වෙසක් පුර පසළොස්වක පොහොය දිනය පසුදිනට යෙදී තිබියදී, සමාධි, සංදීප හා සෙනුරි අම්මාගේ අතේ එල්ලී පිළියන්දලට ගියේ තම පියා ගෙදර එන්නට පෙර ඔහු හමුවීමේ වුවමනාවෙනි. වෙසක් දිනය වෙනුවෙන් නිවස සරසන්න තවත් බොහෝ දේවල් ගන්න ඔවුන්ගේ හිතේ තිබුණා විය හැකිය. ඔවුන් ගියේ තම පියාට අයත් වෙළෙඳසලටය. එහෙත් සමාධිලා එහි යනවිට පියා කොළඹ ගොසිනි. ඒ වෙනුවට ඔවුන්ගේ සතුට ඩැහැ ගැනීමට මාන බලන රකුසන් පිරිසක් මේ පිළියන්දල නගරයේ සැඟවී සිටියහ. එහෙත් මේ අසරණ අහිංසක දරුවන් ඒ බව දැන සිටියේ නැත.
රාත්‍රී අට වනතුරුත් පියා පැමිණියේ නැත. දෑස රිදෙනතුරු පියා එනතුරු පාර බල බලා සිටි ඔවුන්ට පියා රැගත් ත්‍රිරෝද රථය සිය වෙළෙඳසල අසල නවත්වන තුරු සිටින්නට ඉවසිල්ලක් නැති විය. තිදෙනාම එකපොකුරට පියා දෙසට දිව ගියහ. ඇසිපිය ගසන වේගයෙන් කාටත් සිතා ගත නොහැකි ලෙස වෙඩි වරුසාවක් හාත් පස සිසාරා ඇද වැටිණ. පියා පිළිගන්න පෙර මගට ගිය දරුවෝ තිදෙනා මවගේත් පියාගේත් දෑස ඉදිරිපිටම ලේ විලක් මැද ඇද වැටුණහ. සමාධිලාගේ පියා පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුට ද වෙඩි වැදී තිබිණ. මේ සිදුවන්නේ කුමක් ද? කාටත් සිතා ගත නොහැකි විය.
මෝටර් රථ තුනකට වෙඩි වැදී තවත් වෑන් රථයකට හානි සිදුවී ඇති අතර ඒ එක් මෝටර් රථයක පැමිණි තිදෙනකුට ද වෙඩි වැදී ඇති බවට හා වෙළෙඳසලක් අසල සිටි දරුවන් තිදෙනකුට ද වෙඩි වැදුණ බවට ආරංචි පිළියන්දල නගරය පුරා පැතිරෙන්නට ගත වූයේ අසුරු සැණෙක නිමේෂයකි. වෙඩි වැදුණ මෝටර් රථයේ සිටි තිදෙනා පොලිස් නිලධාරීන් පිරිසක් බවත් ඔවුන් පැමිණ තිබුණේ අපරාධකරුවන් පිරිසක් ලුහුබඳිමින් බවත් පසුව කනින් කොනින් ආරංචිය පැතිරිණ.
සැබෑවටම සිදුවූයේ කුමක් ද? එය හතරවටින්ම ගෙන සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්නට හැකි කිසිවෙක් තවම නැත. හැම කෙනකුටම ඇත්තේ අනුමානයක් පමණි. එහෙත් සිදුවීම කුමක්දැයි කියන්නට හැකි අය නම් බොහෝය.
සමාධිලා පිළියන්දලට එන්නට සැලසුම් කළ පරිදිම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ද පිළියන්දලට එන්නට සූදානම් වූහ. එය ද යෙදුණේ හදිසියේමය. ඒ ඔහු කලක සිට අඳුනාගෙන සිටි හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකුගෙන් ලද තොරතුරකට අනුව හෙරොයින් කිලෝ තුනක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහාය.
නමුත් මේ ගනුදෙනුව පෙර කී ජාවාරම්කරු සමග සැලසුම් වූයේ රංගජීව මහතා ද ජාවාරම්කරුවකු ලෙස පෙනී සිටිමිනි. ඒ අනුව රංගජීව මහතා මේ හෙරොයින් කිලෝ තුන මිල දී ගන්නට එකඟ විය. මේ සැලසුම ක්‍රියාත්මක වූයේ දින කීපයක සිටය.
නුගේගොඩට හා තවත් ස්ථානයකට මේ හෙරොයින් තොගය සමග පැමිණෙන බවට ජාවාරම්කරු දැනුම් දී තිබුණ ද එම ස්ථාන දෙකටම ඔවුන් පැමිණියේ නැත. පිළියන්දල නගරයට පැමිණෙන බව දැනුම් දුන්නේ තෙවැනි ස්ථානය හැටියට බව ද පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙහෙයුම සඳහා විශාල පොලිස් බළඇණියක් රැගෙන යාමට අවස්ථාවේ හැටියට රංගජීව මහතාට ඉඩක් නොලැබුණා විය හැකිය. එසේම මේ ඔත්තුව පිටවීමට තිබෙන ඉඩකඩ ද අඩුකළ යුතුය. ඒ අනුව ඔහු තමන්ට වඩාත් විශ්වසනීය නිලධාරීන් අතරින් පිරිසක් මේ කාර්යය සඳහා යොදාගන්නට තීරණය කරන්නට ඇත. කෙසේ වුව ද ඔහු නිලධාරීන් කීපදෙනෙකු සමග එක් මෝටර් රථයකින් ද තවත් නිලධාරීන් පිරිසක් කැබ් රථයකින් ද පිළියන්දල නගරයට පැමිණි අතර වාහන දෙක ස්ථාන දෙකක නවතා තබාගත්තේ කාටත් සැකයක් ඇති නොවන පරිදිය. එහෙත් ජාවාරම්කරුවන් පොලිසියට වඩා ඉස්සර වී ඇති බවක් පෙනෙන්නට වූයේ පිළියන්දල නගරය මල් වෙඩිවලින් නොව ටී පනස් හය උණ්ඩවලින් නැහැවෙද්දීය.
මේ මෛහයුම කෙළවර වූයේ පොලිස් කොස්තාපල් (4946) අබේවික්‍රම මහතාගේ ජීවිතය ජාවාරමුන් විසින් උදුරාගැනීමෙනි. එසේම හෙරොයින් ජාවාරම්කරුවන් අතර සුප්‍රසිද්ධ, මෙතෙක් අත්අඩංගුවට ගත් හෙරොයින් හා වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගැනීමට දැල් එලූ, ඒ නිසාම අවස්ථා කීපයක දී පාතාල සැලසුම් මත ක්‍රියාත්මක වූ ඝාතකයන්ගේ ගොදුරක් නොවී නූලෙන් බේරුණු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක යෙදී සිටී. කොස්තාපල් චමින්ද මහතා ද මෙම සිදුවීමෙන් වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
මේ වැටලීමට කිසිදු සම්බන්ධයක් නැති මෝටර් රථ දෙකක් හා වෑන් රථයක් ද වෙඩි වැදීමෙන් හානියට පත්ව ඇති අතර ඉහත කී දරුවන් තිදෙනා ද තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. මඩපාත, ගල්පොත්ත පදිංචි පිළියන්දල නගරයේ ව්‍යාපාරිකයෙක් වන පතිරණ මහතාගේ දරුවන් තිදෙනා වන කොළඹ තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සංදීප රුක්ෂාන්, බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සමාධි පතිරණ හා මඩපාත කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අට හැවිරිදි සෙනුරි පතිරණ තිදෙනා ද මේ ප්‍රහාරයෙන් තුවාල ලැබූහ. එසේම ත්‍රිරෝද රථ රියැදුරෙක් වන නුවන් තරංග මහතා ද තුවාල ලබා ඇති අතර මේ සිව්දෙනාම කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. ඒ අතරින් සමාධි පතිරණ දැරිය සිටින්නේ දැඩි සත්කාර ඒකකයේය. ඇය සිටින්නේ ජීවිතය අයදිමිනි. රංගජීව මහතාටත් සමාධි දැරියටත් තම ජීවිතයේ කොතෙක් කලක් ඉතිරිව තිබේදැයි කියන්නට තවමත් නොහැකිය. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් විය යුතුයැයි ප්‍රාර්ථනා කරන සෑම අයකුගේම මුවින් මේ දෙදෙනා ඇතුළු තුවාල ලැබූ සියලු දෙනාට සුවය ලැබේවායි පැතුමක් පිටවනු නිසැකය.
රංගජීව මහතාට සුවය පතන්නේ ඔහුගේ ඉතිහාස භාවිතාව දන්නා අයෙකිය. කුඩු රජෙක් ලෙස අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙන වෙලේ සුදාට මරණීය දණ්ඩනය හිමිවූයේ රංගජීව මහතා පැවරූ නඩුවකිනි. එසේම මීට වසරකට පමණ පෙර දකුණු මුහුදු තීරයේ දී හෙරොයින් කිලෝ 111ක් සමග විදේශිකයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගත් මෙහෙයුම ක්‍රියාත්මක කළේ ඔහුගේ නායකත්වය යටතේය. මේ ආකාරයේ දැවැන්ත වැටලීම් රැසක් රංගජීව මහතාගේ නායකත්වයෙන් සිදුකර තිබේ. කෙතරම් වැටලීම් සිදුකළ ද ඔහුගේ දුර්වල තැනක් සොයා ගන්නට ජාවාරම්කරුවන් සමත් වූවා ද යන්න මේ ප්‍රහාරය සමග සිතන්නට ඉඩක් සලසා තිබේ. එසේම පිළියන්දල පොලිසිය පෙනි පෙනී තිබියදී යතුරුපැදියකින් දෙදෙනෙක් පමණ පැමිණ මෙවන් ප්‍රහාරයක් එල්ල කර පලා යන්නට තරම් අපරාධකරුවන් සමත් වීම ගැන ද ආරක්ෂක අංශ සිතා බැලිය යුතුව තිබේ.
කළුතර බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන යමින් සිටිය දී සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ මෙහෙයුම් සැලසුම් කළ මධුෂ් නමැත්තා ඩුබායි හි සිට මෙම ප්‍රහාරය ද සැලසුම් කර ඇති බවට පොලිසිය සැකකරන අතර ඝාතකයන් පැමිණි බවට සැකකරන යතුරුපැදියක් මහරගම දෙහිවල පාරේ තිබිය දී මහරගම පොලිසිය විසින් සොයා ගෙන තිබේ. එහි යතුර ද අලුතනේම මිල දී ගත් ආරක්ෂක හිස්වැසුමක් ද මේ සමග තබාගොස් තිබූ බව ද පොලිසිය පවසයි. ඒ සියල්ල වැඩිදුර පරීක්ෂණ සඳහා පිළියන්දල පොලිසියට බාර දී ඇති අතර එය මුල් අයිතිකරුගෙන් පසුව කීපදෙනකු අතර මාරු වී ගොස් ඇති බවත් අවසන් හිමිකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
වෙඞ් තැබීමට යොදා ගත් යතුරුපැදිය
මෙම සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ. බස්නාහිර දකුණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී සමන් ජයසේකර, පිළියන්දල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාරානාත් සමරනායක, අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ යන නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් එක් පැත්තකින් ද නුගේගොඩ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආදී ලෙස මෙම පරීක්ෂණ කණ්ඩායම් ක්‍රියාත්මක වේ.
වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන්ගේ දුරකථන සම්බන්ධතාවන් පිළිබඳ විස්තර, ප්‍රහාරය ඇසින් දුටුවන් හා ප්‍රහාරයට ලක්වූවන් පිළිබඳ තොරතුරු, අත්අඩංගුවට පත් යතුරුපැදිය හා ප්‍රහාරයට පැමිණි අපරාධකරුවන් පිළිබඳ තොරතුරු මෙන්ම මෙම වැටලීම සඳහා අදාළ නිලධාරීන් පෙර සූදානමකින් නොපැමිණීම පිළිබඳ තොරතුරු ආදිය මෙම පරීක්ෂණවලින් අනාවරණය කරගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.
පොලිස් පරීක්ෂක රංගජීව මහතා ගමන් ගත් මෝටර් රථය
පොලිස් කණ්ඩායම පෙර සූදානමක් නැතිව ගියේ ඇයි?
හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා සැකසූ සැලසුමක් ව්‍යර්ථ වී එක් පොලිස් නිලධාරියකු මරණයට පත්ව තවත් නිලධාරීන් දෙදෙනකු හා සිවිල් පුද්ගලයන් සිව්දෙනකු තුවාල ලැබූ පිළියන්දල ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ කට කතා සමාජය පුරා පැතිරෙද්දී අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙවැනි වැටලීමකට යද්දී සාමාන්‍ය ක්‍රමවේදය අනුව තමන්ගේ ඉහළ නිලධාරීන් දැනුවත් කර උපදෙස් ලබාගැනීම, තමන් සමග යන කණ්ඩයම කවුදැයි ඉහළට දැනුවත් කිරීම, ගෙන යනු ලබන ආයුධ හා රථ පිළිබඳව දැනුවත් කිරීම හා ඒ පිළිබඳ තොරතුරු පොත්වල සටහන් තැබීම හා තමන් යන රාජකාරිය පිළිබඳව ද සටහනක් පොත්වල තැබීම, වැටලීමේ ස්වභාවය අනුව අවශ්‍ය ආරක්ෂාව සලසා ගැනීම මෙහෙයුම සැලසුම් කරන නිලධාරියා විසින් සිදුකළ යුතුව ඇත. සාමාන්‍යයෙන් පොලිසියේ නිලධාරීන්ට මේ සඳහා අවශ්‍ය තරම් ආයුධ රැගෙන යාමේ නිදහසක් පවතින අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට අපරාධකරුවන්ගේ දුරකථන සම්බන්ධතා පිළිබඳ වාර්තා ඕනෑම අවස්ථාවක කැඳවා ගැනීමේ හැකියාවක් පවතී.
එහෙත් පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් ප්‍රහාරයට ලක්වීමට හේතු වූ වැටලීම සිදුකර තිබෙන්නේ මේ ක්‍රමවේදයට අනුව නොවන බවට පොලිස් ආරංචි මාර්ග මගින් දැනගන්නට තිබේ. එසේම රංගජීව මහතා මෙම මෙහෙයුමට භාවිත කර ඇති මෝටර් රථය ඔහුගේ පෞද්ගලික මෝටර් රථය බවට ද දැනගන්නට ඇත. පෙර සූදානමක් නැතිව මෙවැනි වැටලීමක් සිදුකළේ කෙසේ ද යන්න පිළිබඳව වාර්තාවක් කැඳවන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිට දැනුම් දී තිබේ.
රංගජීව මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් වී තිබූ බව කිසිවකුටත් රහසක් නොවනු ඇත. එසේ තිබියදී මෙවැනි වැටලීමකට පෙර ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන නොසිතුවේ ඇයි ද යන්න පිළිබඳව සමාජයම ප්‍රශ්න කරයි. එසේම දෙවරක්ම මගහැර තෙවන ස්ථානයක් ද ලබාදෙන විට ජාවාරම්කරුවන්ට තමන් ගැන ඉවවැටී ඇත්දැයි නොසිතුණේ කුමන හේතුවක් නිසා ද යන විමතිය ද ජනතාව තුළ පැන නැගී තිබේ. ඔහුට සතුරන් සිටියේ ජාවාරම්කරුවන් අතර පමණක් නොවන බවට ද මතයක් පවතී. ඔහු කරන රාජකාරිය නිසා තමන්ට ඉස්මතු වීමට නොහැකි වූ නිලධාරීන් මෙන්ම ජාවාරම්කරුවන්ට හිතවත් ඔවුන්ගෙන් යැපෙන සමහර දූෂිත නිලධාරීන් ද රංගජීව මහතාට විරුද්ධව සිටි බවට පොලිස් දෙපාර්තමේන්තුව තුළම කතාබහක් මතුව තිබේ. මෙය සත්‍යයක් නම් රංගජීව මහතා තම මෙහෙයුම සැලසුම් කළ යුතුව තිබෙන්නේ එම වටපිටාව තුළ සිටිමිනි.
රංගජීව මහතා පමණක් නොව බොහෝ බරපතළ මෙහෙයුම් සඳහා යන නිලධාරීන් පොලිසියේ බසින් පවසන්නේ නම් ඉහත කී “අවුට්” එක නැත්නම් යන නිලධාරීන්ගේ නම්, ගෙන යන ආයුධ හා වාහන පිළිබඳ විස්තරයත් යන්නේ කුමක් සඳහා ද යන විස්තරයත් මෙහෙයුමට යාමට පෙර සඳහන් කර නොයන බව බොහෝ පොලිස් නිලධාරීන් දරණ මතයකි. එසේ කරන්නේ තමන් කරන්න යන දේ ගැන තොරතුරු පිටවීමට තිබෙන ඉඩකඩ අඩුකරගැනීමට බව ද ඇතැමෙක් පවසන අතර තවත් අයෙක් පවසන්නේ මෙහෙයුමේ අවසන් ප්‍රතිඵලය අනුව සටහන තැබීමේ වාසිය ගැනීමට බව ද තවත් අයෙක් පවසති. එසේම පොලිසියේ බොහෝ දෙනා තම රාජකාරිය ඉටු කිරීම සඳහා භාවිත කරන දුරකථන, වාහන බහුතරයක් තමන්ගේම ඒවා වේ. විශේෂයෙන්ම යතුරුපැදි හා මෝටර් රථ එසේ යොදා ගන්නා බව පොලිසියේ ඉහළ නිලධාරීන් ද දැනුවත්ව නොසිටිනවා විය නොහැකිය.
කෙසේ වුව ද කුමන තත්ත්වයක් යටතේ වුව ද අවම හානියක් වන පරිදි මෙහෙයුමක් දියත් කිරීම, ආරක්ෂාව පිළිබඳ උපරිම සැළකිලිමත් වීම වැටලීමක් සැලසුම් කරන නිලධාරියකුගේ වගකීමකි. ඒ ගැන මීට වඩා සැලකුවේ නම් මෙම අනතුර මේ ආකාරයට සිදුනොවන්නට ඉඩ තිබේ. එසේම මෙහෙයුමක් අසාර්ථක වූ පසු ඔවුන් අතින් සිදුවූ අඩුපාඩු සොයා බලා දඬුවම් දෙන්නා සේම පොලිස් නිලධාරීන් දිවිපරදුවට තබා සිය මෙහෙයුම් සාර්ථක කරගැනීමට කරන කැපකිරීම ගැනත් සොයා බලා අගය කරන්නේ නම් එය පොලිස් දෙපාර්තමේන්තුවේ යහපතට හේතු වන ඇත.
ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ