මෙම බදු සංශෝධනය ඇතුළත පැහැදිලි වන කාරණා කිහිපයක් තිබේ. පළමුවැන්න නම්, රටේ වගකීම් සහිත පුරවැසියන් උපයන ආදායමෙන් කොටසක් බදු ලෙස ගෙවිය යුතු වීමය. එහෙත් එසේ කළ යුත්තේ රජය වගකිව යුතු අයුරින් රටේ පුරවැසියන් වෙනුවෙන් අවශ්‍ය සේවා සපයන්නේ නම් පමණි. බදු ආදායම් නාස්තිකාර වියදම් අරබයා යොදවන්නේ නම් ජනතාව බදු ගෙවීම අවශ්‍ය නොවේ. දෙවැන්න නම්, බද්දට යටත් වන ආදායම හැටියට පුද්ගලයන්ගේ දළ ආදායම සලකනු ලැබීමය. එනම්, දළ ආදායම ඇතුළත සේවක අර්ථ සාධක අරමුදලට සහ විශ්‍රාම වැටුප් ආදියට කරන බැර කිරීම්ද බද්දට යටත් වීමය. එය ප්‍රධාන දුර්වලතාවකි.
ඉකුත්දා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත අනුව මාසිකව රුපියල් ලක්ෂයට වැඩියෙන් උපයන පිරිස් ආදායම් බද්දට යටත් කර තිබෙන අතර එය 2023 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. මේ එම බදු සංශෝධනය හා එය අය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සමග කළ කතාබහකින් සකස් කරන ලද ලිපියකි.
2019 න් පසු රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වේගයෙන් කඩා වැටිණි. 2019 දී සියයට 11.6 ක් ලෙස සටහන් වූ බදු ආදායම 2020 වන විට සියයට 8.1 දක්වාත් 2021 වන විට සියයට 7.7 දක්වාත් අඩු විය. එහෙත් මෙම කාලයේදී රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20 ඉක්මවූ අගයක පැවතිණි. එබැවින් 2019 වර්ෂයේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සෘණ සියයට 9.6 ක් වශයෙන් සටහන් විය. එය 2020 වන විට සෘණ සියයට 11.1 දක්වාත් 2021 දී සෘණ 12.2 දක්වාත් තවදුරටත් පිරිහුණි. රජයේ ආදායම් පහළ යෑම සහ වියදම් ඉහළ යෑම නිසා ණය ගැනීම් මත ආර්ථික කටයුතු මෙහෙයවීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් හැටියට රජයේ ණය බර විශාල වශයෙන් ඉහළ ගිය අතර මේ වන විට එය රජයට පාලනය කර ගත නොහැකි ආකාරයට වර්ධනය වී ඇති ස්වභාවයක් දැක ගත හැකිය.
2022 වසරේදී මෙරට ආර්ථිකය තවදුරටත් කඩා වැටිණි. මෙම වර්ෂයේ පළමු කාර්තු තුනෙහිදීම ආර්ථික වර්ධන වේගය සෘණ අගයන් ලෙසින් වාර්තා විය. ඒ අතරින් කාර්මික අංශයේ උද්ගත වූ පසුබෑම කැපී පෙනේ. අදාළ වර්ෂයේ තෙවන කාර්තුවේදී කාර්මික අංශයේ කඩාවැටීම සියයට 21.2 ක් විය. ආර්ථිකයේ උද්ගතව ඇති පසුබෑම හමුවේ සමාජය මත දැඩි පීඩනයක් නිර්මාණය වී ඇති අවස්ථාවක රජය දේශීය ආදායම් බදු පනත් සංශෝධනය කරමින් ආදායම් බදු ව්‍යාපාර ලාබ බදු ආදී බදුවල අනුපාත විශාල වශයෙන් ඉහළ නංවා තිබේ.
මේ වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා සිට එකතු කළ අගය මත බද්ද (වැට් බදු) සියයට 15 දක්වා වැඩි කරන ලදී. ඊට සමගාමීව සියයට 2.5 ක සමාජ ආරක්ෂණ දායක බද්දක්ද පනවන ලදී. මෙම බදු සංශෝධන නිසා භාණ්ඩ හා සේවාවල මිල ගණන් වේගයෙන් ඉහළ ගිය අතර ඉහළ උද්ධමනයක් වාර්තා වීමට ද එය හේතුවක් විය. අධික උද්ධමනය හේතුවෙන් මේ වසරේදී පමණක් මුදලේ ක්‍රය ශක්තිය සියයට 60 කින් පමණ පහළ ගොස් ඇත. එනම්, 2022 වසර ආරම්භයේ රුපියල් දහසක් වැය කර මිලට ගත් භාණ්ඩ මිලදී ගැනීමට මේ වන විට රුපියල් 1600 ක් පමණ අවශ්‍ය වේ. එම කාලය අතරතුර රුපියල් ලක්ෂයක වටිනාකම අද වන විට රුපියල් 62500 දක්වා පහළ ගොස් තිබේ. මෙවැනි පසුබිමක 2023 වසරේ ජනවාරි පළමු වැනි දින සිට බලාත්මක වන පරිදි රජය විසින් ආදායම් බදු ඉහළ නංවනු ලැබ තිබේ.
එම බදු වැඩිවීම සිදු වන ආකාරය විශ්ලේෂණාත්මකව සලකා බැලීම වැදගත්ය. අදාළ බදු සංශෝධන මගින් පුද්ගල ආදායම් බදු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති ආකාරයක් දැක ගත හැකිය. ඒ අනුව, මාසිකව රුපියල් ලක්ෂයකට වඩා ආදායම් උපයන සියලුම පුද්ගලයන් සියයට 6 ක අවම මට්ටමක සිට සියයට 36 ක උපරිම මට්ටමක් දක්වා බදු ගෙවීමට යටත් කර තිබේ. 2023 ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා මාස තුනක කාලය දක්වා අදාළ වන බදු අනුපාතිකයන් පහත පරිදි දැක්විය හැකිය.
පළමු මාස 3 හි ආදායම ගත් විට පළමු රුපියල් 125000 දක්වා සියයට 6 ක් ද දෙවන රුපියල් 125000 දක්වා සියයට 12 ක්ද තෙවන රුපියල් 125000 දක්වා සියයට 18 ක්ද සිව්වන රුපියල් 125000 දක්වා සියයට 24 ක්ද පස්වන රුපියල් 125000 දක්වා සියයට 30 ක් සහ ඉතිරිය සඳහා සියයට 36 ක් වශයෙන් මේ බදු අය කෙරේ. මෙහිදී අදාළ වන්නේ මාස තුනක ආදායම රුපියල් 125000 ක් වන විටය. මාසයක් සම්බන්ධයෙන් සලකා බලන විට රුපියල් ලක්ෂය ඉක්මවා උපයන සෑම රුපියල් 41667 ක් සඳහාම බදු පැනවීමක් සිදු වේ. සාමාන්‍යයෙන් ලංකාවේ බදු වර්ෂය ආරම්භ වන්නේ සලකා බලන වර්ෂයේ අප්‍රේල් මස පළමු වැනිදා සිටය. ඒ අනුව, රජය විසින් 2023 වසරේ අප්‍රේල් මස පළමු වැනිදා සිට අදාළ වන බදු අනුපාතිකයන් වෙනම ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එහිදී වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ක් උපයන්නන් මෙම බදුවලින් නිදහස් කර ඇති අතර ලක්ෂ 12 සිට වැඩි වන පළමු ලක්ෂ 5 සඳහා සියයට 6 ක් ද දෙවන ලක්ෂ 5 සඳහා සියයට 12 ක් ද තෙවන ලක්ෂ 5 ට සියයට 18 ක් ද සිව්වන ලක්ෂ 5 ට සියයට 24 ක්ද පස්වන ලක්ෂ 5ට සියයට 30 ක්ද සයවන ලක්ෂ 5න් ඉහළ ඇති ඕනෑම ආදායම් කාණ්ඩයක් සඳහා සියයට 36 ක් ද වශයෙන් මෙම බද්ද අය කෙරේ. 2023 වර්ෂය සඳහා බදු ගණනය වන ආකාරය මෙහි දැක්වෙන වගුව මගින් ඉදිරිපත් කළ හැකිය.
මෙම බදු ක්‍රමය ඇතුළත වියදම් සඳහා සහන කිසිවක් අඩංගු නොවන අතර පෞද්ගලික සහන උපරිම ලෙස 2023 වසරේ මාර්තු 31 දක්වා ලක්ෂ 3 ක් සඳහා ලබා ගත හැකි අතර 2023 අප්‍රේල් 1 වැනිදායින් ආරම්භ වන බදු වර්ෂය සඳහා වාර්ෂිකව උපරිම ලෙස රුපියල් මිලියන 1.2 දක්වා ලබා ගැනීමට විධිවිධාන සලසා ඇත. ඊට අමතරව රඳවා තබා ගැනීමේ බදු සහ අත්තිකාරම් ආදායම් බදු ද පුද්ගලයන්ගේ ආදායම් ඉපැයීම්වලට යටත් වේ. එහිදී රුපියල් ලක්ෂය ඉක්මවන සේවා ආදායම් ඉපැයීම් (ඉගැන්වීම්, දේශන පැවැත්වීම, විභාග කටයුතු, රක්ෂණ සඳහා කොමිස්, තැරැව් ගාස්තු, වෛද්‍ය, ඉංජිනේරු, පර්‌යේෂණ, නීති, ගණකාධිකරණ කටයුතු ආදියෙන් උපයන ආදායම්) සඳහා සියයට 5 ක බද්දක් ක්‍රියාත්මක වන අතර පොලී ඉපැයීම්වලට ද සියයට 5ක බද්දක් අදාළ වේ.
ව්‍යාපාරික අංශය සඳහා ද රජය ඉහළ බදු බරක් පනවා ඇති බව පෙනේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සියයට 30 ක බදු ප්‍රතිශතයක් ද භාණ්ඩ අපනයනකරුවන්, අධ්‍යාපන සේවා සපයන්නන්, සංචාරක ප්‍රවර්ධන කටයුතු, ඉදිකිරීම් සේවා, සෞඛ්‍ය සේවා, කෘෂි සැකසුම්, ස්වර්ණාභරණ හා මැණික්, කොටස් වෙළෙඳපොළෙහි ලියාපදිංචි වී ඇති ව්‍යාපාර, බලශක්ති සැපයුම්කරුවන් යනාදී පාර්ශවයන් උපයන ලාභය මත සියයට 30 ක බද්දක් පනවා තිබේ. ව්‍යාපාර මත වූ ප්‍රාග්ධන ලාභ බද්ද සියයට 10 සිට සියයට 30 දක්වා වැඩි වන අතර රාජ්‍ය නොවන සංවිධාන සහ ඒකක භාර හෝ පොදු අරමුදල් සඳහා සියයට 24 සිට සියයට 30 දක්වා බදු වැඩි කර ඇත.
මෙම බදු සංශෝධනය ඇතුළත පැහැදිලි වන කාරණා කිහිපයක් තිබේ. පළමුවැන්න නම්, රටේ වගකීම් සහිත පුරවැසියන් උපයන ආදායමෙන් කොටසක් බදු ලෙස ගෙවිය යුතු වීමය. එහෙත් එසේ කළ යුත්තේ රජය වගකිව යුතු අයුරින් රටේ පුරවැසියන් වෙනුවෙන් අවශ්‍ය සේවා සපයන්නේ නම් පමණි. බදු ආදායම් නාස්තිකාර වියදම් අරබයා යොදවන්නේ නම් ජනතාව බදු ගෙවීම අවශ්‍ය නොවේ. දෙවැන්න නම්, බද්දට යටත් වන ආදායම හැටියට පුද්ගලයන්ගේ දළ ආදායම සලකනු ලැබීමය. එනම්, දළ ආදායම ඇතුළත සේවක අර්ථ සාධක අරමුදලට සහ විශ්‍රාම වැටුප් ආදියට කරන බැර කිරීම්ද බද්දට යටත් වීමය. එය ප්‍රධාන දුර්වලතාවකි.
රටක ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින විටෙක ජනතාවට ලැබෙන අතිරික්ත ආදායමෙන් කොටසක් බදු ආදායමක් ලෙස රජය ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදු වන දෙයයි. අධි උද්ධමනය හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්ව ඇත. එසේම ව්‍යාපාර බිඳ වැටෙමින් තිබේ. එවැනි සන්දර්භයක රජය මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක කරයි. එමගින් රටේ ආර්ථිකය තවදුරටත් කඩාවැටිය හැකිය. සිව්වැනුව, රටක සිදු විය යුත්තේ සෘජු බදු අනුපාතය ඉහළ නංවා ඊට සාපේක්ෂව වක්‍ර බදු පහත හෙළීමය. එහෙත් ලංකාවේ සිදුව තිබෙන්නේ වක්‍ර බදු මෙන්ම සෘජු බදුද ඉහළ නැංවීමය. එය නිවැරදි ප්‍රතිපත්තියක් ලෙස ගිණිය නොහැකිය. රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගත යුතුය. ඒ අරබයා විවාදයක් නැත. එසේම රාජ්‍ය වියදම් අඩු කිරීම ද අත්‍යවශ්‍ය වේ. එසේවුවත් වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියේදී සිදු වන්නේ රජයේ වර්ථන වියදම් විශාල ලෙස ඉහළ නැංවීමත් ඒවා පියවීම සඳහා කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය මත බදු පැනවීමත්ය. එවැනි ප්‍රතිපත්ති රට නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා ඉවහල් නොවන බව මගේ අදහසයි.
ආදායම් වැඩි කර ගැනීමට අදාළ විකල්ප ක්‍රමවේද ආර්ථිකයේ ඇතුළත් වේ. විශාල නඩත්තු වියදම් දරමින් පවත්වා ගෙන යනු ලබන රාජ්‍ය දේපොළ විශාල ප්‍රමාණයක් රටේ පවතින අතර ඒවා දේශීය ව්‍යාපාරිකයන්ට විකිණීමට පිළිවන. එමගින් රටේ ආර්ථිකයට දායක වන ආකාරයට ඒවායෙහි ඵලදායීතාව ඉහළ නැංවිය හැකිය. එසේම බදු නොවන ආදායම් වර්ධනය කර ගැනීම සඳහා ද රජයට කටයුතු කළ හැකිය. රාජ්‍ය සේවයෙහි ගුණාත්මකභාවය දියුණු කර එහි සේවාවන් මුදල් උපයන තත්ත්වයට පත් කළ හැකිය. බදු ගෙවිය යුතු හා ගෙවීම පැහැර හරිමින් සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයන් බදු දැලට හසු කර ගැනීමට ද පිළිවන. තවද ජනතා මුදල් අවභාවිත කර ඇති පාර්ශවවලින් නැවත එම මුදල් ලබා ගැනීමට ද කටයුතු කළ හැකිය.
යථෝක්ත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් රටේ ජනතාවට අවම බලපෑමක් ඇති වන ආකාරයට රජයේ ආදායම් වැඩි කර ගත හැකිය. එහෙත් රජය ඒවා කෙරෙහි අවධානය යොමු කරන බවක් නොපෙනේ. එසේම මෙරට බදු ක්‍රමය ලෝකයේ පිළිගත් මූලධර්ම මත සංවිධානය කර ඇති බවක්ද පෙනෙන්නට නැත. එබැවින් පවතින බදු ක්‍රමය සංකීර්ණ මෙන්ම අකාර්යක්ෂම එකක් බවට පත්ව ඇත. එය රටේ සමස්ත අකාර්යක්ෂමතාවටත් රජයේ බදු ආදායම අවම වීමටත් හේතුවක් වී තිබේ.
සාකච්ඡා සටහන:
උපුල් වික්‍රමසිංහ