කිරි එළදෙනක් රුපියල් ලක්ෂ 4යි


ඉන්දික හේවාවිතාරණ
කිරි ගවයන්ගේ මව් සතුන් හිඟයක් ඇති වී තිබෙන නිසා මව් සතෙකුගේ මිල රුපියල් ලක්ෂ හතර දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික කිරිගොවි ව්‍යාපාරය සඳහන් කරයි. මව්සතුන්ගේ හිඟය නිසා කිරි ගවයන් ඇති කරන ගොවිජනතාවගේ කර්මාන්තය දියුණු කර ගැනීමට නොහැකි වී තිබෙන හෙයින් අලුතින් කිරිගවයන් ඇති කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස්වලට කර්මාන්තය ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක, චම්ලි ජයරත්න සඳහන් කළේය.
 

2020 වසරට පෙර විදේශ රටවලින් ගෙන්වා මව් සතුන් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ බවද දිනකට කිරි ලීටර 40කට වඩා වැඩි අස්වැන්නක් ලබා ගන්නා ඇතැම් ගොවිපළවල් මූලික කර ගනිමින් මව් සතුන් බිහිකර ගැනීම සිදු වූ බවද මේ වන විට එම කටයුතු පවා නිසි ලෙස සිදුනොවන බවද ඔහු පවසා සිටියේය.
වර්ෂික කිරි අවශ්‍යතාවෙන් සියයට 40ක ප්‍රමාණයක් දේශීය ගොවීන් ලබා දෙන බවත් මෙම තත්ත්වය තවදුරටත් ඉහළ දමා ගැනීමට නම් දිනකට කිරි ලීටර දහයත් විස්සත් අතර ප්‍රමාණයක්  ලබා ගත හැකි හොඳ තත්ත්වයේ මව් සතුන් අඩු මිලට ලබා දෙන වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය. ඔහු මෙසේද කීය.
“රජය සතුව සත්ත්ව ගොවිපළවල් තිබෙන නිසා අදාළ ගොවිපළවල් මූලික කර ගනිමින් මව් සතුන් සකස් කර කිරි හරක් ඇති කරන ජනතාවට ලබා දිය හැකියි. නුවරඑළියට හා වියළි කලාපවලට ගැලපෙන කිරි ගවයන් විදේශ රටවලින් ගෙන්වා ලබා දිය හැකියි.
විදේශ රටවලින් ගෙන්වන පිටි කිරි භාවිතය අඩු වී දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පිටි කිරිවලට හා නැවුම් කිරිවලට  විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. මේ නිසා දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමේ තීරණයක් ගතහොත් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමිවනවා. මේ වන විට වසවිසෙන් තොර ගෙවිතැන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ සඳහා අවශ්‍ය පොහොර අවශ්‍යතාවෙන් සැලකිය යුතු කොටසක් ගොමවලින් සපුරාගත හැකියි.”