කසළ ගොඩෙන් රන් සොයන තරුණයෙක්


 

වර්තමානයේ අපගේ පරිසරයට වැඩියෙන්ම වින කරනු ලබන ද්‍රව්‍ය බවට පත් වී ඇත්තේ පොලිතින් සහ ප්ලාස්ටික්ය. ජනතාව විශාල වශයෙන් පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයට පෙළඹී ඇති අතර භාවිතයෙන් පසු දිනකට බැහැර කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් ගණනකි. ඒවා පරිසරයට එකතුවීම සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. පහසුවෙන් නොදිරණ හෙයින් ඒවා වළ දැමීමට හෝ පුළුස්සා දැමීමට හෝ සිදු වේ. 


මෙම ද්‍රව්‍ය කිසියම් ස්ථානයක ගොඩගසා පිළිස්සීමේදී විෂ වායුවක් නිකුත් කෙරෙන හෙයින් වායු දූෂණයක් සිදු වන අතර වළ දැමීමෙන් භූගත ජලය අපිරිසුදු විය හැකිය. පොලිතින් හා ප්ලාස්ටික් පුලුස්සා දැමිය යුත්තේ අධික උෂ්ණත්වයක් යටතේය. එසේ නොවන අවස්ථාවල ඉන් නිකුත් කෙරෙන විෂ වායු මගින් උගුරේ, නාසයේ සහ පෙණහලුවල පිළිකා ඇතිවීමේ අවදානමක් පවතී. 
වර්තමානයේ විශාල ගැටලුවක් බවට පත් වී ඇති ප්ලාස්ටික් හා පොලිතින්වලින් පරිසරයට සිදු කෙරෙන හානිය අවම කිරීම සඳහා ගත හැකි වැදගත්ම පියවර වනුයේ ඒවා ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමය.  


රටේ පවතින මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා කටාන ප්‍රදේශයේ තරුණයකු ඉදිරිපත් වී සිටියි. ඔහු ජයන්ත කුමාරසිරිය. ස්වයං ව්‍යාපාරයක් ලෙස පොලිතින් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් ආරම්භ කොට ප්‍රදේශයේ රැකියා විරහිතයන් කිහිප දෙනකුට රැකියා අවස්ථා ලබා දීමටද ඔහු සමත් වී සිටී. 


ජයන්ත කුමාරසිරි සිය වෘත්තිය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදන ආයතනයක සේවකයකු වශයෙනි. එම විෂය  පිළිබඳ මනා පරිචයක් ලද ඔහු පසු කාලයේ පොලිතින් ප්‍රතිචක්‍රීකරණ කම්හලක කළමනාකරුවකු වශයෙන් සේවය කළේය. එම ආයතනයට ප්‍රතිචක්‍රීකරණය සඳහා ගෙන එනු ලැබුවේ අරාබි රටවලින් ඉවත දමන ඉතා අපිරිසුදු තත්ත්වයේ පැවැති පොලිතින්ය. තමා ජීවත් වූ ප්‍රදේශයේ දිනකට පොලිතින් හා ප්ලාස්ටික් ටොන් තුන හතරක් පමණ අපද්‍රව්‍ය වශයෙන් පරිසරයට එකතු වන බැව් ඔහුට පෙනිණි. විදේශවල අපද්‍රව්‍ය ලංකාවට නොගෙන්වා අපේ රටේ පරිසරයට වින කරන පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව කම්හල් පාලකයන්ට ජයන්ත කරුණු ඉදිරිපත් කළේය. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ රැකියාව අහිමි කිරීමය. 


රැකියා විරහිතයකු වූ ඔහු තම අරමුණ කෙසේ හෝ ඉටු කර ගැනීමට සිතා ගත්තේය. ප්‍රදේශයේ සෑම තැනකම ඇවිද ඉවත දමන පොලිතින් පරිසරයට මුදා නොහැර තමාට ලබා දෙන මෙන් ප්‍රදේශවාසීන්ගෙන් හා මීගමුව නගර සභාවෙන් ඉල්ලා සිටියේය.

ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඔහුට තිබුණේ නැත. ඔහු පළමුවෙන් කළේ නගර සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෙන් රැස් කරගත් පොලිතින් තෝරා පිරිසුදු කොට රැස්කිරීමය. පොලිතින් එකතු කිරීම සඳහා පුද්ගලයන් කිහිප දෙනකුගෙන් යුත් ජාලයක්ද ඔහු ගොඩනැගීය. ඔවුන් නගරයේ වෙළෙඳසැල්වලින් ඉවත දමන පොලිතින් එකතුකොට ඔහුට ලබා දුන් අතර ඒ සඳහා මුදලක් ද ඔවුන්ට ලැබිණි. මීගමුව, ගම්පහ, නිට්ටඹුව වැනි ප්‍රදේශවල 40කින් පමණ සමන්විත පිරිසකගේ ජීවනෝපාය වූයේ ඔහු වෙනුවෙන් පොලිතින් එක්රැස් කිරීමය. රුපියල් 40 සිට 60 අතර මුදලක් පොලිතින් කිලෝවක් සඳහා ගෙවීමට ඔහු ක්‍රියා කළේය.


ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කෙරුණේ 2006 වසරේය. ඒ සඳහා ආරම්භයේදී ඔහු සතු වූයේ රුපියල් 30,000ක පමණ ප්‍රාග්ධනයකි. තමන්ට ලැබෙන පොලිතින් ඝනත්වය අනුව වර්ගීකරණය කළ ඔහු ඒවා පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කරන ආයතන කිහිපයකට අලෙවි කළේය. මෙම ආයතන වැඩි වශයෙන් පොලිතින් සපයා ගත්තේ ඇඟලුම් කම්හල්වලිනි. නගරයේ එකතුවන පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාමාර්ගයක් ඔවුන් සතු නොවීය. මෙම ව්‍යාපෘතිය වැඩි දියුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමටත් සහය ලබා දෙන මෙන් ඔහු රජයේ විවිධ ආයතනවලින් ඉල්ලා සිටියේය. රටේ ඉහළම පුද්ගලයාට ද ලිවීය. සියලු ආයතනවලින් ඔහු ලද පිළිතුර වූයේ ‘ඔබේ ලිපිය අසුවල් තැනට යොමු කළා’, ඔබේ අවශ්‍යතාව පිළිබඳව ඉදිරියේ දී සලකා බලන්නම්’ වැනි පිළිතුරුය. 


තම ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා අයි. යූ. සී. එන්. ආයතනයේ උපකාරය ඔහුට ලැබිණි. ඔවුන්ගේ ඇරයුමින් පාසල් දැනුම්වත් කිරීම, කොම්පෝස්ට් බඳුන් ලබා දීම, පැළ බෙදා දීම වැනි කටයුතු ඔහු විසින් සිදු කෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අයි. යූ. සී. එන් ආයතනයෙන් ලැබිණි. ප්‍රති උපකාරයක් වශයෙන් ඔහු පාසල්වලින් ඉල්ලා සිටියේ ඉවත දමන පොලිතින් තමාට ලබා දෙන ලෙසටය. 


මීගමුව ප්‍රදේශයේ පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කළ සුළු පරිමාණ කම්හලක් තිබිණි. එහි හිමිකරු එම ව්‍යාපාරය නවතා දමන විට එහි යන්ත්‍ර සූත්‍රවලින් කොටසක් ලක්ෂ 12ක් පමණ ගෙවා මිලට ගැනීමට ජයන්තට හැකි විය. ඒ සඳහා ඔහුට උපකාර වූයේ අක්වාන් ගජනායක නම්  මිතුරෙකි. තම කුඩා කම්හල ඉදිකර ගැනීම සඳහා බැංකු ණය ලබා ගැනීමට ඔහුට තම නිවෙස උගසට තැබීමට සිදු විය. සුළු ව්‍යාපාරිකයන්ට උපකාර කරන බවට ප්‍රකාශ කරන බොහෝ ආයතනවල ප්‍රකාශ, වචනවලට පමණක් සීමා වී ඇතැයි ඔහු පවසයි.


ජයන්ත තම කුඩා කම්හලේ පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කොට ඒවා ප්ලාස්ටික් ඇට (පෙලට්ස්) බවට පත් කරයි. එම ප්ලාස්ටික් ඇට ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරන කම්හල්වලට අලෙවි කෙරේ. ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම දැනට ඔහුගෙන් සිදුවන සේවයයි. ඔහුගේ කුඩා කම්හලේ මසකට පොලිතින් ටොන් 16ත් 20ත් අතර ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. එහෙත් මසකට සපයා ගත හැක්කේ ටොන් දෙක තුනක් පමණි. 


ජයන්ත වාසය කරන්නේ මීගමුව, කටාන, දිවුලපිටිය, මිනුවන්ගොඩ, කටුනායක - සීදුව යන නගර සභා පහකට මැදිවය. එහෙත් ඇතැම් නගර සභාවලින් ඔහුට පොලිතින් ලැබෙන්නේ නැත. එම නගර සභාවලට එකතුවන පොලිතින් පුලුස්සා දැමීම සඳහා පුත්තලමට යවනු ලබයි. ඒ සඳහා ප්‍රවාහන ගාස්තු වශයෙන් නගර සභාවලට කිසියම් පිරිවැයක් දැරීමට සිදු වේ. එම මුදලින් පොලිතින් තේරීමට හා පිරිසුදු කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර කිහිපයක් ස්ථාපනය කොට පිරිසුදු කරන ලද පොලිතින් තමන්ට ලබා දෙන මෙන් ඔහු ඇතැම් නගර සභාවලින් ඉල්ලා තිබේ. 


නගර සභාව මගින් රැස්කරනු ලබන අපද්‍රව්‍ය සමඟ ඇති පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා එවැනි කර්මාන්ත පවත්වාගෙන යන පුද්ගලයන්ට ලබා දීමේ ක්‍රියාවලියක් තිබේදැයි අපි මිගමුව නගර සභාවෙන් විමසා සිටියෙමු. එහි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ. ජී. සෝමසිරි මහතා මෙලෙස සඳහන් කළේය.


“මීගමුව ප්‍රදේශය කලාප 15කට වෙන් කර කුණු එකතු කිරීම සිදු කරනවා. ඉන් කලාප 4ක කුණු පෞද්ගලික සමාගමක් මගින් එකතු කරන අතර අනෙක් ප්‍රදේශවල කුණු එකතු කරනු ලබන්නේ මීගමු නගර සභාව මගින්. වසර දෙකකට පමණ ඉහත සිට පොලිතින් වැනි නොදිරන ද්‍රව්‍ය වෙනමත්, දිරන කුණු වෙනමත් එකතු කිරීමට කටයුතු කළා. ජනතාවට අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ එතරම් අවබෝධයක් නැහැ. නැත්නම් නොසැලකිල්ල නිසා ඒ පිළිබඳ තැකීමක් නැහැ. ඇතැම් පුද්ගලයන් තවමත් මේවා වෙන් කිරීමකින් තොරව ගෙනත් දානවා. ඒ නිසා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් මීගමු නගර සභාව මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.


ප්‍රතිචක්‍රීයකරණය සඳහා සුදුසු හොඳම වර්ගයේ පොලිතීන් කුණු එකතුකරන පුද්ගලයන් විසින්ම වෙන්කරගෙන නගරයේ ඇති එකතු කිරීමේ ස්ථානවලට ලබා දෙනවා. කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි ෂොපින් බෑග් වැනි පොලිතීන් එකතු කරලා පුත්තලමේ සිමෙන්ති කර්මාන්ත ශාලාවකට අපි යැව්වා. ඔවුන් ඒවා අධික උෂ්ණත්වයක් යටතේ පුලුස්සා දැම්මා. පොලිතීන් සහ වෙනත් නොදිරන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන පුද්ගලයන්ගේ අවශ්‍යතාව සපුරාලීම සඳහා  ලබා දීමේ අරමුණින් ඒවා මිලදී ගැනීිමට නගර සභාව මේ වන විට පියවර ගෙන තිබෙනවා. මුහන්දිරම්පිටිය නමැති ස්ථානයේ මිලදී ගෙන රැස්කරන ස්ථානයක් පිහිටුවා තිබෙනවා. එකතු කරන ලද පොලිතීන් ඉදිරියේ දී අවශ්‍ය පුද්ගලයන්ට අලෙවි කිරීමට අප කටයුතු කරනවා.”


ඇඟලුම් කම්හල්වලින් ඉවත දමන පොලිතින් ලබා ගෙන තම ව්‍යාපාරය පහසුවෙන් කරගෙන යෑමට ජයන්ත කුමාරසිරිට හැකි වුවද ඔහුට අවශ්‍ය පරිසරයට හානි සිදුකරන ප්‍රදේශයේ එකතුවන පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීමය. එමගින් පරිසරය පිරිසුදු වීම මෙන්ම දිළිඳු පුද්ගලයන් කිහිප දෙනකුට ආදායම් මාර්ගයක් ද සැපයෙන බව ඔහු කියා සිටී.


ඉවත දමන පොලිතින් මෙන්ම ගෝනි, පොහොර බෑග් ආදිය උපයෝගී කරගෙන ෆයිල් කවර, කාන්තා අත්බෑග්, වට්ටි ආදිය නිෂ්පාදනය කරන ඔහු තමන්ට තවත් බොහෝ දේ නිෂ්පාදනය කළ හැකි යැයි කියා සිටී. මේ සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ එක්තරා ආයතනයකින් ඔහුට අවශ්‍ය දැනුම ද ලැබී තිබේ. වහලය සඳහා භාවිත කෙරෙන උළු, වැසිකිළි කටවල් හා ජංගම වැසිකිළි නිෂ්පාදනය කිරීම සඳහා ඔහු මේ දිනවල අත්හදා බලමින් සිටී. දැනට තම නිෂ්පාදන සිදු කරනුයේ කුඩා යන්ත්‍ර කිහිපයක් ආධාරයෙනි. නව නිෂ්පාදන සඳහා යාන්ත්‍රික ක්‍රියාවලියක් අවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලට ගැනීම සඳහා කිසියම් පුද්ගලයකුගේ හෝ ආයතනයක හෝ සහය ලැබේනම් පරිසරයට වින කරන පොලිතින්වලින් පරිසර හිතකාමි නිෂ්පාදන රැසක් හඳුන්වාදීමට ඔහු සූදානමින් සිටී. 


ජයන්ත කුමාරසිරිගේ පොලිතින් ප්‍රතිචක්‍රීයකරණ කම්හලේ දස දෙනෙක් පමණ සේවය කරති. ඒ සියල්ලන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුහු නිසි ආදායම් මාර්ගයක් නොමැති අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත පුද්ගලයෝ වෙති. ඔවුන්ගෙන් වැඩි පිරිස කාන්තාවෝය. ඔවුන් පුහුණු කොට ඔවුන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ජයන්ත සමත් වී සිටී. 


ශ්‍රී ලංකාව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තවමත් ඉතාමත් පසුගාමි තත්ත්වයේ පසුවන බව ඔහු පවසයි. “ප්ලාස්ටික් බීම බෝතල් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ නැහැ. මෙරට එකතුවන පෙට් බෝතල්, කාඞ්බෝඞ් වැනි දෑ ප්‍රතිචක්‍රීකරණය සඳහා යැවෙන්නේ ඉන්දියාවට හෝ චීනයටයි. මේ සියලු ද්‍රව්‍ය අපේ රටේම ප්‍රතිචක්‍රීයකරණ කරන්න අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා දැනුම සහිත පුද්ගලයන් සිටිනවා. ඔවුනට ප්‍රාග්ධනය නැහැ. ඒ නිසා රජයේ මැදිහත්වීම ඉතාමත් වැදගත්. අප තවමත් සිටින්නේ දියුණු රටවල ප්‍රතිචක්‍රීකරණය ඇරඹි මුල්  අවධියේ. මෙම ක්‍රියාවලිය අපේ රටට අත්‍යවශ්‍යයයි. එසේ නොමැති වුවහොත් දැනට පවතින පරිසර දූෂණය තවත් උග්‍ර වේවි.”


අපේ පරිසරයට විශාල තර්ජනයක් වී ඇති පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හා භාවිත කොට ඉවත දමන එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. ඒ සඳහා රජයේ දායකත්වය උපරිමයෙන් ලැබිය යුතු වන අතර ඒවා ප්‍රතිචක්‍රීයකරණය කොට පරිසරය ආරක්ෂා කිරීමට හා රැකියා විරහිතයන්ට කිසියම් අදායම් මාර්ගයක් තනා දෙන ජයන්ත කුමාරසිරි වැනි තරුණයන්හට අවශ්‍ය සහය ලබා දී ඔවුන් දිරිමත් කිරීම පරිසරයට ආදරය කරන සැමගේ යුතුකමක් වන්නේය.


සටහන - 
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය