කෘෂි වෘත්තිය සමිති
ඉන්දික හේවාවිතාරණ
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි තනතුරේ අනුමත සේවක සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් පුරප්පාඩු වී තිබෙන බව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි වෘත්තිය සංගම් සඳහන් කරයි. අනුමත සේවක සංඛ්‍යාව 10,400ක් බවත් මේ වන විට සේවය කරනු ලබන්නේ නිලධාරීන් 5000කට ආසන්න ප්‍රමාණයක් බවත් එම සංගම් පෙන්වා දෙයි.
ගොවි ජනතාවට වගා කටයුතු සිදුකිරීමට අවශ්‍ය දැනුම හා සහාය ලබාදීම, කන්න රැස්වීම්වලට අදාළ කටයුතු හා පොහොර සහනාධාරය ලබාදීම ඇතුළු වැඩකටයුතු රැසක් මෙම නිලධාරීන් සිදුකරන බවද සඳහන් කරති.
ආයතන විසි තුනකට අදාළ තොරතුරු ලබාදීම ද මෙම නිලධාරීන් විසින් සිදුකරනු ලබන බවත් 2014 වසරින් පසු මෙම සේවාවට විධිමත් ලෙස බඳවා ගැනීමක් සිදුකර නොමැති බවත් පෙන්වා දෙති.
1996 වසරේදී මෙම සේවාවට ඇතුළත් වූ පිරිස් මේ වන විට විශ්‍රාම යමින් තිබෙන නිසා ඉදිරියේදී පුරප්පාඩු ප්‍රමාණය තවදුරටත් ඉහළ යන බවද සඳහන් කරති.
පවතින පුරප්පාඩු නිසා ඇතැම් නිලධාරීන්ට තම වසමේ රාජකාරිවලට අමතරව වසම් කිහිපයක රාජකාරි ආවරණය කිරීමට සිදුව තිබෙන බවද වව්නියාව දිස්ත්‍රික්කය සැලකීමේදී එක් නිලධාරියෙකු වසම් හතරක පමණ රජකාරි කටයුතු සිදුකරන බවද පවසයි.
සංගම් පවසන්නේ පවතින පුරප්පාඩු නිසා ගොවීන්ට සේවා සැපයීමේ දී සේවයේ නිරතව සිටින නිලධාරීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවය. වැඩ බැලීමේ රාජකාරි සඳහා ලබාදෙන්නේ රුපියල් 7500ක දීමනාවකි. ප්‍රවාහන දීමනා වශයෙන් මාසයකට රුපියල් 1000ක මුදලක් ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වුවත් තවමත් ලැබෙන්නේ රුපියල් 300ක පමණ දීමනාවකි.