කුණු අයින් කරන හැටි හොයන්න රට ගිය නිලධාරින් කළ කුණු වැඩ


 

“ඒකි පට්ට ලස්සන කෙල්ල. අපි තුන් දෙනෙක් ගියා. කාමරේට ගියාම තමයි සීන් එක දන්නේ. ඒකි ප්‍රොස්ටිටියුට් කෙනෙක් නෙවෙයි. ලේඩි බෝයි කෙනෙක්. පස්සෙ අපි එක්කගෙන ආපු එකාගෙ කනට ගැහුවා. ඌ මාර වැඩක් කළානෙ. අපේ බෑග් එකක් අරගෙන දිවුවා. අපිට හීං දාඩිය දැම්මා. මොකද අපේ පාස්පෝට් තිබුණෙ ඒ බෑග් එක ඇතුළෙ. මාර ගේමක් දීලා ඒක ගත්තෙ.” 
මේ කියන්න යන්නේ විදෙස්ගත ලාංකිකයකු ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ කියන සාම්ප්‍රදායික කතාවක් නම් නොවේ. රටේ රාජ්‍ය පාලනයේ මූලිකම පදනමක් වන පළාත් පාලන ආයතන කුණු වී ඇති තත්ත්වය හෙළි කරන කතාවක් ගැනයි. 


මේ කතාව අපට කියන්නේ ද වගකිවයුතු පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙකි. වඩා යහපත් වූ ප්‍රාදේශීය ආණ්ඩුකරණයක් ගැන ඉගෙනගැනීමට තායිලන්තය බලා ගිය අධ්‍යාපන සංචාරයේදී ඔහුගේ එක් ක්‍ෂේත්‍ර පරීක්ෂණයක් සිදුව තිබුණේ එලෙසිනි. හිනා යන කතාවක් මෙන් පෙනුණද මේ අධ්‍යාපන සංචාර මුවාවෙන් නැටූ බොහෝ නාඩගම් පසුපස සැඟව තිබෙන්නේ ඛේදවාචකයක් බව වගකිවයුත්තන්ට එකල පෙනුණේ නැත. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පාඩම් ඉගෙනගැනීමේ මුවාවෙන් කළ බොහෝ විදෙස් සංචාර ගඟට කැපූ ඉනි බව වැටහුණේ ද මීතොටමුල්ල වැනි කඳුළු කතා ලියැවීමත් සමඟිනි. 


“වතාවක් අපේ උන් (පළාත් පාලන නියෝජිතයන්) වියට්නාම් ගියා. ලස්සන ගෑනු. ඒකට වෙනම ජොකියෙක් ඉන්නවා. මෑන්ස් තමයි වැඬේ සෙට් කරන්නේ. ඒ වුණාට ඒ පාර මාර වැඬේ අපේ උන්ට වුණේ. බ්‍රෝකරයාගෙ මාර ඇඞ්වටයිසින්. මාර මාකටින්. ෆ්ලයිට් එක ලෑන්ඞ් කරනකන්වත් ඉවසිල්ලක් නෑ. ඉතින් උන් අරූට ඇඞ්වාන්සුත් දීලා වැඩි හොඳට. පොට් එකට ගියාම එතැනින් බෑ කියනවා. බ්‍රෝකර් ගාණ කපාගෙන බොරුවක් කරලා. අපේ කට්ටියට ඉන්නෙ වියට්නාම් කියලා අමතකවෙලා පොට් එකේ වුන්ගෙන් ගේම ඉල්ලලා. නූලෙන් බේරිලා තියෙන්නෙ මැරුම් නොකා...” 


ඔහු සිනාසෙමින් කියන්නේ කොතැන ගියත් අපේ වුන්ගේ හැටිය. එහෙත් ඔහුගේ කතාවෙන් රෙද්ද පල්ලෙන් බේරෙන්නේ අපේ රටේ ගරුකටයුතු මහජන නියෝජිතයන්ගේ ශිෂ්ටත්වයේ තරමය. වඩාත්ම ඛේදනීය පුවත වන්නේ මේ සියලු කාමසුඛල්ලිකානු වැඩවලට වැයකර ඇත්තේ මේ රටේ කුදුමහත් පොදු ජනයාගේ බදු මුදල් වීමය. එසේ බලද්දී මේ කතා කියවන පාඨකයන්ට මේ දසයන් වියට්නාමයේදී මැරුම් කෑවා නම් යෙහෙකියි කියා සිතුණ ද වරදක් නැත. මන්දයත් ගුවන්තොටුපළින් පිට වූ මොහොතේ පටන් ජාත්‍යන්තරයේදී රටට විශාල අපකීර්තියක් උදාකළ මේ මහත්වරුන් මහජන නියෝජිත වේෂයෙන් නැවත පත්වීමේ අවදානමක් ද ඇති හෙයිනි. 


අධ්‍යාපන චාරිකා යනු නරක දෙයක් නොවේ. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වැනි රාජ්‍ය පාලනයේ බිම් මට්ටම ගැට ගැසී ඇති තැනකට ලෝක පරිමාණයේ අත්දැකීම් උකහාගැනීම අත්‍යවශ්‍යය. එහෙත් එය දඩමීමා කරගෙන මහජන බදු මුදල් මාර මුඛයට යවා සුදිය දමන්නට මන්ත්‍රීවරුන්ට අවස්ථා සැලැසීම තුච්ඡ දේශපාලනයකි. මෙම විදෙස් සවාරි යෑම මුල් කාලයේදී පැවැතුණේ සැබැවින්ම අධ්‍යයන කටයුතුවලට සීමා වූ පසුබිමකය. එහෙත් අයථා වැඩ වඩාත් ආයතනගත හා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් කිරීමේ හසල අත්දැකීම් බහුලවෙත්ම මේ රට ඇතුළේ රෙදි ඇඳගෙන කළ නොහැකි වැඩ කිරීමට විදෙස් අධ්‍යාපන චාරිකාව හොඳම ආරක්ෂාකාරී මග බව මහජන නියෝජිතයෝ දැනගත්හ. 


විශේෂයෙන්ම 2014 හා 2015 යන වර්ෂවලදී මේ අධ්‍යාපනික උණ ගායක් දක්වා වර්ධනය වූයේ පළාත් සභාවල මහ ඇමැතිවරුන්ට පක්ෂ හා විපක්ෂ නියෝජිත පිරිස් වර්ධනය කරන දේශපාලන වැඩක් ද බවට පත්වෙමිනි. ඇතැම් මහ ඇමැතිවරුන් අධ්‍යාපන චාරිකා වචනයට මුවාවී මේ නම් කරන්නේ හෙණ ගහන වැඩක් යැයි දොස් කීව ද තවත් මහ ඇමැතිවරුන් සිටියේ පනින රිලවුන්ට ඉණිමං බඳින පිළිවෙතකය. එයට දැඩිලෙස බලපෑවේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ බිම් මට්ටමේ සංවිධාන ශක්තිය කේවල් කරන පොරපිටිය බවට ප්‍රාදේශීය සභා හා නගර සභා පත්වීමය. ජනතා විමුක්ති පෙරමුණ පමණක් දේශපාලන පක්ෂයක් හැටියට මේ චාරිකා ක්‍රමයට විරුද්ධව කතා කළ ද ජවිපෙ මන්ත්‍රීවරුන් අතලොස්සේ හඬ යටපත් කර යෝජනා සම්මත කර ගන්නට පන්දහසකට අධික ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ට වැඩි වෙහෙසක් ගත යුතු නොවීය. 


සාමාන්‍යයෙන් දින පහක සංචාරයක් සඳහා ගමන් වියදම් හා හෝටල් ගාස්තු ලෙස රුපියල් 130,000කට අධික මුදලක් එක් මන්ත්‍රීවරයකු වෙනුවෙන් වෙන්කර ගෙන තිබුණි. ඊට අමතරව දෛනික වියදමක් ලෙස ඩොලර් පනහක් පමණ මුදලක් ද ඔවුන්ට හිමි විය. මේ ඩොලර්වල සැඟව තිබුණේ ද මේ රටේ අන්තිම දුප්පතා පටන් රජයට රුපියල්වලින් ගෙවූ බදුය. ඒ මුදල් ඔවුන්ට ලැබෙන්නේ පළාත් සභා ප්‍රතිපාදනවලිනි. මේ විදේශ අධ්‍යාපන යෝජනා එන්නේ පොදු පහසුකම් පිළිබඳ ස්ථාවර කාරක සභාවෙනි. 


වරක් දකුණු පළාත් සභාව එවැනි ආශ්වාදනීය ගමනකට රුපියල් කෝටි හයහමාරක් වැය කළේය. 2016 වර්ෂයේ පළමු මාස තුන ඇතුළත උතුරු මැද පළාත් සභාව ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව මහජන නියෝජිතයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට විදේශගතවීම සඳහාම පමණක් රුපියල් ලක්ෂ තුන්සීයකට අධික මුදලක් වැය කළේය. ඒ ඩුබායි සහ කොරියා අධ්‍යාපන චාරිකාවලටය. උතුරු පළාත් සභාවේ ඇතැම් නියෝජිතයන් මේ ගමනේදී සාප්පු සවාරි හා සව්දිය පිරීම් යස රඟට කළ බව වාර්තා විය. මේ සියල්ල එසේ වූයේ රටේ ජනතාව මත බදු පිට බදු පටවමින් නව බදු එකතු කළ සමයේදීය. එවැනි එක් ගමනකදී සිදු වූ තවත් සිදුවීමක් මෙසේය.
අධ්‍යයන කටයුතුවලට අදාළ වැඩමුළු මේ ගමන්වල අනිවාර්යෙන්ම සංවිධානය වේ. එහෙත් ඒවාට සහභාගීවීම අනිවාර්ය නැත.

බොහෝවිට ඒවාට සහභාගීවන්නේ අතළොස්සකි. තවත් පිරිසක් පමාව පැමිණ වේලාසන පිටව යති. ඒ රාත්‍රී වඩිය පුරන්නටය. රෑට පදම් වූ විට පසුදින වැඩමුළුවට වේලාවට එන්න කොහොමත් බැරිය. එවැනි රෝන්දයක් ගිය එක් අවස්ථාවක අපේ මහජන නියෝජිත පිරිස දැක තිබුණේ සර්කස් කණ්ඩායමක වැඩ කෑල්ලකි. ඊට ප්‍රේක්ෂකයන්ටද සහභාගී විය හැකිය. එහි එක් අංගයක් වන්නේ කුඩා දරුවකු තම ශරීර ශක්තිය හුවා දක්වමින් මුහුණට එල්ල වන මුෂ්ටි ප්‍රහාර දරාගෙන සිටින ක්‍රියාකාරකමකි. අතේ පයේ හයිය නිතර බලන අපේ මැම්බර් මහත්තයකුටද මේ ඉසව්වට ඉදිරිපත් නොවී සිටිය නොහැකි විය. එහෙත් පෙර කරුමයකට ඔහුගේ මුෂ්ටි ප්‍රහාරයට කොලුවාගේ නාස් පොල්ල බිඳී ගියේය. නියෝජිත කණ්ඩායම නැව් ගුටි නොකා නවාතැනට සුරක්ෂිතව පැමිණ තිබුණේ රටේ කරුමයකටය. 


තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව, චීනය, ඕස්ටේ්‍රලියාව, කොරියාව, ඩුබායි ආදී අධ්‍යයන ස්ථාන ඉලක්ක කරගත් මේ සංචාර ගාය රුසියාව ආදී අධික පිරිවැයකින් යුත් ගමනාන්ත දක්වා වර්ධනය වූයේ යහපාලන ආණ්ඩු පාලනය යටතේවීම වඩා උත්ප්‍රාසජනකය. පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදා මධ්‍යම පළාත් සභාව නියෝජනය කරමින් තිස් දෙනෙකුගේ කණ්ඩායමක් රුසියාව බලා ගියේ ඒ අනුවය. අවසානයේදී මේ රට ගායට තිරිංගයක් වැටුණේ ජනපති මැදිහත්වීමෙනි. එහෙත් ඒ මධ්‍යම පළාත් සභා නියෝජිතයන්ට රුසියානු ගායට පූර්වාදර්ශ සපයා තිබුණේ බස්නාහිර පළාත් සභාවෙන් වුවද ඒ ගැන වැඩි කතාවක් ඇතිවුණේ නැත. 


2017 වසරේ සිට කිසියම් පළාත් සභාවක මැති ඇමතිවරුන් අධ්‍යයන චාරිකා සඳහා විදේශගතවීමේ දී අනිවාර්යයෙන්ම රාජ්‍ය භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතු යැයි නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කෙරුණේ මේ අවස්ථාවේදීය. අතිවිශාල මුදලක් වැය කරමින් මධ්‍යම පළාත් සභා නියෝජිතයන් කළ රුසියානු සංචාරය ගැන ජනපතිගේ දැඩි අවධානය යොමුව ඇති බව එයින් කියැවුණ අතර ඊට සතියකට පසු රුසියාව බලා තවත් කණ්ඩායමක් යාමට සිටි ගමන ද ජනපති අණින් නතර කෙරිණි. 


වරක් එක් දේශපාලන විචාරකයකු පැවැසුවේ අසල්වැසි ඉන්දියාවේ පංචායත් ක්‍රමය ගැන අධ්‍යයනයකට ඇරියුම් කළහොත් රුසියාවට හෝ තායිලන්තය ආදී සැප රටවලට යෑමට පොර කන නියෝජිතයන්ගෙන් හරි අඩක්වත් ඉදිරිපත් නොවනු ඇති බවයි. වඩා වැදගත්ම කරුණ වන්නේ මෙවැනි අධ්‍යාපන චාරිකා විශාල සංඛ්‍යාවක් මේ වන විට පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමින් සංවිධාන කර දියත්ව තිබුණත් මහජන නියෝජිතයකු ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවක් දෑහට දැක නැති වීමයි. පළාත් සභාවලට අවශ්‍ය මුදල් රේඛීය අමාත්‍යංශ මගින් ලබාදීමට වූ අයවැය යෝජනාවට පළාත් සභා මහත්වරුන් විරුද්ධ වූයේ මන්දැයි දැන් තේරුම්ගත හැකිය. එසේ කළේ නම් අවශ්‍ය මුදල් නිකුත් කිරීමේදී යම් නිරීක්ෂණයක්වත් රේඛීය අමාත්‍යාංශයට තිබේ. දැන් එවැන්නක්වත් නැත. 


පසුගිය කාලයේදී මෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත කණ්ඩායම් ජම්බෝ මුහුණුවරක් නොගැනීම වත්මනෙහි දැකිය හැකි හොඳ ලක්ෂණයකි. එහෙත් තාන්ත්‍රික නිලධාරින් අස්සෙහි දූ පුතුන් රුවාගෙන යෑමේ නින්දනීය සම්ප්‍රදාය මුළුමනින්ම අමතක කිරීමට වත්මන් පාලකයන්ද අපොහොසත්ව ඇති බව ඇතැම් සංචාරයන්හිදී රටම දකී. මේ ඊනියා ව්‍යාජ අධ්‍යාපන සංචාර ගැන බොහෝ තැන්වල කතා කරන්නට පටන්ගත්තේ මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් පසුවය. විශේෂයෙන්ම ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන දිගු කලක් තිස්සේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නිලධාරින් උගත් පාඩම්වලින් සිදුවුණේ කුමක්දැයි කතාබහක් හටගත්තේය. කුණු කසළ කළමනාකරණය පිළිබඳ පුහුණු හා නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර පහක කාලයේදී විදේශ සංචාරයන්හි නිරත වූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ වෙත නියෝග කළේ ඒ අනුවය. එහෙත් ඇත්තවශයෙන්ම මේ ඇඟිල්ල කෙළින්ම දිගු විය යුතුව තිබුණේ රාජ්‍ය ප්‍රතිපත්ති සකසන මහජන නියෝජිතයන් කෙරෙහිය. මන්දයත් අධ්‍යාපනයට මුවාවී බුරුතු පිටින් රෝන්දේ ගොස් තිබුණේ අප ගරුකටයුතු මහජන නියෝජිතයන්ම වන බැවිනි. එනිසා පසුගිය කාලයේ දේශපාලකයන් කළ වල්මත්වී හසරක් නොදුටු පන්නයේ අධ්‍යාපන චාරිකා ගැන දැන්වත් යම් පරීක්ෂණයක් සිදුකරන්නේ නම් වටිනේය. එය බරපතළ මූල්‍ය අපරාධ කටයුතු සෙවීම වැනි ඉතා අපහසු කටයුත්තක් නොවේ. මන්දයත් මේ චාරිකා බොහෝමයක් සිදුව තිබෙන්නේ අලි ගිය පාර බැලීමට කණ්ණාඩි අවශ්‍ය නොවේ යන පැරැණි උපහැරණය සිහිගන්වන ලීලාවෙන් වීම නිසාය. අඩුම තරමින් මේ ගමන්වලට පිලිස්සූ තමන්ගේ මුදල් කන්දරාවේ තරම ප්‍රමාණයවත් දැනගැනීමට එමගින් මහජනයාට අවස්ථාවක් ලැබෙනු ඇත.  

බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන