ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය, රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇත. කඩදාසි සහ මුද්‍රණ තීන්ත හිඟය හේතුවෙන් පාසල් විභාග අවලංගු වීමේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉන්ධන පිරවුම්හල්වල රැඳී සිටියදී මිය යන තත්ත්වය දක්වා දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් පවතී.
රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් විශේෂයෙන්ම තරුණයින් ශ්‍රී ලංකාව තුළ පවතින ජීවන මට්ටම උසස් කරගැනීමට අවශ්‍ය අවස්ථා පිළිබඳව සෑහීමකට පත් නොවී ඇති බව නොරහසකි. ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමක් දක්වා ඉහළ යාම සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය පිළිබඳ ජනතාවගේ කෝපාවිෂ්ඨ පැමිණිලිවලින් සමාජ මාධ්‍ය පිරී තිබේ. පසුගිය මාසය පුරාවට බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දක්නට ලැබුණු දිගු පෝලිම් කියා සිටියේ මහජන සිත්සතන්හි තම උපන් රට කෙරෙහි නිර්මාණය වී ඇති කලකිරීමයි.
මේ අතර එය සනාථ කරමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ මේ සතියේ වාර්තා කළේ, තමිල්නාඩුවේ රාමේෂ්වරම් වෙරළට ඔබ්බෙන් වූ දූපතක අතරමංව සිටි ළමුන් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගෙන ඇති බවත්, ඔවුන් තම මව්බිමෙන් පලා ගොස් ඇත්තේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බවත්ය.
එම පුවත්පත් වාර්තාවට අනුව, සරණාගතයින් පවසා සිටියේ තමන්ට ශ්‍රී ලංකාවේ ආහාර සපයා ගැනීමට අපහසු වී ඇති බවත් තමුන් බෝට්ටුකරුවෙකුට රු. 50,000ක මුදලක් දී ඉන්දියාවට යාත්‍රා කළ බවත්ය. එමෙන්ම තමුන් වැනි බොහෝ පිරිසක් ඉන්දියාවට පවා සංක්‍රමණය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔවුන් පවසා ඇත.
රැකියාව හෝ අධ්‍යාපනය සඳහා විදේශ සංක්‍රමණය ශ්‍රී ලංකාවේ තරුණයින් සඳහා ජනප්‍රිය විකල්පයක් වුවත් ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ 2019 වසරේ පමණක් වයස අවුරුදු 25-29 අතර වයස් කාණ්ඩවල පුහුණු, අර්ධ පුහුණු සහ නුපුහුණු රැකියා සඳහා වැඩිම විදේශගතවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මෙම වයස් කාණ්ඩය වෘත්තීය, මධ්‍යම සහ ලිපිකරු මට්ටමේ රැකියා සඳහා දෙවන ඉහළම පිටවීම් සංඛ්‍යාව ද වාර්තා කර ඇත.
මේ වනවිට ශ්‍රී ලාංකික තරුණ ජනගහනය අතර, ස්ථිර පදිංචිය (PR) ලබා ගැනීම සඳහා විශේෂයෙන් කැනඩාව සහ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ආගමන හා විගමන දෙපාර්තමේනතුව හඳුනාගෙන ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (නීති) සහ තොරතුරු නිලධාරී මිලින්ද කුමාරසිංහ මහතා පැවසුවේ, මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා නව විදේශ ගමන් බලපත්‍ර 161,394ක් නිකුත් කර ඇති බවයි. 2021 වසර පුරාවට නිකුත් කර ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර 382,527ක් පමණි.
උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා සංක්‍රමණය වීමට අදහස් කරන ශ්‍රී ලාංකික තරුණයින් කිහිප දෙනෙකු සමඟ අපි කතා කළෙමු. පවතින තත්ත්වය තුළ ලංකාවෙන් වෙනත් රටක් කරා යාමට ඇති ඉඩකඩ පවා ක්‍රමානුකුලව ඇහිරෙමින් පවතින බව මේ සියලු දෙනාගේ අදහසයි. බැංකු ඩොලර් නිකුත් නොකරනු ඇතැයි ඔවුහු බිය වෙති. ඉහළ යන උද්ධමන අනුපාතය අනුව විදේශයන්හි උසස් අධ්‍යාපනය සඳහා මුදල් ගෙවන්නේ කෙසේදැයි ඔවුහු බිය වෙති.
“අපි ඉන්නේ ලොකු අවිනිශ්චිතභාවයක් එක්ක. මේ ආර්ථික අර්බුදය ඇතුළේ මොකක් කරන්නද කියල හිතාගන්න බැහැ. සංක්‍රමණය වීමට පුළුවන් වුණත් අපේ ඉතිරි කිරීම් අපට ඒ රටට අරන් යද්දී එම මුදල් වල වටිනාකම ඉතා ශීඝ්‍ර ලෙස අඩු වෙනවා,” පිළියන්දල පදිංචි වයස අවුරුදු 29ක් වන දිදුල ගුණසේකර කියා සිටියේ එවන් කතාවකි. දිදුල සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කිරීම සඳහා කැනඩාවට සංක්‍රමණය වීමට සැලසුම් කරයි.
ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකා ආර්ථිකයට උපකාර වී ඇති ආකාරය
රැකියා නියුක්තිය සඳහා විදේශගත වීමෙන් ප්‍රතිලාභ ලබන ලොව ඇති බොහෝ රටවල් අතර ශ්‍රී ලංකාවද එකකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්තම ශක්තියක් සහ විදේශ විනිමය රටට ලබා දෙමින් ජාතික ආර්ථිකයේ තීරණාත්මක කොටසකට හිමිකම් කියන්නේ විගමනික ශ්‍රමිකයින්ය. වෙළඳ සහ ප්‍රාථමික ආදායම් ගිණුම්වල හිඟයෙන් පැනනැගුණු ජංගම ගිණුම් හිඟයට එරෙහිව කම්කරුවන්ගේ ප්‍රේෂණ දිගු කලක් තිස්සේ රටේ ආර්ථීකයට අතිමහත් ලෙස රුකුලක් වී ඇත.
පසුගිය දශක දෙක තුළ, වාර්ෂික ශ්‍රමික ප්‍රේෂණ බාහිර ජංගම ගිණුමට ලැබෙන මුළු බැරවලින් හතරෙන් එකක් පමණ නියෝජනය කර ඇත.
වෙෙළඳ හිඟයට මූල්‍ය සම්පාදනය කිරීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවක ප්‍රේෂණ පසුගිය දශක දෙක තුළ සාමාන්‍යයෙන් වාර්ෂික වෙෙළඳ හිඟයෙන් සියයට 80 ක් පමණ ආවරණය කර ඇති අතර ප්‍රේෂණ ගලා ඒම 2020 දී වෙෙළඳ හිඟය ඉක්මවා ගොස් වෙෙළඳාමෙන් සියයට 118 ක් පමණ වී ඇත. 2020 දී, ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩිවීම සංචාරක ඉපැයීම්වල තියුණු පහත වැටීමේ බලපෑම අවම කිරීමට පවා උපකාරී විය.
බොරදියේ මසුන් ඇල්ලීම
ශ්‍රී ලාංකිකයන්ගේ මෙම සංක්‍රමණ අපේක්ෂාව තුළින් ප්‍රයෝජන ගන්නා බොහෝ වංචනික ආයතන සහ පුද්ගලයෝ සිටිති. රාජ්‍ය දෙපාර්තමේන්තු සහ කාර්යාංශ විසින් රැස් කරන ලද දත්ත වලට අනුව, Covid-19 වසංගතය හේතුවෙන් ඇති වූ විශාල මූල්‍ය දුෂ්කරතා සහ ඉහළ විරැකියාව ඇති අවස්ථාවන්හිදී, වංචනික රැකියා නියෝජිතායතන සහ විදේශ රැකියා අවස්ථා යෝජනා ක්‍රම පිළිබද පැමිණිලි රට තුළ ඉහළ ගොස් ඇත.
මෙය විශේෂයෙන්ම පසක් වන්නේ පශ්චාත්- Covid-19 තත්වයක් තුළ, පුරවැසියන් සංචරණ සීමා ඉවත් වීමෙන් පසුව ඔවුන්ගේ අධ්‍යාපන හෝ රැකියා සැලසුම් නැවත නංවා ගැනීමට උනන්දු වන විටය. එවැනි අවස්ථාවලදී, විශාල මුදලක් මහත් ආයාසයකින් තොරව ලබා ගැනීම සඳහා විදේශ රැකියා හෝ සංක්‍රමණ පිළිබඳ ව්‍යාජ පොරොන්දු දෙන වංචාකරුවන්ට ඔවුන් පහසුවෙන් ගොදුරු විය හැකිය. යුරෝපීය රටවල්වල සහ ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතන රැසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වටලනු ලැබ තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පැවසුවේ මෙවැනි ව්‍යාජ ආයතන බහුතරයක් රුමේනියාව, පෝලන්තය, ඉතාලිය, ජපානය වැනි රටවලට මිනිසුන් රැකියා සඳහා යැවීමට පොරොන්දු වී ඇති බවයි.
“යමෙකු රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වන්නේ නම්, මෙම ආයතන කාර්යාංශයෙහි ලියාපදිංචි වී ඇත්දැයි බලන්න සහ දුරකථන ඇතුළු හඬ පටිගත කිරීම් සහ සම්බන්ධතා තොරතුරු ලබා ගන්න. ඔබ කිරීමට අදහස් කරන ඕනෑම ගෙවීමකට අදාළ අංක ලබා ගන්න. මෙම නියෝජිතායතන නීත්‍යනුකූලද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔබට සෑමවිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් උපදෙස් ලබා ගත හැකියි”.
රන්දෙණිය මහතා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඕනෑම ගෙවීමක් කිරීමට පෙර, පැය 24 පුරා ක්‍රියාත්මක වන ‘1989’ අංකයට ඇමතීමෙන් මෙම ව්‍යාජ නියෝජිතායතන පිළිබඳව දැන ගැනීමට ජනතාවට අවස්ථාව තිබෙන බවයි.
ජාවාරම් සම්බන්ධයෙන් තානාපති කාර්යාල මගින් ශ්‍රී ලාංකිකයින්ට අනතුරු ඇඟවීම්
එක්සත් ජනපද “ග්‍රීන් කාඩ් ලොතරැයිය” ලෙස හඳුන්වමින් සිදු කරන අන්තර්ජාල වංචා පිළිබඳව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අනතුරු ඇඟවීය. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය දන්වා සිටියේ එක්සත් ජනපද රජය ග්‍රීන් කාඩ් ලොතරැයි ජයග්‍රාහකයින්ට විද්‍යුත් තැපෑලෙන් දැනුම් නොදෙන අතර මෙම ඊමේල්වල උපදෙස් මත ප්‍රතිචාර දැක්වීම හෝ මුදල් ගෙවීම් කිසිසේත්ම නොකළ යුතු බවයි.
තානාපති කාර්යාලය උපදෙස් දුන්නේ 'gov' වලින් අවසන් වන අන්තර්ජාල වෙබ් අඩවි පමණක් එක්සත් ජනපද රජයේ නිල වෙබ් අඩවි වන බවයි. ඔබට 'com', 'net' හෝ '.org' යනුවෙන් අවසන් වන ලිපිනයකින් විද්‍යුත් තැපෑලක් ලැබෙන්නේ නම්, එය එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිල විද්‍යුත් තැපෑලක් නොවේ.
ශ්‍රී ලංකා රජය විසින් අවසර නොලත් විවිධ වෙබ් අඩවි ඔවුන්ගේ අන්තර්ජාල ද්වාර හරහා විශාල සේවා ගාස්තුවක් අයකරමින් ශ්‍රී ලංකා වීසා බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස වීසා අපේක්ෂා කරන්නන් නොමග යවමින් සිටින බවට ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයද ශ්‍රී ලාංකිකයින්ට අනතුරු අඟවා තිබුණි.
නිල සහය ලබාදීමට හැකි සෑම අවස්ථාවකදීම සහය වීමට සියලු උත්සාහයන් ගන්නා බැවින් එවැනි වංචාවන් සම්බන්ධයෙන් සිදුවන පාඩු සම්බන්ධයෙන් එම රටවල රජයන් හෝ කොළඹ පිහිටි වීසා කාර්යාල වගකියනු නොලබන බවත් වගකීම දැරිය නොහැකි බවත් ඔවුහු යළි අවධාරණය කළහ.
ඔබ සැලකිලමත් විය යුතු කරුණු
• පැය 24 පුරා ක්‍රියාත්මක වන ‘1989‘ අංකයට ඇමතීමෙන් ව්‍යාජ නියෝජිතායතන පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ජනතාවට දැන ගැනීමට අවස්ථාව තිබේ.
• යම් මුදලකට වීසා ඉක්මනින් පිළියෙල කළ හැකි බව පවසන පුද්ගලයින්ට ඇහුම්කන් නොදෙන්න.
• විදේශයන්හි රැකියා හෝ අධ්‍යාපනය ලබා දීම සඳහා අන්තර්ජාලය හා පුවත්පත් හරහා ක්‍රියාත්මක වන දන්නා වංචා තිබේ. මේවා සාමාන්‍යයෙන් පිරිනමනු ලබන්නේ ‘සංක්‍රමණ නියෝජිතයන්’ යැයි කියා ගන්නා ව්‍යාපාර විසිනි. එවැනි සේවා සපයන ඕනෑම නියෝජිතයෙකු හෝ ව්‍යාපාරයක් සමඟ ගනුදෙනු කරන විට කරුණාකර ඔබ ඔවුන්ගේ තොරතුරු යළි යළිත් සත්‍යාපනය කිරීමට අමතක නොකරන්න.
• ඔබ කිසියම් ගෙවීමක් හෝ විධිවිධානයක් කිරීමට පෙර එම නියෝජිතයා හෝ ආයතනය අදාළ රජයට නීත්‍යානුකූලව අයදුම් කරන බවටද ඔබ තහවුරු කරගත යුතුය.
• වීසා හෝ වීසා ආශ්‍රිත සේවාවන් සඳහා ඔබ ගෙවන ඕනෑම මුදලකට නිල ලදුපතක් ලබා ගන්න.
මැද පෙරදිගට අමතරව නව ශ්‍රම වෙෙළඳපොළවල් ගවේෂණය කිරීම
තෙල් මිල වෙනස්වීම් සහ භූ දේශපාලනික ආතතීන් විසින් මෙහෙයවනු ලබන ආර්ථික අර්බුදවලට බොහෝ විට යටත් වන මැද පෙරදිග කලාපය මත යැපීමට වඩා සංක්‍රමණික කම්කරුවන් සඳහා විකල්ප ගමනාන්ත සෙවීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ විශාල වශයෙන් ප්‍රවාහණය වීම අවම කිරීම සඳහා නව ශ්‍රම වෙළෙඳපොළ ගවේෂණය කිරීම සහ සිංගප්පූරුව, ජපානය සහ යුරෝපීය රටවල් ඇතුළු අනෙකුත් දියුණු ආර්ථිකයන් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීම අත්‍යවශ්‍ය බවයි.
වෘත්තීය පුහුණුව තුළින් නිපුණතා සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමගාමීව උසස් තත්ත්වයේ පුහුණුවක් ලබා දීම තුළින් සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ කුසලතා ඉහළ නැංවීම ඉහළ සහ ස්ථාවර ඉපැයීම් සහිත රැකියා අවස්ථා සුරක්ෂිත කර ගැනීමට ප්‍රයෝජනවත් බව ද වාර්තාව පවසයි. මීට අමතරව, සංක්‍රමණික සේවකයින්ගේ භාෂා ප්‍රවීණතාවය, මූල්‍ය සාක්ෂරතාවය සහ සංස්කෘතික සූදානම වැඩිදියුණු කිරීම සඳහා පෙර පිටත්වීමේ පුහුණු වැඩසටහන්වලදී අවධානය යොමු කළ යුතු බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.
සටහන : පියුමි ෆොන්සේකා