(ලුසිත ජයමාන්න)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් මහත්මියට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි ලෝක ජනමාධ්‍ය වාර්තා කරයි. චීනයෙන් ඇරැඹුණු, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකාව පත් වී ඇත්තේ වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වීමත් සමඟය. පසුගිය පළමු වැනිදා වනවිට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 7,494,600 ක් ලෙස සටහන් විය.
ට්‍රම්ප් සහ මෙලානියා කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම ලෝකය කැළඹූ පුවතක් විය. ඇමෙරිකාවේ කොරෝනා ඔඩුදුවන්න වූයේ ට්‍රම්ප් වයිරසය අවතක්සේරු කළ නිසා යැයි දිගින් දිගටම චෝදනා කරන බොහෝ දෙනකුට, විශේෂයෙන් ඩිමොක්රටික් පාක්ෂිකයන්ට අස්වැසිල්ලක් වූ බව නොඅනුමානය. ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේ ඇමෙරිකාවේ ආසාදිතයන් වැඩි වී ලොව අංක එක ස්ථානයට පත් වීම ගැන සතුටු විය යුතු බවය. ට්‍රම්ප් එසේ කීවේ, ආසාදිතයන් සොයා දිනකට ලක්ෂ ගණනින් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම ගැන සෞඛ්‍ය අංශ වෙත ප්‍රශංසා කරමිනි.
ට්‍රම්ප් සහ මෙලානියා කොරෝනා ආසාදිතයන් යැයි සැක කරමින් ඔවුන් දෙදෙනා ධවල මන්දිරයේ නිරෝධායනයට ලක් කර, වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ, ට්‍රම්ප්ගේ සමීපතම උපදේශිකාවක වන හෝප් හික්ස් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුවය. ට්‍රම්ප්ට උපදේශක උපදේශිකාවෝ බොහෝ දෙනෙක් වෙති. ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඩ් පවා උපදේශකවරුන් ලෙස සේවය ලබා දෙති. ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එලැඹෙන නොවැම්බර් 3 වැනිදාය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වීමට නියමිතය. ජනාධිපතිවරණයේ දී ප්‍රතිවාදියා ලෙස ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් ෙවන්නේ ජෝ බයිඩන් ය. ජනාධිපතිවරණයට පෙර, සජීවී රූපවාහිනී විවාද තුනක් පැවැත්වෙන අතර එහි පළමු වැන්න ගාලගෝට්ටි මැද පසුගිය 30 වැනිදා පැවැත්විණි.
ට්‍රම්ප් සහ මෙලානියා සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන් ඔහියෝ ජනපදයේ ක්ලීව්ලන්ඩ් නුවර පැවැති එම විවාදයට සහභාගි වූ අවස්ථාවේ දී, 31 හැවිරිදි හෝප් හික්ස් ද ට්‍රම්ප් යුවල සමඟ එක් වූවාය. ගුවන් ගමනේ දී කිසිවකු මුහුණු ආවරණ පැළඳ සිටියේ නැතැයි ද පැවැසෙයි. සජීවී විවාදයට සහභාගි වූ බොහෝ දෙනකු (ඩිමොක්රටික් පාක්ෂිකයන් හැර) මුහුණු ආවරණ පැළඳ සිටියේ නැත. විවාදයට ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයන් සහභාගි වූ අතර ඔවුන් කිසිවකු ද මුහුණු ආවරණ පැළඳ සිටියේ නැත. ආරම්භයේ දී මුහුණු ආවරණ පැළඳීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළත්, පසුව සෞඛ්‍ය උපදෙස්වලට කන් දෙමින්, මුහුණු ආවරණ පළඳින්නැයි ඇමෙරිකන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් මුහුණු ආවරණ පළඳින්නැයි තමන් බල නොකරන බව ට්‍රම්ප් පැවැසුවේය.
සජීවී විවාදය අතරතුරේ කොරෝනා වසංගතය ප්‍රධාන මාර්තෘකාවක් වූ අතර, ට්‍රම්ප් වයිරසයේ බිහිසුණු ස්වරූපය දැන සිටියත්, එය ඇමෙරිකානුවන්ගෙන් වසන් කළ බවටත් සෞඛ්‍ය උපදෙස් පිළිනොගත් බවටත් බයිඩන්, ට්‍රම්ප්ට දොස් නැගුවේය. අද ඇමෙරිකාවේ සෑම නිවසකම එක් අයකු කොරෝනා වයිරසයට බිලි වී ඇති බවත් ඊට ට්‍රම්ප් වගකිව යුතු බවටත් ජෝ බයිඩන් දොස් නැගුවේය. කොරෝනා සම්බන්ධයෙන් බයිඩන්ගේ ආකල්ප මුළුමනින්ම වෙනස්ය. ඔහු පවසන්නේ, ඔහු ජනපති ධුරයට පත්වුවහොත් මුහුණු ආවරණ අනිවාර්ය කරන බවත් මුහුණු ආවරණ නොමැති නම් දඩ මුදල් අය කිරීමට පියවර ගන්නා බවත්ය.
කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ ගැටලු රැසක් මතුවෙයි. ජනාධිපතිවරණයට ඇත්තේ මාසයකට අඩු කාලයකි. දෙවැනි සහ තෙවැනි රූපවාහිනී විවාදවලට සහභාගි වීමට ට්‍රම්ප්ට නොහැකි වෙයි. ජන රැලිවලට සහභාගි වීමට නොහැකි වෙයි. එය ට්‍රම්ප්ට අවාසියක් වනු ඇත. ට්‍රම්ප්ටත් මෙලානියාටත් නිරෝධායනයේ රැඳී සිටීමට සිදුවනු ඇත. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ට්‍රම්ප් සහ මෙලානියා යුවල ගැන පැය 24 පුරා සෝදිසියෙන් පසුවනු ඇති බව ධවල මන්දිරය පවසයි. ට්‍රම්ප්ගේ වයස අවුරුදු 74 කි. මෙලානියාගේ වයස අවුරුදු 50 කි. ඇමෙරිකාවේ කොරෝනා වයිරසයට බිලිවුණු බොහෝ දෙනෙක් අවුරුදු 65 ට වැඩි වැඩිහිටියෝය. දැනට කිසිදු සංකූලතාවක් නොපෙන්නුවත්, වෛද්‍යවරුන් ට්‍රම්ප් ගැන පැය 24 පුරා විමසිල්ලෙන් පසුවන්නේ එබැවිනි. මේ අතර, ඔහියෝ ජනපදයේ ක්ලීව්ලන්ඩ් නුවර පැවැත්වුණු විවාදයට සහභාගි වූ ජෝ බයිඩන්, ඔහුගේ බිරිඳ ජිල් ඇතුළු සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ පවසා තිබේ. ජෝ බයිඩන් සහ ජිල් බයිඩන් යුවල මුහුණු ආවරණය කරගෙන විවාදයට සහභාගි වූහ. ජෝ බයිඩන් මුහුණු ආවරණය ඉවත් කළේ ට්‍රම්ප් සමඟ වාද කරද්දී පමණක් යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.
ඇමෙරිකාවේ කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වෙද්දී, ඇමෙරිකන් වෛද්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් උපදෙස් නොකතා, කොරෝනා වයිරසයෙන් බේරීමට ට්‍රම්ප් පෙත්තක් දිනපතා පානය කළේය. ඒ, හයිඩ්රොක්සි ක්ලෝරෝක්වීන් නමැති මැලේරියා නාශක පෙත්ත ය. මෙය අතුරු ආබාධ බහුල ඖෂධයක් බවත්, වෛද්‍ය අධීක්ෂණය යටතේ භාවිතයට නොගන්නා ලෙසත් ඇමෙරිකන් වෛද්‍යවරු ඇමෙරිකන් වැසියන්ට අනතුරු අඟවා ඇත. ට්‍රම්ප් අනුගමනය කරමින් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝද හයිඩ්රොක්සි ක්ලෝරෝක්වීන් දිනපතා පානය කළේය. එසේ වුවත් ඔහුටත් ඔහුගේ බිරිඳටත් කොරෝනා ආසාදනය විය. ඒ, මීට සති කීපයකට පෙරය.
ට්‍රම්ප් සහ මෙලානියා කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වීමත් සමඟ වෛද්‍ය උපදෙස් නොකතා ට්‍රම්ප් දිගින් දිගටම නිර්දේශ කළ හයිඩ්රොක්සි ක්ලෝරෝක්වීන් ඖෂධයට කොරෝනා මර්දනය කළ නොහැකි බව දැන් තහවුරු වී අවසන්ය. කෙරෝනා වයිරසයට එරෙහිව මෙතෙක් කිසිදු සාර්ථක එන්නතක් නිපදවා නැත. රුසියාවත් චීනයත් ඔවුන් විසින් නිපදවනු ලැබූ එන්නත් ජනතාවට ලබා දීම සිදු කරයි. ඒ, සායනික අත්හදා බැලීම් සිදු කරන අතරතුරේදීය. ඇමෙරිකන් ජනපති මැදිහත් වී, එරට වෛද්‍ය පර්යේෂකයන් සහ ඖෂධ සමාගම් එක් වී එන්නත් කීපයක් අවසන් අත්හදා බැලීම්වලට යොමු කර තිබේ. ට්‍රම්ප් පොරොන්දු වී ඇත්තේ ජනාධිපතිවරණයට පෙර එන්නතක් ඇමෙරිකානුවන්ට ලබා දෙන බවටය. කෙසේ නමුත් ඖෂධ සමාගම් දිගින් දිගටම පවසා ඇත්තේ සාර්ථක එන්නතක් ලබා දීමට හැකිවනු ඇත්තේ 2021 වසරේ දී බවය.