කවුද මේ ලාල් කාන්ත?


2001 මහ මැතිවරණය පාමුල කොළඹ හයිඩ්පාක්හි දැවැන්ත කම්කරු සමුළුවකි. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ මෙම දැවැන්ත කම්කරු සමුළුව සඳහා හයිඩ්පාක් පිටියත් ඒ ආශ්‍රිත පරිසරයත් රක්ත වර්ණ ධජ පතාකවලින් සරසා තිබූ අතර සටන්කාමීත්වයෙන් පණ පෙවුණ දහස් සංඛ්‍යාත කම්කරු ජනයා උද්වේගකර හැඟීමෙන් එහි රොද බැඳ සිටියහ.  


පිටියේ කෙළවර දැවැන්ත රක්තවර්ණ පීඨිකාවකි. එහි මුලසුන අරා සිටි කම්කරු නායකයා රොද බඳින මහසෙනඟ දෙස තියුණු බැල්මක් හෙළා සිටී.  
ඔහු කේ.ඩී. ලාල්කාන්තය.   


විශේෂත්වය එය නොවේ.  


ලාල් කාන්ත එසේ මුලසුන හොබවන මොහොත වනවිටත් ඔහුගේ ආදරණීය පියාණන්ගේ සිරුර අනුරාධපුර කඩපනහ පිහිටි නිවෙසේ තැන්පත් කර තිබීමය. පෞද්ගලික ජීවිතයේ එබඳු සෝබර අත්දැකීමක්ව තිබියදී වුවද ලාල් කාන්ත තම පංති යුතුකම වෙනුවෙන් පෙනී සිටියේය.  


ලාල් කාන්ත කම්කරු පංතියට නායකත්වය දුන්නේ එබඳු බලගතු ආදර්ශ සමගිනි.  


දුරාතීතයේ දිනෙක පිළිසදරක යෙදෙමින් සිටින මොහොතක ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඔහුගේ නෑ සබඳකම් ගොඩනැගුණු අයුරු මතක් කළේය.  


‘‘මම පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්නේ 1984 දී විතර’’ ලාල් කාන්ත කීවේය.   


ඒ යුගය වනවිට ජනතා විමුක්ති පෙරමුණ තහනම් දේශපාලන ව්‍යාපාරයකි. පක්ෂයේ නායකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ජවිපෙ සාමාජිකයන් හමුද‌ා කඳවුරුවල පොලිස් බැරැක්කවල වධකාගාරවල දෙතිස් වධ බන්ධනයන්ට ලක්වෙමින් තිබූ යුගයයි.  


සමාජයේ පතුළ බිඳගෙන ප්‍රකාශයට පත්වෙමින් තිබූ සමාජ යුක්තිය හා සාමානත්වය ඉල්ලූ අරගලය තෙල් ගැලුමයි ටයරයයි සෑයේ ගිනිබත් වෙමින් තිබූ සමයක් වුවද ලාල් කාන්ත ජවිපෙ කඳවුර තෝරා ගත්තේය.  


ජවිපෙ පූර්ණ කාලීනයකු වූ ලාල් කාන්තට දේශපාලනයට කිරීමට සිදුවූයේ පොළොන්නරුව පදනම් කරගෙනය. පොළොන්නරුවේ අරලගංවිලත් දිඹුලාගලත් පක්ෂයේ සංවිධායකවරයා වූ ලාල් කාන්ත එම ප්‍රදේශ පක්ෂයේ බල කඳවුරු බවට පත්කළේය.   


මර්දනයේ ගිනි පුපුරු පිපිරී යාමත් සමඟ බොහෝ දෙනකු පක්ෂය අතහැර ගියද ලාල් එමග තෝරා නොගත්තේය. ඒ වෙනුවට වඩාත් දැඩිව දේශපාලන කටයුතු කරගෙන ගියේය. අවසානයේදී ලාල් ද මර්දනයේ මළපුඩුවට හසුවිය. හමුද‌ා කඳවුරුවල වධ බන්ධනවලට ගොදුරුවන ලාල් අවසානයේ බූස්ස රැඳවුම් කඳවුරට මාරු කර යැවීය.  


ලාල් කාන්ත නමැති අනන්‍ය චරිත ලක්ෂණවලින් හෙබි දේශපාලන ක්‍රියාධරයාගේ රුවගුණ වඩාත් ඉහළින් කැපී පෙනෙන්නේ බූස්ස කඳවුරේදීය. තෙමුණු බිත්තියක් බිමට පාත්වන්නාසේ විප්ලවයේ කඳවුරු බිමට සමතලා වී ලෙයින් යකඩින් ගින්දරෙන් ඉරණම ලියැවෙමින් තිබුණද අරගලය පිළිබඳ බලාපොරොත්තු අත්නොහළ ලාල් කාන්ත කඳවුරේ ‘ගුලිය’ ලෙස හැඳින් වූ දේශපාලන කණ්ඩායමේ ඉදිරිපෙළ සාමාජිකයෙක් විය.  


බූස්සෙන් නිදහස් වූ ලාල් කාන්ත යළිත් අනුරාධපුරයට ගියේය. මේ අළුමතින් නැගී සිටින ෆීනික්ස් පක්ෂියකු මෙන් ජනතා විමුක්ති පෙරමුණ නැගී සිටි යුගය විය. අහම්බෙන් දිවිගලවා ගත්තෝ සුන්බුන් බවට පත්ව තිබූ ජවිපෙ යළිත් එකලස් කරමින් සිටියහ. ඒ අරගලයේ පෙරමුණේ සිටි නන්දන ගුණතිලක වහාම අනුරාධපුරයට ගොස් ලාල් කාන්ත මුණ ගැසී සාකච්ඡා කළේය. ලාල් යළිත් ජවිපෙ පූර්ණකාලීන වැඩට කොළඹ ආවේය.  


ලාල්ට බාර වූයේ කම්කරු පංතිය සංවිධානය කිරීමේ වගකීමය. ජවිපෙ යැයි කීමට නොහැකි පරිසරයක වුවද ලාල් වැඩබිම්, කම්හල් අතරට ගොස් කම්කරු පංතිය සමඟ අලුත් සාකච්ඡාවක් ආරම්භ කළේය.  


1994 මහමැතිවරණය ප්‍රකාශයට පත්වූයේ ඔය අතරවාරයේ දීය.  


එම මැතිවරණය ජවිපෙට තීරණාත්මක විය. ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමේ පළමු හා ඇතැම් විට අවසන් අවස්ථාව එය වීමේ අනතුර ද තිබිණි. එක් අතකින් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට තවම කල් වැඩි බවට මතයක් විය. අනෙක් අතට ‘රැකෙම්වා මියෙම්වා’’ යැයි කියමින් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවටද මතයක් විය. අවසානයේදී ජයගත්තේ දෙවැනි මතය වේ.  


මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ ද ඒ සඳහා බොහෝ දෙනකු ආශීර්වාද කළද ඡන්ද අපේක්ෂක ලැයිස්තුවට නම ඇතුළත් කිරීමට ඇතැමෙක් අකමැත්ත ප්‍රකාශ කළහ. එහෙත් ලාල් බිය නොවීය. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් විය. පොළොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායකයා ලාල් කාන්තය.  


සමස්තයක් වශයෙන් එම මැතිවරණයෙන් ජවිපෙ පරාජය වුවද මැතිවරණයට ඉදිරිපත් වීමම ද ජයග්‍රහණයක් විය. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නිහාල් ගලප්පත්ති ජයග්‍රහණය කළ අතර මැතිවරණ පොරපිටියේ හාස්කම්පාමින් පෙරට ඒමේ ජයග්‍රාහී ගමන ආරම්භ වූයේ එතැනිනි.  


නිර්ධන පාන්තික දේශපාලන ව්‍යාපාරයක කොඳු නාරටිය කම්කරු පංති ව්‍යාපාරය බව අනුදත් ලාල් වේගයෙන් වැඩ කළේය. ඒ අනුව සමාජවාදී කම්කරු සංගමයේ ජාතික සංවිධායකවරයා වූ ලාල් කාන්ත රාජ්‍ය අංශයේ බලවත්ම වෘත්තිය සමිතිය ලෙස සමස්ත ලංකා රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය පත් කළේය. අන්තර් සමාගම් සේවක සංගමය අරඹා පෞද්ගලික අංශයේ බලවත්ම වෘත්තිය සමිතිය බවට පරිවර්තනය කළේය.   


2000 හා 2001 දී ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය ලාල් කාන්ත 2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගියෙ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු වැනියා ලෙසය. ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙකු ලෙසද කටයුතු කළ ලාල් සුනාමි සහන මණ්ඩලයට විරෝධය පා ජවිපෙ සමඟ ආණ්ඩුවෙන් එළියට ආවේය.  


ලාල් කාන්ත විශේෂවන්නේ සිරගත කළ ජීවිතයක් ඔහු ගත නොකිරීමය. පක්ෂයේ විනයට යටත්ව වුවද ඔහු ඔහුටම ආවේණික ජීවන විලාසයක් හා විලාසිතාවක් ප්‍රදර්ශනය කළේය.  


‘ඔව්, විමල් පක්ෂයෙන් ගිය එක පාඩුයි. නන්දන ගිය එක පාඩුයි. පක්ෂය නැවත ගොඩනැගීමේදී ඔවුන් දෙදෙනාගේ දායකත්වය සුවිශේෂයි’  
ලාල් කාන්ත එසේ කීවේ ඉතා මෑතකදී රූපවාහිනි සාකච්ඡාවකදීය. ද්‍රෝහීන් ලෙස නම් කළද ඔවුන් දෙස මැදහත්ව බැලීමට තරමට ලාල් විවෘත මිනිසෙකි.  
‘උඹටත් ඇති තව කෙනෙකුට නොකිවයුතු රහස්. මටත් තියෙනවා. ඒ රහස් අනෙකාට නොකියා සිටීමේ ශක්තිය මට තියෙනවානම් ඇයි මම කතා නොකර ඉන්නේ?’ ලාල් කියන්නේ එහෙම කතාවකි.  


මේ ඉතාම මෑතකදී කේ.ඩී. ලාල්කාන්ත පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවක කොටසකි.   


දේශපාලන පිරිසිදුභාවයත් රැකගෙන බහුතර ජනතාව අතරට යන්නේ කොහොමද?  


ජවිපෙ විදියට විවිධ අවධීන්වල ගොඩ නඟපු ආකල්ප, සංස්කෘතීන් සහ උපසංස්කෘතීන් එසේ තිබියදී සමාජය ඉදිරියට ගමන් කරලා සමාජ සංස්කෘතිය වෙනස්වීමක් වෙලා තියෙනවා. අපිම හදපු සංස්කෘතීන් අපටම පෙරළා හානිකර විදියට බලපාලා තියෙනවා. ඒවා අපි හදාගන්න ඕනෑ. දැන් දේශපාලනිකව මිනිස්සු දිහා බලන්න ඕනෑ. ඒ වෙනුවට වෙන වෙන දෘෂ්ටිකෝණයන්ගෙන් පක්ෂ සහ මිනිස්සු දිහා බලන ප්‍රවණතාවක් තියෙනවා. ලාල් කාන්ත කන්නේ මොනවාද කියලා කවුරුත් අහන්නේ නැහැ. හැබැයි අපිම හදලා තියෙන සංස්කෘතියක් ඇතුළේ ලාල් කාන්තගෙන් සමාජය බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. මම ඒක දෙන්න සමත් වෙන්න ඕනෑ. මෙවැනි ප්‍රතිවිරෝධාත්මක ස්වභාවයන් ඇතුළේ තමයි අපි කොහොමත් යන්න ඕනෑ.  


ජවිපෙ අයට බොන්නම එපා කියලා තියෙනවාද?  
අපේ පක්ෂයේ රෝහණ විජේවීර සහෝදරයා ආරම්භ කරන අවධියේ අපට බස් එකේ යන්නවත් මුදල් තිබුණේ නැහැ. ඒ නිසා පක්ෂයට සම්බන්ධ වන අය අතරේ සිගරට්, අරක්කු බොන අය සම්මතයක් හද‌ාගත්තා අපි අරක්කු සිගරට්වලට යන මුදල අපේ පක්ෂයේ වැඩවලට යොද‌ා ගනිමු කියලා. ඒ සංස්කෘතිය පක්ෂයේ අද දක්වා සාකච්ඡා වෙනවා. කතාවෙනවා. අපේ පක්ෂයේ නීතියක් හැටියට ඒක නැහැ. සාමාජිකත්වය ලබාගනිද්දී බොනවාද කියලා බලන්නේ නැහැ. මම හිතනවා අපි පැය විසිහතරේම දේශපාලනය කරන අය නිසා වැළකිලා ඉන්න පුළුවන් නම් හොඳයි.  


සමාජය වෙනුවෙන් කැපවී ඉන්න කෙනෙක් නොබී ඉන්න එක හොඳයි. ඒ නිසා අපි උත්සාහ කරනවා ඒ හොඳ දේ පවත්වාගෙන ඉන්න. මගේ පවුලේ නෑදෑ හිතමිත්‍රයෝ ගත්තාම ඒ හැමෝම වගේ බොනවා. මමත් හොඳට බීලා තියෙනවා. මට ඉන්න හොඳම යාළුවෝ බොන්නැති අයට වඩා හොඳයි. බීමෙන් නොබීමෙන් මිනිහෙකුගේ හොඳ නරක මනින්න බැහැ. බීමෙන් නොබීමෙන් පක්ෂයක හොඳ නරක මනින්නත් බෑ. බීම සම්බන්ධ කාරණය මම නම් පෞද්ගලිකව දේශපාලන කාරණයක් විදියට සලකන්නේ නැහැ.  මේ ලාල් කාන්තය.  
2011 වසරේ ජවිපෙ අභ්‍යන්තරයේ වූ දේශපාලන පිපිරුම පක්ෂයට විශාල හානියක් කළේය. පක්ෂයේ සැඟවුණු නායකයා යැයි කී කුමාර් ගුණරත්නම් ඇතුළු නායකයෝ විශාල පිරිසක් ජවිපෙ අතහැර ගියහ. පක්ෂයේ සංවිධාන සියල්ලම පාහේ බිඳ වැටුණේය. එහෙත් ලාල් කාන්ත නායකත්වය දුන් කම්කරු සංගමය සීගිරි ගල සේ නොසැලී සිටියේය.  


ඇත්තම කියනවානම් ඒ මොහොතේ පක්ෂය රැකගත්තේ ලාල්ය. ඒ ලාල්ට හැමදෙයටම වඩා පක්ෂය ලොකු වූ හෙයිනි. ඔහු අභ්‍යන්තරයෙන් විවෘත මිනිසකු වූ හෙයිනි.  


ඒ ලාල්කාන්ත මේ සටහන තබන මොහොත වනවිට සිටින්නේ අනුරාධපුර බන්ධනාගාරයේය. ඒ බීමත්ව රිය පදවා අනතුරක් කිරීමේ වරදටය. ලබන 14 වැනිද‌ා දක්වා ලාල් කාන්ත රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය නියෝග කළාය.  


ලාල් කාන්තගේ රිය අනතුරත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජ සංවාදයක් ඇති වී තිබේ.  


‘‘ජවිපෙ නායකයන්ට බොන්න එපා කියලා නීතියක් නැහැ. ඒත් එහෙම සම්ප්‍රදායක් තියෙනවා’’ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍යයට කීවේය. 

 
ජවිපෙ නොව කවුරු බීවත් වැරදිය. බීමත්ව රිය පැදවීම බරපතළ වරදකි. සමාජයට වග කියන චරිත පරිස්සම් වියයුත්තේ එහෙයිනි.

සටහන - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්