ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය නිසා අද කොයි කාගේත් කතාබහට ලක්ව ඇත්තේ මෙය බෝකරන මදුරුවා ගැනය.
මදුරුවකුගේ දෂ්ට කිරීමකට භාජනය නොවූ තැනැත්තෙක් මෙලොව ඇත්නම් ඒ ඉතාමත් කලාතුරකිනි. ප්‍රමාණයෙන් අඟලකින් කාලක් තරම් වූ මෙම කුඩා සතා ඔබේ නිදන කාමරයට පියඹාවිත් උගේ තියුණු හොටින් සිරුර විද රුධිරය උරාබොනු ඇත. මෙලෙසින් ඔබට දෂ්ට කරන්නේ මදුරුවාගේ ගැහැනු සතාය. ඇය ඔබේ රුධිරය උරා බොන්නේ සිය වර්ගයා බෝකරවීමේ අවශ්‍යතාව සපුරාගැනීම පිණිසය.
දැනට සොයාගෙන ඇති මදුරු වර්ග 2700 අතරෙන් දහවල් කාලයේ දෂ්ට කරන්නේ වර්ග කිහිපයක් පමණි. අනෙකුත් වර්ග දෂ්ට කරන්නේ ඇඳිරි වැටීගෙන එන වේලාවේ හෝ රාත්‍රී කාලයේදීය.
කටු සහිත පිහාටුද පාද කිහිපයක් හා සෑම අතටම විහිදුණු ස්පර්ශකයන්ද ඇති ගැහැනු මදුරුවා අසාමාන්‍ය අහස් යානාවක හැඩය ගනී. ඉතා වේගයෙන් පියාසර කිරීමේ හැකියාවක් මදුරුවා සතුව පවතී. පියාසලමින්, අවකාශයේ එක තැන නැවතී සිටීම, සිරස් අතට පියෑඹීම, ක්ෂණයකින් වේගය අඩු වැඩි කිරීම, අතුල් පහර වළක්වාලමින් ඉවතට පියඹායාම, ඉදිරියට මෙන්ම පසු පසට හා පැත්තට පියාසර කිරීම ආදී විශේෂ හැකියාවන් මදුරුවා සතුව පවතී. කෘමි විශේෂඥයෙක්වන ජේ.ඩී. ගිලට් පවසන අන්දමට සමහර මදුරුවන් වැස්සට නොතෙමී වැහි බිඳුවලින් වැළකී සිරුර වියළිව තබාගෙන තම ගමනාන්තය කරා යෑමේ හැකියාවකින්ද යුක්ත වේ.
ගැහැනු මදුරුවෙක් ඔබව සොයා එන විට ඇයගේ පියාපත් තත්පරයකට 250 සිට 600 වාරයක් පමණ චලනය වේ. මෙය ඇය අයත් වර්ගය හා පියාඹන වේගය මත රඳා පවතී. ඇය මෙම වේගය ලබාගන්නේ දිගටම කරගෙන යනු ලබන ශාරීරික වෙහෙසකර වීමකින් නොව සිරුර මැද පිහිටා ඇති පේශීන් සමූහයක් ක්‍රියාත්මක කිරීමෙනි. එම පේශීන් අක්‍රීය කරවනතෙක් ඒවා ඉබේම සංකෝචනයවී ලිහිල්ව පවතී. රාත්‍රී කාලයේ දෂ්ට කරන මදුරුවකුට අඳුරේ ඔබව නොපෙනෙන හෙයින් ඔබ සොයා ගැනීමට උගේ පාද ජෝඩු තුන හා ස්පර්ශක දෙක මත ඇති සංවේදකයන් උපකාර කර ගනී. නිව් ජර්සිහි රූට්ග්ස් සරසවියේ මදුරු ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය වේන් ජේ. ක්‍රෑන්ස් පවසන අන්දමට ඔබ නිදා සිටින විට මදුරුවෙක් ඔබව සොයා ගන්නේ ඔබ ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් ගන්ධයේ ඉවෙනි. එලෙසින් ඔබ අසලට එන ඇගේ ශබ්දය ඔබේ නින්දට බාධා පමුණුවනු ඇත.
මෙම ශබ්දය ඇය වෙතින් නිකුත් වන්නේ වේගයෙන් කරන පියාපත් ගැසීමත් සිරුර මැද කොටසේ ඇති මාංශ පේශීන්ගේ කම්පනයත් නිසාය. මෙලෙසින් ඔබ වටා කිහිපවරක් කැරෙකෙමින් ඔබේ සිරුරේ තෙතමනය, උෂ්ණත්වය සහ දහදිය තත්ත්වය පිළිබඳ කිසියම් නිරීක්ෂණයක යෙදේ. ඒ ඔබ ගොදුරක් කර ගැනීමට සුදුස්සෙක් දැයි නිශ්චය කර ගැනීම පිණිසය. මෙලෙසින් කෙරෙන සමීප පරීක්ෂාවකින් පසු ඔබ නුසුදුස්සෙක් බව හැඟී ගියහොත් ඔබ අසල නිදා සිටින අනික් තැනැත්තා ඒ සඳහා තෝරා ගනී. ඔබව තෝරා ගැනීම හෝ නොගැනීම රඳා පවතින්නේ ඔබේ ශාරීරික තත්ත්වයට ඇය දක්වන ප්‍රතිචාරය මතය.
ඇය ඔබ ගැන සෑහීමකට පත්වූයේ නම් සිරුරේ සුදුසු ස්ථානයක් මත සෙමින් වසයි. සමහරවිට එය ඔබට නොදැනෙන්නට පිළිවන. ඒ තරමටම මදුරුවාගේ පාද සැහැල්ලුය. එක් මදුරු විශේෂයකට මකුළුවෙකුට නොදැනෙන සේ මකුළු දැලක් මත වැසීමේ හැකියාව පවතී. ඇය ඔබේ සිරුර මත වසා ඇති බව ඔබට දැනෙන්නේ ඔබේ ශරීරය සූක්ෂම ලෙස සිදුරු කරන විටය.
මදුරුවාගේ ඇස්වලට යටින් පිටතට නෙරා ඇති කෙස් ගසක් තරම් සියුම් තියුණු හොටය, එකක් නොව තියුණු හොට හයක එකතුවකි. මින් එකක් රුධිරය ලබාගැනීමටත් එකක් ඛේඨය නිකුත් කිරීමටත් උපයෝගී කර ගැනේ. විදීම සඳහා යොදා ගන්නා කටු දෙකක්ද, දැති සහිත උල් දෙකක්ද මෙයට අයත් වේ. මේ සැමෙකක්ම ආරක්ෂාවන පරිදි කොපුවකින් ආවරණයවී තිබේ. අවසානයේ බැම්මකින් මේ සියල්ල එකට වෙළී පවතී. මදුරුවා ඔබ හමුවට පැමිණෙන්නේ මේ භයානක ආයුධයෙන් සන්නද්ධවය.
සිරුර මත වැසූ මදුරුවා එකට ඇති හොට හයම එකවර ඔබේ ශරීරයට ඇතුළු කරයි. දින දෙකක් වයසැති රැවුල් ගසක දිග තරම් දුරකට එය ඔබේ සම පසාරු කරගෙන යයි. මෙවැනි සාර්ථක සිදුරුකර ගැනීමකින් පසු ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීමට ඇයට ගතවන්නේ මිනිත්තුවක පමණ කාලයකි. ඇය ඔබේ රුධිරය උරාගැනීමට මත්තෙන් ඛේඨය ස්වල්පයක්ද ඔබේ ශරීර ගත කරයි. මෙය රුධිර නාළය හා මදුරුහොට අතර ලේ කැටි ගැසීම වළක්වාලීමට උපකාර වේ. මෙසේ ලබාගන්නා ආහාර වේලකින් ඇගේ උදරය රත්පැහැගෙන ප්‍රමාණයෙන් විශාල වේ. මෙවැනි වේල් 15-20 ක් පමණ රුධිර බිංදුවකට සමාන වේ. මදුරුවෙක් සිරුර සිදුරු කළ විට එම ස්ථානය කසන්නේ ඇය ඔබට දායාද කළ ඛේඨයේ ඉතිරිව ඇති ඛේඨ ප්‍රමාණය නිසාය. ඔබ අතුල් පහරක්දී එම ස්ථානය කසන විට, ප්‍රමාණයට වඩා බඩු පටවා ගත් ගුවන් යානාවක් මෙන් මදුරුවා ඔබෙන් බේරී ඉවතට ගොස් හමාරය.
දැන් මදුරුවාට විවේකය අවශ්‍ය වේ. ඔබේ රුධිරයෙන් කුස පුරවාගත් ඇය බිත්තියක් හෝ ශාක පත්‍රයක් මත වහන්නේ ඒ නිසාය. ඉන් අනතුරුව එළඹෙන නිහඬ දින කිහිපය මදුරු බිත්තර සිය ගණනක් දැමීම සඳහා ඔබෙන් ලබාගත් රුධිර බිංදුව උපයෝගී කරගනී. පළමු රුධිර ආහාරවේල ගැනීමට ප්‍රථමයෙන් ඇගේ පියාපත්වලින් නික්මෙන ශබ්දයේ පිහිටෙන් පිරිමි සහකරුවෙක් ඇය වෙත ආකර්ෂණය කරගෙන ඔහු සමඟ සංවාසයේ යෙදේ. මෙම එක්වීම ඇය ජීවත්වන මාසය හෝ දින දෙකක කාලය තුළදී හෝ හතර පස් වතාවක් බිත්තර දැමීමට ප්‍රමාණවත් වේ. ඇය බිත්තර දැමීමට සූදානම්වන හැම අවස්ථාවකම ඇගේ සිරුර තුළ ගබඩාකර ඇති පිරිමි බීජ ඇය විසින්ම පෝෂණය කරනු ලබයි.
සෑම මදුරුවෙක්ම ජලයේදී හෝ ජලය ආශ්‍රිතව හෝ බිත්තර කීටයා හා පිලවා ආදී වශයෙන් ඔවුන්ගේ නොමේරූ අදියර පසු කරයි. සියලුම බීජවලට රැකීමේ කාර්යය සඳහා ජලය අවශ්‍ය වේ. සමහර බීජ දින කිහිපයකින්ද තවත් සමහරක් ශීත සෘතුවේද සමහරක් වියළි කාල පරිච්ඡේදයකට පසුවද පුපුරයි. ගංවතුර සමයේදී දස දහස් ගණනින් දමන බිත්තර, ඇතැම්විට වසර පහක් පමණ, කීට උත්පාදනය සඳහා තවත් ගංවතුරක් පැමිණෙනතෙක් වියළිව පවතී. විශාල වර්ෂාවන්ගෙන් පසු මදුරුවන් බහුල වශයෙන් බෝවන්නේ මේ නිසාය.
ගැහැනු සතෙකුගේ කීට හෝ පිලවු හෝ අවස්ථාවෙන් පසු ගොදුරු වශයෙන් මිනිසකු සොයා යෑම අවශ්‍යයෙන්ම සිදු නොවේ. සමහර මදුරු වර්ග අලින් හෝ මීයන් සොයා යති. නිව් ජර්සිහි එක්තරා මදුරු විශේෂයක් කැස්බෑවන්ගේ කටුව විද රුධිරය උරා බොති. තවත් අප්‍රිකානු මදුරු වර්ගයක් කුහුඹු විශේෂයක් තම ගොදුරු කරගෙන උන්ගේ මුවෙන් රුධිරය නොව මීපැණි උරා බොති. තවත් මදුරු විශේෂයක පිරිමි සතුන්, මල් පැණි මතම යැපෙන අතර මෙමගින් පරාග පෝෂණයේලා වැදගත් කාර්ය භාරයක් ඉටු වේ.
තවමත් මදුරුවන් වැඩි හරියකගේ ප්‍රධාන ගොදුර බවට පත්ව ඇත්තේ මිනිසුන්ය. අතීතයේ ග්‍රීසියේ ධනවත් නගර ජනශූන්‍ය කිරීමට තරම් මදුරුවෝ ප්‍රබල වූහ. සමහර සංචාරකයන් තම ලැගුම්හල් හැරයෑමට තරම් මෙය වසංගතයක් බවට පත්ව තිබිණි. ඇලස්කාවේ මදුරු වසංගතය මිනිසුන් සිහි විකල් කිරීමට පමණක් නොව සිය දිවි නසාගැනීමට පෙළඹවීමට තරම් ප්‍රබල විය.
දීර්ඝ කාලයක සිට මදුරුවා කරදරකාරී සතෙකු පමණක් නොව විවිධ රෝග පතුරුවන්ෙනක් බවට ද පත්ව තිබේ. රෝග පාලනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව ලෝක සංවර්ධනයට අහිතකර බලපෑම් කරන්නා වූ භයානකම රෝගය මැලේරියාවය. අතීතයේදී මේ වසංගතය ශ්‍රී ලංකාවේ, ග්‍රීසියේ සහ රෝමයේ ජනගහනය පහත හෙළීමට සමත් විය.
කහ උණට ද මේ සම්බන්ධ ඉතිහහාසයේ වැදගත් ස්ථානයක් හිමි වේ. 1793දී ෆිලඩෙල්ෆියාවේ 55000ක් වූ ජනගහනයෙන් 12000ක් පමණ රට හැරගියේ මේ නිසාය. මෙම පිරිස් අතරට ජනාධිපති වොෂින්ටන් ද අයත් විය. දෙමසක් තුළදී එය 17000කට පමණ වැලඳී 5000ක් දෙනා මරණයට පත් කළේය. මදුරුවන් නිසා හට ගන්නා රෝග දැනටත් ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. නිවර්තන කලාපය ආශ්‍රිතව ඩෙංගු උණ හා බරවා රෝගය තවමත් භයානක රෝග බවට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගන්නා ලද පියවර මගින් සංවර්ධිත රටවල් බොහොමයකින් මැලේරියා රෝගය තුරන් කර හෝ බොහෝ දුරට පාලනය කර හෝ ඇත. බොහෝ අවස්ථාවල මේ රෝගයට ගොදුරුවන වැඩිහිටියන් මිය නොගියත් ඔවුන් බෙලහීන තත්ත්වයකට පත්ව වෙනත් රොගාබාධයන්ට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි කරයි. එන්ෙසෆලයිටීස් නම් රෝගය කෙනෙක් ජීවතක්ෂයට පත් කිරීමට හෝ මොළයට ස්ථීර වශයෙන් හානි පැමිණවීමට හෝ සමත් වේ. මදුරුවා මෙම රෝගය පක්ෂීන්ගේ මාර්ගයෙන් මිනිසාට බෝ කරයි. මදුරු කරදරයෙන් හා මදුරුවන් නිසා හට ගන්නා රෝගාබාධවලින් වැළකී සිටීම සඳහා මදුරුවන් අකමැති දෑ උපයෝගී කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකියයි රූට්ගර්ස්හි කීට විද්‍යාඥයෙක් වූ ඩොනල්ඩ් සුදලන්ඩ් පවසා තිබේ. මෙවන් ද්‍රාවන සම මත ආලේප කිරීමෙන් මදුරුවාගේ සංවේදකයන් ව්‍යාකූල තත්ත්වයට පත්කර ඔබට දෂ්ට කිරීම වළක්වා ගත හැකිය.
ලා පැහැති ඇඳුම්වලට ද සමහර මදුරු වර්ග අප්‍රියතාවක් දක්වයි. එලෙසින්ම ක්‍රමවත්ව යෙදූ දොර රෙදි හා ජනෙල් රෙදි මගින්ද ඔවුන් නිවෙස් තුළට ඇතුළුවීම වළක්වා ගත හැකිය. තවද මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඔබ ගෙවත්තේ හෝ ගෙතුළ හෝ ඇත්නම් ඒවා ඉවත් කිරීමෙන් මෙම උවදුර සාර්ථක ලෙස මැඩ පැවැත්විය හැකිය. ඉවත දමන ටින්, කෑන්, යෝගට් කප්, පොල් කටු හා වෙනත් භාජන තුළ මෙන්ම ටයර් තුළ ද ජලය එකතු වූ විට සතියක් තුළ මදුරුවන් දහස් ගණනක් බෝ විය හැකිය.
මෙය ඔබට වළක්වාලිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත්නම් පළාතේ සෞඛ්‍ය බලධාරීන්ට මේ බව දන්වන්න. ඔබ කුමන ක්‍රියාමාර්ග ගත්තත්, මදුරුවාට කොතරම් වේගයකින් පහර දුන්නත් ඌ ඔබට කෙසේ හෝ දෂ්ට කිරීමට මාන බලමින් සිටී. මදුරුවෙක් ඔබව දෂ්ට කළහොත් ඔබ කළ යුත්තේ එම ස්ථානය මත මද්‍යසාර ස්වල්පයක් ආලේප කර ඒ අප්‍රසන්න හඬ නැවතත් ඔබේ කන වැකේදැයි පරීක්ෂාකාරීව බලා සිටීමය.
ඊඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ පළවූ ලිපියක් ඇසුරෙනි.
කේ.එන්.ඕ. අමරදාස