කැලණි,කළු,වලවේ රටම හඬවා ඇයිද ගැලුවේ ?


 

කලුගල්වල හැපි හැපී රැළි නගා, පෙන නංවා සුන්දර දසුන් මවමින්, ජනතා සිත් පිනවමින් ගීතවත්ව වෙනදාට ගලා බසිනා ගංගා පසුගිය විසිපස්වැනිදා රාත්‍රි අන්ධාකාරය සමග සුළි නංවා, ගොරව ගොරවා ගලා බැස්සේ සුන්දර ජන ජීවිත සදාකාලික අන්ධකාරයකට ගෙන යමිනි. 


කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් හතක දෙසිය දෙකක් මරණයට පත්ව 629,742ක් අවතැන්ව අනූහයක් අතුරුදන් කරන්නට මෝරා සුළි කුණාටුව සමත් විය. පැය කීපයක් ඇතුළත දිවයිනේ බොහෝ ස්ථානවලට මිලිමීටර තුන්සීයකට අධික වර්ෂාවක් ඇදහැලීම ඓතිහාසික තත්වයක් බව කාලගුණ විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ගේ මතය වේ. මේ ධාරානිපාත වැසි හමුවේ ගංගා පිටාර ගැලුවා පමණක් නොව මහ කඳු සලිත විය. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් කඳු පහකට අධික ප්‍රමාණයක කොටස් කඩා වැටී ජීවිත රැසක් බිලිගනු ලැබිණ. කලුතර ජලගැල්මෙන් හා නාය යාමෙන් විපතට පත් පවුල් සංඛ්‍යාව 29390කි. හැට දෙකකට ජීවිත අහිමි වූ අතර තවත් විශාල පිරිසක් අතුරුදන් වී සිටී. 


කුකුළේගඟ ජලාශය කේන්ද්‍රව කඳු රැසක් නාය යාමට ලක්විය. අයගමත් පාලින්දනුවරත් යා කරන මුනිහිංකන්ද, පන්දලහේන, කෝට්ටේගොඩ, ලත්පඳුර, කිතුල්කණුහේන, චීනහේන, වලකඩ කඳු සියල්ල පවතින්නේ ජලාශය ආසන්නයේමය. පන්දලහේන කන්දේ පස් කඩාවැටීමෙන් පවුල් විසිඑකක සාමාජිකයෝ අවතැන් වූහ. ජීවිතය අහිමි කර ගත්හ. කුකුළේගඟ විදුලි සම්ප්‍රේෂණ කුලුනු පිහිටා තිබෙන්නේද ඒ කන්ද ආසන්නයේමය. මුනිහිංකන්ද නාය යාමෙන්ද ජීවිත රැසක් අහිමි විය. එසේම කුකුළේගඟ අවහිර වීමෙන් ජල ගැලීම් තත්ත්වය තවත් තීව්‍ර විය. කෝට්ටේගොඩ කන්ද  පිහිටා තිබෙන්නේ ජලාශයේ රක්ෂිතයේ බැවින් කිසිවෙකුටත් හානියක් නොවුණද මාර්ග අවහිර වීම් සිදුවිය. ලත්පඳුර කන්ද නාය යාමෙන් පවුල් හයක් අවතැන් විය. කිතුල්හේන කන්ද නාය යාමෙන් පවුල් විසි එකක්ද වලකඩ කන්ද නාය යාමෙන් පවුල් පහළොවක්ද අවතැන් විය. 


මීට අමතරව බදුරලිය හැඩිගල්ල කන්ද, අත්වැල්තොට කන්ද, බෙල්ලන යකුපිටිය කන්ද හා පාහියංගල කන්ද ද නාය ගිය කඳු අතරට එක්ව තිබේ. මේ සියල්ල හමුවේ ජීවිත රැසක් හා දේපළ අහිමිව ගොස් අසරණ වූ ජනතාව අතරින් ඉතාමත් සංවේදී කතා ද අසන්නට ලැබේ. ඡන්ද හිමි නාමලේඛනය පුරවන්න දන්න කියන මහත්තයෙකුට පසුදින එන්න කියපු මුවහින්කන්ද පාමුල ජීවත් වූ රුවන් කුමාර සිය පවුලම සමග ඡන්ද හිමි නාමලේඛනය නොව මරණ ලැයිස්තුවට නම එක්කොට යන්න ගියේය. සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට ඉමූ... සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමූ... යන්න තම බිරිඳට හෝ සැමියාට දරුවන්ට ආදරය කරන ඕනෑම කෙනෙකුගේ ප්‍රාර්ථනාව විය හැකිය. ඒ ප්‍රාර්ථනා යථාර්ථයක් බවට පත් කරමින් මෙවර නාය යාම් රැසකදී මෙන්ම ජල ගැලීම්වලදීද එකම පවුලේ සාමාජිකයන් වැඩි දෙනෙක් එකට අවසන් ගමන් ගියහ.


අත්වැල්තොට නාය යාමෙන් එකම පවුලේ පස්දෙනෙකු ඇතුළු එකොළොස් දෙනෙක් පස් යට එකට වැළලුණේ එකට එක ගමනක් තවත් බොහෝ දුර යන්නට සිතා සිටියදීය. යන්ත්‍ර සූත්‍ර භාවිතා කර ගොඩනැඟුණු බොහෝ දෙනාගේ සිරුරු වෙනුවෙන් මිනී පෙට්ටියක්වත් හිමිවූයේ නැත. කිසිදු ආවරණයක් නැතිව සිය ඥාතීන් ඩෝසර් මගින් කපනු ලබන වළකට අතැර දමා අහක බලා සිටින්නට නොහැකි වූ ඇතැම්හු සිය ඥාතියා ඉටි රෙදිවල ඔතා වළදමන්නට කටයුතු කළහ. අත්වැල්තොට එම්.එස්. ගුණවතී නමැති හැට හැවිරිදි මාතාවගේ අවසන් කටයුතු සිදුකරන්නට ඇගේ ඥාතීන්ට සිදු වූයේද සිරුර පොලිතින් උරයක ඔතා මිහිදන් කරමිනි.


පාහියංගල කන්ද නාය යාමෙන් දෙමාපිය යුවළකට සිය එකම සිඟිති දරුවා අහිමිව තිබිණ. ඇඳිවත පමණක් ඉතිරිව කඩාවැටුණු පස් කන්දක තනිව සිටි මේ යුවළට දරුවාගේ අවසන් කටයුතු කරන්නට තරම් වත්කමක් ඉතිරිවූයේ නැත. ඒ නිසා දරුවා රෙද්දක ඔතා වළදමන්නට දරුවාගේ පියා කටයුතු කළේය. මරණ පරීක්ෂක පැමිණ අදාළ පරීක්ෂණ පැවැත්වූයේ එම සිරුර නැවත ගොඩ ගැනීමෙනි. ඒ නිසා මේ පියාට තම එකම දරුවාගේ අවසන් කටයුතු දෙවතාවක් සිදුකරන්නට සිදුවිය. මාවතවත්ත ලෑන්ඞ්ස්කේප් වතුයායේ සිදු වූ තවත් නාය යාමකින් අතපය කැඩීගිය අජිත් රෝහල්ගතව සිටියත් අද ඔහු බලන්නට ආදරණීය බිරිඳ පැමිණෙන්නේ නැත. දරුවන්ද දකින්නට නැත. ඔහුගේ දෑස් කොතෙක් ඒ දෑස් සෙවූවද ඒවා දැකගන්නට තවත් නම් අජිත්ට වාසනාව නැත. ඒ ඔවුන් රුදුරු කුණාටුවේ රකුසන් විසින් පස් යට සඟවා තැබූ බැවිනි. හෙට දිනයේ අජිත් බලාගන්නේ කා විසින්ද? කිසිදු වන්දියකට ඒ අඩුව පුරවන්නට හැකිද? 


අත්වැල්තොට කන්ද නාය ගියේ අත්වැල්තොට ශ්‍රී ගංගාරාමයට කිසිදු හානියක් නොවන පරිදි රැකගනිමිනි. විහාරස්ථානයට අඩි දහයක් දොළහක් ආසන්නයේ නාය නැවතී ඇත. ජීවිතයේ කොයි තරම් දේපල හම්බ කළත් යන දාට ගෙනියන්නේ නැතැයි සමාජයේ පවතින මතය නිකම්ම මතුවූ දේවල් නොවේ. ගංවතුරට හසුවුවත්, නාය ගියත්, වෙනත් ස්වභාවික විපතකට පත්වුවත් ඒ කාටත් අවසන් ගමන් යන්නට සිදුවන්නේ එකම ලෙසකටය. වාහන රැසකට හිමිකම් කියූ අත්වැල්තොට ධනවත් ව්‍යාපාරිකයෙකුට ද තමන්ගේ සියලු දේපල සමග පස් යට වැළලෙන්නට සිදුවූයේ එගම අනෙක් වැසියන්ට සේම එකම ඉරණමකට මුහුණ දීමෙනි. 
රිවිරැස මෙහෙයුම, ජයසිකුරු ආදී ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් වූ යුද මෙහෙයුම් රැසකට මුහුණ දුන් වර්ණ සැරයන් හෙට්ටිආරච්චි යුද්ධයේදී වගේම මේ විපතේදීද ජීවිතය බේරාගන්නට සමත් විය. තිදරු පියෙක් වන ඔහු සිය දරුවන් මෙන්ම දරුවන්ද රැකගන්නට සමත්වී තිබේ. එහෙත් යුද්ධයෙන් අහිමි වූ තමන්ගේම පාදය වෙනුවට ලබාදී තිබූ කෘත්‍රිම පාදය ද අද හෙට්ටිආරච්චිට අහිමිව ගොසිනි. විශ්‍රාම ගැනීමෙන් පසු තමන්ගේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය හෙට්ටිආරච්චි සැරයන්වරයාට සිය නිවස ඇතුළු සියලු දේපල පමණක් නොව අත්වාරුවක්ද අහිමි නිසා අද ජීවිතය ගෙන යාම මහත් අසිරු වී තිබේ. 


මෙවැනි තවත් බොහෝ කතා කළුගං පතුලේ, කුකුළේ ගං පතුලේ මෙන්ම මේ කඩාවැටුණු පස් කඳු යට සැඟවී තිබෙනු ඇත. මේ කතා තව තවත් සොයා යාම වෙනුවට මේ කතා නැවැත්වීමට හැකි මගක් සොයා යාමට අප කවුරුත් සිතිය යුතුව තිබේ. බරපතළ ලෙස විපත් ගෙන දුන් මුවහින්කන්ද, පාලින්දනුවර මෝල්කාව ප්‍රදේශයේ සිදුවූ නාය යාම් බහුතරයකට හේතුව ලෙස ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඉවක් බවක් නැති වැලි ගොඩදැමීම්ය. මුවහින්කන්ද ආසන්නයේ කුකුළු ගඟේ කිලෝමීටරයක් පමණ දුරක් ඇතුළත වැලි තොටුපළවල් හයක් පවතින බවද ප්‍රදේශවාසීහු පවසති. 


එසේම කළුතර ආපදා කළමනාකරණ සහාකර අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ කඳු බෑවුම්වල අංශක අනූවට කරනු ලබන ඉවුරු කැපීම, අක්‍රමවත් ජලය බැහැර කිරීම් මෙන්ම වැඩිවැඩියෙන් කඳුවල පදිංචි වීම නිසා වැසිකිළි පද්ධති හා පානීය ජල ළිං හෑරීමෙන් පරිසරයට අක්‍රමවත්ව ජලය එකතු වී පස් බුරුල් වීම, කඳු බෑවුම්වල පැවති ගස් ඉවත් කර නැවත වගාවන් යෙදීම ආදිය මෙවැනි නාය යාම්වලට හේතුවනු ඇති බවය.


එකම දේ නැවත නැවත සිදුවීම පළමුව ඛේදවාචකයක් වුවත් දෙවැනුව, තෙවැනුව එය විකාරයක් වී ජුගුප්සාජනක සිදුවීමක් බවට පත්වනු ඇත. අපේ රටේ හැමදාමත් එකම දේ නැවත නැවතත් සිදුවෙමින් ද ඒ සඳහා එකම හේතු නැවත නැවත පවසමින්ද බලධාරීන් මේ ඛේදවාචක විහිළුවක්, විකාරයක්, ජුගුප්සාජනක සිදුවීමක් බවට පත්කර ඇතැයි කෙනෙකුට සිතෙන්නේ නම් එහි වරදක් නැතැයි සිතිය හැකි තරමටම මේ සිදුවීම සඳහා බලපාන කාරණාවලට විවිධ හේතූන් පාදක කර ගනිමින් බලධාරින් ඉඩ හදාදී තිබේ. 

මුදිතා දයානන්ද/කුකුළේගඟ සිරිනන්දසිරි/මතුගම බන්දු තඹවිට