විවිධ ඉල්ලීම් මත ඇමැති මණ්ඩල සංශෝධනය සිදුවිය. ඒ අනුව ඇමැතිවරු 10 දෙනකුට අමාත්‍යාංශ මාරුවීම් හා පැවැති අමාත්‍යාංශවලට තවත් අමාත්‍යාංශ එකතුවීම් සිදුවිය. ඒ අනුව අලුත් අමාත්‍යාංශ තුනක් පිහිටුවීම ඇතුළුව සිදුකළ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය නිසා රජයට ඔවුන් වෙනුවෙන් කෝටි 10කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බව වාර්තාවේ. සංවර්ධන අමාත්‍යාංශය උඩරට සංවර්ධන හා සබරගමුව සංවර්ධන වශයෙන් අලුතෙන් අමාත්‍යාංශ තුනක් පිහිටුවා ඇත. මේ අමාත්‍යාංශ තුන පවත්වාගෙන යාමට ගොඩනැගිලි අවශ්‍යවේ. කොළඹ හා අවට ප්‍රදේශයකින් අමාත්‍යාංශයක් සඳහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට අඩුම වශයෙන් කෝටියකට ආසන්න මුදලක් කුලිය ලෙස ගෙවීමට සිදුවනු ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියෙන් ලබාගෙන ඇති පාවිච්චි නොකරන ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් කෝටි 2කි. එම ගොඩනැගිල්ලට අත්තිකාරම් වශයෙන් කෝටි 25ක් ගෙවා ඇත. අමාත්‍යාංශයේ උපකරණ සැපයීම සඳහා වූ මුදල කෝටි 14කි. වසර 5ක කාලයකට මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇති අතර තුන්වන වසරේ සිට කුලිය සියයට 15කින් වැඩිවනු ඇත.
තවත් මෙහි විශේෂත්වය වර්ෂ 2016 අප්‍රේල් මාසයේ සිට මෙම ගොඩනැගිල්ල පාවිච්චියට ගෙන නැතත් කෝටි 2කට වැඩි මුදලක් කුලිය වශයෙන් ගෙවීමයි. කෘෂිකර්ම අමාත්‍යාංශය දැනටත් පවත්වාගෙන යන අතර එහි ඇති උපකරණ හා අනෙකුත් පහසුකම්වල මෙතෙක් කිසිදු වෙනසක් සිදුවී නැත. එසේ තිබියදී අලුත් ගොඩනැගිල්ලට උපකරණ මිලදී ගැනීමට රුපියල් කෝටි 14ක් වැයවෙයි.
එසේ නම් අලුත් අමාත්‍යාංශ සඳහා කොතරම් මුදලක් වැයවේදැයි මෙතෙක් නිශ්චය කර නැත. සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ නම් නව අමාත්‍යාංශ සඳහා අති විශාල මුදලක් වැය නොකරන බවයි.
අලුත් අමාත්‍යාංශ සඳහා ගොඩනැගිලි ලබා ගැනීමට අමතරව කාර්ය මණ්ඩල පත් කිරීම, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම යටතේ ලී බඩු පරිගණක කබඞ් ලිපි ගොනු ඇතුළු කාර්යාලයීය උපකරණ වාහන ඉන්ධන විදුලිබිල ජල බිල දුරකථන ආදියට අමතරව ඇමැතිවරුන්ගේ වැඩභාර ගැනීමේ උත්සව සඳහා මෙම මුදල වැය වන බව විශ්වාස කරයි.
ගංවතුර හා නායයාම් නිසා හානියට පත් ජනතාව වෙනුවෙන් ගණන් බැලිය නොහැකි අති විශාල මුදලක් වැය කිරීමට හදිසියේම සිදුවී ඇත. ඒ අතරතුර අමාත්‍යාංශ සංශෝධනය හරහා අමතර මුදලක් වැය කිරීමටද රජයට සිදුවී ඇත. එහෙත් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශයකින් ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සරල කටයුත්තක් නොවනු ඇත. රජයට හෝ අමාත්‍යාංශයක ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සඳහා අඩුම වශයෙන් මාසයකට ලක්ෂ 10ක මුදලක්වත් ගෙවීමට සිදුවෙයි.
මීට අමතරව අලුත් අමාත්‍යාංශ සඳහා වාහන අවශ්‍යවේ. වර්ෂ 2016දී ඇමැතිවරුනට වාහන ලබාදීම සඳහා කෝටි 1670ක මුදලක් වැය කර තිබිණි. මේ වසරේ මාර්තු මාසය වනවිට කෝටි 50ක් ඇමැති වාහන වෙනුවෙන් ලබාගෙන තිබිණි. මැති ඇමැතිවරු 92කට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමෙන් රජයට බිලියන 7 ක බදු අහිමිවී තිබිණි.
වාහන සඳහා එතරම් මුදලක් වැයකර තිබියදී අලුත් අමාත්‍යාංශවලට මයික්‍රෝ වර්ගයේ වාහන පාවිච්චියට ගනීවි යැයි විශ්වාස කළ නොහැකි තරම්ය. යම් අමාත්‍යාංශයක් ලක්ෂ 150ක් වටිනා වාහන පාවිච්චි කරන්නේ නම් තවත් අමාත්‍යාංශයකට ලක්ෂ 200ක වටිනාකම ඇති වාහන ගැනීමට සිදුවේ. වැඩිදෙනාගේ මානසිකත්වය පවතින්නේ ඒ ආකාරයට නොවේ යැයි කාට නම් කිව හැකිද?
මෙහිදී අලුත් ඇමැතිවරු වැඩ භාර ගැනීමේ උත්සව ගැනද සඳහන් කළ යුතුව ඇත. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා වැඩ භාර ගැනීම වෙනුවෙන් කිසිදු උත්සවයක් පවත්වා නැත. එහෙත් තවත් ඇමැතිවරයකු සිය වැඩ භාර ගැනීමේ උත්සවය ජයටම පවත්වා ඇත. ජයට පැවැත්වූ වැඩ භාර ගැනීමේ උත්සවය සඳහා දළ වශයෙන් ලක්ෂ 40ක මුදලක් වැය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එම අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් පැවැති දිවා භෝජන සංග්‍රහයට 600ක පමණ පිරිසක් සහභාගිවී ඇති අතර ඇමැතිවරයාගේ හිත මිතුරන් හා පාක්ෂිකයන් ඒ සඳහා සහභාගිවී සිටි බව දැන ගන්නට ඇත.
ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා මහවැලි රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමේ උත්සවයද වැඩි මුදලක් වැය නොකර පවත්වා ඇත. වැඩ භාර ගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ සියලු කටයුතු ඇමැතිවරයා විසින් අවලංගු කරනු ලැබ තිබේ.
ඇමැති සංශෝධනයත් සමඟ ඇමැතිවරුන්ගේ නිල කාමර වෙනස් කිරීමටද මුදල් වැය කෙරෙන අවස්ථා වාර්තාවේ. ඇතැම් කාර්යාල පිහිටි මහල්, ඇමැතිවරයාට අවශ්‍ය පරිදි වෙනස් කිරීමද සිදුවෙති. ඒ ආකාරයට අලුත් අමාත්‍යංශයක තුන්වැනි මහලේ පිහිටි කාර්යාලයත් හතරවැනි මහලට ගෙන යාමට තීන්දුකර ඇති බව කියති. මෙවැනි තීරණ නිසා නිලධාරීන්ට හා සේවකයන්ට අතිකාල ගෙවීමද සිදුවේ. රාජකාරි කාලය ගත කිරීමට සිදුවේ. විදුලි බිල, ජල බිල ගෙවීමට සිදුවේ.
අමාත්‍යාංශවල නම් වෙනස්වීමට අදාළව දැන්වීම් පුවරු සකස් කිරීමට සිදුවනු ඇත. එම නම් ඇතුළත් කර මහා පරිමානයේ නාම පුවරු සකස් කිරීම සඳහාද ලක්ෂ ගණනින් මුදල් වියදම් කිරීමට සිදුවනු ඇත.
දයාසීලි ලියනගේ