අලුත් බද්දෙන් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ලොකු අලාභයක්


 

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසු  ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් සේවක අර්ථ සාධක අරමුදල :ෑඡත්‍* පිහිටුවූයේ 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත මගිනි. මේ පනතෙහි සඳහන් වන පරිදි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ගේ  සමාජ ආරක්ෂණය සහතික කිරීම මේ අරමුදල පිහිටුවීමෙහි මූලික පරමාර්ථය වේ. මෙම අරමුදල ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවතින අතර අරමුදල කළමනාකරණය කිරීම, සාමාජික ගිණුම් පවත්වා ගෙන යෑම, අරමුදල සතු මුදල් භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත්වල මෙන්ම වෙනත් තැන්වල ආයෝජනය කළ යුතු ආකාරය පිළිබඳ තීන්දු තීරණ ගැනීම ආදී කර්තව්‍යයන් රැසක් ඉටුකිරීමට අදාළ බලතල පනත මගින් මුදල් මණ්ඩලයට පවරා තිබේ.


මෙම අරමුදල සතු මුළු මුදල් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 1.3 ක් වන අතර එය මෙරටෙහි ඇති විශාලතම අරමුදලද වේ. දායකත්ව ගිණුම් ප්‍රමාණය ලක්ෂ විසි පහක් පමණ වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීන්දු තීරණ අනුව මේ අරමුදල සතු මුදල් භාණ්ඩාගාර බිල්පත්,  බැඳුම්කර, කොටස් වෙළෙඳපොළ යනාදියෙහි ආයෝජනය කෙරෙන අතර එලෙස ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභීන් අතර වාර්ෂික පොලී ආදායම හැටියට බෙදා දීම සිදුවේ.


සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි කතාබහක් මතුවූයේ ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී එම අරමුදලට සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අලාභයක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය. 2015 පෙබරවාරි 27 දින පැවැති මහබැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පචුවෙල් ටේ‍රෂරීස් නැමැති ආයතනය බැඳුම්කර මිලදී ගැනීමට අදාළව අනුගමනය කළ ක්‍රියාමාර්ගය නිසා මේ පාඩුව සිදුව ඇති බව කියවිණි. සේවක අර්ථ සාධක අරමුදලෙහි මුදල් යොදවා බැඳුම්කර මිලදී ගැනීමට එම සමාගම කටයුතු කර තිබීම හේතුවෙන් අරමුදලට සිදුවූ පාඩුව සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යාත්මක අගයයන් ඉදිරිපත් වූ අතර එම අලාභය අඛණ්ඩව වැඩිවෙමින් තිබෙන බවද පැවසේ.


 අර්ථ සාධක අරමුදල සම්බන්ධව මතුවූ මේ ප්‍රශ්නයට අමතරව දැන් තවත් අලුත් කතාබහක් නිර්මාණය වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මගින්  මුල්වරට ඒ ගැන අනාවරණය කළ අතර එයින් කියැවුණේ අර්ථ සාධක අරමුදල සතු මුදල් ආයෝජනය කිරීමේදී ඒ මත සියයට දාහතරක බද්දක් පැනවීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවය. ඒ මගින් ප්‍රතිලාභීන්ගේ මුදල් කොල්ලකෑමට ආණ්ඩුව සූදානම් වන බවටද ජවිපෙ චෝදනා කරයි. විශේෂයෙන්ම මේ අරමුදලෙහි මුදල් භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කොටස් වෙළෙඳපොළ යනාදියෙහි ආයෝජනය කිරීම මගින් ලැබෙන ආදායම අර්ථ සාධක ගිණුම් හිමියන්ගේ  වාර්ෂික පොලී ආදායම හැටියට ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීම සිදුවූ අතර රජයෙන් මේ නව බද්ද ක්‍රියාත්මක කිරීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ අර්ථ සාධක ගිණුම් හිමියාට ලැබෙන පොලී ආදායමෙන් සියයට දාහතරක් අසාධාරණ ආකාරයට අයකර ගැනීමට යැයිද එම පක්ෂය පවසයි. අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් “ඉරිදා ලංකාදීප” ය වෙත මෙසේ සිය අදහස් එක් කළේය.


මේ ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල එකවතාවක් බැඳුම්කර වංචාව හරහා කොල්ල කෑවා. දැන් ඒකෙ දෙවනි වටය හැටියට මේ අරමුදලට බද්ධක් ගහලා තියෙනවා. මේ වෙනකොටත් අර්ථ සාධක අරමුදලට රඳවා ගැනීමේ සීයට දහයක බද්ධක් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් මේක අයකරන්නේ නැතුව ගිණුම්වලින් නිදහස් කරලා යවනවා. මේ ආණ්ඩුව ඒ රඳවා ගැනීමේ බද්ද :උසඑය ඉදකාසබට ඒං* සීයට දාහතර කරලා තියෙනවා. ඊට අමතරව ආයෝජන ආදායම් මත තවත් සීයට දාහතරක අලුත් බද්දක් පනවලා තියෙනවා. මේ වෙනකොට සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රමාණය රුපියල් බිලියන 1700 යි. කෝටි එක්ලක්ෂ හැත්තෑදාහයි.

මේකෙන් සීයට දහයක් අයකර ගත්තොත් කෝටි 17000 ක වාර්ෂික ආයෝජන ආදායමක් ආණ්ඩුවට එනවා. එතකොට මේ අරමුදලෙ මුදල් ආයෝජනයේදී සීයට දාහතරක බද්දක් ගහනවා කියන්නේ බිලියන 28 ක්. මේ අරමුදල මත පනවලා තියෙන රඳවා ගැනීමේ බද්ද අනුව සාමාන්‍යයෙන් අවුරුද්දකට රුපියල් බිලියන 50යි 75යි අතර මුදලක් නිදහස් වෙනවා. දැන් වෙන්නෙ මේ මුදලින් සීයට දාහතරක් රඳවා ගැනීමේ බදු හැටියට කපන්න හදන එක. ඒ අනුව මේ රඳවා ගැනීමේ බද්ද සීයට දාහතර කරපු එකෙනුයි අලුතින් පනවලා තියෙන ඊ.පී.එෆ්. මුදල් ආයෝජනය මත පනවන සීයට දාහතරෙ බද්දෙනුයි අර්ථ සාධක අරමුදලෙ සාමාජිකයින්ට බරපතළ අලාභයක් වෙනවා. මේක වැරදි ප්‍රතිපත්තියක්. මොකද සේවකයන්ගෙ මුදල් සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නෙ ආණ්ඩුව. එහෙම කරන ගමන් මේ රඳවා ගැනීමේ බද්දයි,  ආයෝජනය මත අය කරන බද්දයි නිසා සීයට විසි අටක  බද්දක් සේවකයන්ගෙන් අය කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඒ නිසා මේක වහාම නැවැත්විය යුතුයි. අන්තර් සමාගම් සේවක සංගමය හැටියට අපි මේ අරමුදල රැක ගැනීම සඳහා කටයුතු කරනවා. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලෙදි පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ගේනවා කියලා ප්‍රෝඩාකාරී යෝජනාවක් ගෙනල්ලා මේ අරමුදලෙ මුදල් කොටස් වෙළෙඳපොළ හරහා කොල්ලකන්න උත්සාහ ගත්ත වෙලාවෙදි අපි ඒකට ඉඩ දුන්නෙ නෑ වගේම මේ රනිල් මෛත්‍රි හවුල බදු ගහලා මේ අරමුදල කොල්ලකන්න උත්සාහ කරනවා නම් අපි ඒකටත් කිසි ඉඩක් දෙන්නෙ නෑ. මේ අසාධාරණ බදු ගැහිල්ලට එරෙහිව වැඩ බිම් මට්ටමින් සේවකයන් දැනුම්වත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. අපි සියලු වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුවේ මේ කොල්ලකෑමට එරෙහිව අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා වගේම ඒ සඳහා මෙවර මැයි දිනේ පාවිච්චි කරන්න කියලා. 


මේ වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් අදාළ රඳවා ගැනීමේ බද්ද සියයට දහයේ සිට දාහතර දක්වා ඉහළ නැංවීමට යෝජනා කළ නමුත් එය මෙතෙක් ක්‍රියාත්මකභාවයට පත්ව නැති බව අප මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී දැනගන්නට ලැබුණු අතර එහිදී අප සමඟ අදහස් දැක්වීමට එක්වූ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ සමහර වෘත්තීය සමිති කියන පරිදි සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් ආයෝජනය කරන විට ඒ මත අලුතින් සියයට දාහතරක බද්දක් පැනවීමට රජය යෝජනා කර නැති බවත් එවැන්නක් සම්බන්ධයෙන් අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කර නැති බවත් සිදුව ඇත්තේ දැනට අය කරන සියයට දහයක් වූ රඳවා ගැනීමේ බද්ද සියයට දාහතර දක්වා ඉහළ නැංවීමට පසුගිය අයවැයෙන් යෝජනා කර තිබීම පමණක් බවත්ය. එයද මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අදාළ පියවරගෙන නැතැයිද එම ප්‍රකාශකයා පැවසීය.


අප මේ සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථ සාධක අරමුදල් අංශයේ කම්කරු කොමසාරිස් වීරකෝන් මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා ප්‍රකාශ කළේ රඳවා ගැනීමේ බද්ද සියයට දහයේ සිට දාහතර දක්වා ඉහළ නැංවීමේ අයවැය යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස මෙතෙක් දැනුම් දීමක් කර නැති බවය.

 උපුල් වික්‍රමසිංහ