සිංහරාජයේ අලි දෙදෙනා
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන, දැනට නිරීක්‍ෂණය වී ඇති අවසන් අලි දෙදෙනා නිසා ගෙවුණු සතියේ සමාජ සහ දේශපාලන ක්‍ෂේත්‍ර උණුසුම් විය. අසල ගම්වල වැසියන් භේද භින්න විය. ගම්වල තිබූ සමගිය බිඳී ගියේය. සාමය සතුට, වෛරය ක්‍රෝධය බවට පත්ව ගියේය.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට නිරිත දෙසින් රක්වාන කඳුවැටියට සීමා වී හෙක්ටයාර් 11250ක භූමි භාගයක් පුරා සිංහරාජ වනාන්තරය පැතිරී පවතී. වර්ග ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 88.64කි. සිංහරාජ වනාන්තරයේ උස මීටර් 300-1170ත් අතර ප්‍රමාණයක පවතී.
සිංහරාජය ගැන මෑතකදී කතා කරන්නට පටන් ගත්තේ එහි වෙසෙන වනඅලි දෙදෙනාගෙන් එකෙකු විසින් රක්වාන, කජුගස්වත්තේ පදිංචිව සිටි අසූ හතර වියේ පසුවූ සිව් දරු පියෙකු වූ කේ.ඒ. පොඩිමහත්මයා (84) මහතාගේ මරණයත් සමගය. තම නිවසේ නිදාගෙන සිට රාත්‍රියේ මුත්‍රා කිරීමට නිවසින් එළියට ආ අවස්ථාවේ මිදුලේ සිටි අලියා පොඩිමහත්මයා මහතාට පහරදී පාගා පොඩිකර මරා දමා තිබුණි. නිවැසියන් සහ ගමේ පිරිසක් පවසන පරිදි අලියාගේ පහරදීමෙන් මියගිය පහළොස්වැන්නා ඔහුය.
ඊට පෙර 2017 වසරේ දී ඇඳිරි වැටුණු පසු කාන්තාවක් සහ පිරිමියෙක් සිය නිවෙස්වලට යද්දී අලියාගේ ප්‍රහාරෙයන් මිය ගියේය. ඊට පෙර 2016 වසරේ දී අලි ප්‍රහාරයෙන් තවත් මරණයක් සිදුවිය. වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත අනුවත් ගමේ ම තවත් පිරිසක් පවසන ආකාරයටත් අලියා විසින් සිදුකර ඇති මිනීමැරුම් ගණන පහළොවක් පමණය.
මෙම ලිපියෙන් අපි කතා කරන්නට බලාපොරාත්තු වෙන්නේ ගණන් හිලව් නොව අලියාගෙන් ගමට එල්ල වෙන තර්ජන ගැනය. එය ගම්වාසීන්ගේ දෛනික ජීවන රටාවට බාධාවක් වෙන නිසා ය. සිංහරාජයේ ඉන්න වන අලි දෙදෙනා මිනීමරු අලින් බව දැන් විවාදයක් නැත.
හෙක්ටයාර් 88.64ක් වූ සිංහරාජ වනාන්තරයේ සැරිසරන මේ අලි දෙදෙනා තවදුරටත් එහි රැඳී සිටීමෙන් දාසය වැනි මිනිස් බිල්ලත් සිදුවිය හැකි නිසා උන් අල්ලා හොරොව්පතාන අලි සංරක්‍ෂණ වනාන්තරයට ගෙන ගොස් දැමීමට පසුගිය 09දා වල්අලි තර්ජනයෙන් පීඩා විඳින සිංහරාජයේ පාමුල පිහිටි කජුගස්වත්තේ රජවත්ත ශ්‍රී බෝධිමූලාරාමයට ගිය වනජීවී ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහි රැස්ව සිටි පිරිසට පොරොන්දු විය. එසේ පොරොන්දු වීමට හේතුව වූයේ රැස්ව සිටි අය ඇමැතිවරයාට දැක්වූ කරුණු පදනම් කරගෙනය. වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇමැතිවරයාගේ තීරණය අනුමත කළේය.
භූ විෂමතා තත්ත්වය අනුව සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීම පහසු නොවීය. මීට පෙර 1997දී මේ එක් අලියෙක් අල්ලන්න වනජීවී මෙහෙයුමක් ක්‍රියාත්මක විය. අලියාට නිර්වින්දන බෙහෙත් විද බිම දමා අත්පා කඹවලින් බැන්දේය. නමුත් ඇල්ලූ තැනට වාහනයක් ගෙන යා නොහැකි විය. බිම වැතිරී සිටි අලියා කඹවලින් බිම දිගේ වාහනයක් යා හැකි තැනකට කිලෝ මීටරයක් පමණ දුරක් අදින්නට එදා අලි මෙහෙයුමට පැමිණ සිටි නිලධාරීන් ක්‍රියා කළේ ය. එය අලියාට විශාල හිංසාවක් විය. පසුව ඒ මෙහෙයුම අතරමග නවතා දැමුණි. අත්පාවල ගැට ගසා තිබූ කඹ කපා අලියා මුදාහැරිණි.
මේ සිද්ධිය ඇසින් දුටු එදා උසස් පෙළ පන්තිවල ඉගෙනගත් අද වෙනවිට හතළිස් වැනි වියේ පසුවන පනාපොල ටී.කේ.එස්. බුද්ධික කුමාර ඒ සිද්ධිය පැහැදිලි කළේ මෙසේය.
’‘ඇත්තටම ඒ වෙලාවේ අලියා ගෙනියන්න කිසිම හේතුවක් තිබුණේ නෑ. කිහිප දෙනෙකුගේ උවමනාවට ඒක වුණේ. එදා ගමේ හැමෝම ඒ වැඩේට විරුද්ධ වුණා. හැබැයි නිදහස් වෙලා ගියාට පස්සේ තමයි අලියා මිනී මරන්න පටන් ගත්තේ. අලියා යන එන පාරේ කඹයක් තිබුණොත් පේන්න බෑ. කඹයකින් දිගේලි කරලා ඉන්න හරකෙක් දැක්කොත් කඹෙන් ඇදලා මරලා දානවා.”
මෙදා අලි අල්ලන මෙහෙයුම නවත්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විනි. නමුත් මෙහෙයුම නතර නොවුණේ වනජීවී ඇමැතිවරයා ඊට එකඟ නොවූ නිසා ය. පසුව මාධ්‍ය මගින් පළවුණේ ජනාධිපතිවරයා ඇමැති සරත් ෆොන්සේකා මහතාට දුරකතනයෙන් කතා කර අලි මෙහෙයුම නවතා දමන ලෙස දැනුම් දුන් බවය. අලි දෙදෙනා ගෙන නොයන්නැයි සිංහරාජ පාමුල කජුගස්වත්ත ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වුනේ මේ අතරය. ඒ සඳහා පිටින් පැමිණි පරිසර සංවිධාන ඇතුලු ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන්ට හා වාහනවලට පහරදීම් ද සිදුවිය.
ඇමති සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ඒ විරෝධතා බඩගෝස්තරවාදීන්ගේ විරෝධතා බවයි. කෙසේ නමුත් තමන් ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා කර ජනාධිපතිවරයාගේ ස්ථාවරය ගැන විමසූ බවද මහජනයා ඉදිරියේ ඇමැතිවරයා කීවේය. ඒ අනුව ඇමැතිවරයා 19දා කැබිනට් මණ්ඩල රැස්වීමටත් නොසිට යළිත් සිංහරාජය බලා ආවේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර, ඌව සහ දකුණු පළාත් සහකාර වනජීවී අධ්‍යක්‍ෂ ප්‍රශාන්ත විමලදාස මහතා ඇතුලු පිරිසක් ද සමගය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී සුනිල් සේනාරත්න මහතා ගම්වැසියකු සහ නිලධාරියකු ලෙස මේ අලි දෙදෙනා විසින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට හා වී වගාවට සිදුකර ඇති හානි ඇමැතිවරයා හමුවේ ඉදිරිපත් කළේය. මේ අලි දෙදෙනා නිසා කුඹුරු අක්කර තිස් හතරක් දෙකන්නය වගා කළ නොහැකි බවත් කුඹුරු අක්කර දාහතක් මේ අලි දෙදෙනා නිසා කුඹුරු නාමලේඛනයෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවත් කීවේ ය.
පොල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව හිටවූ පොල් පැළ 1660කින් මේ වනවිට ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණක් බව ද කීවේය. කොස්, කෙසෙල්, කිතුල් ආදී ගස්වලටත් ලොකු විනාශයක් කර ඇති බව කීවේ ඇමැතිවරයා ඇතුලු සියලු දෙනාම පුදුමයට පත් කරවමිනි. ඔහු පැවසුවේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දාහතරකට මේ අලි දෙදෙනා හානි කරන බවයි.
අලි පහරදීමෙන් පසුගියදා මියගිය අසූහතර හැවිරිදි පී.ඒ. පොඩිමහත්මයාගේ පුත් පී.ඒ. ධනුෂ්ක අජන්ත මහතාත් කජුගස්වත්තේ ආනන්ද සෝමසිරි මහතාත් පැවසුවේ මේ වෙනවිට අලි දෙදෙනා ගම්වැසියන්ට කර ඇති ආර්ථික පාඩුව මිලියන ගණනක් බවයි. හොඳට සංවර්ධනය වෙලා තිබුණ ගමක් මේ අලි දෙදෙනා නිසා සියලු අවශ්‍යතා පිටින් ගන්නා තත්ත්වයකට ඇදවැටී ඇතැයි ද ඔවුහු කීහ. මිනිස්සු ආරක්‍ෂා නොකර, අලි ආරක්‍ෂා කර තිරසාර සංවර්ධනයකට යා නොහැකි බවද ඔවුන්ගේ ස්ථාවරය විය.
කලවාන ප්‍රාදේශීය සභා සභික එම්. ගුණරත්න මහතා පැවසුවේ දොලේකන්ද, තණබෙල, රඹුක, කත්ලාන යන ග්‍රාම සේවා වසම්වල ජනතාව අද ඉන්නේ යුද්ධ කාලේ මායිම් ගම්වල හිටිය මිනිස්සු මෙන් ඇඳිරි වැටුණට පස්සේ ගෙයින් එළියට බහින්න බැරි ලොකු භීතියකින් බවය.
මේ කතාවලට සාවධානව අසා සිටි වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ඇමතිවරයෙක් ගනු ලබන තීරණ බඩගෝස්තරවාදීන් හෝ වෙනත් පුද්ගලයන්ගේ දුරකතන ඇමතුම් මත වෙනස් කිරීමට නියෝග කිරීමෙන් අපහසුතාවට පත්වන්නේ රජය සහ මහජනතාව බව එහි සිටි සැමට කීවේය. සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි දෙදෙනාගෙන් ජනතාවට වෙන පීඩාව මගහැරීම සඳහා තමන් ගන්නා ක්‍රියා මාර්ගය මාස තුනක් ඇතුළත අවසන් කරන බවත් කවුරුන් හෝ ඊට බාධා කරමින් කකුලෙන් ඇද්දොත් ඇමැතිකම දමා යන බව පවසද්දී බණ මඩුවේ රැස්ව සිටි පිරිස හුරේ දැම්මේ ය. අත්පොළසන් දුන්නෝ ය.
ඒ සමගම නව පණක් ලැබූ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා සහ රැස්ව සිටි පිරිස මාධ්‍යයට දැඩි දෝෂාරෝපණයක් කළේය. මේ කියන ඒවායෙන් සියයට පනහක්වත් මාධ්‍යයේ පළ කරන්න බැරිනම් කිසිම දෙයක් පළ නොකර සිටින්නැයි කියද්දී රැස්ව සිටි පිරිස පෙරටත් වඩා වැඩියෙන් අත්පොළසන් ගැසීය. විසිල් පිඹීය.
අවසන් තීරණය වූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ ඇති මිලියන ගණනක මුදල හෝ වැයකර අලි දෙදෙනා ගම් වැදීම වැළැක්වීමට පියවරක් ගන්නා බවය.
අලි දෙදෙනා සැබෑවටම සිංහරාජයට කරදරයක් ද? යන ගැටලුව ගැන විමර්ශනාත්මකව තොරතුරු සෙව්වෙමු. මේ අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයේ කෝපිකෑල්ල, රජවත්ත, මානික්කවත්ත, කජුගස්වත්ත ආදී ප්‍රදේශවලට එසේත් නැත්නම් සිංහරාජ වනාන්තරයේ උතුරුදිග ප්‍රදේශයට එන්නේ මාර්තු අග, අප්‍රේල් මුලය. මැයි මාසයම එහි ගත කරයි. ජූනි අගවන විට උන් දෙදෙනා අතුරුදන් වෙයි. ඊළඟ අවුරුද්දේ ද උන්ගේ පැමිණීම පෙර පරිදිය. ඉන් ඇඟවෙන්නෙ නිරිත දිග මෝසම් වැසි සමයේ මෙම ප්‍රදේශයට එන බවය. ගම් වැසියන් කියන මේ කාරණාව වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත ද සනාථ කරයි
. මීට වසර දහයකට දොළහකට පෙර මේ අලි දෙදෙනාට අමතරව තවත් අලියෙක් නිරීක්‍ෂණය වූ බව ප්‍රදේශවාසීහු කියති. අලි තිදෙනා ඇසින් දුටු හතළිස් වැනි වියේ පසුවන පනාපොළ පදිංචි ටී.කේ.එස්. බුද්ධික කුමාර ඒ බව සනාථ කළේ මෙසේය.
“දැන් දකින්න නැති ඒ අලියා මේ දෙන්නටම වඩා ලොකුයි. දැන් ඉන්න පොඩි අලියා එක්ක ඒ අලියා හිටියේ. ඒ හින්දා ඒ මේ දෙන්නගේ අම්මා කියලා වැඩිහිටියෝ කියලා තියනවා. දැනට අවුරුදු අටක විතර ඉඳලා ඒකා පේන්න නෑ. ඌ එක්ක හිටපු පොඩි අලියා ඉන්නේ මේ අලියත් එක්ක. මුන් දෙන්නා සහෝදරයෝ කියලයි කියන්නේ.”
වනජීවී දෙපාර්තමේන්තුවේ, වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ දැනුම් තේරුම් ඇති ගම්වැසියන්ගේ තොරතුරු සැලකිල්ලට ගත්විට අලි දෙදෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ කජුගස්වත්ත, කෝපිකෑල්ල, රජවත්ත, මානික්කවත්ත, සයිප්‍රස් කෑල්ල යන ගම්වලට එන්නේ මාර්තු, ජූනි මාස අතර බව පැහැදිලි විය.
අලි දෙදෙනා නිසා දෙකන්නය වගා කළ නොහැකිව කුඹුරු පාළුවීම ගැන ගොවිජන සේවා දෙපාර්තමේන්තු ලේඛන සලකා බැලූ විට එය සම්පූර්ණ අසත්‍යයකි. වී වගාව ආදායම් අඩු නිසා කුඹුරු ගොඩකිරීම හෝ, ඒවා කුඹුරු තත්ත්වයෙන් ඉවත්කර ගොඩ ඉඩම් කර තේ වගා කිරීම සහ නිවාස ඉදිකිරීම නිසා කුඹුරු නාම ලේඛනවලින් ඉවත්කිරීමට සිදුව ඇති බව දැනගන්නට ලැබුණි. අලියා නිසා ඇතැම් වර්ෂවල කුඹුරුවල අස්වැන්නට හානි සිදුව ඇතත් ඒ හුදකලා වූ කුඩා කුඹුරක දෙකක බව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් දාහතරක් මෙම අලි දෙදෙනාගේ බලපෑමට ලක්ව ඇති බවට වනජීවී ඇමතිවරයාට කරුණු දැක්වූ තොරතුරු සාවද්‍ය බව වනජීවී දෙපාර්තමේන්තුවේ තොරතුරු හෙළි කරයි. හානිය ඇත්තේ දොලේකන්ද සහ රඹුක යන ග්‍රාමසේවා වසම් දෙකේය. පොල් පැළ 1660ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ගැන පොල් සංවර්ධන මණ්ඩලය දන්නේ නැත. ඒ නිසා සමහරු ඇමැතිවරයා හමුවේ අනාවරණය කළ තොරතුරු සාවද්‍ය බවට අපගේ සොයා බැලීම්වලදී සැකයක් ඇති විය.
අලි දෙදෙනා මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල ගමට එන්නේ සිංහරාජ වනාන්තරයේ උතුරු බෑවුමේ පිහිටි හඳපානා ඇල්ල රක්‍ෂිතයේ සිටය. හඳපාන ඇල්ලේ උඩ ප්‍රදේශයේ අනවසර මැණික් ගරන්නන් එහි අලි දුටුවොත් අලි වෙඩි දමා පහළට පන්නන බවද වැසියෝ කියති. අලියා ගම් වදින්නේ ස්ථාන දෙකකිනි. පළමු වැන්න සූරියකන්ද පැත්තේ බීරිඇල්ල දෙසිනි. දෙවැන්න ගාලවත්ත, කෝපිවත්ත, සයිප්‍රස් කෑල්ල දෙසිනි.
හඳපානා ඇල්ල රක්‍ෂිතයෙන් ගම්වදින අලියා ටික දවසක් එහි ඇති ගෝතමාලා තණ පඳුරු ආහාරයට ගනිමින් වාසය කරයි. රක්‍ෂිතයෙන් ගමට එන අලි දෙදෙනා සයිප්‍රස්වත්ත, රජවත්ත, කෝපිකෑල්ල, මානික්කවත්ත ආදී ප්‍රදේශවට යන්නේ බෝවිටියා තැන්නේ ගෝතමාලා පඳුරු ආහාරයට ගෙන අවසන් වූ පසුවය.
රක්වාන කලවාන පාරේ යනවිට වම් පැත්තේ මෙම ගම්මානවල දින ගණනක් වෙසෙන අලි දෙදෙනා හෙමින් හෙමින් රක්වාන කලවාන පාරට පැමිණ පාර පැන පාරේ දකුණු පැත්තේ ඇති වළංකන්ද රක්‍ෂිතයට මාරුවෙයි. වළංකන්ද රක්‍ෂිතයට අතීතයේ මිනිසුන් කීවේ අලියාකන්ද කියාය.
නමුත් දශක කිහිපයකට පෙරදී මේ අලිමංකඩ ඔස්සේ බාධාවකින් තොරව ගමන් කළ අලින්ට දැන් එසේ ගමන් කළ නොහැක. අලිමංකඩේ තැනින් තැන අලුතෙන් ගෙවල් හදා පදිංචිවූ මිනිසුන් ය. අලිමංකඩේ ඉඩම්වල තේ වගා කළ තැන් ය. ඒ නිසා අලියා ගමන් කරන්නේ ඒ බාධක ඉවත් කරමිනි. ගෙයක් දොරක් කඩා දමන විට බවභෝග වනසන විට ගම්මුන්ට කේන්තියාම සාධාරණය. ඔවුන් අලි පන්නා දැමීමට විවිධ උපක්‍රම භාවිත කරති. සමහරු වියළි කොහොල්ලෑ ගුළි ගිනි දල්වා අලියාගේ ඇඟට වීසි කරති. තව සමහරු පොල්කටුවලට අළු පුරවා ඒ අළුවලට භූමිතෙල් වක්කර ගිනිතබා ඒ අලු පොල්කට්ට අලියාගේ ඇඟට විසි කරති.
මේ සියල්ල මිනිසුන් කරන්නේ අලියා එළවා ගැනීමටය. මිනිස්සු අලිමංකඩේ ගෙවල් හදාගත්තේ වැඩිවන ජනගහනය අනුව තමන්ටම කියා නිවසක් හදා ගැනීමේ උවමනාව නිසාය. ජීවත් වෙන්න ආදායමක් උවමනා නිසා තේ වගා කළහ. හැබැයි මිනිස්සු මේ අලිමංකඩ අවහිර කරන බව වගකිව යුතු කිසිවෙකුත් ඔවුන්ට කලින් නොකී බව ඒ අය කියති.
ආණ්ඩුවෙන් ඉඩම් නොලැබෙන විට හිස් ඉඩමක් අල්ලා ගැනීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුණි. ඒ නිසා ජනතාවට ඒ ගැන දොස් තැබීමෙන් ඵලක් නැත. මුල් කාලයේ උඩහින් අලිවෙඩි පත්තු කරනවිට අලියා පහළට දුවයි. පහළින් අලිවෙඩි පත්තු කරනවිට උඩහට දුවයි. විදුලි පන්දම් එළි දල්වාගෙන අලි වෙඩි පත්තු කර කර අලියා පස්සේ ගොස් ඌ පන්නා දමයි. ඒ නිසා කලක් යනවිට අලිවෙඩිවලට තිබූ බිය පහව ගියේය. විදුලි පන්දම් එළියට වෛර කළේය. එහි ප්‍රතිඵලය වූයේ පාරමාරු වෙන්නට අඳුරු වැටුනු පසු මහ පාරට එන විට ඉදිරියෙන් ලාම්පු දල්වා එන මෝටර් සයිකල් හෝ තනි ලාම්පුවේ ත්‍රීරෝද රථවලට රාත්‍රී කාලයේ දී අලියාගේ ප්‍රහාර එල්ලවීමයි.
හඳපාන් ඇල්ල රක්‍ෂිතයට පහළ සයිප්‍රස්වත්ත යනු පැරණි තේ වත්තකි. ආණ්ඩුවේ වතු සමාගම් සතු කිරීමෙන් පසු සයිප්‍රස්වත්ත අභාවයට ගියේය. එහි වතු නිවාසවල පදිංචිව සිටි තිස් දෙනෙකු පමණ තවමත් ජීවත් වෙති. සමහරු තේ වගා කර ඇත. ගමේ ඉඩම් එළි පෙහෙළි කරගෙන තේ වැව්වෙත්, වෙනමම ගෙවල් හදාගත්තෙත් ඒ නිසාය. එදා මෙදා පැවති කිසිම ආණ්ඩුවක් මේ වැසියන්ගේ ජීවන ගැටලුවලට විසඳුම් නොදුන්හ. ඉඩම් අවශ්‍යතාවලට පිළියම් නොයෙදවූහ. පසුව අල්ලාගත් ඉඩම්වලට ඔප්පු දුන්හ. ඒත් සමහරුන්ට ඔප්පු නැත.
මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර දහය, විස්ස ආකාරයට පිටස්තරින් පිරිස් ඇවිත් වැවූහ. අලිමංකඩ ඇහිරෙන පරිදි විවිධ ඉදිකිරීම් කළහ.
හඳපාන් ඇල්ලෙන් පහළට බැහැලා ගමට එන අලියා ඇතැම් අවස්ථාවල හැසිරෙන්නේ මදකිපුණු ආකාරයට බවද ඇසින් දුටුවෝ කියති. සමහරවිට උගේ සරු කාලයට විරුද්ධ ලිංගිකයෙක් සොයා එසේ හැසිරෙන්නට පුළුවන් බවත් වනඅලි පිළිබඳ විශේෂඥයෝ කියති. ඒ වගේම කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා වැනි දෑ පානය කළ පසු ද එවැනි ස්වරූපයෙන් හැසිරෙයි. සමහරවිට වනාන්තරයේ කසිප්පු පෙරන්නට හොර රහසේ හදා තිබූ ගෝඩා මේ අලි විසින් පානය කරන බවට කලකට ඉහත කරුණු අනාවරණය විය.
අලියා විසින් මිනිසුන්ට පහරදීම් වැඩිපුරම සිදුව ඇත්තේ රජවත්ත, කෝපිකෑල්ල, කජුගස්වත්ත, මානික්කවත්ත, රඹුක ආදි ප්‍රදේශවලදීය. මෑතකදී මියගිය පොඩිමහත්තයා මහතාත් වසර කිහිපයකට පෙරදී රඹුකදී මියගිය කාන්තාවකුත් හැරෙන්නට අනික් අය මියගියේ මරණකරුවන්ගේ නොසැලකිල්ල නිසා බව ඔවුන්ගේ මරණයන් සම්බන්‍ධව පැවැත්වූ මරණ පරීක්‍ෂණවලදී හෙළි වී තිබුණි. ඇතැම් අය බීමත්ව අලියාගේ වලිගයේ කෙඳි ගැලවීමට ගිය අයද වන බව මරණ පරීක්‍ෂණ වාර්තා අනුව පෙනී යයි. මේවා මෙසේ ලියන විට එය මියගිය ඥාතීන්ගේ වේදනාව තව තවත් උත්සන්න කිරීමට හේතු වෙනු ඇති බව හොඳාකාරව දනිමු. එහෙත් අප මේ උත්සාහ කරන්නේ සිංහරාජයේ වන අලි ගැටලුවේ යථාර්ථය පැහැදිලි කරන්නටය. වසර කිහිපයකට පෙර වළංකන්ද ඇල්ල ප්‍රදේශයේ රක්‍ෂිතයේ වාඩියක සිටිය දී අලියාගේ පහර දීමෙන් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්විය. ඔහු පිටගංකාරයෙක් බව වනජීවී දෙපාර්තමේන්තු දත්ත අනුව පෙන්වයි. සමහර විට කැලේ වන අපරාධයක් කරන්නට ගිය කෙනෙක් විය හැකි යැයි වනජීවී නිලධාරීහු සැකකරති. මේ ගම් කිහිපය හැරුණු විට සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර සහ දකුණු බෑවුමේ අනිල්කන්දේ සහ පනිල්කන්දේ දී මිනිස් ඝාතන දෙකක් ගැන වාර්තාවෙයි. ඒ මැරුම් කෑ අය අලියාට කරදර කළ අය බව ද කියැවෙයි.
වර්ග කිලෝමීටර් 88.64ක් වූ සිංහරාජ වනාන්තරයේ සහ ඊට අඩු පරිමාණයෙන් යුතු පරිවාර වනාන්තරවල ජීවත්වන මේ අලි දෙදෙනාගෙන් පීඩාවට පත්ව ඇත්තේ වර්ග කිලෝමීටර් තුනකට අඩු ප්‍රදේශයක ජීවත්වන වැසියන් ය. අලි-මිනිස් ගැටුමේ උච්චතම අවස්ථාව දැන් පැමිණ ඇති බව පෙනේ. ඇමැතිවරයා පවසන ආකාරයට බඩගෝසතරවාදී ස්වේච්ඡා සංවිධාන කාලයක් තිස්සේ වගකිවයුත්තන්ගේ අවධානයට මේ සිංහරාජයේ අලි ගැටලුව දැනුම් දී තිබේ. නමුත් පිළියම් නොව පිළිතුරු ලිපියක්වත් ඔවුන්ට ලැබී නැත.
මානික්කවත්තේ පදිංචි 43 හැවිරිදි රනිල් කුමාර මහතා පැවසුවේ හඳපාන් ඇල්ල රක්‍ෂිතයෙන් අලියා ගම්වදින අලිමංකඩ දෙකට විදුලි වැටක් යොදා අලි ගම්වැද පීඩාවට පත්වන රජවත්ත හෝ මානික්කවත්ත යන ගමක වනජීවි කාර්යාලයක් ස්ථාපිත කර සේවකයන් යෙදවීම සුදුසම විසඳුම බවයි. එසේ නොමැතිව කුඩා ඉඩම් කොටසකට මේ අලි දෙදෙනා කොටු කිරීම ඵල රහිත දෙයක් බව ඔහු සමග වැඩිදෙනෙක් පිළිගනිති. අලියාට සංඥා කොළර් පටි පැලඳීමත් නිශ්ඵල බව සමහරුන්ගේ මතයයි. තව සමහරු පවසන්නේ සංඥා කොළරයක් පැලඳීම සුදුසු බවයි.
වසරේ මාස නවයක් සොයාගත නොහැකිව වනගත වෙන මේ අලි දෙදෙනාගේ ජීවිත ගැන දැන් ඇත්තේ දැඩි අවදානමකි. සිංහරාජයේ වල්ලාපට්ටා කපන මිනිසුන්ට අලියාගෙන් කරදරයක් නැති බව අලියා පන්නා දැමීමට පක්‍ෂ ජනතාව පෙන්වා දෙති. එහි ඇත්තක් ද ඇත. වල්ලාපට්ටා ජාවාරම්කරුවන් සිංහරාජයට යන්නේ අලියා උතුරු බෑවුමට නොඑන කාලයට බව වනසංරක්‍ෂණ නිලධාරීහු කියති.
අප කළ විමර්ශනයේ දී වැටහී ගියේ අලියා ඉවත් නොකර නිදැල්ලේ ඉන්නට හැරියොත් ඊළඟ අවුරුද්දේ මාර්තු අප්‍රේල් මාසවල උන් ආපසු ගමට නොඑනු ඇති බවයි. 2012 සිට 2015 වසර දක්වා ගම්වැදුණු මේ අලි දෙදෙනාගෙන් එකදු මිනිස් ජීවිතයකට හෝ හානි වී නැති බව වනජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන සහ තොරතුරු අනුව පෙනීයයි. 2016දී එක් මිනිස් ජීවිතයකුත්, 2017 දී මිනිස් ජීවිත දෙකකුත්, 2018 දී එක් මිනිස් ජීවිතයකුත් අලින්ගේ ගොදුරු බවට පත්ව තිබේ.
මේ ජුනි අගයි. වෙනත් වසරවල මේ වනවිට අලි දෙදෙනා මේ ප්‍රදේශවලින් පිටමංවී අවසන්ය. අලියා දැන් අල්ලා ගන්නට උවමනා නම් අලියාගේ ගමන් මග ඔස්සේ ඉදිරියට ගොස් අවහිර කළ යුතුය. වෙඩිදමා ගම පැත්තට එළවා ගත යුතුය.
තෙත් කලාපයේ වැසි වනාන්තර අතරින් මේ අලි දෙදෙනාට සුදුසු ලෝක උරුම රක්‍ෂිතයක් වූ ශ්‍රීපාද රක්‍ෂිතයයි. ශ්‍රීපාද රක්‍ෂිතයේ ද අලි තිහක් හතළික් නිරීක්‍ෂණය වෙන බව වනජීවී දෙපාර්තමේන්තු කියයි. අප්‍රිකාවේ මෙන් විශාල කූඩුවකට අලි කොටුකර ගුවන් මගින් ශ්‍රීපාද රක්‍ෂිතයේ ඉහළ තැනිතලා ප්‍රදේශයකට රැගෙන ගොස් දැමීම එක් විකල්පයකි.
එසේ නැත්නම් හඳපාන් ඇල්ල රක්‍ෂිතයෙන් අලි එන මංකඩ දෙකට විදුලි වැටක් සකසා ගමන් මග අවහිර කිරීම අනික් විකල්පයයි. නමුත් මෙවැනි තීරණ ගතයුත්තේ හුදු ගැලරිය සතුටු කිරීමට නොව ඒ සම්බන්‍ධ විශේෂඥ දැනුම ඇති අයගේ උපදෙස් ලබාගෙනය. විසිල්පාරකට අත්පුඩියකට රැවටී ගෙනෙන විසඳුම්වලින් සිදුවන්නේ ජාතික ධනය අපතේ ගොස් මිනිස් ජීවිතත්, වන සතුන්ගේ ජීවිතත් වැනසී යාමයි.
මෙම ලිපිය සැකසීමේ දී සහාය දුන් උපුල් තලපිටිය මහතාටත් වනජීවී ප්‍රධාන කාර්යාලයට, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට, පොල් සංවර්ධන මණ්ඩලයට විශේෂ ස්තුතිය පුදකරන්නෙමු.
සටහන - ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය සහ
දාපනේ ජයන්ත නානායක්කාර