(අජන්ත කුමාර අගලකඩ)
මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන ආරම්භ කිරීම සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆරිඩ් ඇස්ට්‍රා -සෙනිකා එන්නත් ලක්ෂ 5ක් ලබන සතියේදී මෙරටට එවීමට ඉන්දීය රජය කැමැත්ත පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම එන්නත් ලක්ෂ 5 ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එක් පුද්ගලයකුට එන්නත් මාත්‍රා දෙක බැගින් ලබාදිය යුතු නිසා මෙම එන්නත් ලක්ෂ 5 මෙරට ජනගහනයෙන් ලක්ෂ දෙකහමාරකට ලබාදෙනු ඇති බවද පැවසේ. එ් අනුව මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ලබන මස මුල් සතියේදී ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ සඳහා අවශ්‍ය සිරින්ජර් ඇතුළු සායනික ද්‍රව්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනටමත් ගෙන්වනු ලැබ ඇතැයි ද දැන ගන්නට තිබේ.
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනිකා එන්නත හදිසි භාවිතය සඳහා මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද පෙරේදා (22) හිමි විය.
ඉන්දියාවේ සෙරම් (serum) ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත් සෙසු රටවල බෙදා හැරීම ඉන්දීය රජය විසින් ආරම්භ කරනු ලැබ ඇති අතර ඒ බව ශ්‍රී ලංකා රජයටද ඉකුත්දා දන්වා තිබිණි.
ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබෙන්නේ නම් එම එන්නත් කඩිනමින්ව මෙරටට ලබාදිය හැකි බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට ගිය සතියේ දන්වා තිබූ අතර ඊට අදාළ ලිපි ලේණනද සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉකුත් 20 වැනිදා ලබාදී තිබිණි. අමාත්‍යාංශය එම ලිපිලේඛන ඖෂධ නියාමන අධිකාරිය වෙත යවා තිබු අතර ඇස්ට්‍රා සෙනිකා එන්නත හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරිය පෙරේදා අනුමැතිය ලබා දුන්නේය.
එම එන්නත පළමු වටයෙ සෞඛ්‍ය සේවකයන් 1,55,000කට පමණ ලබාදීමට සැලසුම් කර ඇති අතර දෙවන වටයේදී ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ලබාදෙනු ඇත.
කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධිකරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටුව ඉන්දීය රජය සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් ලැබෙනු ඇත.
මීට අමතරව රුසියාව සහ චීනය යන රටවලින් කොවිඩ් එන්නත් ලබා ගැනීමට ජනාධිපතිවරයා එරට රජයන් සමග සාකච්ඡා කරගෙන යන බව වාර්තා වේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද මෙරට ජනගහනයෙන් සියයට 20කට කොවිඩ් එන්නත් ලබාදීමට එකඟතාව පළකර ඇත.