නරක්වූ බෙහෙත්වල පාඩුව කෝටි 12ක්
සුජිත් හේවාජුලිගේ
වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රමාදයක් හේතුවෙන් ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් 98ක් දේශීය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් කෝටි 56ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම වෛද්‍ය සැපයුම් දේශීය වෙළෙඳපොළෙන් මිලදීගැනීමට සිදුවී ඇත්තේ සැපයුම්කරුවන්ට 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල පරිච්ඡේදයේදී නිකුත් කෙරුණු ඇණවුම් ප්‍රමාදවීම හේතුවෙන් බවද එහි දැක්වෙයි.
මින් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් සැපයුම්කරුවන්ගෙන් අය කරගෙන ගිණුම් ගත කර තිබුණු නමුත් කෝටි හතළිස් හයක මුදලක් අයකර ගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ඖෂධ සැපයුම්කරුවන්ගෙන් මිලට ගත් ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම නිසා රජයේ ඖෂධ නීතිගත සංස්ථාවට 2020 සහ 2019 වර්ෂවල රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
තත්ත්වයෙන් අසමත් කල් ඉකුත් වූ හා හානි වූ ඖෂධවල මුළු වටිනාකම (2020 වනවිට) කෝටි දහයකට වැඩිය. මෙම මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් 2021 වර්ෂයේ නොවැම්බර් 2 වැනිදා වනවිටත් අය කරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.