කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි සිය ගණනක්


 

 

අද මුළු රටේම කතාව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂියාබ්දීන් පිළිබඳවය. අන්තවාදී මුස්ලිම් සංවිධානයක නායකයෙකු වන සහරාන් හෂීම් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පසුව රට තුළ වැඩියෙන්ම කතාබහට ලක්වූ මාතෘකාව වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් ය. කවුද මේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්? 


සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහුගේ ක්ෂේත්‍රය වූයේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අංශයයි. නැතිනම් කාන්තා රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාදීමය. 


අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කලාවැව ගම්මානයේ ඉපිද සාමාන්‍ය පෙළ දක්වා ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ගම්පොළ සහිරා විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය. සහිරා විදුහලෙන් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉහළින්ම සමත්වූ ෂාෆි ෂියාබ්දීන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය හිමි කරගත්තේය. ඉන් අනතුරුව 2004 වසරේ දී සීමාවාසික වෛද්‍යවරයකු ලෙස පත්වීම් ලැබූ ඔහු විශ්වවිද්‍යාලයේ දී හඳුනාගත් මුස්ලිම් තරුණියක සමග විවාහ විය. ඇය කුරුණෑගල පදිංචිකාරියක වූ බැවින් විවාහයෙන් පසුව ෂාෆි ෂියාබ්දීන් කුරුණෑගලම ස්ථිර පදිංචිය තනා ගත්තේය. 


ඉන් අනතුරුව කුරුණෑගල, දඹුල්ල, ගලේවෙල රෝහල්වල ඔහු සේවය කළේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස ය. 
ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා ගලේවෙල, දඹුල්ල ප්‍රදේශවල ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වෛද්‍යවරයකු විය. ඔහු විශේෂයෙන්ම දඹුල්ල ගලේවෙල ගම්බද රෝගී ජනතාවට බෙහෙවින් කාරුණිකව සැලකූ වෛද්‍යවරයකු වූ නිසාම ජනතාවට ඔහු හිත හොඳ දොස්තර මහතෙකු විය. ඔහු අසරණ රෝගීන්ට කාරුණිකව ප්‍රතිකාර කළා පමණක් නොව මුදලින් ද රෝගී ජනතාවට උදවු උපකාර කළ වෛද්‍යවරයකු ලෙස ජනතාව අතර බෙහෙවින් ප්‍රසිද්ධ විය. 


මේ උදව් උපකාරවලට ජාති ආගම් භේදයක් ද නොවීය. විශේෂයෙන්ම ෂාෆි වෛද්‍යවරයා ප්‍රතිකාර කළේ කාන්තා රෝග ප්‍රතිකාර අංශයෙන් බැවින් අසරණ දුප්පත් කාන්තාවන් දරු ප්‍රසූතිය සඳහා පැමිණීමේ දී ඔහු එවැනි කාන්තාවන්ට උදව් උපකාර කළ වෛද්‍යවරයකු ලෙස ප්‍රකටව සිටියේය. තවත් අතෙකින් ඔහු ප්‍රකට වූයේ පෞද්ගලික වෛද්‍ය සේවාව පසුපස නොදුවන වෛද්‍යවරයකු ලෙස ය. කාන්තා රෝග ප්‍රතිකාර අංශය යනු පෞද්ගලික වෛද්‍ය සේවයේ දී ඉතා යහමින් මුදල් ඉපැයිය හැකි අංශයක් වුව ද ෂාෆි වෛද්‍යවරයා ප්‍රකට වූයේ එසේ නොගොස් රජයේ වෛද්‍ය සේවයේම වැඩි කලක් ගත කළ වෛද්‍යවරයකු ලෙස ය. 


වෛද්‍ය සේවයට පිවිස වසර දහයකට ආසන්න කාලයක් කටයුතු කළ ෂාෆි ෂියාබ්දීන්ගේ ජීවිතයේ පෙරළියක් ඇරඹෙන්නේ 2015 වසරේ දීය. 
ඒ 2015 වස⁣රේ පැවැත්වුණු පාර්ලිමේන්තු මහා මැතිවරණයත් සමගය. මේ කාලය වන විට වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් එවකට පැවැති රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් දැරූ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා සමග කුමන ආකාරයට හෝ සමීප ඇසුරක් ගොඩනගාගෙන සිටියේය. මේ සබඳතාවය නිසාම වෛද්‍ය ෂාෆි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා පිහිටුවාගෙන තිබූ සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ සාමාජිකත්වය ද ලබාගෙන සිටියේය. 


මෙම පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වෙමින් තිබිය දී මුස්ලිම් දේශපාලන පක්ෂ ගසන සුපුරුදු කරණම ගසමින් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ඒ වනවිට බලය කැරකෙමින් පැවැති එක්සත් ජාතික පක්ෂය සමග එක්වී සිටියේය. 
මෙම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. මේ නිසාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන දෙස හැම දෙනාගේම අවධානය යොමු වූ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ද පැවතියේ ප්‍රබල සටනකි. 
මෙම තරගය ජයග්‍රහණය කිරීමට නම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඡන්ද දිනා ගැනීම ප්‍රධානම සාධකයක් විය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල මුස්ලිම් අපේක්ෂකයෙකු අවශ්‍ය වූ අතර මෙතෙක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ මුස්ලිම් දේශපාලනඥයෝ ඒ වනවිට තටු හැළුණු කුකුළන් සේ වූහ. 
අවසානයේ දී මුස්ලිම් නියෝජනය සඳහා සුදුසු නියෝජිතයා ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් තෝරා ගනු ලැබූ නියෝජිතයා වූයේ වෛද්‍යවරයකු ලෙස ජනතාව අතර ප්‍රකටව සිටි ෂාෆි ෂියාබ්දීන් ය. ඔහු වෛද්‍යවරයකු ලෙස මුස්ලිම්, සිංහල, දෙමළ ජනතාව අතර එක ලෙස ජනප්‍රියව සිටීම නිසා ඔවුන් සියල්ලන්ගේම මනාපය එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් දිනාගත හැකි වේ යැයි එක්සත් ජාතික පක්ෂයේ නිගමනය විය. 


ඒ වනවිට රිෂාඩ් බදුර්දීන් මහතාගේ දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව සිටි බැවින් එම පක්ෂයට ලැබුණු කෝටාව හරහා වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ට 2015 මහා මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ එකම මුස්ලිම් ජනතා නියෝජිතයා ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි විය. 
ඒ අනුව මැතිවරණයට ඉදිරිපත් වුව ද ෂියාබ්දීන් දේශපාලනයට ආධුනිකයෙකු විය. ඔහුගේ මැතිවරණ පාඨය වූයේ “උගත් බුද්ධිමත් නිහතමානී වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් දිනවමු” කියාය. ඔහුට ලැබුණු මනාප අංකය 18 ය. 


මෙම මැතිවරණයට ඉදිරිපත් වූ සෑම දේශපාලන පක්ෂයකම අපේක්ෂකයන්ගේ සම්මුඛ සාකච්ඡා “එම කාලයේ දී ඉරිදා ලංකාදීප” පුවත්පතේ පළවූ අතර, ඒ අනුව එජාප අපේක්ෂකයෙකු වූ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ද ඉරිදා ලංකාදීප පුවත්පතේ 2015.08.09 වන දින පළකෙරුණි. 
මෙම ලියුම්කරු විසින්ම සාකච්ඡා කොට සකසන ලද එම සම්මුඛ සාකච්ඡාවේ මාතෘකාව වූයේ “මම ජාතිවාදී ආගම්වාදී දේශපාලනයට විරුද්ධයි” යන්නය. 
එම සාකච්ඡාවේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ගේ පෞද්ගලික තොරතුරු මෙන්ම වෘත්තීමය තොරතුරු සහ දේශපාලන අදහස් ද පළකෙරිණි. මේ සියල්ලම එදා ඔහුගේ මුවින් පිටවූ අදහස් ය. මෙම සාකච්ඡාවේ දී ෂියාබ්දීන් පළකළ අදහස් කීපයක් අද වනවිට මුළු රටම උණුසුම් කර කැලඹීමට පත් කිරීමට තරම් විවාදාත්මක අදහස් වී හමාරය. 
එදා එම සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු පළ කළ එම විවාදාත්මක අදහස් කීපය ඒ අයුරින්ම මෙසේ පළ කරමු. 
ප්‍රශ්නය:- ඔබේ වෛද්‍ය වෘත්තිය ගැන තොරතුරු පැහැදිලි කළොත්. කොයි වගේ සේවයක් ද ඔබට ජනතාවට ඉටුකරන්න පුඵවන් වුණේ? 
පිළිතුර:- “මම සිසේරියන් සැත්කම් අටක් පැය දෙකකදීත් කරලා තිබෙනවා. මේ වනවිට මගේ සේවා පළපුරුද්ද අවුරුදු දහයට වැඩියි. රැකියාවෙන් ඉවත්වන විට මම ජ්‍යෙෂ්ඨ නාරි හා ප්‍රසව අංශ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියා”. 


“මගේ සේවා කාලය තුළ දී මම සිසේරියන් සැත්කම් අටදහසකටත් වැඩියෙන් කර තිබෙනවා. සාමාන්‍ය දරු ප්‍රසූති පහළොස් දහසකට වඩා වැඩියෙන් කර තිබෙනවා. ඒ වගේම නාරිවේද රෝග සැත්කම් පන්දහසකටත් වැඩිය මම කර තිබෙනවා. මේ වෘත්තියෙන් උපරිම සේවයක් මම ජනතාව වෙනුවෙන් ඉටුකර තිබෙනවා”. 
 මේ එම සම්මුඛ සාකච්ඡාවේ පළවූ කුඩා කොටසකි. පසුව මහා විවාදයක් බවට පත්වූයේ ද මේ කුඩා කොටසමය. මෙම පුවත්පත් සාකච්ඡාව සහිත කොටස ෂියාබ්දීන් තම මුහුණු පොත් පිටුවේ පළකර තිබූ අතර බොහෝ දෙනෙකු එය කියවා බලා තිබූ බව පැවසේ. 


මැතිවරණයේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට හිමිවුව ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයට හිමිකම් කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මේ නිසාම එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ට හිමි නොවීය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ මන්ත්‍රී ධුර හතට ඇතුළත් වීමට ඔහුට අවස්ථාව නොලැබුණ ද මනාප ලැයිස්තුවේ අටවැනියාට සිටින්නේ ඔහු ය. ඒ කියන්නේ නවක අපේක්ෂකයෙකු වුව ද ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම ඔහු කිසිවෙකුත් නොසිතූ ආකාරයට ජයග්‍රහණයක් හිමිකරගෙන තිබුණි. මේ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිත ඊළඟ දේශපාලනඥයා ඔහු ය. 
මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා රාජ්‍ය සේවකයෙකු නම් ඔහු තමන් දරන කුමන හෝ තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය. එසේ රැකියාවෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නැවත එම රැකියාවට යා නොහැකි ය. වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ට ද අත්වූයේ එම තත්ත්වයමය. 


පාර්ලිමේන්තු සිහිනය සේම කරමින් සිටි වටිනාම රැකියාවක් වූ වෛද්‍ය වෘත්තිය ද ඔහුට අහිමි විය. මේ මැතිවරණයෙන් පසුව ෂියාබ්දීන් පිළිබඳව තොරතුරක් නොවීය. ඔහු දැන් කරන්නේ කුමක්ද, වෙනත් රැකියාවක් කරන්නේදැයි කිසිදු අනාවරණයක් නොවීය. ඉන් පසුව පැතිර ගිය ආරංචියක් වූයේ ඔහු රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා යටතේ තිබෙන රාජ්‍ය ආයතනයක සේවය කරමින් සිටින බවය. 


මෙයින් පසු කාලයක පැතිර ගිය ආරංචියක් වූයේ කුරුණෑගල නගර මධ්‍යයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළට ආසන්න ස්ථානයක පිහිටි වටිනා ගොඩනැගිල්ලක් වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් විසින් මිලදී ගැනීමය. මැතිවරණයට ඉදිරිපත් වී රැකියාව ද අහිමිව සිටින මොහු කෝටි ගණනක් වටිනා මේ දේපළ මිලදී ගත්තේ කෙසේ ද යන්න ඔහු පිළිබඳව දන්නා බොහෝ දෙනෙකුට ඇතිවූ ගැටලුවක් විය. ඉන්පසුව එය හැමෝටම අමතක විය. 
මෑතක දී ආරංචි වූයේ ෂියාබ්දීන් නැවත වෛද්‍යවරයෙකු ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේම ⁣සුපුරුදු පරිදි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ සේවය කරමින් සිටින බව ය. 
මුළු රටේම ආන්දෝලනයක් ඇති කළ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් සිදුවීම ඇරැඹෙන්නේ මෙතැන් සිටය. 
තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ මුස්ලිම් වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ කාන්තාවන් සිසේරියන් සැත්කම්වලින් වඳ සැත්කම්වලට ගොදුරු කර ඇතැයි කියන පුවතක් ඉකුත් සතියේ කරළියට ආවේය. 


අවසානයේ දී මෙම චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවට ද මැදිහත් වීමට සිදුවූයේ ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ප්‍රශ්න කිරීම නිසාය. මේ නිසාම වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවීම පොලිස් මූලස්ථානය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීය. 


කතුන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන වෛද්‍යවරයා පිළිබඳව පොලීසිය තොරතුරු අනාවරණය කරගැනීමට උත්සාහ දරත්දී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටින ෂාෆි ෂියාබ්දීන් කුරුණෑගල පොලීසිය විසින් පසුගිය 24 වන දින සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 
ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ අසීමිත ලෙස සැකකටයුතු ලෙස වත්කම් උපයාගෙන සිටීම සම්බන්ධයෙනි. නමුත් බොහෝ දෙනෙකුගේ සැකය වූයේ වඳ සැත්කම් සම්බන්ධයෙන් සැකකොට වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවය. වත්කම් උපයාගෙන තිබීමට වඩා ජනතාවගේ සැකය යොමු වූයේ කාන්තාවන් වඳ සැත්කම්වලට ලක්කර ඇතැයි ද යන්න පිළිබඳවය. 


මෙම අත්අඩංගුවට ගැනීම ද මුඵ රටේම ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් විය. ඊට බලපෑ එක් හේතුවක් වූයේ මේ වෛද්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු වීම ය. අනෙක් ප්‍රබලම හේතුව ඔහු රට කරවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන නියෝජිතයෙකු වීම සහ මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන අමාත්‍යවරයා වන රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ සමීප හිතවතෙකු වීමත්ය. මෙය ද දෙබරෙට ගලක් ගැසුවා හා සමානම සිදුවීමකි.
කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්කර ඇතැයි කියන චෝදනාව මේ වන තෙක්ම ස්ථිරවම සනාථ වී නොතිබුණ ද ඔහු වෛද්‍ය වෘත්තියේ දී කර ඇතැයි පැවසෙන චෝදනාවකට ඔහු වැරැදිකරු බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. 


ඒ කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපත ලද බිලිඳු ගැහැණු දරුවෙකු අසත්‍ය ලිපි⁣ලේඛන සකස්කොට වෙනත් කාන්තාවකට ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය. 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 16/17 හි මවකගේ ඇඳ ඉහපතක නම වෙනස් කිරීම සම්බන්ධයෙන් එම වාට්ටුවේම සේවය කරන ෂෙයිගු ෂියාබ්දීන් ෂාෆි මහතාට චෝදනා එල්ලවී තිබේ. මෙය ආයතන සංග්‍රහයෙහි රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකළ හැකි වරදවල් සම්බන්ධ පළමුවැනි උපලේඛනය අනුව, රාජ්‍ය ලිපිලේඛන වෙනස් කිරීමට හෝ විකෘති කිරීම හෝ කූඨ ලේඛන සැකසීමට කටයුතු කිරීම, රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයට කටයුතු කිරීම, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගෞරවයට හානි සිදු කිරීම හා අපකීර්තියට පත්කිරීම, නීතිවිරෝධී කටයුතු කිරීමට අනුබල දීම හෝ සහායවීම හෝ ඒවා කිරීමට ඉඩකඩ සලසාදීම යන චෝදනා ෂාෆි ෂියාබ්දීන්ට එල්ලවී ඇත. 
මේ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා 2019.05.13 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත. ළදරුවා වෙනත් පාර්ශ්වයකට පැවරීමේ සිද්ධිය වාර්තා වන්නේ 2019.04.10 වන දින ය. 


පසුගිය සතියේ කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන් කිසිවක් නොදන්නවා යැයි පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳවය. මෙම මස 13 දාතමෙන් යුතුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් එවන ලද එම ලිපිය එසේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නොසලකා හැර හෝ නැත්නම් අමාත්‍යවරයාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් නොකර තිබුණා විය යුතුය. එසේ වූවා නම් ඔවුන් දෙදෙනාම කර ඇත්තේ බරපතළ වරදකි. 
මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් හමුවේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එවැනි චෝදනාවක් නැතැයි පුන පුනා ප්‍රකාශ කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට පසු දිනම සිදුවූයේ තම සිංහ සෙයියාව හකුළාගෙන එම චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට සය පුද්ගල කමිටුවක් පත් කිරීමටය. 


මේ අතරවාරයේ දී ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එල්ලවී ඇති චෝදනා සනාථ කර ගැනීම සඳහා ඔහුගෙන් සිසේරියන් සැත්කම්වලට භාජනය වූ කාන්තාවන් සිටී නම් ඔවුනට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ තම පැමිණිලි ඉදිරිපත් කරන්න යැයි මාධ්‍ය මගින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය ප්‍රචාරය කළේය. 
මේ දැනුම්දීම කොපමණ ඵල දැරුවාදැයි කිවහොත් ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් කරගත් බව කියන කාන්තාවෝ වැල නොකැඩී කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණෙන්නට වූහ. පළමු දිනයේ කාන්තාවන් 05 දෙනෙකු රෝහලට පැමිණි අතර, ඊට පසු දින දෙකේ දී පමණක් 51 සහ 56 ලෙස කාන්තාවන් රෝහලට පැමිණ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඔවුහු තම පැමිණිලි රෝහලේ පාලනාධිකාරියට බාර දුන්හ. සිකුරාදා වන විට පැමිණිලි ගණන තුන්සියය ඉක්මවීය.


කුරුණෑගල, ගලේවෙල, දඹුල්ල, අලව්ව, නාරම්මල, මහව, අඹන්පොළ, මැල්සිරිපුර, ගොකරැල්ල, මාවතගම, රිදීගම, පොල්පිතිගම, පොල්ගහවෙල ආදී ප්‍රදේශවල කාන්තාවෝ තම පැමිණිලි ඉදිරිපත් කළහ. මොවුන්ගෙන් බහුතරයක් තරුණ වයසේ පසුවූ එක් දරුවෙකු පමණක් හිමි කාන්තාවන් වීම අවධානයට ලක්වූ කරුණකි. 
ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා තමන්ට පළමු දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කම කළ බව ද ඉන්පසුව කොතෙක් උත්සාහ කළ ද නැවත දරුඵල නොලැබුණු බව ද එම කාන්තාවෝ කියා සිටියහ. මීට අමතරව ඔහු සිදුකළ සැත්කමෙන් පසුව තමන් විවිධ අතුරු ආබාධවලට ගොදුරුව සිටින බවට ද එම කාන්තාවෝ චෝදනා කළහ. 
ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කමකින් පසුව තමන්ගේ මුත්‍රවාහිණි පද්ධතියට සම්බන්ධ නාළයක් කැපී යාමෙන් මූත්‍රා කිරීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටින බව කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේම සේවය කරන හෙද නිලධාරිනියක් සමග තවත් කාන්තාවක් පැමිණිලි ඉදිරිපත් කිරීම ද විශේෂ කරුණකි. 
මෙසේ පැමිණිලි ඉදිරිපත් කළ සියලුම කාන්තාවෝ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා නිසා තමන්ට දරුඵල අහිමිව ඇතැයි සැක කරන බව රෝහල් පාලනාධිකාරිය වෙත කියා සිටියේ හඬා වැටෙමින්ය. තවත් දරුවෙකු හදා ගැනීම මේ මවුවරුන්ගේ පවුල් ජීවිතයේ එකම සිහිනය වුවද ඒ සිහිනය සැබෑ නොවීමෙන් කොතරම් මානසික පීඩනයකට පත්ව ඇතිදැයි ඔවුන්ගේ දෑස්වලින් ගලා ගිය කඳුළු වැල්වලින් පැහැදිලි විය. 


මෙහිදී අනාවරණය වූ ශෝචනීය සිදුවීමක් ද විය. ඒ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා තමන්ට කළ සිසේරියන් සැත්කමෙන් පසුව තම දෑසම අන්ධ වූ බව පවසමින් නිකවැරටිය ප්‍රදේශයේ තරුණ කාන්තාවක් තම සැමියා සමග පැමිණිලි කිරීමට පැමිණීමය. 


සිසේරියන් සැත්කමට ⁣පෙර “වෙල්කම් ජූස්” එකක් බව පවසමින් ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා තමන්ට ඉතා තිත්ත රසයෙන් යුත් කොළ පැහැති බීමක් පානයට දුන් බව ද ඉන් අනතුරුව සිදුකළ සිසේරියන් සැත්කමෙන් පසුව තමන්ට නැවත දරුඵල නොලැබුණු බව ද පවසන ඇය ඉන් වසර තුනකට පසුව කිසිදු රෝගාබාධයක් නොමැතිව තම දෑසම සම්පූර්ණයෙන්ම නොපෙනී ගිය බව ද ප්‍රකාශ කළාය. මේ ආබාධයන්ට හේතුව වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් විසින් කළ සිසේරියන් සැත්කම බවට සැක කරන බව ද ඇය තම පැමිණිල්ල මගින් කියා සිටියාය. 


මේ ආකාරයට කාන්තාවන් විශාල පිරිසක් සිසේරියන් සැත්කම්වලින් පසුව තමන්ට විඳින්නට සිදුවූ මානසික පීඩාවන් විස්තර කළහ. මේ පැමිණිලි බාර ගැනීමට වෙනම නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීමට ද රෝහල් බලධාරින්ට සිදුවිය. 


වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීමත් සමගම ඔහුට එල්ලවී ඇති චෝදනා විමර්ශනයටත් පෙර සුපුරුදු පරිදි මුස්ලිම් ජනසමාජයේ දේශපාලන නායකයෝ ඔහුව බේරා ගැනීම සඳහා ඉදිරිපත් වී ඇති ආකාරය දැකගත හැකිය. වෛද්‍ය ෂාෆි සාමාජිකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ නායක රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා නිහඬව සිටිද්දී ඔහු බේරා ගැනීමට පෙරට විත් සිටින්නේ විපක්ෂයේ සිටින බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි සහ තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහත්වරුය. 
අසාද් සාලි ආණ්ඩුකාරවරයා වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ල කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට සහ කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටය. කිසිදු චෝදනාවක් නැතිව ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවද, ඔහුට එරෙහිව අසත්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනා කටයුතු කරන බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රසිද්ධියේ චෝදනා කළේය. මේ නිලධාරීන් දෙදෙනා ජනාධිපතිට කියා මාරුකර යවන බවටද ඔහු වහසිබස් දෙඩවීය. මේ කතාව ද සිංහල ජනසමාජය නැවත වරක් ඇවිස්සීමට තුඩු දුන් සැර කතාවක් වී තිබුණි. 
ඒ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා අනවශ්‍ය ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින් ඔහු මාරුකර යවන බවට මාධ්‍ය හමුවක දී තවත් සැර ප්‍රකාශයක් කළේය. 


මේ ආකාරයට වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ට එරෙහිව ඇති චෝදනා දෙපාර්ශ්වයකින්ම විභාග වෙද්දී අද රටම උණුසුම් කරන මාතෘකාව බවට වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් පත්ව සිටියි. 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී අසත්‍ය ලිපිලේඛන සකසා දරුවෙකු මාරුකර ලබාදීමේ සිද්ධිය හැර ඔහුට එල්ලවී ඇති අසීමිත ලෙස අධික වත්කම් උපයාගෙන තිබීමේ චෝදනාව සහ සිංහල බෞද්ධ කාන්තාවන් සිසේරියන් සැත්කම්වලින් වඳභාවයට පත් කළැයි කියන චෝදනාව තවම ඔප්පු කර නැත. 
එසේම ⁣රටම කැලඹීමකට ලක්කළ මෙම වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ කරුණු පිළිබඳව සොයා බලා ඉතා ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් තම නිගමනය සාධාරණව සමාජයට ඔප්පු කර පෙන්විය යුතුය. නමුත් මේ සඳහා තවමත් එම සංගමයේ මැදිහත්වීමක් පෙනෙන්නට නැත. 
එසේම චෝදනා නගන ආකාරයට තාවකාලික පීඩනයක් යෙදීමෙන් කාන්තාවන් වඳ භාවයට පත් කිරීමට හැකි ප්‍රතිශතය කොපමණදැයි විද්‍යාත්මකව සත්‍ය කරුණු සමාජගත කිරීමේ අවශ්‍යතාව ද මේ අවස්ථාවේ පවතී. 

 


සත්‍යය නියමාකාරයෙන් හෙළිවන තෙක් වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මෙම වන්ධ්‍යාකරණ චෝදනාවට වරදකරු යැයි කිසිවෙකුට චෝදනා එල්ල කළ නොහැකිය. මේ පිළිබඳව සත්‍ය හෙළිවීමට ටික කලක් ගතවනු ඇත. ඒ පිළිබඳව වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම වනු ඇත. 


යම් හෙයකින් මෙම චෝදනාව සත්‍යයක් වුවහොත් වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් සිදුකර ඇත්තේ අහස පොළොව නූහුලන බරපතළ අපරාධයකි. ඊට ලබා දීමට සුදුසු දඬුවම් සතර අපායේවත් නොමැති වනු ඇත. යම් හෙයකින් ඔහු වරදකරු වුවහොත් අනිවාර්යයෙන්ම ඔහුට බරපතළ දඬුවම් ලැබිය යුතුමය. 
වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් සිද්ධිවල දී කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සහ පොලීසිය ගෙන ඇති ක්‍රියා මාර්ග ඉතාම නිවැරැදි බව බුද්ධියක් නැති පුද්ගලයෙකුට වුවද ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය. එම නිලධාරීන් තම රාජකාරිය අකුරටම ඉටු කරද්දී ඔවුන් දංගෙඩියට දැක්කීමට ඇතැම්‍ දේශපාලනඥයින් දක්වන උත්සාහයට මේ වනවිට මුළු රටේම සිංහල ජනතාවගේ දැඩි අප්‍රසාදය හා කෝපය එල්ලවී තිබේ. එම පරීක්ෂණ වළක්වා දේශපාලන බලපෑම් මත පරීක්ෂණ යටපත් වුවහොත් එය නිහඬව සිටින ජනතාවගේ නැගිටීමක් ද  වනු ඇත. එසේ වුවහොත් ඊට වගකිව යුත්තේ ජනතාව අවුස්සමින් කටමැත දොඩන අඳබාල දේශපාලනඥයින්ය. 
මේ බව තහවුරු කරමින් මේ වනවිට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව භික්ෂූන් වහන්සේලා සමග දේශපාලන භේදයකින් තොරව වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ට එල්ලවී ඇති චෝදනා සාධාරණ මාර්ගයකට ගෙන යාම සඳහා එක්ව සිටිති. 


ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා මෙන්ම කුරුණෑගල පොලිස් නිලධාරීන් රැක ගැනීමට ද උද්ඝෝෂණ කරමින් පෙරට පැමිණෙමින් සිටින අතර, ඉතිහාසයේ කිසි දිනෙක නොවූ ආකාරයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම එක් සංවිධානයක් බවට පත්ව රෝහල මෙන්ම වඳ සැත්කම් පරීක්ෂණ නිසි පරිදි මෙහෙයවීමට ඉදිරිපත් වී සිටිති. 


මේ අතර වයඹ පළාත් හිටපු අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා ද වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතාට නැවත රැකියාව ලැබීම අභියෝගයට ලක් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඔහු චෝදනා කරන්නේ මැතිවරණයට රැකියාවෙන් ඉල්ලා අස්වූ මෙම වෛද්‍යවරයාට කැබිනට් මණ්ඩල අනුමැතියකින් නැවත රැකියාව ලැබීම නීතිවිරෝධි කරුණක් වන බවය. 


මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ද අවධාරණය කරමින් කියා සිටියේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ට එරෙහිව පරීක්ෂණ දේශපාලන අතපෙවීම්වලින් තොරව සාධාරණව සිදු විය යුතු බවත් පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීන් ඇගැයීමකට ලක්කරනවා මිසක ඔවුන් මාරු කර යැවීම කිසිසේත්ම අනුමත නොකරන බවත්ය. එවැනි දෙයක් සිදුවීමට තමන් කිසිසේත්ම ඉඩ නොතබන බව ද ආණ්ඩුකාරවරයා අවධාරණය කළෝය. 
රටේ සමස්ත ජනතාවම දෑස් දල්වා බලා හිඳින්නේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් එරෙහිව ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාව කෙසේ වේදැයි කියාය. ඒ සඳහා විනිවිදභාවයෙන් යුතු සාධාරණ පරීක්ෂණයක් දෙස සිංහල මුස්ලිම් දෙපාර්ශ්වයම බලා හිඳිති. 

 

 

සටහන සහ සේයාරූ : 
පුෂ්පකුමාර ජයරත්න