එප්පාවල පොස්පේට් කන්දට කන්ද බහිරව බැල්මක්


 

කරත්තය සමබර වන්නට සිරිසේන එහි පිටුපසට රතු පැහැති ලොකු ගලක් දමා ගෙන කරත්තය දක්කාගෙන ගියේය.


කරත්තයේ පිටුපස පැවති ගලට ඇහැ ගැසූ එවකට කලා වැව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.බී. රත්නමලල මහතා,
‘කොල්ලො ටිකක් හිටපියකො ඔය කරත්තෙ තියෙන ගල් කැටේ අපේ ගෙදරින් දාලා පල.” සිරිසේනට කීවේය. සිරිසේන කීකරු විය.


මේ ගල් කැටයේ අමුත්තක් දුටු කලාවැවේ මන්ත්‍රීවරයා විසින් ඒ ගැන දන්නා අයගෙන් විමසන ලදුව එය පොස්පේට් ගලක් බව දැනගෙන පොස්පේට් නිධිය හඳුනාගෙන එප්පාවල වි.සේ. සමුපකාර සමිතිය මගින් පොස්පේට් ගල් කුඩුකොට පොහොර හදන සමාගම්වලට විකිණීමට පටන් ගෙන 1964 දී එම ව්‍යාපෘතිය රජයට භාරදෙනු ලැබීය. එතැන් පටන් රජය පොස්පේට් සමාගම පිහිටුවා සමුපකාරය කළ පරිද්දෙන්ම පොස්පේට් ගල් අඹරා රසායනික පොහොර හදන විදේශීය සමාගම්වලට ප්‍රධාන සංඝටකය ලෙස පොස්පේට් කුඩු අලෙවි කරන්නට විය. සේවකයෝ ගල් කුඩු කළහ. පාලකයෝ පොස්පේට් කුඩු අලෙවි කළහ. ලැබෙන මුදල සේවයේ යෙදී සිටි අය අතර අඩු වැඩි වශයෙන් බෙදා ගත්හ.


මේ වන විට කාර්යමණ්ඩලය 300කට වැඩිය. මොවුන්ට රුපියල් හැටදාහක පමණ මාසික වැටුපක් ලබාගත හැකි විය. බොහෝ රජයේ කාර්යාලවල අර තනතුර, මේ තනතුර ආදී වශයෙන් දේශපාලකයන්ගෙන් තනතුරු ලබාගෙන මාසයක් පුරා නිකම්ම ඉඳ රුපියල් තිස් හතළිස් දහසක මාසික වැටුපක් ලබාගන්නා මේ රටේ ගිනි අව්වේ වේළෙමින් දාඩිය පෙරාගෙන වැඩකරන පොස්පේට් සේවකයන්ට රුපියල් හැටදහසක වැටුපක් ගෙවීම ඉතාමත් සාධාරණය. නමුත් මහා මේරු පර්වත මෙන් අති විශාල කඳු වළල්ලකින් යුත් පොස්පේට් නිධියෙන් පවුල් 300ක් පමණක් ජීවත් කිරීම ප්‍රමාණවත්ද?


“පොස්පේට්” යනු මුදලක් ගෙවා ලබා ගත යුතු දෙයක් නොවේ. එය මහපොළවේ සීමාන්තිකව පිහිටි භූ සම්පතකි. කළයුතුව ඇත්තේ පොස්පේට් ගල් කඩා කුඩු කර මලු ගත කිරීම පමණි. වාර්තා වන අන්දමට 1964 පටන් අඩ සියවසකට වැඩි කාලයක් තුළ පොස්පේට් සමාගම උපයා ගෙන ඇති ධනය රුපියල් මිලියන 220ක් පමණ වේ. මෑත යුගයේ කාර්යමණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා ප්‍රාග්ධනය ඇපයට තබා රුපියල් මිලියන 40ක බැංකු අයිරාවක් ලබාගෙන ඇති බව සේවකයෝම කියති. මෙහෙම වුණේ ඇයි?

 


පොස්පේට් සමාගම හරියට රත්රං කන්දක් උඩ නිදාගෙන සිටින ගොළුවෙකුට හෝ අතපය නැති කොරෙකුට සමානය. එප්පාවල ප්‍රදේශය පුරා කඳු වළලු හතක පැතිරී ඇති පොස්පේට් නිධානය හරියට කළමනාකරණය කළේ නම් තෙල්වලින් මැද පෙරදිග පෝසත් වූවාක් මෙන් එප්පාවල පොස්පේට් නිධියෙන් මුළු රටම පෝසත් කරන්නට ඉඩ තිබිණ.


එප්පාවල කඳුයායම පොස්පේට්වලින් පිරී ඇත. මෙම පොස්පේට්වල විශේෂත්වය වන්නේ ඒවායේ අන්තර්ගතව පවත්නා කැඞ්මියම් විෂකාරකය ඉතාමත්ම අඩු මට්ටමක එනම් සියේට දශම 005ක් වැනි ගණන් ගැනීමටවත් බැරි තරමට සුළු ප්‍රමාණයක් එප්පාවල පොස්පේට්වල පැවතීමයි. ලෝකයේ ඉස්තරම් වර්ගයේ පොස්පේට් නිධි 12ක් පවත්නා අතර එයිනුත් වඩාත්ම උසස් තත්ත්වයේ පොස්පේට් ඇත්තේ එප්පාවල නිධියේ බව ලෝක විද්‍යාඥයන් හඳුනාගෙන ඇත. ලෝකයේ සෙසු ඉස්තරම් වර්ගයේ පොස්පේට් නිධි නිමවෙමින් පවත්නා නිසාත් එප්පාවල පොස්පේට් වඩාත් ඉස්තරම් නිසාත් පසුගිය වකවානුවේ ඇමෙරිකානු “මැක්මෝරන්” වැනි බහුජාතික සමාගම් එප්පාවල පොස්පේට් නිධිය කඩා වඩා ගැනීමට නොයෙක් විදියේ උපක්‍රම යෙදීය. එවකට සිටි රාජ්‍ය පාලකයෝද විදේශීය බහු ජාතික සමාගම්වලට අත යටින් උදව් කළහ. එසේ වුවද එවකට පිහිටුවා තිබූ එප්පාවල පොස්පේට් නිධිය රැක ගැනීමේ කමිටුව මගින් එය විදේශ බලවේගවලින් ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ හේතුවෙන් එම නිධිය විදේශවලට විකිණීමට අධිකරණය මගින් සපුරා තහනම් කරනු ලැබීය. අදටත් ඒ තහනම වලංගුව පවතී.


අධිකරණය හරහා එප්පාවල පොස්පේට් නිධිය රටට ජාතියට නිදහස් කර ගත් නමුත් එය දේශපාලනකරණයෙන් ගලවාගත නොහැකි විය. එප්පාවල පොස්පේට් නිධිය හා ඊට සම්බන්ධ සමාගම බලයට පත්වන ආණ්ඩුවල සමීපතම ඉහළ පෙළේ පක්ෂවාදීන්ට රැකියා හා වරදාන පිරිනමන ආයතනයක් බවට පත්විය. පසුගිය කාල පරාසය පුරා එප්පාවල පොස්පේට් සමාගමේ ලොකු පුටුවලට ආවේ දේශපාලන දොරටුවෙන් පැමිණි අයයි. බොහෝ විට එසේ පත්ව ආයේ පොස්පේට් නිධිය භාරව සිටි අමාත්‍යවරයාගේ සමීප හිතවතුන්ය.


පොස්පේට් නිධිය හරහා රට දියුණු කිරීමේ ගායක් ඔවුන්ට නොවීය. වරක් ආචාර්ය උඩවත්ත නම් වූ රසායන විද්‍යාඥයකු මෙහි සභාපති ධුරයට පැමිණි නමුත් ඔහුටද වැඩි කාලයක් රැඳී සිටින්නට ඉඩ ලැබුණේ නැත. සෙසු සභාපතිවරුන් අතර වර්තමාන සභාපතිවරයා ප්‍රදේශයේ අයෙකු නිසා විෂය අවබෝධයක් ඇති නමුත් තවමත් ඔහුගේ පාට රටට පෙනී ගොස් නැත.


තේ, පොල්, රබර්, කුරුඳු, කොකෝ ආදී ස්ථාවර බෝගවලට අවශ්‍ය පොහොරවල ප්‍රධානතම සංඝටකය පොස්පේට්ය. එප්පාවල පොස්පේට් නිධියෙන් අඹරා ගන්නා පොස්පේට් කුඩු පොහොර නිපදවන බහුජාතික සමාගම් මේව කොළඹට ගෙන ගොස් එහිදී වෙනත් රසායනික පොහොර සමග මිශ්‍ර කොට වැවිලි පොහොර නිපදවා රට පුරා අලෙවි කරති. වැවිලි පොහොර වලට අවශ්‍ය ප්‍රධාන සංඝටකය එප්පාවල තිබුණත් රට පුරා පොහොර අධිකාරිය උරුම කරගෙන ඇත්තේ බහු ජාතික සමාගම්ය. රටේ පොහොර උරුමය අත්පත් කරගෙන ඇති බහුජාතික පොහොර සමාගම්වලට එප්පාවල පොස්පේට් නිධියෙන් පොස්පේට් සපයා දෙති. මෙබඳු මහාර්ඝ පොස්පේට් නිධියක් වෙනත් රටක තිබුණේ නම් මුළු රටේම පොහොර සපයන්නා වන්නේ පොස්පේට් නිධියයි. අඩසියවසක් පුරා පොස්පේට් සමාගම කළේ පොහොර හදන බහුජාතික සමාගම්වලට පොස්පේට් කුඩු විකුණා ඔවුන් පෝසත් කිරීමයි. එප්පාවල පොස්පේට් නිධිය මැදපෙරදිගට තෙල් සම්පත මෙන් මේ රට හදන්නට දෙවියන් දුන් මහාර්ඝ සම්පතකි. නමුත් දේශපාලන දොරටුවෙන් පැමිණි අට පහ නොදන්නා බොහෝ අය කරන ලද්දේ තමන්ගේ සාක්කු පුරවා ගනිමින් දේශපාලන මනදොළ පිරවූවා මිස රට හැදීම නම් නොවේ.


රසායනික පොහොර භාවිතය අවම කිරීමට රජය පියවර ගැනීමත් සමග එප්පාවල පොස්පේට් නිධියටද නරක දශාවක් උදාවී ඇත. ඊට හේතුව රසායනික පොහොර හදන බහුජාතික සමාගම් පොස්පේට් කුඩුගෙන යාම බාල කිරීමය. පෙරදා බහුජාතික සමාගම්වල ලොරි දහය දොළහ පැමිණ පොහොර ලබාගන්නට දින ගණන් පෝලිමේ රැඳී සිටි නමුත් දැන් පොස්පේට් ගැනීමට දිනකට ලොරියකට දෙකකට වඩා එන්නේ නැත. පොස්පේට් ආයතනයේ දිනක  පොස්පේට් කුඩු නිෂ්පාදනය මෙට්රික් ටොන් 200ක් වේ. බොහෝ විට දිනකට අලෙවි වන්නේ මෙට්රික් ටොන් 60කට වඩා අඩු ප්‍රමාණයකි. සේවකයෝ 300ක් පමණ වෙති. දිනකට මෙට්රික් ටොක් 200ක් නිපදවන විට අලෙවි වන්නේ මෙට්රික් ටොක් 60ක් නම් ඉතිරියට කරන්නට දෙයක් නැත. ඒවා ගබඩාවල පිරී පවතී. වර්තමාන සභාපතිවරයා සේවා මුර අඩු කරමින් වෙනත් විවිධ කාර්යයන්ට යොදමින් සේවක අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය කළමනාකරණය කිරීමට දැඩි පරිශ්‍රමයක යෙදී සිටියි.


කෙසේ වුවද පොස්පේට් නිධියේද පොස්පේට් සමාගමේද අනාගතය ශුභදායක නොවන බව බොහෝ සේවකයෝ කියති. ලෝකයේ පැවති හොඳම පොස්පේට් නිධි 12න් තවමත් ඉතිරිව පවතින්නේ එප්පාවල පොස්පේට් නිධිය පමණි. පසුගිය වකවානුවේ මෙය ඩැහැගැනීමට විදේශීය සමාගම් පොරකෑවේ ඒ නිසාය. එය අසාර්ථක වූ තැන පොස්පේට් වෙනුවට යොදාගත හැකි “දියර පොහොර” වැනි විකල්පවලට යාමට පොහොර සමාගම් උනන්දු වෙයි.


එවැනි උත්සාහයන් පලගැන්වී ලෝකයට පියාඹා එන්නට පෙර එප්පාවල පොස්පේට් නිධිය අමුද්‍රව්‍යයක් වශයෙන් හෝ ඉල්මනයිට් ලෝකයට අලෙවි කරන්නාක් මෙන් අලෙවි කිරීමේ නව මගකට යා යුතුය. එසේ නොවන්නට එප්පාවල පොස්පේට් නිධිය වැඩකට නැති ගල් කන්දක් බවට පත් වී පොස්පේට් සමාගමටද අකුලාගෙන යන්නට සිදුවනු ඒකාන්ත බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
එප්පාවල පොස්පේට් අමුද්‍රව්‍යයක් වශයෙන් මිලදී ගැනීමට ඕස්ත්‍රේලියාව සහ තවත් රටවල් කීපයක් උනන්දු වේ. ඔවුන් පොස්පේට් ගල් මෙට්රික් ටොන් එකක් රුපියල් පන්දාහ බැගින් මිලීදී ගැනීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. විකුණා ඉවර කරන්නට බැරි කඳු වළල්ලකින් යුත් පොස්පේට් නිධියක් එප්පාවල පුරා පැතිරී ඇත. මේ නිසා අපේ රට පෝසත් කරන්නට නම් මේ වෙලාවේ කළ යුතු හොඳම දෙය එප්පාවල පොස්පේට් ගල් අමුද්‍ර්‍යයක් ලෙස විදේශීය ගැනුම්කරුවන්ට අලෙවි කිරීමය. එසේ නොවන්නට අදට රත්තරං කන්දක් බඳු එප්පාවල පොස්පේට් කන්ද නුදුරු අනාගතයේදී වැඩකට නැති පස් කන්දක් බවට පත්වනු ඒකාන්තය.

එප්පාවල රත්න බී. ඒකනායක