ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය නොවැම්බර් 21දා නිකුත් කරන ලද ප‍්‍රවෘත්ති නිවේදනය අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.8 කි. 2016 දෙසැම්බර් මස උද්ධමන අනුපාතය සියයට 4.2 ක් විය. ඔත්තෝබර් මස දක්වා වූ මේ වසරේ මාස දහය තුළ දී රටේ උද්ධමනය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ඉන් පැහැදිලි වේ. මෑත කාලයේදී රටේ භාණ්ඩ මිල ගණන් ඉතා කෙටි කලක් තුළදී මේ ආකාරයට වැඩි වූයේ ප‍්‍රථම වරටය. 2016 ජනවාරි සිට 2017 ඔක්තෝබර් මස දක්වා වූ මාස 20 තුළ වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතයද එය වේ.
පාලනය කරගත නොහැකි වන ආකාරයෙන් භාණ්ඩ මිල ගණන් මේ ආකාරයට ඉහළ යන විට මහජනතාව වෙත පැටවී ඇති බර සහ පීඩනය පිළිබඳව රජයට කිසියම් අවබෝධයක් ඇති බව පෙනීයයි. එයට හේතුව පසුගිය නොවැම්බර් 09 වෙනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කළ ද ඊට පෙර දිනයේ රජය විසින් භාණ්ඩ 10 ක පමණ මිල අඩු කරන බවට ප‍්‍රකාශ කිරීමයි. එදින හාල්මැස්සන් රුපියල් 10 කින්ද, අර්තාපල් රුපියල් 39 කින්ද, ලොකු ලූනු රුපියල් 39 කින්ද, පරිප්පු රුපියල් 09 කින්ද, පියලි කරන ලද පරිප්පු රුපියල් 12 කින්ද, කරවල රුපියල් 50 කින්ද, ෆාම්ඔයිල් රුපියල් 15 කින්ද, අඩුකරන බව ප‍්‍රකාශ කරන ලදී. එයට සති කිහිපයකට පසු නැවත වරක් රජය භාණ්ඩ මිල අඩු කිරීමට ඉදිරිපත් විය. පොල් ගෙඩියක් රුපියල් 75 ක්, පරිප්පු කිලෝවක් රුපියල් 130 ක්, සාලයා කරවල කිලෝවක් රුපියල් 425 ක් සහ කට්ටා කරවල කිලෝවක් රුපියල් 1000 ක් වන ලෙස ඒවාට උපරිම මිලක් ප‍්‍රකාශයට පත් කළේය.
රජය විසින් ඉහත සඳහන් භාණ්ඩවලට උපරිම සිල්ලර මිලක් නියම කෙරී ඇති බව රූපවාහිනී සේවා මගින් ප‍්‍රචාරය වීෙමන් පසු අප භාණ්ඩ මිලදී ගන්නා සඳමාලි වෙළෙඳසැලේ හිමිකරු මට හමුවිය. මම ඔහුට එම තොරතුරු කීවෙමි. ඔහු අපූරු පිළිතුරක් දුන්නේය.
රජය හැමදාම කරන්නේ උපරිම සිල්ලර මිල නියම කරන එක කවුරුවත් උපරිම තොග මිලක් නියම කරන්නේ නැහැ. රජය මොන මිල නියම කළත් අපට සිදුවෙන්නේ තොග වෙළෙන්දො අපට දෙන මිලට වඩා රුපියල් කිහිපයක් වැඩියෙන් අලෙවි කරන එක. ඒ නිසා රජය නියම කරන මිල කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ.”
ඔහුට ඇති දැනුම රජයට නැත. එම භාණ්ඩවලට උපරිම මිල පනවා දවස් කිහිපයකට පසු දෙසැම්බර් 10 වෙනිදා ශ‍්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය වෙළෙඳසැල් 200කට වඩා වැටලුවේය. එම වෙළෙඳසැල් පොල්, මයිසූර් පරිප්පු ආදිය වැඩිමිලට අළෙවිකරමින් සිටිනු දැක ගත හැකිවිය. රජය කිසිදු දින නියමයක් නොකර වහාම ක‍්‍රියාත්මක වන පරිදි භාණ්ඩ මිල පාලනයට ලක්කළ විට පුංචි සිල්ලර වෙළඳුන් පාඩු විඳගෙන එම භාණ්ඩ අලෙවි කළ යුතුයයි නියම කරන්නේ ඔවුන් කුමන වරදක් කළ නිසාද? උසාවියට ඉදිරිපත් කළ විට දඩ ගෙවීමටත් ගෙවාගත නොහැකි වුවහොත් සිරබත් කන්නටත් ඔවුන්ට සිදුවේ.
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා රජය විසින් අනුගමනය කරනු ලබන්නේ මෙවැනි පියවරය. සමහර භාණ්ඩවල බදු මිල අඩුකර වහාම එම බඩුවල මිල අඩුවේයැයි බලාපොරොත්තු වේ. භාණ්ඩ ශ‍්‍රී ලංකාවට ගෙන්වූ පසු බදු ගෙවා ඒවා නිදහස් කරගෙන වෙළෙඳපොලට යවනු ලබයි. රජය බදු අඩුකළ පසු මේ වන විටත් වෙළෙදපොළේ පවත්නා භාණ්ඩවල මිල අඩු වන්නේ නැත. බදු ක‍්‍රියාත්මක වන්නේ ඊළගට ගෙන්වනු ලබන භාණ්ඩවලටය. ඒ සඳහා තවත් කලක් ගතවන බැවින් රජය බදු අඩුකිරීමේ ප‍්‍රතිඵල ලබාගැනීමට තවත් කලක් බලාසිටීමට සිදුවනු ඇත.
මෙම රජය බලයට පත්වූ අවස්ථාවේ සිට ජීවන වියදම අඩුකිරීම සඳහා අනුගමනය කරන්නේ මෙවැනි පිළිවෙතකි. දින සියසේ වැඩසටහන යටතේ ඉදිරිපත් කරන ලද කෙටි අයවැය ලේඛනය යටතේ කහ, කොත්තමල්ලි, සස්ටජන්, පරිප්පු, කරවල වැනි භාණ්ඩ 13 ක මිල අඩු කළේය. ඒ 2015 ජනවාරි මස 29 වන දිනය. ජනමාධ්‍ය ඉන් මාස තුනකට පසු 2015 අපේ‍්‍රල් මස 25 වන දින එම භාණ්ඩ 13 අඩුකළ මිලට අලෙවි වන්නේදැයි වෙළෙඳපොළේ කළ සමීක්‍ෂණයකදී අනාවරණ වූයේ කිරිපිටි සහ සස්ටජන් පමණක් අඩුකළ මිලට අලෙවිකරන නමුත් අනෙක් කිසිදු භාණ්ඩයක මිල අඩුවීමක් සිදුව නැති බවයි.
රජය කොතෙක් ආහාර ද්‍රව්‍යවල බදු මිල අඩු කළද, සමහර ද්‍රව්‍යවල මිල පාලනය කරමින් උපරිම මිලක් නියම කළද ඒවා ක‍්‍රියාත්මක නොවන්නේ ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීමේදී සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමේදී නිසි අවබෝධයකින් යුතුව කටයුතුකිරීමට රජයට නොහැකි වීම නිසාය. ආර්ථික කටයුතු කළමනාකරණයේදී රජය විසින් දිගින් දිගටම පෙන්වනු ලබන්නේ අසාර්ථකභාවය සහ නොහැකියාවයි. ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ රජයට නිසි පරිදි ආර්ථිකය කළමනාකරණය කරගැනීමට නොහැකිවීම නිසා වුවද රජය සිතන්නේ සිල්ලර වෙෙළඳුන් රජය විසින් නියම කරන ලද මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම නිසා ජීවන වියදම ඉහළ ගොස් ඇති බවය. අද ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
රටේ විදේශ වෙළෙඳ, ආයෝජන සහ ආදායම පිළිබඳව 2017 සැප්තැම්බර් මාසයට අදාළ වාර්තාව නොවැම්බර් මස 27 වන දින ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ තරම එම වාර්තාව මගින් හෙළිවේ. රටේ අපනයන ප‍්‍රමාණය සැප්තැම්බර් මාසයේදී සියයට 12.6කින් ඉහළ ගියද ආනයන ප‍්‍රමාණයද සියයට 10.6 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එම මාසයේ අපනයන ආදායමට වඩා ආනයන වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති මුදල ඩොලර් මිලියන 656 කි. කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශ ආයෝජකයන් ඩොලර් මිලියන 62 ක ආයෝජන සැප්තැම්බර් මාසයේදී පමණක් අස්කරගෙන ඇත.
ඉතා භයානක තත්ත්වයක් පෙන්නුම් කරන්නේ විදේශ ශ‍්‍රමිකයන් ශ‍්‍රී ලංකාවට එවන මුදල් සම්බන්ධයෙන් සහ සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම සම්බන්ධයෙනි. දීර්ඝ කාලයක් තිස්සේ රටේ ආනයන වියදම අපනයන ආදායමට වඩා කිහිප ගුණයකින් වැඩිවෙමින් පවතී. එමගින් ඇතිව තිබෙන හිඟය පියවා ගන්නා ලද්දේ විදේශවල රැකියා කරන අය විසින් එවනු ලබන මුදල් සහ සංචාරකයන් විසින් රටට ගෙන එනු ලබන විදේශ විනිමය මගිනි. විදේශ ශ‍්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් මේ වසරෙහි දිගින් දිගටම අඩු වූ අතර සැප්තැම්බර් මාසයේ පමණක් සියයට 16.7කින් අඩුවී තිබේ. රජය මෙම වසරේ ඉදිරිපත් කළ 2018 වසර සඳහා වූ අයවැය ලේඛනයේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇත. එහෙත් සැප්තැම්බර් මාසයේ සංචාරකයන්ගෙන් ලැබුණ ආදායම සියයට 2.3 කින් පහළ වැටුණි. ආනයන වියදම් වැඩිවීම, විදේශ රැකියා සහ සංචාරක ආදායම් අඩුවීම යන සියල්ලේ ප‍්‍රතිඵලයක් වන්නේ විදේශ විනිමය හිඟයක් ඇති වීම සහ රුපියලේ අගය අඩුවී තවදුරටත් බඩු මිල වැඩිවීමය.
භාණ්ඩ මිල දිගින් දිගටම වැඩිවීම කෙරෙහි බලපාන කරුණු පිළිබඳ නොසලකා හැර පාලන මිල නියම කිරීමෙන් හෝ බදු අඩු කිරීමෙන් හෝ ප‍්‍රතිඵලයක් අත් වන්නේ නැත. නියඟය සහ ගංවතුර, පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීමේ ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කිරීමෙන් පොහොර භාවිතය අඩු වීම ආදිය දේශිය කෘෂිකාර්මික අංශයේ භාණ්ඩ මිල ගණන් වැඩිවීම කෙරෙහි හේතුවී ඇත. පසුගිය රජය විසින් අනුගමනය කරන ලද කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය හේතුවෙන් සහල් නිෂ්පාදනය වැඩි වී සහලින් රට ස්වයංපෝෂිත විය. එහෙත් දැන් ශී‍්‍ර ලංකාවට නැවත වරක් සහල් ආනයනය කරන තුරු බලා සිටීමට සිදුව තිබේ. පොහොර සහනාධාරය නිසි පරිදි ලබාදීම, කලට වේලාවට පොහොර ආනයනය කිරීමට කටයුතුකිරීම සහ ගොවියාට වී සඳහා නිසි මිලක් ලබාදීමට කටයුතු කිරීම ආදිය මගින් පමණක් එම අංශයේ නිෂ්පාදනය වැඩි කර පාරිභෝගිකයාට ද සාධාරණ මිලක් ලබාදීමට හැකි තත්ත්වයක් ඇති කර ගත හැකිවේ.
ජීවන වියදම ඉහළයාම රජය විසින් පහුගිය කාලය තුළදී අනුගමනය කරන ලද ආර්ථික පිළිවෙත්වල මෙන්ම වංචාව සහ දූෂණයේ ද ප‍්‍රතිඵලයකි. 2014 වසර වන විට රටේ පොලී අනුපාතය අඩුවී ණය පොලී අනුපාතය ද අඩුවීම නිසා භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවැය විශාල ලෙස අඩු වී තිබුණි. පොලී අනුපාතය අඩු වූ විට නිෂ්පාදනය වෙනුවෙන් යෙදීමට සිදුවන මුදල් අඩු පොලියක් යටතේ ලබාගැනීමට ඉඩ ලැබේ. භාණ්ඩ ආනයනය කරන විට ඒ සඳහා බැංකුවලින් ලබා ගන්නා ණය මුදලට ගෙවීමට සිදුවන පොලිය ද අඩුවේ. කෙසේ වුවද 2015 බැඳුම්කර සිද්ධිය නිසා රටේ පොලී අනුපාත දිගින් දිගටම ඉහළ යාමට පටන් ගත්තේය. 2014 දී තැන්පතු පොලී අනුපාතය සියයට 5කට වඩා අඩු මට්ටමකද, ණය පොලී අනුපාතය සියයට 10කට වඩා අඩු මට්ටමක ද පැවතුණි. දැන් ණය පොලී අනුපාතිකය සියයට 15කට වඩා වැඩිවී ඇත. මේ නිසා සෑම භාණ්ඩයකම ආනයන සහ දේශීය මිල ඉහළ ගොස් තිබේ.
පොලී අනුපාත ඉහළ යාම නිසා භාණ්ඩ මිල ඉහළ යාමට අමතරව විවිධාකාර පීඩාවලට මුහුණ දීමට මහජනතාවට සිදුව තිබේ. මීට පෙර අඩු පොලියකට ලබාගත් ණය මුදල්වල පොලී අනුපාත පවා වාණිජ බැංකු ඉහළ නංවා තිබේ. ඒ හැරෙන්නට බොහෝ දෙනෙකු තම කටයුතු පහසුකර ගැනීම සඳහා ආධාර කරගත් භාණ්ඩ සඳහා වාරික වශයෙන් ගෙවන ක‍්‍රම, කල් බදු ක‍්‍රමය යටතේ භාණ්ඩ ලබාගැනීම ආදිය සඳහා ගෙවූ මුදලද වැඩි වී ඇත. බැඳුම්කර සිද්ධියේදී පර්පචුෙවල් ට්‍රෙසරිය සමගම ඉහළ පොලියකට බැඳුම්කර මිලදී ගත් නිසා රටේ පොලී අනුපාතය ඉහළ ගියේය. අද වන විට එහි ප‍්‍රතිඵලයක් ලෙස රටේ සියලුම ජනතාවට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ බැංකු ණය, රන් බඩු උකස්, වාරික ගෙවීම්, පිනෑන්ස්, ණය කාඩ් ආදී සියල්ලකටම වැඩි පොලී ගෙවීම මගිනි.
රජයට කලමනාකරණය කර ගැනීමට නොහැකි වූ අනෙක් කාරණය වූයේ විනිමය අනුපාත සම්බන්ධයෙන් ස්ථාවර තත්ත්වයක් ගොඩනගා ගැනීමට නොහැකි වීමයි. 2014 වසර අවසානයේදී ඩොලරයක වටිනාකම රුපියල් 132 ක් විය. එහෙත් මේ වන විට ඩොලරයක අගය රුපියල් 155 කි. එම අගය වුවද පවත්වාගෙන යනු ලබන්නේ රජය විශාල වියදමක් දරමිනි. මෙම රජය බලයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් අත්සන් කර ණය මුදලක් ලබා ගත්තේය. එහි එක කොන්දේසියක් වන්නේ වෙළඳපොළේ පවත්නා අතිරික්ත ඩොලර් සියල්ල ශ‍්‍රී ලංකා මහ බැංකුව මිලදීගත යුතු බවයි. ඒ සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවට විශාල වියදමක් දැරීමට සිදුව තිබේ. ලබන වසර මුලදී ඩොලරයේ අගය තවත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඩොලරයේ අගය වැඩිවන තරමට බඩු මිල අඛණ්ඩව ඉහළ යාමද වැලැක්විය නොහැකිය. ශ‍්‍රී ලංකිකයන්ගේ ආහාර වේලෙහි වැඩි ප‍්‍රමාණයක් අඩංගුව ඇත්තේ විදේශවලින් ආනයනය කරන ද්‍රව්‍යයන්ය. ඩොලර් එකක් වටිනා භාණ්ඩයකට 2014 වසරේදී ගෙවීමට සිදුවූයේ රුපියල් 132 කි. එහෙත් අද වන විට එය රුපියල් 155 ක් බවට පත්ව ඇත. ලබන වසර වන විට ඩොලරයේ අගය තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති නිසා මිලගණන් දිගටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මෑත යුගයේදී බැංකු තැන්පතුවලට ගෙවන ලද ඉහළම පොලී අනුපාතය දැන් ක‍්‍රියාත්මක වේ. මුලින් සඳහන් කළ පරිදි රටේ උද්ධමන අනුපාතය මේ වසරේ මුල් මාස දහය තුළම ඉහළ ගොස් ඇති අතර අවසන් වරට එය සියයට 8.8ක් විය. ඉහළ පොලී අනුපාතයක් ඇති විට මහජනතාව විසින් බැංකුවල මුදල් තැන්පත් කරන නිසා රට තුළ ඇති මුදල් ප‍්‍රමාණය අඩු වී උද්ධමනය අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විට ඉහළ පොලී අනුපාතයක් පැවතුණද උද්ධමනය පාලනය වී ඇති බවක් නොපෙනේ. එයට හේතුව බැඳුම්කර වංචාව මගින් කෘත්‍රිමව පොලී අනුපාත ඉහළ නංවා තිබීමයි. එබැවින් ඉදිරියේදී උද්ධමනය පාලනය කිරීම සඳහා තවදුරටත් පොලී අනුපාත ඉහළ දැමීමට සිදු වනු ඇත. එය ආයෝජකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද රටට ද අහිතකරය. ආර්ථික වශයෙන් විනාශකාරීය. රජය රටේ ආර්ථික අර්බුදය විසඳාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.
රාජ්‍ය නායකයන් තරඟයට විදේශ රටවල සංචාරය කිරීමෙන් හෝ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු අසවල් රටට ගියේ ප‍්‍රථම වරට හෝ වසර ගණනකට පසුව යැයි කීමෙන් ආර්ථික වශයෙන් කිසිදු ප‍්‍රගතියක් අත්කර ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. බඩු මිල ඉහළ යෑම වලක්වාගත හැක්කේ රටේ ආයෝජන වැඩිකර නිෂ්පාදනය වැඩිකර ගැනීමෙනි. එහෙත් රටේ ආයෝජන ශක්‍යතාවත් කීර්ති නාමයත් දිනෙන් දින අන්තර්ජාතික ප‍්‍රජාව අතර පිරිහීමට පත්වෙයි. ලෝක ප‍්‍රකට බ්ලූම්බර්ග් දර්ශකය මගින් ශ‍්‍රී ලංකාව ආයෝජනයට ඉතා අවදානම් රටක් බවට ප‍්‍රකාශයට පත්කර තිබේ. ඇෙමරිකානු එක්සත් ජනපදයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් හතරෙන් එකක් බව වාර්තා කරනු ලැබ තිබේ. එවැනි තත්ත්වයක් තුළ රටේ ආයෝජන ප‍්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳ බලාපොරොත්තු අඳුරු වලාපටලවලින් වැසීයන ආකාරයක් දක්නට ලැබේ.
රටේ සිල්ලර වෙළෙඳාමේ නියුතු ව්‍යාපාරිකයන් මත පාලන මිලක් බලෙන් පටවා ඔවුන්ට දඩගැසීමෙන් හෝ සිරගෙවලට යැවීමෙන් බඩු මිල අඩු කළ නොහැකිය. කිසිවකුට පීඩනයක් ඇති නොවන අයුරින් මහජනතාවගේ ජීවන බර අඩු කළ හැකි ක‍්‍රම කොතෙකුත් තිබේ. මෙම රජය ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා නොදී අසීමිත ලෙස පාරිභෝගිකයා සූරාකෑමකට ලක්කර තිබේ. 2014 වසරේදී ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 103.53 ක් විය. එම වසරේදී රජය පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කල මිල රුලියල් 150 ක් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 111 ක් ද විය. 2015 දී තෙල් බැරලයක මිල ඩොලර් 54.80 දක්වාද, 2016 දී ඩොලර් 46.30 දක්වාද අඩු විය. එහෙත් පෙට‍්‍රල් රුපියල් 117 දක්වාද, ඩීසල් රුපියල් 95 දක්වාද අඩු කිරීම හැර ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩු වීමේ සම්පූර්ණ වාසිය පාරිභෝගිකයාට ලබාදුන්නේ නැත. එමගින් රජය 2016 වසරේ දී අත්කර ගත් වාසිය රුපියල් මිලියන 69,600 කි. ලෝක වෙළෙඳපොළේ අඩු මිලට තෙල් මිලදීගෙන මහජනතාවට ඉතා ඉහළ මිලකට ඉන්ධන අලෙවි කිරීමෙන් මෙම වාසිය ලබාගෙන ඇත. ලෝක තෙල් මිල සියයට 55 කින් අඩුවෙද්දී රජය පෙට‍්‍රල් මිල සියයට 22 කින් පමණක් ද ඩීසල් මිල සියයට 14 කින් පමණක් ද අඩුකර ඇත.
රජයට බඩුමිල අඩුකිරීමට සැබෑ අවශ්‍යතාවක් වේ නම් කළ යුත්තේ මෙසේ මහජනතාවගෙන් අයකර ගන්නා අධික ලාභය නවතා දමා ලෝක වෙළෙඳපොළේ පවතින මිලටම ඉන්ධන ලබාදීමයි. එවිට ඩීසල් ලීටරයක් රුපියල් 55 ක පමණ මිලකට ද පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 75 ක පමණ මිලකටද ලබාදීමට හැකි වේ. ඉන්ධන මිල අඩු කළ විට එම ප‍්‍රමාණයට සෑම භාණ්ඩයකම ප‍්‍රවාහන වියදම අඩුවන බැවින් එම වාසිය පාරිභෝගිකයාට ලබාදිය හැකිය. දුම්රිය, ලංගම සහ පෞද්ගලික අංශයේ ගමන් ගාස්තු ද ගොවීන්ගේ භාණ්ඩ ප‍්‍රවාහන වියදම් ද අඩු කිරීමට අවස්ථාව සැලසේ. විදුලිය නිපදවීමට ගන්නා ඉන්ධන මිල අඩුවන බැවින් විදුලි ගාස්තු ද අඩු කිරීමට හැකිය. නිෂ්පාදන කර්මාන්ත ශාලාවල පිරිවැය ද අඩු වේ. මේ ආකාරයට පෙට‍්‍රල් සහ ඩීසල් මිල අඩුකිරීම මගින් භාණ්ඩ සහ සේවා මිල අඩු කිරීමට ද මහජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි කිරීමට ද අවස්ථාව සැලසේ. එවිට සියලුම ආර්ථික කටයුතුවල උත්තේජනයක් අැති වී රටේ ආර්ථික වර්ධනයද විශාල ලෙස ඉහළ යනු ඇත.
රජය කළ යුත්තේ එවැනි උපාය මාර්ගික ක‍්‍රමවේදයක් තෝරාගෙන ක‍්‍රියාත්මක කිරීම මිස ගැසට් මගින් මිල අඩු කිරීම වැනි ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම නොවේ. එවැනි ක‍්‍රමවේද ජීවන වියදම අඩුකිරීමටද ආර්ථික අර්බුදය විසඳා ගැනීමටද ඉවහල් වනු ඇත.