා දෙන්න එපා. ඒත් දේශපාලනික ප්‍රශ්න වෙනස්. ඔබ මා ගැන තීන්දුවක් දෙන්න. තව අවුරුදු පහකින් උතුරු නැගෙනහිර සංවර්ධනය අනුව.   


• දෙමළ වැසියන්ගේ අයිතීන් සුරැකීමට, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රකාරව කටයුතු කරනවාද ?   


13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දැනටමත් ක්‍රියාත්මකයි. ඒත් පොලිස් බලතල දීම අනුමත කරන්න බැහැ. අප එය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් විකල්ප යෝජනා සාකච්ඡා පැවැත්වීමට මා සූදානමින් සිටිනවා.   


• ආරක්ෂක ලේකම් ලෙස, ඔබ ශ්‍රී ලංකා හමුදා ජයග්‍රහණය කරා මෙහෙයවූවා, මානව හිමිකම් කඩවීම් චෝදනා එල්ල වෙද්දී. ජාත්‍යන්තර අනුමැතිය හිමිවුණු සත්‍යය සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ක්‍රියාවට නැංවූයේ නැති බවට චෝදනා එල්ල වෙනවා. ඉදිරි පස් අවුරුදු කාලයේ ඔබ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ?   


ඒ චෝදනා අසත්‍යයි. යුද සමයේ දී පමණක් නොව, සාමය තහවුරු වීමෙන් පසුවත් ඔබ සඳහන් කළ අර්බුද සම්බන්ධයෙන් මා මැදිහත් වී කටයුතු කළා. බිම් බෝම්බ ඉවත් කළා. නැවත පදිංචි කිරීම, පුනරුත්තාපනය සහ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වුණා. මා නොසිටියා නම්, උතුරු නැගෙනහිර පළාත් පාලන මැතිවරණය පවත්වන්න වෙන්නේ නැහැ. පළමු වරට උතුරු නැගෙනහිර මැතිවරණයක් පැවැත්වන්න එදා අපේ රජයට හැකි වුණේ. නිදහස් සාධාරණය අයුරින් ඒ මැතිවරණය පැවැත්වූවා. කිසිදු බලපෑමක් එල්ල කළේ නැහැ. අප අපේ කැමැත්ත පරිදි අපේක්ෂකයන් ඉදිරිපත් කළේ නැහැ. අවාසනාවකට ජාත්‍යන්තරයට මේ දේවල් වැටහුණේ නැහැ. දෙමළ දේශපාලනඥයන්ට ඒක වැටහුණේ නැහැ. එය එසේ නොවුණා නම්, අද උතුරු නැගෙනහිර තත්ත්වය වෙනස්.   


• ඔබේ වැඩිමල් සහෝදරයා මහින්ද දැන් අගමැති. ඔබේ තවත් සහෝදරයකු වන චමල් ඇමැති ධුරයක් හොබවනවා. සහෝදරයන් සමඟ වැඩ කිරීම කොහොමද? ඒ වගේමයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඔබ සූදානම්ද?   


2015 දී සම්මත වුණු 19 ආණ්ඩුක්‍රම වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථකයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය හිමිවුණොත්, අප එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. ඒ වගේමයි කියන්න ඕනෑ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක කරගැනීමට නම්, ඊට සුදුසුම වාතාවරණයක් දැන් උදා වී තිබෙනවා. අයියා අගමැති මල්ලි ජනාධිපති (සිනාසෙමින්). රාජ්‍ය පාලනය සාර්ථක වීමට නම්, ස්ථාවරත්වයක් අවශ්‍ය වෙනවා. සිරිසේන-වික්‍රමසිංහ රජයේ එවැන්නක් තිබුණේ නැහැ. ඔවුන් දෙගොල්ලො අතරේ හැමවිටම ගැටුම් පැවැතියා සංවර්ධනයක් වුණේ නැහැ. ස්ථාවරත්වයක් නැතිනම් ආයෝජකයෝ එන්නේ නැහැ.   


• ඔබේ පවුලේ ‘ටර්මිනේටර්’ ඔබ යැයි පැවැසෙනවා. ඒක ඇත්තද ?   


(සිනාසෙමින්) ඒක ඇත්ත නොවෙයි. අපේ පවුලේ අහිංසකම කෙනා මම. පුංචි කාලයේ පටන් එහෙමයි. මම හමුදාවට බැඳුණාම, පවුලේ කවුරුත් කීවේ හමුදාවට සුදුසු මම නොවෙයි, අයියා මහින්ද බවයි. මට ගැළපෙන්නේ දේශපාලනය යැයි ඔවුන් කීවා.

 

 

හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනී සුහාෂිණී හයිදර්
පරිවර්තනය :
ලුසිත ජයමාන්න