කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේ මහවිරු සැමරුණු අයුරු
උතුරේ මහවිරු සැමරුණු ආකාරය ගැන අද රටම කතාවෙන්නේ අළු යට තිබූ ගිනි පුපුරු මෙන් තැනින් තැන මතු වූ කොටි පුල්ලි නිසා වුවද රටටම පෙනී ගිය තවත් කරුණක් වුණේ මේ ගිනි පුපුුරු තවමත් දැවෙමින් පවතින බවටයි.
එක් අතකින් සිවාජිලිංගම් කොටි නායකයා වුණු වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ගෙදර නොවැම්බර් 26 වනදා උපන්දින කේක් කපද්දි අනෙක් පැත්තෙන් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික්කවල නොවැම්බර් 27 වනදා මහවිරු සැමරුණේ ජාතික මහවිරු දිනය වශයෙනුත් කොටි සංවිධානයේ පුෂ්පය වූ නියඟලා මල ද යොදාගෙනය.
මේ ප‍්‍රභාකරන්ගේ අවතාර ගැන රටම කතාවෙන්නට පටන් ගනිද්දී පාලකයන්ගේද ඇස් කන් ඇරෙන්නට විය. එක් අතකින් කිලිනොච්චියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ විමධ්‍යගත අරමුදලින් ඉදිකිරීමට ගිය මහවිරු සොහොනේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට පියවර ගනිද්දී අනෙක් අතින් මහවිරු සැමරීමේදී නීතියට පටහැනිව සැමරීම් සිදු කළ අය අත්අඩංගුවට ගත යුතු බව නිවේදනය විය.
මෙවර මහවිරු සැමරුමත් සමඟ කොටි නායකයාගේ 63 වන උපන්දිනය නොවැම්බර් 26 වනදා සඳහන් වෙද්දී උතුරේ බොහෝ තැන්වල කොටි නායකයාගේ රුව යොදාගෙන හා නොගෙන උපන්දින කේක් කපා සැමරූ අයුරු දැකගන්නට විය. ඒ අතර උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් කේක් කැපුවේ යාපනයේ වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රභාකරන්ගේ ගෙවත්තේය.
ප‍්‍රභාකරන්ගේ බවට සැකකෙරෙන ගෙවත්තේ ප‍්‍රභාකරන්ගේ ඡායාරූප ඇලවූ තාප්පයක් ඉදිරිපිට 63 ප‍්‍රදර්ශනය කරමින් කේක් කපමින් සැමරීය. ප‍්‍රභාකරන්ගේ පෝස්ටර් ඇලවූ අය කව්රුන් වුවද එම් පෝස්ටර් ඉදිරියේ කේක් කමින් කියා සිටියේ මහවිරුවන් සැමරීමට ඔවුන්ගේ ඥාතීන්ට අයිතියක් ඇති බව පවසමිනි.
මේ අයුරින් යාපනයේ සරසවියේ ඇතුළු ස්ථාන කිහිපයක ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සැමරෙද්දී යාපනය සරසවියට අයත් වව්නියාව මණ්ඩපයද උණුසුම් විය.
වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන්ගෙන් පිරිසක් නොවැම්බර් 26 වනදා කොටි නායකයාගේ උපන්දිනය සමරා කේක් කපා සිංහල සිසුන්ට කවා තිබුණේ යහළුවකුගේ උපන් දිනයක් බව පවසමිනි. පසුව සිංහල සිසුන් පිරිසක් විසින් ඒ පිළිබඳව සොයනු ලැබිමේ දී කොටි නායකයාගේ උපන්දිනය ඇතුළු මහවිරු සැමරුම් නීතියට එපිටින් සමාජ මාධ්‍ය හරහා ඡායාරූප ද සහිතව සිදු කොට ඇති බවට දැන ගැනීමත් සමඟ එහි සිසුන් පිරිසක් ඒ බව වව්නියාව මණ්ඩපයේ පාලනාධිකාරයට පැමිණිලි කර සිටියහ.
නමුත් එම පැමිණිල්ලත් සමඟ පැමිණිල්ල සිදු කළ සිසුන්ගේ සමාජ මාධ්‍යට විවිධ වූ තර්ජනයන් පැමිණීමත් සමඟ ඒ බවද මණ්ඩපයේ පාලනාධිකාරයට දැනුම් දීමත් සමග පාලනාධිකාරය ඒ පිළිබඳව විධිමත් ක‍්‍රියාමාර්ගයක් නොගත්තේ යැයි කියමින් තමන්ට විභාගයන් සඳහා පෙනී සිටීමේ මානසිකත්වයක්ද නොමැති බවට සිංහල සිසුහු කීහ.
පසුව දෙපිරිස් අතර යම් අවදානම් තත්ත්වයක් ඇති වේ යැයි යන අවධාන හේතුවෙන් වව්නියාව මණ්ඩපයේ 600ක් පමණ සිටින් සියලුම සිසුන්ට දින නියමයක් නොමැතිව නිවාඩු දී නිවෙස් වෙතට යන ලෙසින් දැනුම් දීමට පාලනාධිකාරය පියවර ගෙන තිබුණි.
කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේ මහවිරු සැමරුණු අයුරු
කෙසේ වෙතත් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පාලකයන් විධිමත් විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බවටත් එසේ නොවන්නට වව්නියාව මණ්ඩපයේ සිංහල සිසුන්ගේ මානසිකත්වයට එය බලපාන බවට ද සිංහල සිසුන් පිරිසක් කියා සිටියහ.
කොටි නායකායාගේ උපන්දිනය වෙනුවෙන් නොවැම්බර් 26වනදා එවැනි සිදුවීම් සිදු වෙද්දි නොවැම්බර් 27 වනදාට යෙදී තිබුණු මහවිරු දිනයද විශේෂ විය.
මහවිරු සැමරුම් දා යාපනය වැල්වැටිතුරේයි ප‍්‍රදේශයේ මාර්ගයක ඊට කලින් රාත‍්‍රියේදී කොටි සංවිධානයේ කොඩිය ඔසවා තිබුණි. ඒත් සමඟ පළමුව යාපනය සරසවියේ සිසුහු ආචාර්යවරු මෙන්ම අනධ්‍යන කාර්ය මණ්ඩලය ද සරසවියේ ඉදිකොට තිබූ මහවිරු ස්මාරකය අසලදී මිය ගිය මහවිරුවන් වෙනුවෙන් මල් පහන් දැල්වූහ. මහවිරු දිනට පෙරදා දිනයේදී යපනය සරසවියේ ගොඩනැගිලි කිහිපයක කිසියම් පිරිසක් කොටි නායකයාගේ රුව ඇතුළත් පෝස්ටර් රැසක් ද අලවා තිබූ අයුරුද දැක ගන්නට හැකි විය.
අනතුරුව යාපනය කෝපායි, ඇතුළු ස්ථාන 11කදී මහවිරු සැමරුම් සිදු කරන ලදි. ඊට අමතරව මුලතිව්, තේරාවිල් හා මුල්ලියාවලෙයි ඇතුළු ස්ථාන කිහිපයක ද කිලිනොච්චිය කනකපුරම් ඇතුළු ස්ථාන කිහිපයකදී ද මන්නාරම් පෙරිය පණ්ඩිවිරිච්චාන් ඇතුළු ස්ථාන කිහිපයකදී ද වව්නියාව ඊච්චන්කුලම් ප‍්‍රදේශයේ ද මහවිරු සොහොන්වල සැමරීම් සිදු විය.
උතුරු පළාතෙන් ප‍්‍රධාන මහවිරු සැමරුම සිදුවුණේ කිලිනොච්චිය කනකපුරම් මහවිරු සොහොනේදීය. මෙම මහවිරු සැමරුමට සාමාන්‍ය වැසියන් 5000කට අධික පිරිසක් පැමිණි තිබූ අයුරු දැක ගත හැකි විය. දේශපාලනික වශයෙන් සහභාගී වූවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් පමණි.
කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේ මහවිරු සැමරුණු අයුරු
කෙසේ වෙතත් මෙවර මහවිරු සැමරුම් පසුගිය 2016 සැමරුමට වඩා වැඩි ගැම්මකින් සිදුකරන අයුරු දැක ගත හැකි විය. මුලතිව් විශ්වමඩු තේරාවිල් මහවිරු සුසානභූමියේ තොරණ නිර්මාණය කර තිබුණේ කොටි සංවිධාන යොදා ගත් නියඟලා මල යොදාගනිමිනි. තොරණේ සඳහන් කර තිබුණේද ජාතික මහවිරු දිනය යනුවෙනි.
මේ අයුරින් උතුරේ පැවති මහවිරු සැමරු බොහොමයක කොටි පුල්ලි හෙවණැලි තැනින් තැන මතුවෙන්නට විය. මේ පුල්ලි යමෙකුට ඒතරම් දෙයක් නොතිබෙනවා වන්නට හැක. නමුත් එහි ව්‍යංගාර්ථය හා අතීතය දෙසද මොහොතකට සිතා එහි ආදීනව ගැන සිතිය යුතුය.
රජය මේ වන විට මහවිරු සැමරුම් සිදු කරන්නට අවසර දී ඇත. ඒ යුද්දෙ දී මිය ගිය අය සිහිකිරීමට පමණි. ඒ මාර්ගයෙන් ඇතැම් පිරිස් වෙනත් මාර්ගයකට පිවිසෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුමය. එසේ නොවන්නට අද හොර රහසේ ඇලවෙන කොටි පෝස්ටර් බැනර් හෙට ප‍්‍රසිද්ධියේ ඇලවෙයි. එසවෙයි. යන අවදානම සිදුවෙයි. අවසානයේ ප‍්‍රභාකරන්ද සමරන්නට අයිතිය ඉල්ලයි. පසුව ඔහු වීරයෙකු සේ සළකන්නට ද අවස්ථාවක් කරගන්නට මාන බලන පිරිසක් ඉන්නා බවට සිහියේ තබා ගත යුතු තවත් කරුණකි.
ඊනියා ප‍්‍රතිපත්ති දරන්නන් අමාරුවෙන් ලබාගත් නිදහසට අකුල් හෙළීමට ඕනෑතරම් අවස්ථා බලා සිටින පිරිස් මේ මහවිරු මුවාවෙන් සිදු කිරීමට මාන බලනවා. නමුත් ප‍්‍රතිපත්ති වගේම නීතිය ද ප‍්‍රායෝගිකව සිදු විය යුතුය.
මෙවර මහවිරු සැමරුමේ දී ඇවිළුනු තවත් ළැව් ගින්නක් වුණේ දේශපාලනික මැදිහත්වීම්ය. මේ හේතුව නිසාම උතුරේ පැවති කිසිදු මහවිරු සැමරුමක් උතුරු නැෙඟනහිර බලය ඇති දෙමළ ජාතික සන්ධානය නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන අයුරු දැකගන්නට ලැබුණි. පසුගිය වසරේ නම් දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානම පක්ෂය වුණු ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂ නායක මාවේ සේනාධිරාජා ඇතුළු පිරිසක් නිල වශයෙන් සහභාගි වුණා. නමුත් මෙවර නම් දෙමළ ජාතික සන්ධානයේ කිසිම නායකයකු කිසිදු මහවිරු සැමරුමකට නිල වශයෙන් සහභාගිවී තිබුණේ නැත.
එයට හේතු වුණේ ඡන්ද බලය නිසාම විය හැකිය. පසුගියදා කොටි සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයන් පිහිටුවාගත් නව පක්ෂයක් වූ දෙමළ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය වශයෙන් ආරම්භ කොට කිලිනොච්චියේදී කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට මහවිරු සැමරුම් සිදු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවටත් එම පක්ෂයට මහවිරු සැමරුම් සිදු කිරීමට නොදෙන බවටත්ය.
මේ ශීතල යුද්ධය අභ්‍යන්තරයේ පැවති නිසාම දෙමළ ජාතික සන්ධානය මහවිරු සැමරුමෙන් ඉවත්වුණා වන්නට හැකිය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වුණු ශිවශක්ති අනන්දන්, එස්. සිවමෝහන්, ශාන්ති ශ‍්‍රී ස්කන්ධ රාජා, එස්. ශ‍්‍රීධරන් යන අයත් පළාත් සභා මැති ඇමති වරුන් වුණු ආනන්දි ශෂිධරන් ඇමැතිනි, එම්.කේ සිවාජිලිංගම් වැනි අය සාමාන්‍ය වැසියන් මෙන් පැමිණ විවිධ ස්ථානවලට ගොස් මහවිරු සැමරුම් සිදු කරනු අයුරු දැක ගන්නට හැකි විය.
උතුරු පළාත් ප‍්‍රධානම මහවිරු සැමරුමවූ කනකපුරම් මහවිරු සැමරුම් අවස්ථාවේදී ද ප‍්‍රධාන පහන පසුගිය වසරේ මාවේ සේනාධිරාජා සහ එස්. ශ‍්‍රීධරන් යන අය දැල්වුව ද මෙවර කනකපුරම් මහවිරු සැමරුමට එස්. ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා සහභාගී වුවද ප‍්‍රධාන පහන දල්වන ලද්දේ මහවිරුවෝ තිදෙනෙක් මිය ගිය මවක විසිනි.
මහවිරු ඉහළින්ම සමරන්න මාන බලා සිටි ශ‍්‍රීධරන්ගේ සිහිනය බොඳවුණේ කනකපුරම් සොහොන් බිමේ ඉදිකිරීම් නැවත්වීම ඇතුළු දේශපාලනික කරුණු කිහිපයක් හේතුවෙන්ය.
මහවිරු සොහොන් වෙතට ඇත්ත වශයෙන්ම සාමාන්‍ය වැසියන් පන්දහසකට අධික පිරිසක් ආවේ කොටි සංවිධානය සිහිකරන්නටවත් ප‍්‍රභාකරන් සිහිකරන්නටවත් නොවේ. ඔවුන්ගේ මිය ගිය දරු මුනුපුුරන් සිහි කිරීමටය. නමුත් එහි ප‍්‍රදර්ශනයට තහනම් සංවිධානයක ලේබලය ඇලවෙන්නේ නම් එවන් දේ නැවත්විය යුතුය.
තහනම් සංවිධානයක (කොටි සංවිධානය) අවතාර කරළියට එන විට දමිළ තරුණයන් යළි ආයුධ අතට ගන්නට වැර දරනවා යන හැඟීම ද ඇතමෙකුට දැනෙන්ට පුළුවන. එයට කදිම නිදසුනක් වුණේ පසුගිය දින කිහිපයේ දී කුමන හේතුවක් නිසා හෝ යාපනය හෙල්ලු ‘ආවා’ ඇතුළු කල්ලි කිහිපයක් නිසාය.
මේ අයුධ ගැනීම ගැන නම් උතුරු මහඇමතිවරයා කියා තිබුණේ විසඳුමක් වෙනුවෙන් දමිළ තරුණයන් නැවත අවි අතට ගන්නේ නම් මුරුංගා අත්තක නැඟීමකට සමාන දෙයක් බවටයි. අවි අතට ගැනීමේ ආදීනව උතුරු මහඇමතිවරයාට නම් වැටහී ඇති බවට පෙනී යන්නේ එය එක පැත්තක් වෙයි.
නමුත් මහවිරු සැමරුම්, කොටි නායකයාගේ සැමරුම් වැනි දෑ යොදා ගනිමින් සිදු කරන කොටි සංවිධානයට පණ දෙන ක‍්‍රියාකාරකම් ද නැවත්විය යුතු බවට උතුරු මහඇමතිවරයා සිහියේ තබා ගත යුතු අනෙක් කාරණය ද වුණත් මහවිරු සැමරුම් වෙනුවෙන් රජය විසින් නීතිය ක‍්‍රියාත්මක කෙරෙන බවට සිදු කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් උතුරු මහඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා මාධ්‍යට පවසා තිබුණේ
“මහවිරුවලට සම්බන්ධ පුදගලයන් අත්අඩංගුවට ගන්නවා කියලා එක් ඇමතිවරයෙක් ප‍්‍රකාශ කරලා තියනවා කියලා දැනගන්නට ලැබුණා. දේශපාලනඥයන් මේ කරුණු කියන්නේ ඔවුන් මේ ගැන අවධානයෙන් පසුවෙනවා කියලා දකුණේ ජනතාවට අඟවන්න. ඊට හැර ඊට විරුද්ධව මොකුත් කරන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මොකද මෙවැනි රැස්වීම් පැවත්වීමට ඔවුන් ඉඩ ලබා දීලා තියෙනවා. නැතිනම් රාජපක්ෂ ආණ්ඩු සමයේදී මෙවැනි රැස්වීම්වලට තහනම් පැනවූවා වගේ තහනමක් පනවන්න තිබුණා. එලෙස තහනමක් නිකුත් නොකොට ඒ අයට සමරන්න දීලා දැන් එයට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගන්නවා යැයි පැවසීම අපි දකින්නේ බුරන බල්ලෙක්ගේ හඬක් වගෙයි බුරන බල්ලෝ හපන්නේ නැහැ. යනුවෙනි.
නමුත් මහවිරු සැමරුම් මගින් දේශපාලන වාසි නොබලා එහි අභ්‍යන්තරය ගැනද අවධානය යොමු කිරීමට උතුරු මහඇමතිවරයා වගබලාගත යුතුය.
යුද්දෙන් හෝ කුමන් ආකාරයකට මිය ගිය හෝ අයෙකු සිහිපත් කිරීමට ඒ වෙනුවෙන් හඬා වැලපීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. නමුත් එම අයිතිය ආයුධයක් නොකොට වගකීමකින් ලබන වසරේ උපන්දින හෝ මහවිරු දින නමින් පමණක් උපන්දින හා මහවිරු වූවාට නම් කම් නැත.
සටහන-ඡායාරූප වන්නි රොමේෂ් මධුෂංඛ